UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

මරු වසඟයට නොයන්නෝ

චූලගෝපාලක සූත්‍රය ඇතුළත් වන්නේ මජ්ඣිම නිකායෙහිය. නිර්වාණගාමී පුද්ගලයාද ගඟෙහි තරම දැනගත් ගොපල්ලා මෙන් මාර විෂය පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළ යුතු බවත් බුද්ධිමතුන්ගේ ධර්මය පි‍්‍රය කළ යුතු බවත් මෙහි විචිත්‍ර ලෙස විවරණය කර ඇත.

එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ වජ්ජි ජනපදයෙහි උක්කචෙලා නම් නුවර සමීපයෙහි ගංගානම් ගංතෙර වැඩ වාසය කරන කල්හි භික්ෂූන් අමතා පෙර සිදු වූ කතාවක් දේශනා කළහ. මෙය ගඟෙහි තරම නොදැන ගවයන් එතෙර කිරීමට ගොස් ගවයන් සියලු දෙනා විනාශ කරගත් ගොපල්ලකු හා ගඟෙහි තරම දැන ගවයන් එතෙර කොට ගවයන් බේරාගත් ගොපලලකු පිළිබඳ කතාවකි. මෙම ධර්ම දේශනාව චූලගෝපාලක සූත්‍රය ලෙස නම් කොට ඇති අතර එය ඇතුළත් වන්නේ මජ්ඣිම නිකායෙහිය. නිර්වාණගාමී පුද්ගලයාද ගඟෙහි තරම දැනගත් ගොපල්ලා මෙන් මාර විෂය පිළිබඳ අවබෝධයෙන් කටයුතු කළ යුතු බවත් බුද්ධිමතුන්ගේ ධර්මය පි‍්‍රය කළ යුතු බවත් මෙහි විචිත්‍ර ලෙස විවරණය කර ඇත. අපි දැන් මෙම දම් දෙසුම විමසා බලමු.

මහණෙනි, පෙර වූවක් කියමි. ඉතා අඥාන ස්වභාව ඇති, මගධ රට වැසි වූ ගොපල්ලෙක් වස්සාන ඍතුවේ අන්තිම මාසයෙහි ශරත් කාලයෙහි, ගංගානම් නදියෙහි මෙතෙර නොසලකා එතෙර නොසලකා විදේහ රටට එතෙර කරනු පිණිස ගවයන් ගඟට බැස්වීය.

මහණෙනි, ඉක්බිති ගවයෝ ගංගානම් නදියෙහි මැද සැඩ පහරෙහි දිය සුළියකට හසු වී එහිම විනාශයට පත්වූහ. ඊට හේතු කවරේ ද යත්, ඉතා අඥාන ස්වභාව ඇති, මගධ රට වැසි ඒ ගව පාලකයා වස්සාන ඍතුවේ අන්තිම මාසයෙහි ශරත් කාලයෙහි ගංගා නම් ගඟෙහි මෙතෙර නොසලකා විදේහ රටට එතෙර කරනු පිණිස ගවයන් ගඟට බැස්වීය. (එහෙයිනි)

මහණෙනි, එපරිද්දෙන්ම යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ ලෝකය පිළිබඳ අදක්‍ෂයෝ වෙත්ද, පරලොව පිළිබඳ අදක්‍ෂයෝ වෙත්ද, මාරයාට අයත් වූවෙහි අදක්‍ෂයෝ වෙත්ද, මාරයාට අයත් නොවූවෙහි අදක්‍ෂයෝ වෙත්ද, මැරෙන ස්වභාව ඇති දෙයෙහි අදක්‍ෂයෝ වෙත්ද, නොමැරෙන ස්වභාව ඇති දෙයෙහි අදක්‍ෂයෝ වෙත්ද, ඔවුන්ගේ ධර්මය ඇසිය යුතුය යිද, ඇදහිය යුතුය යිද, යම් කෙනෙක් හඟින්නාහුද, ඔවුන්ට ඒ ඇසීම හෝ ඇදහීම හෝ බොහෝ කාලයක් මුළුල්ලෙහි අහිත පිණිස, දුක් පිණිස වන්නේය.

මහණෙනි, පෙර වූවක් කියමි. නුවණැත්තා වූ මගධ රට වැසි ගොපල්ලෙක් වර්ෂා ඍතුවේ අවසාන මාසයෙහි ශරත් කාලයෙහි ගංගානම් ගඟෙහි මෙතෙර සලකා බලා එතෙර සලකා බලා විදේහ රටට එතෙර කරනු පිණිස සුදුසු තොටින් ගවයන් ගඟට බැස්වීය. හෙතෙම පළමු කොටම ගව පියන් වු (ප්‍රධාන වූ) ගව නායක වූ යම් ඒ වෘෂභයෝ වෙත්ද, ඔවුන් ගඟට බැස්වීය. ඒ ගවයෝ ගඟෙහි සැඩපහර සිඳ ගඟ හරහා සැප සේ එතෙරට ගියාහුය. ඊට අනතුරුව බලවත් වූ ද දමනය කටයුතු වූ ද ගවයින් ගඟට බැස්වීය. ඔවුහු ද සැඩ පහර සිඳ ගඟ හරහා සැප සේ එතෙරට ගියාහුය. ඊළඟට නහඹු වස්සන් හා නහඹු වැස්සියන් ද බැස්වීය. ඔවුහු ද සැඩපහර සිඳ ගඟ හරහා සැපසේ එතෙර ගියාහුය. ඊළඟට කුඩා වසු පැටවුන් ගඟට බැස්වීය. ඔවුහු ද සැඩ පහර සිඳ ගඟ හරහා සැප සේ එතෙරට ගියාහුය. මහණෙනි, ඉතා බාල වූ එකෙණෙහිම උපන්, මවු දෙනගේ හඬින් ගෙන යනු ලබන වසු පැටියා පවා ගඟෙහි සැඩ පහර කපා සුව සේ එතෙර විය.

නුවණ ඇත්තා වූ මගධ රට වැසි ගොපලු තෙම වර්ෂා ඍතුවෙහි අන්තිම මාසයෙහි ශරත් ඍතුවෙහි ගංගානම් ගඟෙහි මෙතෙර සලකා බලා එතෙර සලකා බලා, එතෙර වූ විදේහ රටට නිසි තොටින්ම ගවයන් එතෙර කළේය. මහණෙනි, එසේම යම්කිසි ශ්‍රමණයෝ හෝ බ්‍රාහ්මණයෝ හෝ මේ ලෝකයෙහි දක්‍ෂයෝ වෙද්ද, පරලෝකයෙහි දක්‍ෂයෝ වෙද්ද, මාරයාට අයත් වූවෙහි දක්‍ෂයෝ වෙද්ද, මාරයාට අයත් නොවූවෙහි දක්‍ෂයෝ වෙද්ද, මැරෙන ස්වභාව ඇති දෙයෙහි දක්‍ෂයෝ වෙද්ද, නොමැෙරෙන ස්වභාව ඇති දෙයෙහි දක්‍ෂයෝ වෙද්ද, යමෙක් තුමූ ඔවුන්ගේ ධර්මය ඇසිය යුතු කොට, ඇදහිය යුතුකොට හඟින්නාහුද, ඔවුන් හට ඒ ඇසීම හා ඇදහීම බොහෝ කලක් මුළුල්ලෙහි හිත පිණිස සැප පිණිස වන්නේය.

මහණෙනි, යම් සේ ගවපියන් වූ, ගවයින්ට ප්‍රධාන වූ යම් ඒ වෘෂභයෝ ගඟෙහි සැඩ පහර සිඳගෙන සැප සේ එතෙරට ගියාහු ද, මහණෙනි, එපරිද්දෙන්ම යම් ඒ භික්‍ෂූ කෙනෙක් නැති කළ කෙලෙස් ඇති, වැස නිම වූ බ්‍රහ්මචරියා ඇති, නිම වූ කටයුතු ඇති, බහා තබන ලද කෙලෙස් බර ඇති, පිළිවෙළින් පැමිණි රහත් බව ඇති, නැති කළ භව සංයෝජන ඇති, මනා කොට දැන කෙලෙසුන්ගෙන් මිදෙන්නාහු වෙත්ද, ඔවුහු මාරයාගේ (තෘෂ්ණා) සැඩ පහර සිඳ සැප සේ (නිර්වාණයට) එතෙරට යන්නාහ.

මහණෙනි, යම් සේ ඒ බලවත් ගවයෝ ද , හික්ම විය යුතු ගවයෝ ද සැඩ පහර සිඳ ගඟ හරහා සුව සේ ගියාහු ද , මහණෙනි, එසේම යම් ඒ භික්‍ෂූ කෙනෙක් ඕරංභාගිය සංයෝජනයන් සිඳීමෙන් බඹලොව ඕපපාතිකව ඉපිද එයින් කාම ලෝකයට නොපැමිණෙන්නාවු, අනාගාමි පුද්ගලයෝ වෙත්ද, ඔවුහුද මාරයාගේ සැඩපහර කපා සුව සේ එතෙර වන්නාහුය.

මහණෙනි, යම් සේ නහඹු වස්සෝද, නහඹු වැස්සියෝද සැඩ පහර සිඳ ගඟ හරහා සුව සේ එතෙර වූවාහුද, මහණෙනි, එසේම යම් ඒ භික්‍ෂූහු ත්‍රිවිධ සංයෝජනයන් නැති කිරිමෙන් රාග, ද්වේෂ , මෝහයන් තුනී කිරීමෙන් සකෘදාගාමි වූවාහු එක් වරයක්ම මේ කාම ලෝකයට එන ස්වභාව ඇතිව දුක් කෙළවර කරන්නාහු වෙත්ද, ඔවුහුද මාරයාගේ (තණ්හා) සැඩපහර සිඳ සුව ‍ෙස් එතෙරට යන්නාහුය.

මහණෙනි, යම්සේ දුර්වල වූ වස්සෝ සැඩ පහර සිඳ ගඟ හරහා සුවසේ එතෙර වූවාහු ද, මහණෙනි, එපරිද්දෙන්ම යම් ඒ භික්‍ෂූහු සංයෝජන තුන නැති කිරීමෙන් සෝවාන් වූවාහු සතර අපායෙහි නොවැටෙන සුළුවූවාහු, නියතයෙන්ම රහත් බව ලබන්නාහු වෙත්ද, ඔවුහුද මාරයාගේ (තණ්හා) සැඩපහර සිඳ සුවසේ එතෙරට යන්නාහුය.

මහණෙනි, යම්සේ එකෙණෙහි උපන් ළදරු වසු පැටවා ද මවු දෙනගේ ශබ්දය අනුව එතෙර වන්නේ සැඩ පහර සිඳ ගඟ හරහා සුව සේ එතෙරට ගියේද, එපරිද්දෙන්ම ධර්මානුසාරීනම්වූද, සද්ධානුසාරී නම් වූද යම් ඒ සෝවාන් භික්‍ෂූහු වෙත්ද, ඔවුහුද මාරයාගේ (තණ්හා) සැඩ පහර සිඳ සුවසේ එතෙරට යන්නාහුය.

මහණෙනි, මම වනාහි මේ ලෝකය පිළිබඳ දක්‍ෂ වෙමි. පරලෝකය පිළිබඳ දක්‍ෂ වෙමි. මාරයාට අයත් දෙය දැනීමෙහි දක්‍ෂ වෙමි. මාරයාට අයත් නොවූ දෙය දැනීමෙහි දක්‍ෂ වෙමි. මැරෙන ස්වභාව ඇති දෙය දැනීමෙහි දක්‍ෂ වෙමි. නොමැරෙන ස්වභාව ඇති දෙය දැනීමෙහි දක්‍ෂ වෙමි.

මහණෙනි, යම් කෙනෙක් තුමු මාගේ ධර්මය ඇසිය යුතුයයි හඟින්නාහු ද, ඔවුන්ට එය බොහෝ කාලයක් මුළුල්ලෙහි හිත පිණිස සැප පිණිස වන්නේය.

භාග්‍යවතුන් වහන්සේ මෙය වදාළහ. නැවත මේ ගාථා පද ප්‍රකාශ කළහ.

සියල්ල දත් සර්වඥයන් වහන්සේ විසින් මෙලොව (ස්කන්ධ ධාතු ආයතනාදිය ) ද , පරලොව (ස්කන්ධ ධාතු ආයතනාදිය) ද මනාව වදාරණ ලදී. මරහු විසින් පැමිණෙන ලද යම් ධර්මයක් වේද, මරහු විසින් නොපැමිණෙන ලද යම් ධර්ම වේද සියල්ල දත් සර්වඥයන් වහන්සේ විසින් ඒ සියල්ල දැන නිවනට පැමිණීම පිණිස නිර්භය වූ මාර්ග දොරටුව විවෘත කරන ලදී.

මාරයාගේ තෘෂ්ණා සැඩ පහර සිඳින ලදී. මානය නමැති සුළඟ විනාශ කරන ලදී. එහෙයින් මහණෙනි. සතුට බහුල කොට ඇත්තාහු වන්න. නිර්වාණය පතන්න.

වෙසක් පුර අටවක පොහොය

වෙසක් පුර අටවක පොහොය මැයි මස 10 වන දා අඟහාරුවාදා අපර භාග 02.46 ට ලබයි.
11 වන දා බදාදා අපර භාග 01.06 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි මස 10 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
මැයි මස 17 වන දා අඟහරුවාදා ය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 10

Full Moonපසෙලාස්වක

මැයි 17

Second Quarterඅව අටවක

මැයි 24

New Moonඅමාවක

ජූනි 01


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]