UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,‍
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

වෙසක් පුර අටවක 2011.05.10

හික්කඩුවේ ශ්‍රී සුමංගල හාමුදුරුවෝ

තිහාසය නිර්මාණය කළ වීරවරයන් පිළිබඳ ව හැදෑරීම පමණක් නො ව අනුස්මරණය කිරීම ද අවශ්‍ය ය. ඉතිහාසය නමැති ජීවමාන අතීතය හැදෑරීම සඳහා වර්තමාන පරම්පරාව පෙළඹවීමට මෙන් ම එම වීර චරිතවල ආලෝකය වර්තමාන චරිත මත පතිත කැරවීමට ද එය අවශ්‍ය ම අභ්‍යාසයකි. ඊට අමතර ව එම වීරවරයන්ට ඓතිහාසික වශයෙන් යුක්තිය ඉටු කිරීමක් ද එමඟින් සිදු කැරේ.

මෙ සේ හැදෑරිය යුතු හා අනුස්මරණය කළ යුතු වටිනා වීර චරිතයක් වන හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන් ගැන කතා කිරීමට අද දින කතු වැකිය වැය කරන්නෙමු. උන්වහන්සේ අපවත් වී වසර සියයක් පිරීම පසුගිය අපේ‍්‍රල් මස 29 වන දා ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා ගේ ප්‍රධානත්වයෙන් කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ දී සමරනු ලැබිණ.

උන්වහන්සේ ගේ ජීවන තොරතුරු නිවන්දම ශ්‍රී ධර්මකීර්ති හිමියන් විසින් ලියන ලද ‘ශ්‍රී ලංකාවේ 2500 වසරක සංක්ෂිප්ත ශාසනික ඉතිහාසය’ නමැති කෘතියෙහි මෙ සේ සඳහන් කැර තිබේ.

‘ක්‍රි.ව. 1827 ජනවාරි මස 20 වන දින හික්කඩුවේ දී උපත ලැබූ මුන්වහන්සේ තොටගමුවේ විහාරස්ථානයේ දී පැවිදි වූ හ. සිංහල, පාලි, සංස්කෘත, ඉංගී‍්‍රසි ආදී භාෂාවන් හා ත්‍රිපිටක බුද්ධ ධර්මය, දර්ශනය, ඉතිහාසය, ඡ්‍යොතිෂය වැනි විෂයයන් ද ඉගෙන ගත් උන්වහන්සේ රත්මලානේ පරමධම්ම චේතිය පිරිවෙනේ වැඩ සිටි වලානේ සිද්ධාර්ථ හිමියන් ගේ ද ශිෂ්‍යයෙකි. ශ්‍රී සුමංගල මාහිමියන් විසින් කරන ලද ශ්‍රේෂ්ඨතම කාර්යය වූයේ මාලිගාකන්දේ විද්‍යෝදය පිරිවෙන පිහිටුවීම යි. එම විද්‍යස්ථානයෙන් ඉගෙනුම ලැබූ දහස් ගණනක් ගිහි පැවිදි පඬිවරු ලංකාවේ සියලු දිසාවන්හි පැතිරී සිටිති. මොහොට්ටිවත්තේ ගුණානන්ද හිමියන්ට වාදයට අවශ්‍ය සියලු ධර්ම කොටස් සපයා දීමෙන් උන්වහන්සේට ද සුමංගල හිමිපාණෝ ආධාර කළ හ. ලක්දිව මුල් ම පුවත් පත වූ ලංකාලෝකය ආරම්භ කරන ලද්දේ මුන්වහන්සේ විසිනි. ඕල්කට් තුමා සමඟ දැඩි සම්බන්ධයකින් බැඳී ආගමික දියුණුවට ක්‍රියා කළ සුමංගල හිමිපාණෝ 1911 අප්‍රේල් මස 29 වන දා අපවත් වූ හ.’

හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන් ජාතික වීරයකු වන්නේ කෙ සේ දැයි මේ කෙටි සටහනෙන් මනා ව පැහැදිලි කැරේ.නව අධ්‍යාපන ආයතනයක් ඇරැඹීම ඓතිහාසික පානදුරා වාදයේ සම්පත් දායකයකු ලෙස ක්‍රියා කිරීම, නව සන්නිවේදන කාර්යයක් ඇරැඹීම ආදිය උන්වහන්සේ ගේ දැනුම හා බුද්ධිය ප්‍රකට කැරෙන සිද්ධීන් ය. මේ සියලු සමාජයීය කාර්යභාරයන් ශාසනික වශයෙන් පමණක් නො ව ජාතික පුනර්ජීවන ව්‍යාපාරය සවිමත් කළ ඒවා බව අමුතුවෙන් කිව යුතු නැත.

උන්වහන්සේ ගේ ධර්ම - ශාස්ත්‍රීය සේවාව කුමන තත්ත්වයක් යටතේ වූව ද අගය කළ හැකි ය. එහෙත් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් අනුගමනය කරන ලද බෞද්ධ විරෝධී රාජ්‍ය ප්‍රතිපත්තිය හමුවේ ඉටු කළ මේ සේවාව අවිහිංසාවාදී කැරැල්ලක් මෙනි. උන්වහන්සේ ජාතික වීර නාමාවලියට ඇතුළත් වන්නේ මේ නිසා ම ය.

හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන් පිළිබඳ ව ගුණ සමරු ලිපියක් ලියූ කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නා හිමියන් සඳහන් කැරැ ඇති මේ කරුණු ද අප ගේ අවධානයට යොමු විය යුතු යැයි සිතමු.

‘අනගාරික ධර්මපාලතුමා නොහොත් බෝධිසත්වයකු යැයි සැලැකිය හැකි ධර්මපාල මහා ස්වාමිපාදයන් ගේ ජාතික ආගමික ව්‍යාපාර හා ‘සිංහල බෞද්ධයා’ නමින් බෞද්ධ අදහස් හෙළි පෙහෙළි කිරීමෙහි සමර්ථ වූ සිංහල පත්‍රයක් ද ඇති වූයේ මුන්වහන්සේ ගේ උපදෙස්වලට අනුව ය. ලෝකයෙහි ම බුද්ධාගම පැතිරවීමේ උත්සාහයත් සමඟ ම සිංහලයන් ගේ උන්නතිය හා සිංහල ජාතියේ ප්‍රබෝධය ද ඇති කිරීමෙහි ඉවහල් වූයේ මුන්වහන්සේගෙන් ලබා ගත් ධර්මෝපදේශයන්ට අනුව ය. එයින් ඇති වූ දියුණු ව මහාබෝධි සමාගම පිහිටුවීමෙන් චිරස්ථායි වූයේ මුන්වහන්සේ ගේ මාර්ගෝපදේශකත්වයෙනි. අද දඹදිව බුද්ධාගමට උසස් තැනක් ලැබුණේ ද ඒ මාර්ගයෙනි.’

‘ශ්‍රී සුමංගල මාහිමියන් විසින් රචිත කුඩා මහත් ධර්මශාස්ත්‍රීය ග්‍රන්ථ රාශියකි. පුවත්පත් සඟරා ආදිය සැපයීමෙන් රටේ දියුණුව හා ජාතික ආගමික ප්‍රබෝධය ඇති කිරීමෙහි හැකි වූයේ මුන්වහන්සේ ගේ සදූපදේශයෙනි. මුන්වහන්සේ සැපැයූ ග්‍රන්ථ අතුරෙන් බාලාවතාර නම් වූ පාලි ව්‍යාකරණය සඳහා පරචිත සුබෝධිකා ටීකා නම් වූ විශාල විස්තර ග්‍රන්ථයෙන් ශිෂ්‍යයන් කෙරෙහි පැවැති දයාව හා ත්‍රිපිටකයෙහි විශාරදත්වයත්, ව්‍යාකරණ ඡන්දස් ලංකාරාදියෙහි ප්‍රවීණත්වයත්, සංස්කෘත ව්‍යාකරණයෙහි නිපුණත්වයත් හොඳින් පැහැදිලි වෙයි. පාලි ව්‍යාකරණය පිළිබඳ න්‍යාසය, භාෂ්‍යය, පඤ්චිකාය යන නම් වලින් හැඳින්විය හැකි සුබෝධිකා ටීකාව වැදගත් විවරණයෙකි. මෙහි ඇතුළත් යම් යම් කරුණු විස්තර කිරීමේ දී ගුප්තව තිබුණු දේ ප්‍රකාශයට පමුණුවා තිබීම උන්වහන්සේ ගේ විශාරද පාණ්ඩිත්‍යයෙහි වැදගත් ලක්‍ණයකි’

හික්කඩුවේ ශ්‍රී සුමංගල මාහිමියන් ගේ ධර්ම - ශාස්ත්‍රීය සේවාව මෙ සේ බොහෝ ඇගැයීමට ලක් වී තිබේ. එ සේ වූව ද උන්වහන්සේ ගේ මේ හැකියාවන් වර්ධනය කිරීමට හා දැනුම පුළුල් කිරීමට හේතු වූ භාෂා ඥානය කෙරෙහි වැඩි අවධානයක් යොමු කර නොමැත. උන්වහන්සේ මෙන් භාෂා ඥානය හඹා යෑම ද වත්මන් සමාජයට ලබා ගත හැකි මහඟු ආදර්ශයකි.

වෙසක් පුර අටවක පොහොය

වෙසක් පුර අටවක පොහොය මැයි මස 10 වන දා අඟහාරුවාදා අපර භාග 02.46 ට ලබයි.
11 වන දා බදාදා අපර භාග 01.06 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි මස 10 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
මැයි මස 17 වන දා අඟහරුවාදා ය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 10

Full Moonපසෙලාස්වක

මැයි 17

Second Quarterඅව අටවක

මැයි 24

New Moonඅමාවක

ජූනි 01


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]