UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

ආදර්ශය උතුම්ය

මෙත් වැඩීමේ මහිමය ලෝසතුනට අවබෝධ කර දෙනු ලැබුවේ තමන් වහන්සේට විරුද්ධවාදිකම් සිදුකළ දේවදත්ත තෙරුන්ටද අපමණ මෛත්‍රිය පතුරුවා හරිමිනි. තම මව මරා ආනන්තරිය පාප කර්මයක් සිදු කරගැනීමට පෙර අංගුලිමාල බුදුන් වහන්සේ ඉන් මුදා ගත්හ. අසරණ, සුනීත, සෝපාක, රජ්ජුමාලා, පටාචාරා ආදින්ට සේම තමන් වහන්සේට නින්දා අපහාස කළ චිංචිමානවිකාව මාගන්ධියාටද කරුණාව පෙරදැරි කරගෙන ක්‍රියාකළ බුදුරදුන් පූතිගත්තතිස්ස තෙරුන් ගේ දරුණු කුෂ්ඨ රෝගයට පිළියම් යෙදුවේ තමන් වහන්සේගේ ශ්‍රී හස්තයෙනි.

අන් තැනැත්තන්ට අවවාද අනුශාසනා ලබාදෙමින් ඔවුන් දැහැමි ප්‍රතිපත්ති වෙත යොමු කරලීම සද් කාර්යයකි. එලෙසින් පුද්ගලයින්ට උපදෙස් ලබාදෙන්නන් දැහැමි ප්‍රතිපත්තිගරුක වීමද වැදගත්ය. බෞද්ධ දර්ශනය තුළදී අවවාදයට වඩා ආදර්ශය උතුම් බව පෙන්වා දෙන්නේ එබැවිනි. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ නායකත්වය කැපී පෙනීමට උන්වහන්සේ ගෙන ගිය ආදර්ශ සම්පන්න ප්‍රතිපත්ති ඉවහල් වූ බව සත්‍යයකි. භික්‍ෂු, භික්‍ෂුණී උපාසක, උපාසිකා සිවුවණක් පිරිස වෙත බුදුරදුන් අනුගමනය කළ ප්‍රතිපත්ති රැසක්ම ආදර්ශය තුළින්ම ලබාදී ඇති අයුරු පැහැදිලිය.

මෙත් වැඩීමේ මහිමය ලෝසතුනට අවබෝධ කර දෙනු ලැබුවේ තමන් වහන්සේට විරුද්ධවාදිකම් සිදුකළ දේවදත්ත තෙරුන්ටද අපමණ මෛත්‍රිය පතුරුවා හරිමිනි. තම මව මරා ආනන්තරිය පාප කර්මයක් සිදු කරගැනීමට පෙර අංගුලිමාල බුදුන් වහන්සේ ඉන් මුදා ගත්හ. අසරණ, සුනීත, සෝපාක, රජ්ජුමාලා, පටාචාරා ආදින්ට සේම තමන් වහන්සේට නින්දා අපහාස කළ චිංචිමානවිකාව මාගන්ධියාටද කරුණාව පෙරදැරි කරගෙන ක්‍රියාකළ බුදුරදුන් පූතිගත්තතිස්ස තෙරුන් ගේ දරුණු කුෂ්ඨ රෝගයට පිළියම් යෙදුවේ තමන් වහන්සේගේ ශ්‍රී හස්තයෙනි. උන්වහන්සේම ගිනිහල් ගෙයින් උණුපැන් ගෙන සෝදා පිරිසුදු කළ අපූර්වත්වය සද්ධර්මරත්නාවලී කතුවරයා එකී කථාවස්තුව තුළ අපූර්වත්වයෙන් විග්‍රහ කරයි. ආදර්ශයෙන්ම අන්‍යයන්ට පිහිටවෙමින් ආදර්ශයේ උපදේශ ලබාදීමේ වටිනාකම වටහා දුන් උතුම් නායකයාණෝ බුදුරදුන්ය. වර්තමාන සමාජයේ පුද්ගලයින්ට බුදුරදුන්ගේ ආදර්ශ සම්පන්න ජීවිතය තුළින් ලබාගත හැකි උපදේශයන් බොහෝය.

දැහැමි ක්‍රියාවන්ට අනුගතව සෙසු සත්වයින්ටද යහ මාර්ගය පෙන්වා දිය හැකි අන්දම බෞද්ධ දර්ශනය තුළ පැහැදිලිව විස්තර කැරේ. තාවකාලික ලාභ/අපේක්‍ෂා අරමුණු පෙරදැරි කරගනිමින් පුද්ගලයින් විෂයෙහි ලබාදෙන අවවාද අනුශාසනා ඵල රහිතය. විශේෂයෙන් කුඩා දරුවන්ට අවවාද ලබාදෙන වැඩිහිටි පාර්ශ්වය වැරැදි ක්‍රියාකලාප අනුගමනය නොකිරීමට වග බලාගත යුතුවේ.

මන්ද යත් කුඩාදරුවන් නිතරම වැඩිහිටියන් කරන කියන දේ අනුගමනයට ඇළුම් කරන පිරිසක් වන නිසාය. වැඩිහිටියන් ලබාදෙන යහපත් ආදර්ශ වැදගත් වන්නේ එහෙයිනි. සමාජය තුළ බාල, තරුණ, මහළු කවුරුත් උදෙසා උපදෙස් ලබාදෙන පිළිගත් පිරිසක් සිටී. ඔවුන්ගේ යහපත් චේතනා ගෞරවයෙන් අගය කළ යුතුමය. එවන් පිළිගත් පුද්ගලයින් හොර රහසේ වුවද වැරැදි ක්‍රියාවක් නොකිරීම ඔවුන්ගේ ගරුත්වය බිඳ නොවැටීමට හේතුවෙන බව සිතිය යුතුය.

සැරියුත් මහරහතන් වහන්සේ මහ මඟ වඩින අවස්ථාවේ සිවුරේ පොටක් බිම ඇතිල්ලෙනු දුටු කුඩා හිමිනමක් සැරියුත් හිමියන්ට දැන්වූ පසු උන්වහන්සේ කුඩා හිමියන්ට ප්‍රශංසා පළකරමින් තම අඩුපාඩුව සකසා ගන්නට වූ බව සඳහන්ය. බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නය තුළ උඩගු බවක් මානයක් කිසිවිටෙක දක්නට නොවිණි. බුද්ධ කාලයේ උගත්කම නිසා මානයෙන් සිටි භික්ෂූන්ගේ අනුවණකම බුදුරදුන් පැහැදිලි කළ අතර වීර්යයෙන් බණ භාවනා කරමින් නිවන් සැපත පසක් කරගැනීමට ක්‍රියාකළ භික්‍ෂූන් අගය කර ඇත.ඡන්න හිමියන්ට බ්‍රහ්ම දණ්ඩනය පැනවීමෙන්ද, ධම්මාරාම හිමියන් තමන් වහන්සේට නියමාකාර ගෞරවය දක්වන බව පැහැදිලි කළ අයුරින් එය අවබෝධ වෙයි.

යම් භික්‍ෂුවක් ත්‍රිපිටකය මනාව ඉගෙනගෙන අනුන්ට උගන්වමින් තමා ධර්ම පිළිවෙත ක්‍රියාවට නංවන්නේ නැතිනම් ඔහු අනුන්ගේ ගවයන් බලාගන්නා ගොපල්ලෙක් මෙන් බවයි. පස්ගෝ රස ලැබීමේ වාසනාව ගොපල්ලාට නැත්තා සේම ධර්ම පිළිවෙත අනුගමනය නොකරන්නාට නිවන් සැප ලැබිය නොහැකිය. යමෙකුට උපදෙස්, අවවාද ලබාදිය යුත්තේ තමන් එකී ප්‍රතිපත්තියේ පිහිටා සිටයි. සමාජයක් සුවපත් වන්නේ එවිටයි. බුදුරදුන් තමන් වහන්සේ දුකින් එතෙර වී අන් සත්වයින්ට දුකින් එතෙර වීමේ මාර්ගය පෙන්වා දුන්නා සේ අනුන් යහමඟට යැවීම සිදුකළ යුත්තේ තමන්ද ඒ මග යමිනි.

යමෙක් ජන්ද, ද්වේශ , භය, මෝහ යන සතර අගතියෙන් යුක්තව තීරණ ගන්නේ නම් එවන් පුද්ගලයාගේ යසස, කීර්තිය, කළුවේගෙන යන සඳක් මෙන් පිරිහිලා අවසන් වන බව පෙන්වා දෙයි. අන්පුද්ගලයන් සුවපත් කරලීම උදෙසා කටයුතු කරන පුද්ගලයා ආදර්ශවත් ජීවිතයක් පවත්වාගෙන යාම සමාජයක් සුවපත් කරලීමට හේතු වන්නා සේම එවන් පුද්ගලයින් සතු යහපත් ගුණදම් නිසා ඔවුන් අමරණීයත්වයට පත්වනු නිසැකය.

වෙසක් පුර අටවක පොහොය

වෙසක් පුර අටවක පොහොය මැයි මස 10 වන දා අඟහාරුවාදා අපර භාග 02.46 ට ලබයි.
11 වන දා බදාදා අපර භාග 01.06 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි මස 10 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
මැයි මස 17 වන දා අඟහරුවාදා ය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 10

Full Moonපසෙලාස්වක

මැයි 17

Second Quarterඅව අටවක

මැයි 24

New Moonඅමාවක

ජූනි 01


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]