UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් පින්කම් මාලාවක් සිදු කැරෙන තලාතුඔය පින්නගොල්ල ශ්‍රී සද්ධර්මාරාමය

පින්කම් රැසක් පැවැත්වීම අගය කළ යුතුයි

මහනුවර, තලාතුඔය, පින්නගොල්ල ශ්‍රී සද්ධර්මාරාමාධිපති හඟුරන්කෙත සද්ධානන්ද ස්ථවිරයන් වහන්සේගේ අනුශාසකත්වයෙන් තත් විහාරස්ථ දායක සභාව සහ ග්‍රාම සංවර්ධන සමිතිය එක්ව 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් පුණ්‍ය ක්‍රියාවන් සමූහයක් සංවිධානය කොට පැවැත්වීම අගය කළ යුතු කරුණකි. ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයට අයත් විහාරස්ථානයක් වශයෙන් මෙහි සිදු කෙරෙන මෙම සියලු කාර්යයන් පිළිබඳව අපගේ සුභාශිර්වාද පිරිනමනු කැමැත්තෙමු.

විශේෂයෙන් හගුරන්කෙත සද්ධානන්ද ස්ථවිරයන් වහන්සේගේ මග පෙන්වීම අනුව දායක පින්වතුන් සීල සමාදාන වැඩ සටහන්, බෝධිපූජා, ධර්මදේශනා, විහාර ප්‍රතිසංස්කරණයන්, අභය දාන පින්කම් මෙන්ම සම්බුද්ධ ශාසනයේ උතුම්ම පින්කමක් වන කුලදරුවෙකු පැවිදි කිරීම ආදි ජාතික, ආගමික වශයෙන් වැදගත් කටයුතු රාශියක් සිදුකිරීම සම්බුද්ධත්ව ජයන්තියේ අරමුණු සඵල කර ගැනීමට බෙහෙවින් ඉවහල් වනු ඇත.

මේ සුවිශේෂි අවස්ථාවේදී ආමිස පූජාවන් සේම බුදුරදුන් වදාළ දහමට අනුව පිළිවෙතින් සරු ධර්මානුකූල ජීවිතයක් ගොඩ නගා ගැනීමට ද ලක්වැසි සැමදෙනාම උත්සාහ කළ යුතුව පවතී.

ත්‍රිවිධ රත්නයේ හා ශ්‍රීමත් දළඳා වහන්සේගේ ආශිර්වාදයෙන් මෙම උදාර ශාසනික කාර්යයන් සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරම්හ.


ලෝවැසි බොදුනුවන්ට අසිරිමත් අවස්ථාවක්

“2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය” සමස්ත ලෝකවාසී බෞද්ධ මහජනතාවට අසිරිමත් අවස්ථාවකි. ආමිස - ප්‍රතිපත්ති සංඛ්‍යාත පුණ්‍ය කර්මයන්හි නිරතව උභය ලෝකාර්ථ සංසිද්ධිය සලසා ගැනීම නුවණැ’ති සැදැහැවතුන්ගේ වගකීමයි.

මේ පිළිබඳව අවධානය යොමු කළ පාතහේවාහැට – තලාතුඔය – පින්නගොල්ල ශ්‍රී සද්ධර්මාරාම විහාරාධිපති ගරු කටයුතු හඟුරන්කෙත සද්ධානන්ද ස්ථවිරපාදයන් වහන්සේ සිය සභාපතීත්වයෙන් පවතින ‘පින්නගොල්ල නිකතැන්න ග්‍රාමසංවර්ධන’ සමිතියේ ද දායක පින්වතුන්ගේද සහභාගීත්වයෙන් ඉතා අර්ථවත් පින්කම් රාශියක් සංවිධානය කොට ක්‍රියාත්මක කරති.

කුළ දරුවකු සසුන්ගත කිරීම, මරණයට කැප වූ ගවයින් නිදහස් කර අඩු ආදායම් ලාභීන්ට ලබාදීම, අභාවප්‍රාප්ත දායක කාරක ඥාතිවරයින්ට පින් දීම, වෘද්ධාපචායනය, වන්දනමාන – ධර්ම ශ්‍රවණ මල් පහන් බෝධිපූජා ආදිය පැවැත්වීම සඳහා කටයුතු සංවිධානය කොට ඇත.

“පරත්‍ථං පටිපජ්ජථ” යන ධර්මාවවාද පිළිපදිමින් ගරු හගුරන්කෙත සද්ධානන්ද ස්ථවිරපාදයන් වහන්සේ නිරතුරු සිදුකරන ජාතික – ආගමික - සමාජීය හා සංස්කෘතික සේවාවන්හි තවත් වටිනා අවස්ථාවක් ලෙස ඉහත දැක් වූ පින්කම් මාලාව බෙහෙවින් අගය කළ හැකිය. මෙම සත් කාර්යයන් සඳහා සත්පුරුෂ සාධූන්ගේ සහය හා සහභාගීත්වය ලැබීම ඉතා මැනවි.

සැමට තෙරුවන් සරණයි!
සිරි දළදා සමිඳු පිහිටයි!


නොසැලෙන ශක්තියක්

1964 වර්ෂයේදී ගමන් ආරම්භ කරන ලද පින්නගොල්ල නිකතැන්න ග්‍රාම සංවර්ධන සමිතියේ පුරා වසර 47 ක සමාජ මෙහෙවර වෙනුවෙන් මධ්‍යම පළාත් ප්‍රධාන හා සංස්කෘතික අමාත්‍යවරයා වශයෙන් මාගේ උණුසුම් සුභාශිංසනය පිරිනමන්නේ හද පිරි සතුටිනි.

ජනතාවගේ හදවත් තුළ නොමැකෙන මතකයක් තැබූ නායකයෙකු වන දිවංගත ටී. බී. ඉලංගරත්න මැතිතුමාගේ පුරෝගාමී නායකත්වයෙන් ආරම්භ කරන ලද පින්නගොල්ල ජනපදය මගින් මෙම ග්‍රාම සංවර්ධන සමිතියේ ආරම්භයට අඩිතාලම වැටුණි. එමෙන්ම එහි අභිමානවත් ඉදිරි ගමනට අවවාද අනුශාසනා සපයමින් ශක්තියක් වූයේ ශ්‍රී සද්ධර්මාරාම විහාරාධිපති හඟුරන්කෙත සද්ධානන්ද හිමියන්ගේ දැඩි කැපවීම් හේතුවෙනි. පින්නගොල්ල නිකතැන්න ග්‍රාම සංවර්ධන සමිතිය 2008 / 2010 වර්ෂයේ මධ්‍යම පළාතේ හොඳම ග්‍රාම සංවර්ධන සමිතිය ලෙස “ ගැමි ශක්ති” සම්මානයෙන් පිදුම් ලැබීමෙන් ඒ බව ප්‍රත්‍යක්‍ෂ වේ.

උක්ත ග්‍රාම සංවර්ධන සමිතියේ අවුරුදු 47 ක අභිමානවත් සේවයට පූජ්‍ය හඟුරන්කෙත සද්ධානන්ද හිමියන්ගේ දැඩි කැපවීම මෙන්ම පාතහේවාහැට, තලාතුඔය ප්‍රදේශවාසීන්ගේ සක්‍රීය දායකත්වය ලබා දීම විශේෂයෙන් සඳහන් කළ යුතුය.

මැදරට අභිමානයේ නොමැකෙන සටහන් තැබූ පින්නගොල්ල නිකතැන්න ග්‍රාම සංවර්ධන සමිතියට නොසැලෙන ශක්තියක් වූ හඟුරන්කෙත සද්ධානන්ද ස්වාමීන් වහන්සේට තව තවත් ආගමික මෙන්ම සමාජ මෙහෙවරක් ඉටු කිරීමට නිදුක් නිරෝගී චිර ජීවනය ප්‍රාර්ථනා කරන අතර, පින්නගොල්ල නිකතැන්න ග්‍රාම සංවර්ධන සමිතියට ඉතිහාසයට යහපත් දෙයක්ම එක් කරමින් ඉදිරි ගමනක් යාමට ශක්තිය හා ධෛර්යය ප්‍රාර්ථනා කරමි.


සම්බුද්ධත්ව ජයන්ති මහෝත්සවයට සමගාමීව පින්කම් මාලාවක්

ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මහෝත්සවයට සමගාමීව තලාතුඔය පින්නගොල්ලේ ශ්‍රී සද්ධර්මාරාම විහාරස්ථානය කේන්ද්‍ර කොට ගෙන පැවැත්වෙන පින්කම් මාලාව තේමා කොටගෙන “බුදුසරණ” පුවත්පතේ පළ කෙරෙන විශේෂ අතිරේකය සඳහා පණිවිඩයක් ලබාදෙනුයේ දැඩි බුද්ධාලම්භන ප්‍රීතිය පෙරටු කොටගත් පහන් සිතිනි.

ගෞතම බුදුන් වහන්සේ බුද්ධත්වයට පත්වීම සමරණු වස් මෙවර වෙසක් උත්සවය ශ්‍රී සම්බුද්ධත්ව ජයන්ති මහෝත්සවය වශයෙන් දෙස් විදෙස් බෞද්ධ රටවල හඳුන්වා ඇත. මෙම කාල වකවානුව තුළ බොදුනුවන්ගේ සිත් සතන් වැඩි වැඩියෙන් බුදුදහම හා වත්පිළිවෙත් කෙරෙහි යොමු කරවීම මෙම මහෝත්සවයේ මූලික අරමුණකි. “පිළිවෙතින් පෙළගැසෙමු” යන තේමා පාඨය වටා බොදුනුවන් ගොනුකර බුදුදහම වඩ වඩාත් ප්‍රායෝගික කරණය වීම මෙම කාල වකවානුව තුළ සිදුවෙනු ඇතැයි අපි විශ්වාස කරන්නෙමු.

මෙයටම සමගාමීව තලාතුඔය ශ්‍රී සද්ධර්මාරාම විහාරස්ථානය මගින් පින්කම් රැසක්ම සිදු කෙරෙනු ඇත. කුලදරුවෙකු පැවිදි කරවීම, සංවර්ධන ව්‍යාපෘති රාශියක්ම විවෘත කිරීම, අපවත් වී වදාල බුටාවත්තේ ශ්‍රී රතනජෝති නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ මියගිය දායක කාරකාදීන්ට පින් අනුමෝදන් කරවීම – වයෝවෘද්ධ උපාසක උපාසිකා මහත්ම මහත්මීන්ට චිර ජීවනය ප්‍රාර්ථනා කිරීම, වැනි කරුණු කාරණා අරමුණු කොටගෙන දානමය පුණ්‍යකර්මයක් ද සහිතව මේ පින්කම් මාලාව සිදු කෙරෙනු ඇත.

ගමයි පන්සලයි එකට යා කිරීමේ බෞද්ධ පිළිවෙත හඟුරන්කෙත සද්ධානන්ද නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ඉතා සාර්ථකව ප්‍රායෝගික කරණය කර ඇති අතර, එය එම ස්ථානයේ හැම කටයුත්තකදීම බෙහෙවින් ප්‍රයෝජනවත් වන බව අප දන්නා කාරණයකි. මේ පින්කම් මාලාව ද ඒ සමගිදාමයේ උත්තරීතර ප්‍රතිඵලයකි.

දළදා සමිඳු සරණින් මෙම ආගමික උත්සව මාලාවේ සියලුම අරමුණු සහ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සඵල වේවායි මම ප්‍රාර්ථනා කරමි.ඔබ සැමට දළදා සමිඳු සරණයි.


ශාසනික හා සමාජයීය කාර්යභාරයක් ඉටු කැරේ

සෙංකඩගල, මහනුවර පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පින්නගොල්ල ග්‍රාමසේවා වසමේ පින්නගොල්ල ශ්‍රී සද්ධර්මාරාමයේ විහාරාධිපති හඟුරන්කෙත සද්ධානන්ද හිමියන් විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් විශාල ශාසනික හා සමාජයීය කාර්යභාරයක් ඉටු කරනු ලබයි. එය අනෙකුත් විහාරස්ථාන හා ගම්මාන වලට ද ආදර්ශයකි.

ස්වාමීන් වහන්සේ පාතහේවාහැට ශාසනාරක්‍ෂක මණ්ඩලයේ වසර 15 කට අධික කාලයක් ලේඛකාධිකාරි ලෙස කටයුතු කරමින් සුවිශාල සේවාවක් කොට්ඨාසය වෙනුවෙන් සිදු කොට ඇත.

මහනුවර දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී ලෙස වසර 03 ක පමණ කාලයක්ද සේවය කරමින් ප්‍රදේශයේ ආගමික මෙන්ම සාමාජික දියුණුවට විශාල සේවාවක් සළසන ලදී.

විහාරස්ථානය මුල් කර ගනිමින් ගම්වාසීන්ගේ අධ්‍යාත්මික ගුණ වගාව වර්ධනය කිරීම සමාජයේ සුබ සාධනය වෙනුවෙන් වැඩ සටහන් සංවිධානය කිරීම, තරුණ තරුණියන්ගේ වෘත්තීය අවශ්‍යතා හඳුනා ගනිමින් අත් යන්ත්‍ර, රෙදිපිළි නිෂ්පාදනය, වඩුවැඩ කර්මාන්තය වැනි නිපුණතා සංවර්ධන වැඩ සටහන් සංවිධානය කිරීම වෙනුවෙන් විහාරස්ථානය සම්පත් මධ්‍යස්ථානයක් ලෙස යොදා ගෙන ඇත.

ශ්‍රී රතනජෝති දහම් පාසල මඟින් දූ දරුවන්ගේ ධර්මාවබෝධය දියුණු කිරීම හැදියාවකින් යුතු පුරවැසියන් සමාජයට බිහි කිරීමටද උත්සාහ ගනී.

ජනතාවගේ පොදු ගැටලු වලදී ශාසනාලයෙන් යුතුව අදහස් සෘජුව ප්‍රකාශ කිරීමත්, අභියෝග වලට මුහුණ දී ඒවා ජය ගැනීමටත් විශේෂ හැකියාවක් ද උන්වහන්සේ වෙත පැවතීම අගය කළ යුත්තකි. සීලවන්ත නායක හාමුදුරුවන් වහන්සේ කෙනෙකු ලෙස ශාසනයේ දියුණුව සඳහා ගනු ලබන අප්‍රතිහත ධෛර්ය හා කැපවීමද ඉතා අගය කළ යුතු ය.

පාතහේවාහැට පින්නගොල්ල ශ්‍රී සද්ධර්මාරාමාධිපති හඟුරන්කෙත සද්ධානන්ද ස්වාමීන් වහන්සේට තව තවත් ආගමික, සමාජයීය වැඩසටහන් සංවිධානය කිරීමට අවශ්‍ය කරන ධෛර්ය හා ශක්තිය ශ්‍රී දළදා හාමුදුරුවන්ගේ ආශිර්වාදයෙන් ලැබේවායි ප්‍රාර්ථනා කරමි.


යුගයේ අවශ්‍යතාවක්

2600 ශ්‍රී සම්බුද්ධ ජයන්තිය වෙනුවෙන් ආගමික වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරීමේ උත්සවය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරනුයේ ඉමහත් සතුටින් යුතුවයි. කුල දරුවෙකු පැවිදි කිරීම, මරණයට කැප වූ ගවයින් නිදහස් කර අඩු ආදායම්ලාභීන්ට ලබාදීම සහ මධ්‍යම පළාත් කර්මාන්ත හා ග්‍රාම සංවර්ධන අමාත්‍යාංශය මඟින් සංවිධානය කරනු ලැබූ ගැමි ශක්ති කාර්ය සාධන තරගයෙන් ජයග්‍රහණය කර ලබාගත් ආධාරය උපයෝගී කරගෙන ඉදි කළ ව්‍යාපෘතිය විවෘත කිරීම ආදී වූ සමාජ සත්කාරයන් ඉටු කිරීම යුගයේ අවශතාවයක් සේ මම දකිමි.

මධ්‍යම පළාත් ග්‍රාම සංවර්ධන සමිති අතර කාර්යක්‍ෂම හා ඵලදායි ලෙස පළාතේ ජනතාවගේ සමාජ හා ආර්ථික සුබ සිද්ධිය වෙනුවෙන් පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පින්නගොල්ල නිකතැන්න ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපතිතුමන් වන හඟුරන්කෙත සද්ධානන්ද ස්වාමීන්වහන්සේ ක්‍රියාත්මක කරන ඉතා උතුම් සමාජ මෙහෙවරද මේ අවස්ථාවේ ඇගයීම වඩා සුදුසු බව මාගේ හැඟීමයි. මෙවන් සමාජ සත්කාරයන් විහාරස්ථානය මුල් කරගෙන තව තවත් වර්ධනය වනු දැකීම ශ්‍රී ලංකාවේ අනාගත අභිවෘද්ධිය අපේක්‍ෂා කරන බෞද්ධ ජනතාවගේ ප්‍රසාදයට ලක්වනු නොඅනුමානය.


දැඩි උත්සාහයක් ගනිති

පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පින්නගොල්ල ශ්‍රී සද්ධර්මාරාමාධිපති හඟුරන්කෙත සද්ධානන්ද ස්වාමීන් වහන්සේ විහාරස්ථානයේ උන්නතිය උදෙසා සුවිසල් මෙහෙවරක් කරති.

ස්වාමීන් වහන්සේ පාතහේවාහැට ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ පුරා වසර 15 කට අධික කාලයක් ලේඛකාධිකාරි ධූරය දරමින් අපමණ සේවයක් සිදු කළහ.

එසේම මහනුවර දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී ලෙස වසර 03 පමණ කාලයක් ද සේවය කළහ. ශ්‍රී රතන ජෝති දහම් පාසල මගින් දරු දැරියන්ගේ ධර්මාවබෝධය වර්ධනය කිරීමට දැඩි උත්සාහයක් ගන්නා හිමි නමකි.

පාතහේවාහැට තලාතුඔය පින්නගොල්ල ශ්‍රී සද්ධර්මාරාමාධිපති හඟුරන්කෙත සද්ධානන්ද ස්වාමීන් වහන්සේට තව තවත් ආගමික, සාමාජික වැඩසටහන් සංවිධානය කිරීමට අවශ්‍ය ධෛර්ය, ශක්තිය හා චිර ජීවනය ලැබේවායි මහනුවර මහ දිසාපති වශයෙන් ප්‍රාර්ථනය කරන්නේ හඳ පිිරි සතුටිනි.


ප්‍රදේශයේ ආගමික නවෝදයට මුල පිරීමක්

තලාතුඔය – පින්නගොල්ල ශ්‍රී සද්ධර්මාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් 2600 වන සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම පිණිස ක්‍රියාත්මක කරනු ලබන ආගමික වැඩසටහන් මාලාවට දායකවීමට ලැබීම ගැන මම සතුටුවෙමි.

හඟුරන්කෙත සද්ධානන්ද හිමිපාණන් වහන්සේ මම දීර්ඝ කාලීනව හඳුනාගත් දක්‍ෂ, සුපේෂල ශික්‍ෂාකාමී යතිවරයෙකි. ශ්‍රී සද්ධර්මාරාමය ආශි‍්‍රතව ක්‍රියාත්මක කරනු ලබන ප්‍රජා සංවර්ධන කටයුතු සඳහා විහාරාධිපති හිමියන් දක්වන උනන්දුව හා කැපකිරීම ප්‍රශංසනීය වේ. පූර්ව අද්දැකීම් මත මා දකිනුයේ මෙම වෙසක් සතිය ආගමික වැඩසටහන අතිශය සාර්ථක වන ක්‍රියාදාමයක් වන බවයි.

වර්ෂ දෙකක් මධ්‍යම පළාතේ හොඳම ග්‍රාම සංවර්ධන සමිතිය ලෙස සම්මාන ලබන ලද පින්නගොල්ල, නිකතැන්න ග්‍රාම සංවර්ධන සමිතියට නායකත්වය ලබා දෙන හඟුරන්කෙත සද්ධානන්ද හිමියන් 2600 වන සම්බුද්ධත්ව ජයන්තිය සැමරීම පිණිස ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙල ප්‍රදේශයේ ආගමික නවෝදයනට මුල පිරීමක් සේම සංස්කෘතික හා සාමාජික පිබිදීමකට මූලාරම්භයක් වන බව සඳහන් කරනු කැමැත්තෙමි. පින්නගොල්ල හා අවට සම්මාන අතර ශාසනික මෙහෙවරකට නව එකතුවක් ගොඩ නැඟෙන ඵලදායි වැඩ මාලාවක් විහාරස්ථ දායක සභාව හා තරුණ සංවිධාන කාන්තා සමිති හා දහම් පාසල් සිසු දරුවන්ගේ පූර්ණ සහභාගීත්වයෙන් සිදු කිරීමට ගත් මෙම උත්සාහයට මාගේ සුබාශිංසනයද පිරිනමන්නෙමි.


2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට පිළිවෙතින් පෙළ ගැසෙමු

ඓතිහාසික කන්ද උඩරට මහනුවර දිස්ත්‍රික්කයේ පාතහේවාහැට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පින්නගොල්ල ශ්‍රී සද්ධර්මාරාම විහාරස්ථානය ප්‍රදේශයේ බෞද්ධ ජනයාගේ ඉමහත් ගෞරවාදරයට පාත්‍ර වූ පුන්‍ය භූමියකි.

එහි වර්තමාන විහාරාධිපති හගුරන්කෙත සද්ධානන්ද ස්වාමීන් වහන්සේ ප්‍රදේශයේ බෞද්ධ පුනර්ජීවනය වෙනුවෙන් සුවිශේෂි ආගමික සමාජියීය සේවාවන් රැසක් පුරා වසර තිහකට අධික කාලයක සිට සිදු කරන යතිවරයාණන් වහන්සේ නමක් වශයෙන් වචනයේ පරිසමාර්ථයෙන්ම සිහිපත් කරනුයේ ඉමහත් ගෞරවයෙනි.

ඒ බව වඩාත් අර්ථවත් කරමින් 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය නිමිති කරගෙන සම්බුද්ධ සසුනේ චිර දියුණුව උදෙසා කුල දරුවෙකු සසුන්ගත කිරීම මරණයට කැපවූ ගවයන් කිහිප දෙනෙකුට අභය දානය ලබාදී නිදහස් කර හැරීම සහ සමාජ සංවර්ධනය වෙනුවෙන් ව්‍යාපෘති රැසක් ක්‍රියාවට නංවමින් මෙම 13 දින සිදුකරන පින්කම් මාලාව අතිශය ජන ප්‍රසාදයට ලක්ව ඇත. අප හිමිපාණන් වහන්සේ ශ්‍රී රත්නජෝති දහම් පාසල පින්නගොල්ල නිකතැන්න ග්‍රාම සංවර්ධන සමිතිය, විහාරස්ථ කාර්ය සාධන සමිතිය, තරුණ බෞද්ධ සමිතිය ආදි ස්වේච්ඡා සංවිධාන රැසක විවිධ තනතුරු හොබවමින් පාතහේවාහැට ප්‍රාදේශිය ශාසනාරාක්ෂක මංඩලය හා මහනුවර දිසා ශාසනාරක්ෂක මංඩලයේ ලේඛකාධිකාරිධුරය හොබවමින් ඉටුකල ශාසනික සේවය ද මෙහිදී ගෞරව පූර්වකව සිහිපත් කරන අතර ඒ තුළින් ලබාගත් පන්නරය හා අත්දැකීම් තුළින් 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන් පිළිවෙතින් පෙළගැසෙමු යන තේමා පාඨය අර්ථවත් කර ගැනීමට ගනු ලබන නොමසුරු උත්සාහය ශාසන ගෞරවයෙන් සිහිපත් කරමි.


කන්ද උඩරට පාතහේවාහැට ගම් දහයේ කෝරළයේ තලාතුඔය පින්නගොල්ල ශ්‍රී‍්‍ර සද්ධර්මාරාමය හා බූටාවත්ත පුරාණ විහාරය යන උභය මහා විහාරාධිපති මහනුවර දිසා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හා පාතහේවාහැට ශාසනාරක්ෂක බල මණ්ඩලයේ හිටපු ලේඛකාධිකාරි සාමවිනිසුරු හඟුරන්කෙත සද්ධානන්ද ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා පරිදි 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට සමගාමීව මෙම මස 13 දා විශේෂ පින්කම් මාලාවක් පින්නගොල්ල සද්ධර්මාරාමයේදී පැවැත්වේ.

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා බූටාවත්ත පුරාණ විහාරාධිපතිව වැඩ සිට අපවත්වී වදාළ බූටාවත්තේ ශ්‍රී රතනජෝති මහා ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් සසුන්ගත වූ හඟුරන්කෙත සද්ධානන්ද හිමියෝ 1978 මාර්තු 15 දා එවකට හේවාහැට පාර්ලිමේන්තු මන්ත්‍රීව සිටි දිවංගත අනුර ඩැනියෙන් තලතුඔය මහතාගේ පූර්ණ දායකත්වය ඇතිව පින්නගොල්ල ශ්‍රී සද්ධර්මාරාම විහාරස්ථානය කුඩා ආවාස කුටියක ස්වරූපයෙන් ආරම්භ කරන ලදී. දැනට සකල විහාරංගයන්ගෙන් පරිපූර්ණ දැකුම්කළු මනරම් පූන්‍ය භූමියක් බවට පත්වීම ප්‍රදේශවාසී මහා සඟරුවනගේත් පළාත්බඳ මැති ඇමැතිවරුන්ගේත් ප්‍රාදේශීය නිලදරුවන්ගේත් විහාරස්ථදායක සභාවේත් දහම් පාසල් ආචාර්ය මණ්ඩලය ප්‍රමුඛ සිසු දරු දැරියන්ගෙත්, විහාරස්ථදායක සභාවේත් හා සෙසු සමිති සමාගම්වලත් අමන්දානන්දනයට තුඩුදුන් විශිෂ්ඨ මෙහෙවරකි.

මෙම විහාරස්ථානය කේන්ද්‍රීය කරගෙන ආරම්භ කළ ශ්‍රී රතනජෝති දහම් පාසල පාතහේවාහැට ශාසනරක්ෂක බල මණ්ඩලය තුළ කැපීපෙනන දහම් පාසලකි.

විහාරස්ථානයකට අවශ්‍ය කරන විහාර අංග අතරින් දර්ශනීය විහාර මන්දිරයක් අලංකාර රණවිරු මහා සෑය නමින් චෛත්‍යයක්ද දෙමහල් මන්දිරය සමග ධර්මශාලාවක්ද වලාකුළු බැමි සහිත බෝධි ප්‍රකාරයක්ද පියගැට පෙළ සහිත ප්‍රකාර බැමිද සියලු පහසුකම් සහිත සංඝාරාමයක්ද ගන්ඨා කුළුණක්ද වාහල්කඩ සහිත පිවිසුම් දොරටුවක්ද ඉතා කෙටි කාලයක් තුළ සම්පූර්ණ කැරලීමට හඟුරන්කෙත සද්ධානන්ද හිමියෝ සමත් වූහ.

උන්වහන්සේ සිදුකරන ලෝත ශාසනික සේවාවන්ට අමතරව විශේෂයෙන්ම 2010 වර්ෂයේ මධ්‍යම පළාතේ ගැමි ශක්ති තරඟාවලියෙන් ප්‍රථම ස්ථානයෙන් ලබාගත් මුදල් තිළිණය නව විහාර මන්දිරය ප්‍රතිසංස්කරණ සඳහා වැය කිරීම සත්පුරුෂ ගුණාංගයකි.

ඊට අමතරව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ නව සංකල්පනාවක් යටතේ පැවැති එම තරගයෙන් රු. 70000 පමණ මුදලක් දිනා ගැනීමට එම විහාරස්ථානය අනුබද්ධිත ග්‍රාම සංවර්ධන සමිතිය සමත්වීම විශේෂ සිද්ධියකි. එය ග්‍රාම සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් පැවැත්විණි.

2600 සම්බුද්ධත්ව ජයන්තියට සමාගාමීව පැවැත්වෙන විශේෂ පින්කම් මාලාව යටතේ හඟුරන්කෙත අත්තනායක මුදියන්සේලාගේ ටිකිරි බණ්ඩා අත්තනායක තිලකරත්න මුදියන්සේලාගේ කුමුදුනි ශ්‍යාමා තිලකරත්න දම්පතින්ගේ කණිෂ්ඨ පුත්‍ර හඟුරන්කෙත දියතිලක මධ්‍ය මහා විද්‍යාලයේ 5 වැනි ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන අත්තනායක මුදියන්සේලාගේ සම්පත් ලක්ෂාන් අත්තනායක කුමරුවා හඟුරන්කෙත සද්ධානන්ද හිමියන්ගේ ආචාර්යත්වයෙන් මේ 13 දින උදේ 9 ට යෙදෙන ශුභ මොහොතකින් සසුන්ගතවීම, මහනුවර තලාතුඔය ප්‍රසිද්ධ නොතාරිස් ඩේවිඩ් අමරසිංහ මහතාගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් ප්‍රතිසංස්කරණ කළ නව බුද්ධ මන්දිරය, හේවිසි මණ්ඩපය නව සංඝාවාස ගොඩනැගිල්ල විවෘත කිරීම, මීට වසර 23 කට පෙර අපවත් වී වදාළ බූටාවත්තේ රතනජෝතිභිධාන මහා ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ගුණ සැමරීම හා පින්පෙත් අනුමෝදන් කැරවීම, මරණයට කැපවූ ගවයන් කීප දෙනෙකු වෙත අභයදානය දෙමින් අඩු ආදායම්ලාභී පවුල් සඳහා පරිත්‍යාග කිරීම්, විහාරස්ථානය ආරම්භය සිට මේ දක්වා දායකත්වය දක්වා මිය පරලොව ගිය සතර පේරුවේ දායකාරකාදින්ට පින්පෙත් අනුමෝදන් කැරවීම, විහාරාධිපති හඟුරන්කෙත සද්ධානන්ද හිමියන්ගේ පරලොව සැපත් දෙමාපියන් ඇතුලු සෙසු ඤාති වර්ගයාට පින් පැමිණවීම, රට ජාතිය වෙනුවෙන් සුවිශේෂ මෙහෙයක් සිදුකැර පරලොව සැපත් ත්‍රිවිධ හමුදාවේ සිවිල් ආරක්ෂක බලකායේ හා පොලිසියේ රණ විරුවන්ට පින් අනුමෝදන් කිරීම, ලංකාවාසී සියලු ජනතාවට වත්මන් ජනාධිපතිතුමාට රජයට සෙත් පැතීම, මෙම පින්කමේ විශේෂ අරමුණ බව හඟුරන්කෙත සද්ධානන්ද හිමියෝ පැවැසූහ.

සියලු දෙනාට සෙත් පතා පැවැත්වෙන ධර්ම දේශනා බෝධීපූජා සෙත්පිරිත් දේශනා සංඝික දානයම පින්කම් පැවැත්වීමට විහාරාධිපති හඟුරන්කෙත සද්ධානන්ද හිමියන් ප්‍රමුඛ විහාරස්ථ දායක සභාව කටයුතු යොදා ඇත.

වෙසක් පුර අටවක පොහොය

වෙසක් පුර අටවක පොහොය මැයි මස 10 වන දා අඟහාරුවාදා අපර භාග 02.46 ට ලබයි.
11 වන දා බදාදා අපර භාග 01.06 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම මැයි මස 10 වන දා අඟහරුවාදා ය.

මීළඟ පෝය
මැයි මස 17 වන දා අඟහරුවාදා ය.

 


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මැයි 10

Full Moonපසෙලාස්වක

මැයි 17

Second Quarterඅව අටවක

මැයි 24

New Moonඅමාවක

ජූනි 01


2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]