UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

හැටන් ශ්‍රී නිග්‍රෝධාරාම විහාරස්ථානය

හැටන් ශ්‍රී නිග්‍රෝධාරාම විහාරස්ථානය මධ්‍යම පළාතේ නුවරඑළිය දිස්ත්‍රික්කයේ අඹගමුව කෝරළයේ ගිනිගත්හේන ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට අයත් වේ.


නීග්‍රෝධාරාමයේ දර්ශනයක්

දිවංගත සර් හෙන්රි ස්ටීල් ඕල්කෝට් තුමාගේ බෞද්ධ පාසල් ඇරැඹීමේ ව්‍යාපෘතිය යටතේ වත්මන් විහාරස්ථානය පිහිටි භූමිය ආශි‍්‍රතව ප්‍රථමයෙන් ඉංගී‍්‍රසි බෞද්ධ විද්‍යාලයක් ආරම්භ කළේ ය. පසුව එයට හැටන් ශ්‍රීපාද විද්‍යාලය ලෙස නම් තැබීය.

ක්‍රි. වර්ෂ 1940 දී පමණ එම විද්‍යාලයට ගුරු පත්වීමක් ලබා පැමිණි බටුවන්ගල ජිනානන්ද හිමියෝ විදුහල ආශි‍්‍රතව කුඩා ආවාස කුටියක් තනා ගත්හ. නිග්‍රෝධාරාමය ආරම්භ වන්නේ එතැන් සිට ය. මේ අතරතුර ජිනානන්ද හිමියෝ දඹදිව වන්දනා චාරිකාවේ යෙදුන අවස්ථාවක අපවත් වූහ.

ඉන් අනතුරුව කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝ නායක ව වැඩ සිට අපවත් වී වදාළ මීගහතැන්නේ ශ්‍රී සුමන නා හිමියෝ විහාරාධිපති තනතුරට පත් වූහ. උන්වහන්සේගේ අනුශාසකත්වය හා ප්‍රමුඛත්වය යටතේ මෙම කුඩා විහාරස්ථානය නව මුහුණුවරකින් සංවර්ධන කිරීමේ ක්‍රියාදාමයකට මුල පිරී ය.

දමිල ජාතිකයන් බහුතරයක් වාසය කරන හැටන් නගර මධ්‍යයේ ඉදිවුණු මෙම විහාරස්ථානයේ සංවර්ධනය වීමේ අවස්ථාවත් සමඟ පන්සල - පාසල හා ඒකාබද්ධ වූ පුද බිම මතින් ඇති වූ බෞද්ධාගමික ප්‍රබෝධය ශීතල කඳුකරයට ඉමහත් ආශිර්වාදයක් විය.

ඉන් අනතුරුව නිග්‍රෝධාරාමයේ විහාරාධිපතිත්වයට පත්වූයේ දර්ශනපති මහගම විමල හිමියන් ය. වත්මනෙහි උන්වහන්සේ මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාගී‍්‍ර ධර්ම මහා සංඝ සභාවේ මධ්‍යම පළාතේ ප්‍රධාන සංඝ නායක තනතුරේ වගකීම් දරමින් කටයුතු කරති. උන්වහන්සේ හැටන් ශ්‍රීපාද නවෝද්‍යා මධ්‍ය මහා විද්‍යාලයේ හිටපු විදුහල්පති ය.


සමාධී බුද්ධ ප්‍රතිමා වහන්සේ

මහගම විමල හිමියන් විහාරාධිපතිත්වයට පත්වී වසර දහයක් පමණ ගත වී තිබේ. ඒ කාල පරිච්ඡේදය තුළ නිග්‍රෝධාරාම විහාරස්ථානය සකලාංගයන්ගෙන්ම පරිපූර්ණ වූ විහාරස්ථානයක් බවට පත්වී ඇත.


මහගම විමල නා හිමි

නව විහාර මන්දිරය, ඉදිකිරීම පැරැණි විහාර මන්දිරය අලුත්වැඩියා කිරීම, ජයශ්‍රී මහා බෝධි ශාකාවක් රෝපණය කර එයට රන් වැටක් සැකැසීම, අටළෝස්රියන් සමාධි බුද්ධ ප්‍රතිමාවක් දර්ශනීය අයුරෙන් නිර්මාණය කිරීම, දෙමහල් තරුණ බෞද්ධ සංගම් ශාලාවක් ඉදිකිරීම, ධර්ම ශාලාව, සංඝවාස ගොඩනැගීම ගන්ඨා කුළුණ, නව දාන ශාලාව, පියගැටපෙළ පිවිසුම් දොරටු දෙක අසල දර්ශනීය තොරණ, පුස්තකාල ගොඩනැගිලි විහාරස්ථාන වට පවුර ආදී වූ විහාරාංගයන්ගෙන් පරිපූර්ණ කිරීම උදෙසා විමල හිමියන් කර ඇති මෙහෙය විශිෂ්ට වෙයි.

ආරුමුගම් තොන්ඩමන් අමාත්‍යතුමා ද විහාර භූමියේ විෂ්ණු කතරගම, සමන්, ගණ, නාථ, හා පත්තිනි දෙවිවරුන් උදෙසා දේවාල 6 ක් ඉදිකරදී තිබෙන්නේ එතුමාගේ පෞද්ගලික ධනය වැය කරමිනි.

පෙර රජ දවස ඉන්දියානු සම්භවයක් සහිත තම බිසෝවරුන් ට වන්දනාමාන කිරීමට රජවරුන් විහාරස්ථානයන්ට සම්බන්ධව දේව ප්‍රතිමා, දේව මන්දිර ගොඩනැගුවා සේ පෙර සම්ප්‍රදාය සිහි ගන්වමින් බෞද්ධ හින්දු සම්බන්ධතාව සමගිය වෙනුවෙන් තොන්ඩමන් ඇමැතිතුමා කර ඇති මෙම පරිත්‍යාගශීලි මෙහෙය නිසා ප්‍රදේශයේ හින්දු භක්තිකයෝ ද විහාරස්ථානය හා ගෞරව බැතියෙන් සම්බන්ධතා පවත්වති.

ඇතුල්කෝට්ටේ ශ්‍රී‍්‍ර ලංකා නිපෝන් ආයතනය හා සංස්කෘතික කේන්ද්‍රය විහාරස්ථානය හා සම්බන්ධ වී ප්‍රදේශයේ දිළිඳු දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ ව්‍යාපෘතියක් වසර 24 ක පමණ කලක සිට ක්‍රියාත්මක කරයි.


බෝධීන් වහන්සේ

ශ්‍රීපාද වන්දනා චාරිකාවේ යෙදෙන දෙස් විදෙස් භික්ෂූන් වහන්සේ උදෙසා නේවාසික පහසුකම් දානය ආදියෙන්ද සංග්‍රහ කිරීමට නීගෝධාරාමයේ සංඝාරාම තුනක් ඉදිකර තිබේ. ගිහි බැතිමතුන්ටද මෙහි නේවාසික පහසුකම් සලසා තිබේ.

කිසිදු ලාභ අපේක්ෂාවකින් තොරව කෙරෙන මෙම සද් කාර්යයන් පැසසිය යුතු වෙයි. සිංහල - හින්දු සංස්කෘතිය හා බැඳුණු සිංහල අලුත් අවුරුද්ද සමරමින් වාර්ෂිකව හිසතෙල් ගෑමේ මංගල්‍ය විහාරස්ථානයේදී සිදු කෙරෙන්නේ උත්සවශ්‍රීයෙනි. විහාරස්ථානය ප්‍රධාන කරගනිමින් ගොඩනැගී ඇති මේ අනොන්‍ය සහබන්ධනය සාමකාමී පරිසරයකට ආශිර්වාදයක් වී තිබේ. මෙම සම්බන්ධතාවය නිසා බෞද්ධ හින්දු, මුස්ලිම් සියලු සහෝදර ජනතාවගේ එකමුතුව විහාරස්ථානයේ අභිවෘද්ධිය වෙනුවෙන් දායක වී තිබීම මහත් භාග්‍යයකි.

එළඹෙන 2600 සම්බුද්ධත්ව ජයන්ති පූජෝත්සවය මහත් වූ ගෞරවයෙන් අනුස්මරණය කිරීම උදෙසා මැයි 17 වැනි වෙසක් පුන් පොහොය දිනය පුරා පින්කම් මාලාවක් නීග්‍රෝධාරාමය ප්‍රධාන කර ගනිමින් පැවැත්වීමට විහාරාධිපතින් වහන්සේ කටයුතු සම්පාදනය කර තිබේ. එදිනට දෙදහස් හයසියයක් උවසු උවැසියන් මෙම විහාර භූමියේදී ශීල සමාදානයේ යෙදවීම විශේෂ වූ කටයුත්තකි. අවශ්‍යතාවය අනුව මින් බහුතරයකට අවශ්‍ය සිල් රෙදි ප්‍රදානය කැරේ. ගවයින්ට අභය දානය ලබාදීම නුවරඑළිය දිස්ත්‍රික්කයේ දහම් පාසල් සියල්ල සම්බන්ධකර ගනිමින් දහම් දැනුම තරග පැවැත්වීම ආදී සදහම් වැඩ සටහන් රාශියක් එදින විහාරස්ථානයේදී පැවැත්වෙයි. මෙම සියලු ශාසනික සමාජ සද්කාර්යයන් වෙනුවෙන් විහාරාධිපතින් වහන්සේට අවවාද අනුශාසනා දී උන්වහන්සේට මහත් ශක්තියක් සපයන විහාර ඝනයේ සංඝ පීතෘන් වහන්සේ නමක් වන කළුතර තොටමුනේ ප්‍රධාන සංඝ නායක දොඩම්ගොඩ ඉන්ද්‍රසාර නායක ස්වාමීන් වහන්සේ මෙන්ම විහාරවාසී ඕමත්තේ ධීරානන්ද, මෛත්‍රීගම කෝලිත ස්වාමීන් වහන්සේ ද දායක සභාවේ සභාපති සාම විනිසුරු ඩී.කේ. ඩබ්ලිව්. වීරතුංග මහතා ඇතුළු දහම් පාසල් සංවර්ධන සමිතිය යශෝධරා කුළඟන සමිතිය, සමන්පුර අවමංග්‍යාධාර සමිතිය ආදී වූ සමස්ථය මහත් ගෞරවයෙන් සිහිපත් කළ යුතු වෙයි.

ආගමික සංහිදියාව ජාතීන් අතර සහජීවනය මඟින් ගොඩනැගෙන, රටක සාමකාමී පිවිතුරු පරිසරයක් සෑදීමට සැදී පැහැදී සිටින නීග්‍රෝධාරාමය වැනි පුණ්‍ය භූමි රට දැය සමයට වාසනාවකි.

බක් අමාවක පෝය

බක් අමාවක පෝය මැයි මස 2 වනදා සඳුදා පූර්ව භාග 10. 24 ට ලබයි.
3 වන දා අඟහරුවාදා අපරභාග 12. 20 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 2 වන දා සඳුදාය.

මීළඟ පෝය
මැයි මස 10 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 02

First Quarterපුර අටවක

මැයි 10

Full Moonපසෙලාස්වක

මැයි 17

Second Quarterඅව අටවක

මැයි 24

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]