UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

දරුවනි, සිදුහත් බෝසත් චරිතයෙන් මේ ආදර්ශ ලබාගන්න

ක්‍රි.ව. 2011 මැයි 17 වැනිදාට හෙවත් බු.ව. 2555 වෙසක් මස 17 වැනිදාට ලෝකවාසී බෞද්ධ ජනතාවට උදාවන්නේ 2600 වැනි ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියයි. සම්බුද්ධත්ව ජයන්තිය යනු අප මහා බෝසතාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වී වසර 2600 ක් සපිරීමයි.

බුද්ධ වර්ෂ ගණනය කරන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පා ගත වූ වසර අනුවයි. ඒ අනුව 2011 මැයි 17 වැනි දිනට සපිරෙන්නේ බුද්ධ වර්ෂ 2555 යි. එයට, සිදුහත් බෝසතාණන් බුද්ධත්වයට පත්වූ දින පටන් පිරිනිවන් පා වදාළ කාලය හෙවත් ශ්‍රී සද්ධර්මය දේශනා කළා වූ වසර 45 එකතු කළවිට ශ්‍රී සම්බුද්ධත්ව වර්ෂ ලබාගත හැකිය. ඒ අනුව බු.ව. 2555 ට, බුදුපියාණන් ධර්මය දේශනා කළ වසර 45 එකතු කළ විට 2600 සම්බුද්ධත්ව වර්ෂය ලැබෙයි.

2600 සම්බුද්ධත්ව ජයන්තිය වෙනුවෙන්, විවිධ මාධ්‍ය ඔස්සේ බොහෝ පින්වත්හු “පිළිවෙතින් පෙළගැසෙන්නට” ඇරැයුම් කරති. බෞද්ධයන් වන අප පිළිවෙතින් පෙළ ගැසෙන්නේ කෙසේද? ඒ පිළිබඳ විවිධ ආකාරයට කරුණු මතුකර දැක්විය හැකිය. මෙම ලිපියෙන් ඉදිරිපත් කරන්නේ බෝසත් චරිතයෙන් ළමා හා තරුණ පරපුරට ගත හැකි ආදර්ශ කිහිපයකි. බෞද්ධයකු ලෙස හරවත් දැහැමි චරිතයක් ගොඩනඟා ගැනීමට ඒ ඔස්සේ ඔබ කටයුතු කිරීමට පුරුදු වන්නේ නම් ඔබ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියට පෙළ ගැසුණා වෙයි.

මිනිසාට සිය ජීවිතය විවිධ කඩඉම් ඔස්සේ වෙනස්කර ගත හැකිය. බෞද්ධයන් වන අපට 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තිය එවන් කඩඉම් අවස්ථාවකි. අප ළඟ ඇති අඩුපාඩු මඟහරවා ගැනීමට, නව සිතුවිලි හා අධිෂ්ඨාන ඇතිකර ගැනීමට, අලුත් ජීවිතයක් ආරම්භ කිරීමට මෙය වැදගත් අවස්ථාවකි.

සිදුහත් බෝසතාණෝ සිය අධිෂ්ඨානය ජය ගැනීමට නිතරම කැපවීමෙන් කටයුතු කළහ. ලොවට අග්‍රවීමට, ජ්‍යෙෂ්ඨ වීමට, ශ්‍රේෂ්ඨවීමට ජීවිතයේ විවිධ අවස්ථාවල, කාලවකවානුවල අත්පත් කරගත යුතු දක්‍ෂතා , කුසලතා, නිපුණතා අත්පත් කරගත යුතුය. ඒ සඳහා මනා කායික, මානසික ඒකාග්‍රතාවයක් අවශ්‍යය. එහෙයින් බෝසතාණන් වහන්සේ ළදරු අවධියේ පටන් නිරන්තරයෙන් මනැස ඒකාග්‍රතාවයට පත්කර ගැනීමට කැපවීමෙන් ක්‍රියාකර ඇත. පියා ඇතුළු පිරිස වප් මඟුල් උත්සවයට හෙවත් සී සෑමේ මංගල්‍යයට සහභාගි වන අතරේ හුදකලා වූ බෝසත් ළදරුවා භාවනා පිළිවෙත් පුරන්නට වූ බව සඳහන්වේ.

තබාගත් අධිෂ්ඨානයට අනුව ජයග්‍රහණය ලබා ගන්නට අවශ්‍ය කැප කිරීම් කිරිමට සිත, කය දෙකෙහි නිරෝගීතාව, සුවතාව අවශ්‍ය වේ. සිත සංවර වූ විට කයද සංවර වේ. සිත, කය දෙකම සංවර වූ විට ප්‍රඥාව , බුද්ධිය විකසිත වේ. ඒ විකසිත වූ ප්‍රඥාවෙන් හා බුද්ධියෙන් ගන්නා තීරණ නිවැරැදි වේ. කරන කටයුතු සාර්ථකව නිමකළ හැකිය. බාධක හමුවේ නොසැලී ඉදිරියට යෑමට මඟ පෙනේ. එහෙයින්, අධිෂ්ඨාන කළ අරමුණට ළඟාවිය හැකිය. වර්තමානයේ විවිධ මාර්ග ඔස්සේ සංකීර්ණත්වයට හා වෙහෙසට පත් වන්නා වූ ඔබේ සිත නිවා ගැනීමට සරල හෝ භාවනාවකට සිත පුහුණු කරගන්නට මේ ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියේදී අධිෂ්ඨාන කර ගත හැකිය. එමඟින් ඔබට කායික, මානසික සුවය ලැබී ඔබේ තීරණ, කටයුතු සාර්ථක කර ගත හැකිය.

බෝසතාණන් ළමා කාලයේ ශිල්ප හැදැරීය. රජ පවුලක උපත ලැබූ සිදුහත් කුමරු රට පාලනයට අවශ්‍ය දැනුම, කුසලතා හා ආකල්පද ගොඩනඟා ගැනීම කළ යුතු විය. එබැවින් කඩු ශිල්ප, දුනුශිල්ප ඇතුළු යුද ශිල්ප පමණක් නොව අනෙකුත් සියලු ශිල්ප සිදුහත් කුමරු උගත්තේය. ගුරුවරයාට කීකරුව, අවවාද අනුශාසනා මනාව පිළිපදිමින්, උගත් දෑ මතකයේ රඳවා ගනිමින්, අවශ්‍ය තැනදී එය භාවිතයට ගනිමින් කටයුතු කළ නිසා සිදුහත් බෝසත් කුමරු ගුරුවරයාගේත්, මවුපියන්ගේත් නොමද ප්‍රශංසාවට ලක්විය. ගෞරවයට පාත්‍ර විය.

ළමා, තරුණ ඔබටත් ශිල්ප හදාරන්නට කාලයක් ඇත. පාසලේ හා පිටතදී ගුරු උපදෙස් පිළිපදිමින් කීකරුව, උගන්නා කරුණු මනාව ධාරණය කර ගනිමින්, ඒවා නිවැරැදිව භාවිත කරමින් දැනුම, කුසලතා හා ආකල්ප මනාව ගොඩනඟාගතහොත් ඔබත් ගුරුවරුන්ගේ මවුපියන්ගේ ගමේ, සමාජයේ, රටේ ගරුබුහුමනට, ප්‍රශංසාවට පාත්‍රවන වැදගත් පුද්ගලයකු වනු ඇත.

බෝසතුනට ජීවිතයේ තෝරාගත හැකි මාර්ග දෙකක් තිබුණි. පිය උරුමයෙන් ලැබෙන රජකම භාර ගැනීම එකකි. අනෙක බුද්ධත්වය කරා යෑමය. මේ අවස්ථා දෙකෙන් බෝසතාණන් වහන්සේ තෝරා ගන්නේ, තම අධිෂ්ඨානයට අනුව යමින් බුද්ධත්වය කරා යෑමයි. එය දුෂ්කරයි. එහෙත් ඒ අභියෝගය භාරගෙන නිවැරැදි මඟ තමන්ම සොයා ගෙන ඉදිරියට යෑමට ගත් තීරණය ඔබටද ආදර්ශයට ගත හැකිය. අසීරු වුවද වඩා ඵලදායක ඉලක්කයක් තෝරා ගැනීමෙන් මිනිස් ජීවිතයට වඩාත් ඵලදායක අර්ථයන් ගෙන දිය හැකිය. යන මඟ බාධක ඇතිවිය හැකිය. අභියෝග එල්ල විය හැකිය. එහෙත් මනාව සකසා ගත් තරුණ ජවය හා සංවර කරගත් සිත, කය , එම දුෂ්කරතා ජය ගැනීමට සිදුහත් බෝසත් චරිතයට මනා පිටුබලයක් විය. ඉතාම නිවැරැදි මාර්ගය තෝරා ගනිමින් තම අධිෂ්ඨානය ජය ගැනීමට නොසැලී ඉදිරියට යෑමට බෝසත් චරිතය ආදර්ශ ගෙන හැර දක්වයි.

ඔබගේ ජීවිතයටද විවිධ මං මාවත් හමුවනු ඇත. රැකියාව තෝරා ගැනීමේදී, විවාහයේදී අභියෝග හමුවේ පලා නොගොස් වඩාත් ඵලදායි ලෙස අවශ්‍ය දේ උපරිමයෙන් ඉටුකර ගැනීමට ධෛර්ය උපදවා ගත යුතුය. නව්‍යතා අනුගමනය කරමින් සාර්ථකත්වය කරා යා හැකිය.

බෝසතාණන් වහන්සේ තරුණ වයසේදී මවුපියන්ට ඉතා කීකරු දරුවෙක් විය. මිනිසාගේ දෙවැනි උපත ලෙස හඳුන්වන විවාහය සඳහා සුදුසු සහකරුවකු, සහකාරියක තෝරා ගැනීමේදී එය තම ජීවිතය අර්ථවත් කරන්නක් විය යුතුය. සිදුහත් බෝසතුනට විවාහය සඳහා යසෝදරාවන් යෝජනා කළ අවස්ථාවේ ඔහු එම යෝජනාවට කැමැති විය. සම්ප්‍රදායානුකූලව, රාජ්‍ය පාලනය විෂයෙහි සිය දක්ෂතා ප්‍රදර්ශනය කිරීමටද නිහතමානීව එකඟ විය. සිය දක්‍ෂතා, නිපුණතා, මැනැවින් ප්‍රදර්ශනය කරමින් ඥාති පාර්ශ්වයන්ගේ අනුමැතිය ලබා යසෝදරාවන් දිනාගෙන විවාහයට අවස්ථාව උදාකරගත්තේය. එහිදී පියාගේ බලවත්කම හෝ තමාගේ බලවත්කම පිළිබඳ උද්දාමයෙන් කටයුතු කිරීමට බෝසතාණන් වහන්සේ නොපෙළඹුණහ.

තරුණ ඔබත් ඔබගේ ජීවිතයට ආශිර්වාදයක් වන අයුරින් විවාහය සිදුකර ගන්නට මෙය ආදර්ශයට ගන්නේ නම් වඩා යහපත් වනු ඇත. අවබෝධයෙන් තොරව, හැඟීම් හමුවේ හා ඉතා බොළඳ ක්‍රියාකාරකම් හමුවේ තම වටිනා ජීවිත අකාලයේ නිස්සාරත්වයට පත්කරගෙන, පසුතැවීමට ඉඩ තබා ගත යුතු නැත. ප්‍රඥාවෙන්, අවංකකමෙන්, නිහතමානිත්වයෙන් යුතුව කටයුතු කිරීමට පෙළඹෙන්නේ නම් ඔබේ විවාහ ජීවිතයද වාසනාවන්ත වනු ඇත.

බොහෝ තරුණ පිරිස් ශිල්ප හදාරන වයසේදී එයට වඩා අවධානය යොමු කරන්නේ සහකාරියක, සහකරුවකු තෝරාගෙන ඒ පිළිබඳ කල්පනා කරමින් කටයුතු කිරීමටය. එහෙයින් ජීවිතයේ ඒ ඒ කාල සීමාවන්හිදී කළ යුතු කාර්යයන් අතපසු කරගෙන, මහත් වියවුලට පත්වන්නන් බොහොමයකි. එබැවින් ජීවන මඟ යා යුත්තේ කෙසේද යන්නට බෝසත් චරිතයේ සිද්ධින් හොඳින් අධ්‍යයනය කිරීම ඔබට ඉතා වැදගත් වනු ඇත.

බෝසතාණන් වහන්සේට ‘ සිද්ධාර්ථ’ යන නාමය ලැබුණේ ‘ලොවට යහපතක් සිදුකරන’ යන අර්ථයෙනි. ළදරු කාලයේ සිටම බෝසත් චරිතය තුළින් මේ ගුණාංග හෙළිවෙයි. දේවදත්ත, කාළුදායි, ඡන්න සහ නන්ද වැනි කුමාරවරුන් සමඟ කෙළිදෙලෙන් කාලය ගත කරද්දි දෙව්දත් කුමරු මුවන් , හාවුන් වැනි සතුන් හිංසනයට ලක් කරමින් සතුන් ලුහුබැඳ යන විට එම හිංසන ක්‍රියා බෝසත් ළදරුවා ප්‍රතික්ෂේප කළේය.

තමා නිවැරැදි යැයි හඟින දේ, දකින දේ නිර්භයව අනුගමනය කිරීමට, ප්‍රකාශ කිරීමට තරම් ධෛර්යයක් බෝසත් ළදරුවාට විය. කුඩා කල සිටම ඒ නිවැරැදි දැක්ම නිවැරදි තීන්දු ගැනීම සිදුහත් චරිතයෙහි අපට දක්නට ලැබෙයි.

ඔබත් තම මිතුරු මිතුරියන් සමඟ කටයුතු කරන විට තම නිවැරැදි දැක්ම, නිවැරැදි ආකල්ප අනුන් සතුටු කිරීමට පාවා නොදී ශක්තිමත්ව, ධෛර්යමත්ව තමාගේ, වැඩිහිටියන්ගේ, සංස්කෘතියේ හා සදාචාරයේ පැවැත්ම ආරක්‍ෂා කරමින් කටයුතු කිරීමට කල්පනාකාරිවීම වටින්නේය. අද තරුණ දරුවන්ගේ භාෂා ව්‍යවහාරයන්හි, ඇඳුම් පැළැඳුම්වල, හැසිරීම් රටාවල පවත්නා ස්වභාව විමසනවිට ඔවුන් තමන්ටවත් ගරුත්වයක් තබා ගන්නේද යන්න ප්‍රශ්නයකි. තමා තමාට ගරු කර නොගන්නේ නම් ඔහු අනෙකකුට ගරු නොකරන්නා සේම අනෙක් අය ඔහුටද ගරු නොකරන්නේය. මේවා හොඳීන් තේරුම් ගෙන, බෝසත් චරිතය ආදර්ශයට ගෙන වැදගත්, උසස්, සමාජය පිළිගත්, සියලු දෙනාගේ් ආදර ගෞරවයට හා ප්‍රශංසාවට ලක්වන චරිතයක් ගොඩනගා ගැනීමට 2600 ශ්‍රී සම්බුද්ධත්ව ජයන්තියේදී අධිෂ්ඨාන කර ගන්නේ නම් මැනැවි. එවැනි උත්සාහයක් දරන සියලු ළමා, තරුණ දූ දරුවන්ට අප තිලෝගුරු අමා මෑණි බුදුපියාණන් වහන්සේගේ නව අරහාදී බුදුගුණ සත්‍යානුභාවයෙන් ආශිර්වාද ලැබේවා!

බක් අමාවක පෝය

බක් අමාවක පෝය මැයි මස 2 වනදා සඳුදා පූර්ව භාග 10. 24 ට ලබයි.
3 වන දා අඟහරුවාදා අපරභාග 12. 20 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මැයි මස 2 වන දා සඳුදාය.

මීළඟ පෝය
මැයි මස 10 වන දා අඟහරුවාදා ය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

මැයි 02

First Quarterපුර අටවක

මැයි 10

Full Moonපසෙලාස්වක

මැයි 17

Second Quarterඅව අටවක

මැයි 24

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]