UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

දයාබර දරුවනි, සීලයේ අගය තේරුම් ගන්න

පින්වත් දරුවෙනි. අන් සතුදේ සොර සිතින් ගැනීමෙන් වැළකීමද මේ හා සමානව පරහිතකාමි ආකල්පයකි. කුඩා අවධියේ පටන් මාගේ දයාබර හික්‍ෂාකාමි දරු කැල පිරිසුදු චරිතයක් ගොඩනගා ගැන්මට අතිශයින්ම පරික්‍ෂාකාරී විය යුතුයි. මෙමගින් තමාට මෙන්ම, අනෙකාට ද මුළු මහත් සමාජයට ද සෙතක් වේ. ශාන්තියක් වේ. පවට ලජ්ජා භය ඇතිකර ගැන්ම, චරිත පාරිශුද්ධියට මග පෙන්වන්නකි.

මගේ දයාබර පින්වත් දරුවනි, දිනක් එක් දේවතාවෙක් ඔබගේ මහා කාරුණික, අමාමෑණි, තුන් ලෝකාග්‍ර, ශාන්තිනායක ලොව්තුරා සම්මා සම්බුදු රාජෝත්මයාණන් වහන්සේ හමුවට පැමිණ , එකත්පස්ව සිට මෙවැනි ප්‍රශ්නයක් විචාළේය. “භවත් ගෞතමයන් වහන්ස, මහලුවිය දක්වා කෙනෙකුගේ යහපත උදෙසා පවත්නේ කුමක්ද?

“දිව්‍ය පුත්‍රය, මහලු විය දක්වා ශීලයම කෙනෙකුගේ යහපත පිණිස පවත්නේය යනු බුදුපියාණන් වහන්සේ දිව්‍ය පුත්‍රයාට දුන් පිළිතුර විය.

පින්වත් දරුවෙනි, මෙසේ, මහලු විය දක්වා ශීලය කෙනෙකුගේ යහපත පිණිස පවත්නේ්යැයි අපගේ ශාන්තිනායක සම්මා සම්බුද්ධොත්මයාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ කුමක් නිසාද? ලොව පවත්නා සෑම දෙයක්ම කලින් කලට කාලානුරූපව, දේශානුරූපව මිනිස් සිතුවිලිවලට අනුරූපව, වයස් සීමාවන්ට අනුරූපව වෙනස් වේ. මාගේ භාග්‍යවත් ළමා ළපටීන්ද දන්නා පරිදි, ළදරුවා ගන්නා ආහාරය තරුණයෙකුට ද, තරුණයා ගන්නා ආහාරය මහලු වියේ පසුවන කෙනෙකුට ද සුදුසු නොවේ. එමෙන්ම ඇඳුම් සම්බන්ධයෙන් ද, කථා විලාසය, ගමන් ගන්නා ආකාරය, යනාදිය ද තත්ත්වය එසේමය. එහෙත් දයාබර දරුවෙනි, හැම කලට හා හැම අවධියටම ශීලය එකසේ වැදගත් වේ. එබැවින් ඔබගේ මහා කාරුණික ශාස්තෘවරයාණන් වහන්සේ, මහලු විය දක්වා ශීලය උචිතවේ යැයි එම දේවතාවාට මහා කරුණාවෙන් පෙන්වා වදාරා ඇත.

පින්වත් දරුවෙනි, මහානාම ශාක්‍ය පුත්‍රයාගේ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන්, අපගේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාරා ඇත්තේ, තිසරණ සරණ යෑමෙන් බුදු සසුනේ උපාසක යන ගරු නාමය ලබන තැනැත්තා සිල්වත් වීමෙන්ම මහා උපාසකයෙකු වන බවයි.

බෝසත් ළමා ළපටියනි, කෙනකු සිල්වත්වීමට නම් අඩු ගණනේ පංච ශීලයෙහි පිහිටා සිටිය යුතු වේ. සත්ව හිංසාවෙන, සොරකමින්, කාම මිථ්‍යාචාරයෙන් බොරු කීමෙන් හා සිහිල් විකල් කරන මත්ද්‍රව්‍යවලින්ද වැළකීම යනු පංච ශීලයෙහි පිහිටා සිටීමයි. පන්සිල් ආරක්‍ෂා කිරීමයි. බොරු කීම හැරුණු විට පරුෂ වචනයෙන් කේලාම් කීමෙන් හා හිස් වචන කථා කිරීමෙන් වැළැකීම මගින් කුඩා ඔබට වචනයෙන් සංවර විය හැක. සීලය යනු හික්මීම හෙවත් සංවරවීමයි. වචනයෙන් සංවරවීම වාචසික ශීලයෙහි පිහිටා සිටීම වේ. දයාබර දරුවෙනි, මෙසේ කයින් හා වචනයෙන් සංවරවීම ඔබ ගත කරන දැහැමි ජීවිතය ඉදිරියේ සීලානුස්සති භාවනාව වැඩීමට උපයෝගි කරගත හැකිය. සෑම සුගන්ධයක්ම අබිබවා ශීල සුගන්ධයම දස දිසා වෙහිම පැතිර යන බව මාගේ පින්වත් දරුවන් අසා කියවා තිබෙනවා නේද? අපගේ පූජනීය ග්‍රන්ථ රත්නයක් වන ධම්මපදයෙහි සඳහන් වන

“චන්දනං නගරං වාපි
උප්පලං අථ වස්සති
එතෙසා ගන්ධ ජාතානං
සීල ගෙන්‍ධා අනුත්තරො”

යනු බුදු මුවින් ප්‍රකාශිත අනර්ඝතම දේශනයකි.

මාගේ භාග්‍යවත් බෝසත් ළමයිනි, කයින් හා වචනයෙන් සිල්වත් වූ සංවරවූ තැනැත්තා කෙරෙන් නිතරම ප්‍රකට වන්නේ කරුණාව හා මෛත්‍රියයි.අවිහිංසාව ඇති තැන කරුණා, මෛත්‍රි ගුණ පෙරදැරිව පවතී. පස්පවින් වළකින තැනැත්තා තම ඇසුරට පැමිණෙන මිතුරාට සැනසුමක් ලබාදෙයි. සෙතක්ම සලසයි. කරුණා පෙරදැරිව ඔහු රැක බලා ගනියි.මේ වනාහි සත්පුරුෂයාගේ කලණ මිතුරාගේ ගති ලක්‍ෂණ වේ. මේ වනාහි කල්‍යාණ මිත්‍රයෙකු හඳුනාගත හැකි මිනුම් දණ්ඩයි.

සැදැහැවත් ළමා ළපටියනි, ඔබගේ ශාන්තිනායක මහා කාරුණික තුන්ලෝකාග්‍ර වූ ලොවුතුරා බුදු අමාමෑණියන් වහන්සේ මහා කරුණාවෙන් , මහා ප්‍රඥාවෙන්, මහා අනුකම්පාවෙන් යුතුව අප සැම වෙනුවෙන් දේශනා කොට වදාරා ඇත්තේ

’ සබ්බේ තසන්ති දණ්ඩස්ස
සබ්බෙ සං ජීවිතං පියං
අත්තානං උපමං කත්වා
න හනෙය්‍ය නඝාතයෙ”

සෑම සත්ත්වයෝම දඬුවමට බියවෙත්, මේ සැමටම ජීවිතය පි‍්‍රයය. මෙසේ තමන් හා උපමාකොට හිංසාවෙන් වැළකීම වටනේය.

පින්වත් දරුවෙනි. අන් සතුදේ සොර සිතින් ගැනීමෙන් වැළකීමද මේ හා සමානව පරහිතකාමි ආකල්පයකි. කුඩා අවධියේ පටන් මාගේ දයාබර හික්‍ෂාකාමි දරු කැල පිරිසිදු චරිතයක් ගොඩනගා ගැන්මට අතිශයින්ම පරික්‍ෂාකාරී විය යුතුයි. මෙමගින් තමාට මෙන්ම, අනෙකාට ද මුළු මහත් සමාජයට ද සෙතක් වේ. ශාන්තියක් වේ. පවට ලජ්ජා භය ඇතිකර ගැන්ම, චරිත පාරිශුද්ධියට මග පෙන්වන්නකි.

එමෙන්ම ශාරිරික මානසික නිරෝගී බව වගා වර්ධනය කරන්නකි මනා සිහි බුද්ධියට බාධා කරන්නා වූ මත්ද්‍රව්‍ය පරිහරණය කෙනෙකුගේ කායික මානසික පිරිහීමට මග පාදයි.

මෙසේ, කයින්, හා වචනයෙන් සංවරවීමට උත්සාහ කිරීම මාගේ සත්පුරුෂ, ගුණගරුක කුඩා දරුවනට අතිශය වැදගත් වේ. මුසාවෙන්, චාටු බසින්, අනෙකා රැවටීමට යොමුවන තැනැත්තා මුලින්ම රවටාගන්නේ තමාමය. අපිරිසිදු සිතින් ගලා එන වචනය මුසාවාදයක්ම වේ. ඵරුස වචනයක්ම වේ. කේලම බසක්ම වේ. හිස් වදනක්ම වේ. පහන් සිත ශ්‍රද්ධා සම්පන්න සිත මුල් කරගෙන, මනසිකාරය පිහිටුවා ගලා එන වදන් මටසිලිටු වේ. කර්ණ රසායන වේ. සමගිය වඩන සුලුවේ. අර්ථවත් වේ. සත්‍යයම වේ. මෙසේ කාය සංවරය හා වචී සංවරය මගින් ලැබෙනුයේ සැපයක්ම වේ.

‘මනසා චෙ පසන්නෙන
භාසතිවා කරොතිවා
තතො නං සුඛ මත්වෙති
ඡායාව අතපායිනී’

දයාබර දරුවෙනි. ඔබ සැමදෙන කය වචන, දෙක සංවර කර ගනිමින්, ශීලයෙන් පරිපූර්ණ වී මෙවන් සීල සුගන්ධයෙන් ජීවිතය ප්‍රබෝධමත් කරගනිමින් ප්‍රඥාව නමැති ආලෝකය කරා ගමන් කිරීමට උත්සුක වන්න. එම වටිනා අරමුණ සාක්ෂාත්කර ගැනීම සඳහා මාගේ ශ්‍රද්ධා සම්පන්න පින්වත් දරු කැලට සම්මා සම්බුදු සරණයි!

 

මැදින් පුර පසළොස්වක පෝය

මැදින් පුර පසළොස්වක පෝය මාර්තු 19 වන දා සෙනසුරාදා පූර්ව භාග 03.37 ට ලබයි.
එදිනම අපරභාග 11.41 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම
මාර්තු 19 වන දා සෙනසුරාදාය.

මීළඟ පෝය
මාර්තු 26 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

මාර්තු 19

Second Quarterඅව අටවක

මාර්තු 26

New Moonඅමාවක

අප්‍රේල් 02

First Quarterපුර අටවක

අප්‍රේල් 11

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]