UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

2600 සම්බුද්ධත්ව ජයන්තිය ප්‍රතිපත්තියෙන් සමරමු

2600 සම්බුද්ධත්ව ජයන්ති වසර පුරාත් එතැන් සිට ඉදිරියටත් ක්‍රියාත්මක කළයුතු, කළ හැකි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින් සම්බුද්ධ ජයන්තිය අර්ථවත් කිරීමට අදිටන් කර ගනිමු.

බු.ව. 2555 දී උදාවන වෙසක් පුර පසළොස්වක පොහොය දින (සම්මත වර්ෂ 2011 ට යෙදී ඇති වෙසක් පෝ දින) ආරම්භ වන බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වයෙන් 2600 වැනි වසරේ දී (දැනට බු.ව. යනුවෙන් භාවිත වන්නේ බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුව ගණනය කිරීමෙනි) අප විසින් සිදු කළ යුත්තේ කුමන ආකාරයක ආගමික කාර්යයන් ද යන්න දැනට සාකච්ඡා වෙමින් පවතී. මේ විශේෂ වැඩ සටහනක් ලෙස සලකා එතැන් සිට ප්‍රතිපත්තිමය වශයෙන් ක්‍රියාදාමයක් සිදු කිරීම 2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් අපේක්‍ෂා කරයි.

2600 සම්බුද්ධත්ව ජයන්තිය මහ ඉහළින් සැමරීමට රාජ්‍ය මට්ටමින් දැනට දැවැන්ත වැඩ පිළිවෙළක් අරඹා ඇත. 2600 වසර සම්බුද්ධත්ව ජයන්ති වසර ලෙස දැනටම ප්‍රකාශයට පත් කොට ඇති අතර වෙසක් පුර පසළොස්වක පෝය දිනට පමණක් ක්‍රියාත්මක වන වැඩ සටහනකින් නොනැවතී මුළු වසර පුරාම ක්‍රියාත්මක කරනු ලබන අඛණ්ඩ වැඩ සටහනක් ක්‍රියාත්මක කිරීමට බුද්ධ ශාසන හා ආගමික කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධිතව ස්ථාපිත කර ඇති සම්බුද්ධ ජයන්ති ජනාධිපති මෙහෙයුම් කමිටුව මගින් දැනටම විසි වැදෑරුම්, වැඩ සැලැස්මක් සූදානම් කර ඇත. ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක අති පූජ්‍ය නියංගොඩ විජිතසිරි අනු නායක ස්වාමීන් වහන්සේගේ සභාපතිත්වයෙන් පත්කර ඇති මෙම කමිටුවේ සමාජික සංඛ්‍යාව 26 කි. මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අනුනායක නියංගොඩ විජිතසිරි අනු නා හිමියන්ගේ සභාපතිත්වයෙන් යුතු එම කමිටුව මෙසේ ය.

ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ සභාපති අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස අනු නා හිමි, කරගොඩ උයන්ගොඩ මෛත්‍රීමූර්ති මහ නා හිමි, විද්‍යාලංකාර පරිවේණාධිපති ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නා හිමි, අකුරැටියේ නන්ද හිමි, මල්වතු මහා විහාර පාර්ශ්වයේ ප්‍රධාන ලේඛකාධිකාරී වල්ගොව්වාගොඩ ශ්‍රී විමල බුද්ධි නාහිමියන් වෙනුවෙන් නියෝජ්‍ය ලේඛකාධිකාරී පහමුණේ සුමංගල නා හිමි, අස්ගිරි මහා විහාරපාර්ශ්වයේ ලේඛකාධිකාරී ආනමඩුවේ ධම්මදස්සි හිමි, ආචාර්ය බ්‍රාහ්මණවත්තේ සීවලී නා හිමි, මහාචාර්ය වරාගොඩ පේමරතන නාහිමි, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමි, දිවියාගහ යසස්සි නා හිමි, තිරිකුණාමලයේ ආනන්ද අනු නා හිමි, පල්ලේගම හේමරතන නා හිමි, ගෝතදූවේ ගුණානන්ද නා හිමි, මැදගම ධම්මානන්ද නා හිමි, ආචාර්ය ඕමල්පේ සෝභිත හිමි, නැදගමුවේ විජය මෛත්‍රී හිමියන් සහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අගලකඩ සිරිසුමන හිමියන් වේ.

ස්වාමීන් වහන්සේලා 18 නමකගෙන් හා ගිහි සාමාජිකයන් 08 දෙනෙකුගෙන් එම කමිටුව සමන්විත වෙයි. 2600 සම්බුද්ධත්ව ජයන්තිය නිමිත්තෙන් සිදු කළ යුතු කාර්යයන් පිළිබඳව දිවයිනේ සියලුම ශාසනාරක්‍ෂක බල මණ්ඩල, විහාරස්ථාන, රාජ්‍ය ආයතන ආදී තැන් දැනටම දැනුවත් කර ඇති අතර ඒ ඒ ප්‍රදේශවලට උචිත ලෙස වැඩසටහන් සංවිධානය කිරීමේ නිදහස හිමිවේ. සම්බුද්ධ ජයන්ති වැඩසටහන කොහිදී සිදු වූවද විහාරස්ථානය කේන්ද්‍රිය මධ්‍යස්ථානය වෙයි. එබැවින් හැම විහාරස්ථානයකටම අති මහත් වගකීමක් පැවරෙයි. රාජ්‍ය ආයතන ගත වැඩසටහන් සැකසීමේදීත් ස්වාමීන් වහන්සේලාගේ අනුග්‍රහය අත්‍යවශ්‍ය වෙයි.

මෙම වැඩසටහන්වල ප්‍රධාන අරමුණ විය යුත්තේ නිර්මල බුද්ධ ධර්මය කෙරෙහි බෞද්ධ ජනතාව වඩාත් නැඹුරු කිරීමයි. අද බෞද්ධ ජනතාව පන්සලට ළඟා කර ගැනීම සඳහා මහත් පරිශ්‍රමයක් දැරිය යුතු බව කිව යුතු ය. පොහොය දිනයට වත් ඇතැම් බොදුනුවන් විහාරස්ථානයට නොයන තත්ත්වයක් උදා වී ඇති සමයෙක බෞද්ධ ජනතාව දහමට නැඹුරු කිරීම උඩුගං යෑමක් විය හැකි ය. එහෙත් ලබා ඇති මිනිසත් බවින් උපරිම ඵල ලැබීමට සම්බුද්ධ ජයන්ති වැඩසටහන උපයෝගි කර ගැනීම ඉතාම කාලෝචිත වනු ඇත. සෑම පෝය දිනකම ශීල සමාදාන වැඩසටහන් සංවිධානය කිරීම, විශේෂ ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා ආදී අඛණ්ඩ වැඩසටහන් මාලාවක් වසර පුරාම ක්‍රියාත්මක කිරීමට සෑම විහාරස්ථානයකම සැලසුම් කිරීම සුදුසු වනු ඇත. විහාරස්ථානවලත් සම්බුද්ධජයන්ති කමිටු පිහිටුවා ඒ මගින් මේ කාර්යය කළ හැකි ය. ගමේ ඇති ස්වේච්ඡා සමිතිවලද සහයෝගය ලබමින් වැඩ සැලසුම් සකස් කිරීම වඩාත් ඵලදායි වේ.

ශාසනාරක්‍ෂක බලමණ්ඩලයේ ද සම්බුද්ධ ජයන්ති කමිටුවක් පිහිටුවා වසර පුරා ක්‍රියාත්මක කළ හැකි වැඩසටහනක් සකස් කළ හැකි ය. සම්බුද්ධත්ව ජයන්තිය උදාවන වෙසක් පුර පසළොස්වක පෝ දිනයේ දී සියලුම දහම් පාසල් සිසුන් සහභාගි කර ගනිමින් ශීල සමාදාන වැඩසටහනක් පැවැත්වීමටත්, එය වෙනත් පෝය දිනවලටත් ව්‍යාප්ත කිරීම සුදුසු ය. ඊට අමතරව දහම් පාසල් සිසුන් සහභාගි කර ගනිමින් ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, දහම් දැනුම තරග සංවිධානය කළ හැකි ය.

එක් මධ්‍යස්ථානයකදී හෝ මධ්‍යස්ථාන කීපයකදී බුදු සිරිතේ විශේෂ අවස්ථා සහ ශාසනික ඉතිහාසයේ විශේෂ අවස්ථා සිතුවමට නගා බොදු චිත්‍ර හා නිර්මාණ ප්‍රදර්ශන සංවිධානය කිරීම, ධර්ම පාඨ හා බොදු සිතුවම් ප්‍රදර්ශනය කරමින් කෙරෙන දහම් පාසල් සිසුන්ගේ පෙරහර සංවිධානය, සාරධර්ම පාඨ රැගත් සාර ධර්ම පෙරහර සංවිධානය කිරීම මගින් ජනතාව වඩාත් දහමට ළං කළ හැකි බව අදහස් කරමි. මේ සඳහා දිනපතා පාසල් සිසුන් ද සහභාගි කර ගත හැකි ය.

සම්බුද්ධ ජයන්ති විසි වැදෑරුම් වැඩ සටහනට ද ඇතුළත්ව ඇති පරිදි දහම් පාසල් සංවර්ධනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කිරීම ඉතා අගය කළ යුතු ය. දහම්පාසල් ගුරුවරුන් සඳහා වැඩමුළු පැවැත්වීම තුළින් ඔවුන්ගේ දහම් දැනුම වැඩි කිරීමටත්, දහම් අධ්‍යාපනයට අවශ්‍ය මඟ පෙන්වීමටත් හැකි වේ. දිනපතා පාසලේ ඒ ඒ ශ්‍රේණියට නියමිත බුදු දහම පෙළපොත හා දහම්පාසල් ශ්‍රේණි පෙළ පොත දහම් කරුණු අතින් යම්කිසි සම්බන්ධතාවයක් තිබීම අත්‍යවශ්‍ය වෙයි. දහම් පාසල් අධීක්‍ෂණය කිරීම සඳහා ශාසනාරක්‍ෂක බලමණ්ඩලය තුළින් ස්වේච්ඡාවෙන් කටයුතු කිරීමට කැමති පළපුරුදුතාවයක් ඇති අයගෙන් සමන්විත (විශ්‍රාමික අධ්‍යාපන නිලධාරීන්, විදුහල්පතිවරුන් වැනි) අධීක්‍ෂණ මණ්ඩලයක් පත් කිරීමද සුදුසු ක්‍රියාමාර්ගයකි.

ඒ සමගම දහම් පාසල් අධ්‍යාපනයේ වැදගත්කම පිළිබඳව දෙමාපියන්ගේ විශේෂ අවධානය යොමු කිරීම ද අත්‍යවශ්‍ය කරුණකි. උගත් දරුවෙකු මෙන්ම ගුණවත් දරුවෙකු බිහි කිරීමේ වැදගත්කම දෙමාපියන්ට අවධාරණය කළ යුතු ය. යටත්පිරිසෙයින් ඉරිදා උදේ වරුවවත් පෞද්ගලික පන්ති පැවැත්වීම නතර කිරීම කෙරෙහි පෞද්ගලික පන්ති පවත්වන ගුරුවරුන්ගේ අවධානය යොමු කරවිය යුතු ය. ඉරිදා පමණක් නොව පෝය දිනය ද එසේ පන්ති පැවැත්වීම සුදුසු නොවේ.

රජය මගින් දැනට ක්‍රියාත්මක කරන ‘මතට තිත’ වැඩසටහනට සමගාමීව ප්‍රාදේශීය මට්ටමින් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ද කාලෝචිත වැඩපිළිවෙළකි. ප්‍රාදේශීය මට්ටමින් අමද්‍යප සමිති පිහිටුවා ඒ මගින් වැඩසටහන් සංවිධානය කිරීම ද අත්‍යවශ්‍ය වේ. පාසල් සිසුන් ද සම්බන්ධ කර ගනිමින් මත්ද්‍රව්‍ය භාවිත කිරීමේ ආදීනව පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම කාලෝචිත වැඩසටහනකි. පාසල් අවට මත් වතුර අලෙවිසැල් පැවැත්වීමට කිසිසේත් ඉඩ දිය යුතු නොවේ.

දහම් පාසල් දරුවන් හා පාසල් සිසුන් සම්බන්ධ කර ගනිමින් සාරධර්ම වැඩසටහන් ක්‍රියාත්මක කළ යුතු ය. මාපිය ගුණ සම්භාවනා වැඩසටහන්, ගුරු උපහාර වැඩසටහන් සංවිධානය කොට දරුවන්ට අපේ උතුම් සාරධර්ම පිළිබඳ අවබෝධයක් ලබා දිය යුතු ය. මේ වැඩසටහන් පාසල් මට්ටමින්, දහම් පාසල් මට්ටමින් හෝ කොට්ඨාස මට්ටමින් කළ හැකි ය.

ගම්බද දුප්පත් නිවෙස්වලට උදවු කරන මුවාවෙන්, දරුවන්ට ඉංගී‍්‍රසි උගන්වන මුවාවෙන් ගම්වලට පැමිණ ආගම්වලට හරවා ගැනීමේ මූලධර්මවාදී ක්‍රියාවන් වහා නතර කළ යුතු ය. ඇතැම් රාජ්‍ය නොවන සංවිධානවල මුදල් යොදවා විවිධ මුහුණුවරින් ක්‍රියාත්මක කරන එම බෞද්ධ විරෝධී වැඩසටහන් නතර කිරීමට අවශ්‍ය නීතිමය පියවර ගැනීම අත්‍යවශ්‍ය වනු ඇත. ඔවුන් විසින්ම කරනු ලබන බුදු දහමට නිගරු කරන බුදුරුව විකෘති කිරීම්, බොරු ඡායාරූප ප්‍රදර්ශන ද නතර කළ යුතුව ඇත.

මේ ආකාරයෙන් 2600 සම්බුද්ධත්ව ජයන්ති වසර පුරාත් එතැන් සිට ඉදිරියටත් ක්‍රියාත්මක කළයුතු, කළ හැකි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම තුළින් සම්බුද්ධ ජයන්තිය අර්ථවත් කිරීමට අදිටන් කර ගනිමු.

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය මාර්තු 12 වන දා සෙනසුරාදා අපරභාග 04.54 ට ලබයි.
13 වන දා ඉරිදා අපරභාග 05.15 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 12 වන දා සෙනසුරාදා ය.
මීළඟ පෝය
 මාර්තු 19 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 12

Full Moonපසෙලාස්වක

මාර්තු 19

Second Quarterඅව අටවක

මාර්තු 26

New Moonඅමාවක

අප්‍රේල් 02

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]