UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

 
බුදුසරණ අන්තර්ජාල කලාපය

බණ්ඩාරගම රේරුකාන ශ්‍රී වර්ධනාරාමාධිපති ශාස්ත්‍රපති කඹුරුපිටියේ පුඤ්ඤරතන නා හිමියන්

මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ

කළුතර දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝ නායක ධූරයෙන් සහ ධර්මකීර්ති ශ්‍රී රේවත ගෞරව නාමයෙන් පිදුම් ලබන වගයි

සන්නස් පත්‍ර ප්‍රදානය
 

කළුතර දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලත් ධර්ම කීර්ති ශ්‍රී රේවතාභිධාන කඹුරුපිටියේ පුඤ්ඤරතන නාහිමියන් වෙත ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය මාර්තු මස 18 දා පස්වරුවේ මහනුවර අස්ගිරි මහා විහාරස්ථ උපෝසථාගාරයේ දී සියම් මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී බුද්ධරක්‍ඛිත මහා නාහිමියන් ප්‍රමුඛ සානුනායක විංශ්වත් වර්ගීක කාරක මහා සංඝ සභාවේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

අභිනව අධිකරණ, සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීම හා පිළිගැනීමේ පුණ්‍ය මහෝත්සවය මාර්තු මස 20 දා පස්වරු 3 ට බණ්ඩාරගම රේරුකාන ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ දී ශ්‍රී ලංකා සමාජවාදී ජන රජයේ අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා ඇතුළු ගිහි පැවිදි සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට බණ්ඩාරගම ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බල මණ්ඩලය, ශ්‍රී බෝධි දහම් පාසල, ජ්‍යෙෂ්ඨ පුරවැසි සංගමය, කුළඟන සමිතිය තරුණ සංවිධාන හා විහාරස්ථ දායක සභාව කටයුතු යොදා ඇත.

 

 

 


ආදර්ශ සම්පන්න යතිවරයන් වහන්සේ නමක්

ශාස්ත්‍රපති පූජ්‍ය කඹුරුපිටියේ ධර්මකීර්ති ශ්‍රී රේවත පුඤ්ඤරතනාභිධාන නායක ස්ථවිරයන් වහන්සේට උපහාර පිණිස සුභාශිංසන පණිවුඩයක් නිකුත් කරනුයේ සතුටු සහගත සිතින් යුතුවය.

කඹුරුපිටියේ පුඤ්ඤරතන නායක ස්ථවිරයන් වහන්සේ 40 වසරකට ආසන්න කාලයක් වූ පැවිදි දිවිය තුළින් විශාල ශාසනික හා ජාතික සේවාවන් රැසක් සිදුකළ, වර්තමානයේද එවැනිම සේවාවක් සිදුකරන ආදර්ශ සම්පන්න යතිවරයාණන් වහන්සේ නමකි. රේරුකානේ ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ දී පැවිදි බිමට පත්ව හොරණ විද්‍යාරතන පිරිවෙණින් මූලික අධ්‍යාපනය ලබා පසුව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් මෙන්ම කැලණිය විශ්ව විද්‍යාලයෙන් ද තම අධ්‍යාපන සුදුසුකම් සපුරාගත් උන්වහන්සේ සිය ආචාර්ය ප්‍රාචාර්යවරයන් වහන්සේලා ගිය මග ගනිමින් වර්තමානයේ දී ජාතික, ආගමික, සාමාජික යනාදී අංගවලින් මහත් සේවාවක් සිදුකරන භික්ෂූන් වහන්සේ නමක් බවට පත් වී තිබේ. එය වෙසෙසින්ම අප අස්ගිරි මහා විහාරික රාජුපස්ථානිය පරම ධම්ම සභා නම් වූ විංශත්වර්ගික කාරක මහා සංඝ සභාවේ ද ප්‍රසාදයට හේතු වී තිබේ. ළමා හා වැඩිහිටි සුබසාධන කාර්යයන් ද ශිෂ්‍යත්ව ප්‍රදානයන් ආදී කටයුතු ද වෙනත් බොහෝ සමාජ සේවාවන් ද උන්වහන්සේ ගේ මූලිකත්වයෙන් සිදුවීම නිසා ප්‍රදේශවාසී මහා සංඝරත්නයේත්, බෞද්ධ ජනතාවගේත් මහත් චිත්ත ප්‍රසාදයක් ද උන්වහන්සේට ලැබී තිබේ.

යථෝක්ත හේතු සාධක මත මහනුවර අස්ගිරි මහා විහාරය ඓතිහාසික අප ශාසනික මූලස්ථානයෙන් ධර්ම කීර්ති ශ්‍රී රේවත යන ගරු නාමාන්විතව කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය උන්වහන්සේ වෙත පත්කළ අතර උන්වහන්සේට තෙරුවන් සරණින් සහ ශ්‍රීමත් දළදා වහන්සේගේ ආශිර්වාදයෙන් මතුවට ලෝක ශාසනික සේවාවන් සිදු කිරීමට චිරජීවනය හා නිදුක් නිරෝගීභාවය සැලසේවායි ආශිංසනය කරම්හ.


අතිශය සතුටක්

ධර්ම විනය ශබ්ද ශාස්ත්‍ර උද්ග්‍රහණ ධාරණාදියෙහි විශිෂ්ට කුශලතා හිමිකර ගැනීම ශාසනික භික්‍ෂු අධ්‍යාපනයෙහි සම්භාවනීයත්වයෙන් සැලකේ.

එබඳු කුශලතා හිමි කර ගන්නා භික්‍ෂුවගෙන් ලෝක ශාසනොත්තියට උදාර මෙහෙවරක් සිදුවේ.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙහි උසස් අධ්‍යාපනය ලබන කාලයෙහි අපගෙන්ද අධ්‍යාපනය ලැබූ විවිධ ආගමික හා සමාජ සේවාවන්හි යෙදෙන බණ්ඩාරගම රේරුකාන ශ්‍රී වර්ධනාරාමාධිපති රේවත ප්‍රජා සංවර්ධන පදනමේ අධ්‍යක්‍ෂ ශාස්ත්‍රපති කඹුරුපිටියේ පුඤ්ඤරතන ස්ථවිරයන් වහන්සේට සියම් මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ අතිගරු මහා නායක සානුනායක කාරක සංඝ සභාව මගින් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනැමීම පිළිබඳව අතිශය සතුටු වෙමි.

අභිනව නායක ස්ථවිරයන් වහන්සේට තෙරුවන් සරණින් තව තවත් ආගමික සාමාජික අධ්‍යාපනික සේවාවන් කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවායි ආශිංසනය කරමි.


සුවිශාල මෙහෙවරක් ඉටුකර ඇත

බණ්ඩාරගම, රේරුකාන, ශ්‍රී වර්ධනාරාම විහාරාධිපති, පූජ්‍යපාද ශාස්ත්‍රපති කඹුරුපිටියේ පුඤ්ඤරතන මාහිමිපාණන් වහන්සේ වෙත සියම් මහ නිකායේ අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාව මගින් කළුතර දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනැමීමේ පුවත අසා මම බලවත් සතුටට පත්වීමි.

දකුණු පළාතේ කඹුරුපිටිය, මලාන ගම් පියසේ උත්පත්තිය ලබා සසර පෙරුම් පුරා ආ පුණ්‍යවන්තයාණෝ වසර 1971 දී උතුම් පැවිදි දිවියට ඇතුළත් වේ. ඉතා කෙටි කාලයක් තුළ උගත මනා බණ දහම් ප්‍රගුණ කළ උන්වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය ද කැලණිය විශ්ව විද්‍යාලයේ පාලි බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයෙන් ශාස්ත්‍රපති උපාධිය ද ලබා ශාසනික අභිවෘද්ධිය හා සමාජයේ යහපැවැත්ම වෙනුවෙන් ඉටුකරන ලද මාහැඟි සේවාව අතිශයින් අගය කළ යුතුය. එතකිනිදු නොනැවතී ඡ්‍යොතිෂ්‍ය, වාස්තු විද්‍යාව, ස්වාපනික මනෝ විද්‍යාව ආදි විවිධ පාඨමාලාවන් හදාරා එම ක්ෂේත්‍රයන් පිළිබඳව ද හසල දැනුමක් ලබා ගැනීම විශේෂයෙන්ම සඳහන් කළ යුතුය.

උතුම් වූ ගුරු වෘත්තියෙහි ද වසර කිහිපයක් සේවය කළ පූජ්‍ය ශාස්ත්‍රපති කඹුරුපිටියේ පුඤ්ඤරතන මාහිමිපාණන් වහන්සේ එම දූ දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු කෙරෙහි අපමණ වූ වෙහෙසක් දරමින් කටයුතු කළ බව ප්‍රකටය. ප්‍රදේශයේ සමිති සමාගම්වල විවිධ තනතුරු හොබවමින් සමාජයේ යහ පැවැත්ම වෙනුවෙන් සුවිශාල සේවාවක් ඉටුකර ඇත.

මෙවන් සුපේශල, ශික්ෂාකාමී ගුණවෘද්ධ, තපෝවෘද්ධ භික්ෂූන් වහන්සේලා තනතුරු ගෞරව නාමයන්ගෙන් පිදුම් ලැබීම උන්වහන්සේලා වෙතින් ඉටුවන ශාසනික හා සමාජීය මෙහෙවර ශක්තිමත්ව තවදුරටත් පවත්වාගෙන යාමට රුකුලක් වන්නේ ය.

කළුතර දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ ශාස්ත්‍රපති පූජ්‍ය කඹුරුපිටියේ පුඤ්ඤරතන නාහිමිපාණන් වහන්සේට මාගේ සුබ පැතුම් පිරිනමන අතර, උන්වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා! යි ප්‍රාර්ථනා කරමි.


අමන්දානන්දයට හේතුවක්

බණ්ඩාරගම ශ්‍රී වර්ධනාරාමාධිපති ශාස්ත්‍රපති කඹුරුපිටියේ පුඤ්ඤරතන ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත කළුතර දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනැමීම නිමිත්තෙන් සුබපැතුම් පණිවුඩයක් ලබාදෙනුයේ සිතිවිලි සමුදායක් පෙරටු කොටගත් දැඩි චිත්ත පී‍්‍රතියෙනි.

හොරණ විද්‍යාරතන විශ්වවිද්‍යා පීඨයෙන් මූලික අධ්‍යාපනය ලැබූ උන්වහන්සේ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත් කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් හිමිකර ගත් අතර උපාධිධාරී ගුරු හිමිනමක් ලෙස ඉතා වටිනා අධ්‍යාපනික සේවයක් රටට දායාද කරන ලදී.

ගමයි පන්සලයි එකට යා කිරීමේ අපේ පෞරාණික බෞද්ධ සම්ප්‍රදාය කාලීනව යථාවක් කළ නාහිමියෝ තමා වැඩසිටින සිද්ධස්ථානය සියලුම විහාරාංගයන්ගෙන් පරිපූර්ණත්වයට පත් කරමින් ප්‍රදේශවාසීන්ගේ ගෞරව බහුමානයට ඉතා උසස් ලෙස පාත්‍රවීමෙන් රටට ජාතියට සිදුකරන ලද ආගමික හා ශාසනික හා ප්‍රජා සේවාවන් ඇගයීමට ලක් කිරීම් වස් අස්ගිරි මහාවිහාර පාර්ශ්වය මගින් මෙවන් සංඝනායක පදවියකින් පිදුම් ලැබීම සමස්ත ජනතාවගේම අමන්දානන්දයට හේතුකාරක වන බව සක්සුදක් සේම පැහැදිලි ය.

ගුරු උපහාරයක් ලෙස සලකමින් තම ගුරු දේවයාණන් වහන්සේගේ නමින් පිහිටුවන ලද “රේවත” ප්‍රජාසංවර්ධන පදනම සහ රේවත මාපිය සෙවණ වැනි ප්‍රජා සේවාත්මක සංවිධාන හරහා නැතිබැරි දුවා දරුවනට සහ අසරණ වයෝවෘද්ධ මවුපියනට සිදුවන සේවය අප්‍රමාණය. පාරම්පරික විෂ වෛද්‍යවරයෙකු ලෙස අසරණ රෝගීන් දහස් ගණනක් උන්වහන්සේ විසින් සුවපත් කර ඇත.

ශාස්ත්‍රපති පූජ්‍ය කඹුරුපිටියේ පුඤ්ඤරතන නාහිමිපාණන් වහන්සේගේ මේ ආගමික ශාසනික හා ප්‍රජාසේවාත්මක සේවාවන් තව තවත් පුළුල් ලෙස ඉදිරියට ගෙනයෑම පිණිස දළදා සමිඳු සරණින් උන්වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය උදාවේවා!.

සැමට දළදා සමිඳු සරණයි.


සිදුවන සේවාව ප්‍රශංසනීය ය

බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් රේරුකාන ශ්‍රී‍්‍ර වර්ධනාරාම විහාරාධිපති කඹුරුපිටියේ පුඤ්ඤරතන ස්වාමීන් වහන්සේ මම දීර්ඝ කාලයක් තිස්සේ හොඳින් හඳුනමි.

බණ්ඩාරගම ප්‍රාදේශීය ලේකම් වශයෙන් මා 2000.03.01 දින සිට 2004.12.01 දින දක්වා කටයුතු කළ අවධිය තුළ ප්‍රදේශයේ ජාතික, ආගමික, සමාජීය කටයුතු සඳහා පුඤ්ඤරතන ස්වාමීන් වහන්සේ සිදුකළ සේවාව මම හොඳින් දනිමි.

කඹුරුපිටියේ පුඤ්ඤරතන ස්වාමින් වහන්සේ හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යා පීඨයෙන් මූලික අධ්‍යාපනය ලබා ශ්‍රී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත් කැලණිය විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධියත් හිමිකරගත් උගත් තෙර නමකි. උපාධිධාරී ගුරුවරයෙකු වශයෙන් ඉතා වටිනා සේවයක් උන්වහන්සේ සිදුකර ඇත.

ගුරු දේවයන් වහන්සේ වූ ඉතා සම්භාවනාවට පත් මහතෙර නමක් වූ පූජ්‍ය කඹුරුපිටියේ රේවත ස්වාමින්ද්‍රයන්වහන්සේගේ අපවත් වීමෙන් අනතුරුව විහාරාධිපතිත්වයට පත් උන්වහන්සේ මේ වනවිට සිදුකර ඇති සේවාව අතිමහත්ය.

දායක පින්වතුන්ගේ උදව් උපකාර ඇතිව විහාරස්ථානය අංග සම්පූර්ණ වූ දර්ශනීය විහාරස්ථානයක් බවට පත්කර ඇති අතර ඒ ප්‍රදේශයට සිදුවන සේවාව ප්‍රශංසනීයය.

විහාරස්ථානය කේන්ද්‍රකර ගෙන පිහිටුවා ඇති රේවත පූජා සංවර්ධන පදනම තුළින් ප්‍රදේශයේ දිළිඳු දරුවන් සඳහා ශිෂ්‍යත්ව ලබාදීම ආදී වැඩසටහන් ඇතුලුව බොහෝ සේවාවන් ඉටුකළ අතර ‘රේවත මාපිය සෙවණ’ නමින් ආරම්භ කර ඇති වැඩිහිටි නිවාසය මඟින් අසරණ වැඩිහිටියන් සඳහා සැලසෙන්නේ අසීමිත සේවාවකි.

බණ්ඩාරගම ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී වශයෙන් විශාල සේවාවක් සිදු කරන අතර පාරම්පරික සර්පවිෂ වෛද්‍යවරයෙකු වශයෙන් අසරණ රෝගීන් සුවපත් කිරීම සඳහා නොමිලයේ තම සේවාව සිදු කරති.

ප්‍රදේශයේ ආගමික, ජාතික, සාමාජික ආදී සෑම කාර්යයක දීම ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරන සංඝ පිතෘන් වහන්සේ නමක් වන පූජ්‍ය කඹුරුපිටියේ පුඤ්ඤරතන ස්වාමීන් වහන්සේගේ සේවය අගයමින් අස්ගිරි මහා විහාරයේ සංඝ සභාව විසින් පිරිනමන ලද කළුතර දිස්ත්‍රික් ප්‍රධාන අධිකරණ සංඝනායක පදවියෙන් පිදුම් ලද මේ මහා සංඝ පීතෘන්වහන්සේට තවදුරටත් ශාසනික මෙහෙවර ඉතා උසස් අන්දමින් සිදු කිරීමට අවශ්‍ය චිත්ත ධෛර්ය, ශක්තිය, සහ නිරෝගි භාවය ද ලැබේවායි ප්‍රාර්ථනා කරමි.


මෙහෙවර කෘතවේදීව සිහිපත් කරනවා

සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ කාරක සංඝ සභාවෙන්, කළුතර දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරයෙන් පිදුම්ලත් බණ්ඩාරගම රේරුකාන ශ්‍රී වර්ධනාරාම විහාරාධිපති පූජ්‍යපාද ශාස්ත්‍රපති කඹුරුපිටියේ පුඤ්ඤරතන නාහිමිපාණන් වහන්සේ වෙත සුබ පැතුම් එක්කරනු ලබන්නේ හද පිරි සතුටිනි.

1960 කඹුරුපිටිය මලාන නම් ග්‍රාමයේ ජන්මලාභය ලත් උන්වහන්සේ 1971 දී පැවිදිව 1980 දී මහනුවර හයගිර අස්ගිරි විහාරයීය රාජකීය මංගල උපෝසථාගාරයේ දී උපසම්පදා අධිශීලයට පත් වූ සේක.

පැවිදි කළ ගුරු හිමියන් වන පූජ්‍ය කඹුරුපිටියේ රේවත මාහිමිපාණන් වහන්සේගේ අපවත්වීමෙන් අනතුරුව රේරුකාන ශ්‍රී වර්ධනාරාම විහාරස්ථානයේ විහාරාධිපති වශයෙන් 1979 දී පත් වූ උන්වහන්සේ රේරුකාන ශ්‍රී බෝධිදහම් පාසලේ ප්‍රධානාචාර්යවරයා ලෙස ප්‍රදේශයේ දරු දැරියන්ගේ දහම් අධ්‍යාපනය සඳහා මහත් සේවයක් සැලසූ සේක.

රේරුකාන ග්‍රාම සංවර්ධන සමිතියේ ගරු සභාපති ලෙසත්, රේරුකාන, රේවන ප්‍රජා සංවර්ධන පදනමේ ආරම්භක සභාපති ලෙසත්, රේරුකාන බද්දේගොඩ “රේවත මාපිය සෙවණ” ආබාධිත මන්දමානසික, වැඩිහිටි නිවාසයේ කළමනාකරණ කමිටු සභාපති ලෙසත් කරන ලද සහ කරමින් සිටින සමාජ සත්කාර මෙහෙවර මේ අවස්ථාවේ සිහිපත් කරනුයේ ඉතාමත් කෘතවේදීවය.

කළුතර දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක ධුරයෙන් පිදුම් ලත් පූජ්‍යපාද ශාස්ත්‍රපති කඹුරුපිටියේ පුඤ්ඤරතන නාහිමිපාණන් වහන්සේගේ ශාසනික අධ්‍යාපනික හා සමාජ මෙහෙවර මෙන්ම ධර්මදූතමය සේවාවන් මා ඉතා අගය කරන අතර එම සේවය තව දුරටත් ඉටුකිරීමට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් උන්වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය ප්‍රාර්නය කරමි.


ඉදිරිගාමිත්වයට මහා රුකුලක්

ස්වකීය භාවිතයෙන් ආදර්ශ සම්පන්න වශයෙන් අනුගාමිකයන්ව නිවැරදි මඟ පෙන්වීමත් පැසසිය හැකි, ඔවුන්ව නිවැරදි දිශාවකට මෙහෙයවිය හැකි තැනැත්තන් නායකත්වයට පත්වීම, ගෞරව බහුමානයට ලක්වීම, බොඳවෙමින් තිබෙන කාලවකවානුවක බණ්ඩාරගම රේරුකානේ ශ්‍රී වර්ධනාරාමාධිපති අති ගෞරවනීය ශාස්ත්‍රපති කඹුරුපිටියේ පුඤ්ඤරතන හිමිපාණන් වහන්සේට සියම් මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය ලැබීම සුදුස්සාට සුදුසු තැන ලැබීම සංකේතවත් කරන්නක් බව අපගේ පිළිගැනීමයි. එය සාමාජීය වශයෙනුත් ශාසනික වශයෙනුත් අතිශයින්ම වැදගත් කරුණකි.

අප දන්නා පරිදි ගෞරවනීය කඹුරුපිටියේ පුඤ්ඤරතන නාහිමිපාණන් වහන්සේ ජාතික ආගමික සාමාජික කටයුතුවලදී භික්‍ෂූන් වහන්සේ නමක් ලෙස තමන්ගෙන් ඉටුවිය යුතු යුතුකම් මෙන්ම සපුරාලිය යුතු වගකීම් ද නොපිරිහෙලා සපුරාලන ව්‍යක්ත විශාරද ධම්මානන්ද ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කරන සංඝශෝභන ගුණයන්ගෙන් හෙබි ධෛර්යය සම්පන්න අධිෂ්ඨානශීලී භික්‍ෂූන් වහන්සේ නමකි.

එවන් භික්‍ෂූන් වහන්සේලා ශාසනයට පමණක් නොව රටටද මහා විශිෂ්ට ආදර්ශ එක් කරනු ඇත.

ඕනෑම සමාජයක්, සමාජයක් ලෙස ඉදිරිගාමී ප්‍රවේශයන් සෑමවිටම ලබාගෙන ඇත්තේ ඒ සඳහා වූ නායකත්ව මෙහෙයවීම් මඟින් බව එහි ඉතිහාසය සාක්‍ෂිදරනු ඇත. ඒ අර්ථයෙන් සලකා බලන විට ගෞරවනීය කඹුරුපිටියේ පුඤ්ඤරතන නාහිමිපාණන් වහන්සේට මෙවැනි නායකත්ව තනතුරක් ලැබීම විශේෂයෙන් සංඝ සමාජයේ ඉදිරිගාමීත්වයට මහා රුකුලක් වනු නොඅනුමානය. භික්‍ෂූන් වහන්සේ නමක් සතුව අත්‍යාවශ්‍යයෙන්ම තිබිය යුතු යැයි බුදුරජාණන් වහන්සේ පවා දේශනාකර ඇති සෘජු බව සාමූහික බව ආදර්ශ සම්පන්න බව මෙන්ම නොසැලෙන බව ආදී ගුණයන් ගෙන් පරිපූර්ණ භික්‍ෂූන් වහන්සේලා රටට සමාජයට මෙන්ම ශාසනයට ද අත්‍යාවශ්‍ය යුගයක එකී ගුණයන්ගෙන් පරිපූර්ණ ගෞරවනීය කඹුරුපිටියේ පුඤ්ඤරතන නාහිමිපාණන් වහන්සේට මෙවැනි ‘වගකීමක්’ ලැබීම එකී වගකීමට උපරිම සාධාරණය ඉටුවීමක් ලෙසද අපි දකින්නෙමු.

අතිපූජ්‍ය ගෞරවනීය කඹුරුපිටියේ පුඤ්ඤරතන නාහිමිපාණන් වහන්සේගේ විශිෂ්ට හැකියාවන්ගෙන් තමන් වහන්සේ ලද වගකීමට වටිනාකමක් ගෞරවයක් ලබාදිය හැකි බව අපගේ විශ්වාසයයි. එබැවින් තම ජීවිතය වඩාත් අර්ථවත් ලෙස සමාජය තුළත් ශාසනය තුළත් හසුරුවන්නට උන්වහන්සේට අවශ්‍ය නිරෝගී භාවය මෙන්ම චිරජීවනය ඉතසිතින් ප්‍රාර්ථනා කරන අපි මේ වැදගත් අවස්ථාවේදී උන්වහන්සේට ශක්තිය හා ධෛර්යය පතමු.


කඹුරුපිටියේ පුඤ්ඤරතන නා හිමි

බණ්ඩාරගම රේරුකාන ශ්‍රී වර්ධනාරාමාධිපති ශාස්ත්‍රපති කඹුරුපිටියේ පුඤ්ඤරන හිමියන් වෙත “ධර්ම කීර්ති ශ්‍රී රේවත” ගෞරව නාමය සහිතව කළුතර දිසාවේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරි නමා ඇත.

ස්‍යාමෝපාලි වංශික මහානිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත උඩුගම ශ්‍රී බුද්ධරක්ඛිත මහ නා හිමියන් ප්‍රමුඛ අස්ගිරි මහා විහාරස්ථ විංශත් වර්ගික කාරක මහා සංඝ සභාව එම තනතුර පිරිනැමූහ.

දකුණු ලක මාතර දිසාවේ කඹුරුපිටිය ග්‍රාමයේ දොන් ලුවිස් වනිගරත්න ජයසේකර සෝමාවතී ජයසේකර යන දම්පතීන්ගේ පුත් රුවනක් ලෙස 1960 අගෝස්තු 25 දා සුනිල් ජයසේකර කුමරුවා මෙලොව එළිය දුටුවේය.

මාතර උල්ලල ප්‍රාථමික විද්‍යාලයෙන් හතරවැනි ශ්‍රේණිය දක්වා මූලික අධ්‍යාපනය ලත් මේ කුමරුවා 1971 වර්ෂයේ සැප්තැම්බර් මස 8 වැනි දින බණ්ඩාරගම රේරුකාන ශ්‍රී වර්ධනාරාමාධිපතිව වැඩ සිට අපවත්වී වදාළ කඹුරුපිටියේ රේවත මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් කඹුරුපිටියේ පුඤ්ඤරතන නමින් සසුන් ගත වූහ.

හොරණ විද්‍යාරත්න පිරිවෙන්හීදී අධ්‍යාපනය ලබමින් සිටියදී සිය ගුරුදේව කඹුරුපිටියේ රේවත මහා ස්මින්ද්‍රයන් වහන්සේ අපවත්වී වදාළහ.

උන්වහන්සේගේ ශිෂ්‍යවරයා වූ කඹුරුපිටියේ පුඤ්ඤරතන හිමියනට තුරුණු වියේදීම විහාරාධිපති පදවිය භාර ගැනීමට සිදුවිය. විවිධ බාධක අභියෝග මධ්‍යයේ අධ්‍යයන කටයුතුවල යෙදී සිටියදීම දායකාරකාදීන්ගේ කුදු මහත් ආගමික වතාවත් ඉටුකළ බව නොරහසකි.විසි වයස් සම්පූර්ණ වීමත් සමගම පාතහේවාහැට ප්‍රධාන අධිකරණ සංඝනායක අපවත් වී වදාළ ඇතුල්ගම ශ්‍රී ධම්මරතන නාහිමියන්ගේ ආචාර්යත්වයෙන් 1980 වෙසක් මස 29 වැනිදා වෙසක් පුන් පොහෝ දින වාහලනාග නාමයෙන් මහනුවර හයගිරි අස්ගිරි මහා විහාරස්ථ පෝය සීමා මාලකයේදී උපසම්පදා සීලයට පත් වූහ.

හොරණ විද්‍යාරත්න පිරිවෙනින් අධ්‍යයන පොදු සහතික උසස් පෙළ ඉහළින් සමත් වී උසස් අධ්‍යාපනය සඳහා ශ්‍රී ජයවර්ධනපුර (විද්‍යෝදය) විශ්ව විද්‍යාලයට ඇතුළත් (1990 වර්ෂ දෙවන පෙළ ) සාමාර්ථයෙන් ශාස්ත්‍රවේදී උපාධිය දිනාගත් අතර 1992 දී කැලණිය විශ්ව විද්‍යාලය අනුබද්ධිත පාලි බෞද්ධ පශ්චාත් උපාධි ආයතනයෙන් ශාස්ත්‍රපති උපාධියද පිළිවෙළින් සමත්ව සිටියදීම ඡ්‍යොතිර්වේදී වාස්තු විද්‍යා හෙවත් ගෘහ නිර්මාණ ශිල්ප ස්වාපනික මනෝ විද්‍යා යන පාඨමාලා පුඤ්ඤරතන හිමියෝ හැදෑරූහ.

1998,2000, 2006 හා 2008 වර්ෂයන්හි වරින් වර ඉන්දියාවේ සංචාරය කැර ආගමික කටයුතු වලට සම්බන්ධවීම , 2002 වර්ෂයේදී ඊට අමතරව තායිලන්තය මැලේසියාව රටවල සංචාරය කැර සිංගප්පූරුවේ පැවැති ලෝක බෞද්ධ සම්මේලනයට සම්බන්ධවීම ද විශේෂිතය.

1999 නොවැම්බර් හා 2006 සැප්තැම්බර් මාසවලදී උතුරේ යුද කටයුතු මෙහෙය වූ රණවිරුවන්ට ආශීර්වාද කිරීමේ අරමුණින් යුතුව ආගමික කටයුතුවලට සහභාගිවීමද ඒ අතර වේ.

1994 රේරුකාන රේවත ප්‍රජා සංවර්ධන පදනම සමාජ සේවා කටයුතු ව්‍යාප්ත කිරීම. 2004 රේවත මාපිය සෙවන යටතේ ආබාධිත මන්ද මානසික වැඩිහිටියනට රැකවරණ සැලසීමද සේවාවන් අතර වේ.

1993 වර්ෂය ආරම්භ යේ සිට වර්ෂ කීපයක් වීදාගම කනිෂ්ඨ විද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙසද සේවය කළහ.

මුලු දිවයිනටම බලපාන පරිදි සාම විනිසුරුවරයෙකු ද වේ. 1990 – 667 ඒ රේරුකාන ග්‍රාමෝදය සභාපති තනතුරු ඉසිලීය.

ශ්‍රී ලංකා ස්වාපන විද්‍යාවේදින්ගේ සංගමයේ ලේකම් රේරුකාන ග්‍රාම සංවර්ධන සභාපති, රේරුකාන රේවත ප්‍රජා සංවර්ධන පදනමේ සභාපති හා විධායක අධ්‍යක්‍ෂ සමස්ත ලංකා පැවිදි සංවිධානයේ බණ්ඩාරගම ශාඛාවේ ලේකම් ආදි තනතුරු තුළින් ඒ හිමියෝ අත්දැකීම් සම්භාරයක් ලබා ගත්හ.

විශේෂයෙන්ම රේරුකාන ශ්‍රී බෝධි දහම් පාසල බණ්ඩාරගම ශාසනාරක්‍ෂක බල මණ්ඩලය තුළ කැපී පෙනෙන දහම් පාසලක් බවට පත්කිරීමට ඒ හිමියෝ සමත් වූහ.

පැරැණි විහාර මන්දිරය සම්පූර්ණයෙන් අළුත්වැඩියා කැර නව විහාර මන්දිරයක ස්වරූපයට ගෙන ඒම, සියලු පහසුකම් සහිත අභිනව ධර්මශාලා ගොඩනැගිල්ලක් ඉදිරිකිරීම නවීන අංගෝපාංගයන්ට සමගාමීව සංඝවාසය ඇතුලු බෝධි ප්‍රාකාරය ජල විදුලි පහසුකම් මංමාවත් සැලසීම නාහිමියන්ගේ කැපී පෙනෙන සේවාවන්ගේ සැළකීමට හැකිය.

සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා සුවිශේෂ මෙහෙවර රැසක්ම පරිපූර්ණ කළ ඒ හිමියෝ රටට දැයට සසුනට දායාද කළ ශිෂ්‍ය භික්ෂු පරපුරට රාජකීය පණ්ඩිත බළන්ගොඩ විජයජෝති පරිවෙණාචාර්ය බළන්ගොඩ සාසනජෝති පානදුරේ ධම්මසිරි වේඩරුවේ ධම්මානන්ද හිමිවරු අයත් වෙති.

අභිනව නායක හාමුදුරුවෝ නිරහංකාර ගති පැවැතුම් වලින් යුත් ආදර්ශවත් හිමිනමක් වේ.

මැදින් පුර අටවක පෝය

මැදින් පුර අටවක පෝය මාර්තු 12 වන දා සෙනසුරාදා අපරභාග 04.54 ට ලබයි.
13 වන දා ඉරිදා අපරභාග 05.15 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම මාර්තු 12 වන දා සෙනසුරාදා ය.
මීළඟ පෝය
 මාර්තු 19 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

මාර්තු 12

Full Moonපසෙලාස්වක

මාර්තු 19

Second Quarterඅව අටවක

මාර්තු 26

New Moonඅමාවක

අප්‍රේල් 02

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]