UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

හෙළ බොදු ශිෂ්ටාචාරයේ ගවේෂණාත්මක සලකුණ මහැදුරු සෙනරත් පරණවිතාන

වසර ගණනාවක් පුරා තමන් උපන් දේශයේ ඓතිහාසික කලාත්මක හා සංස්කෘතික උරුමයන් පුරාවිද්‍යාත්මකව ගවේෂණය කොට, සුරැකිය යුතු වස්තූ®න් අපමණ සංඛ්‍යාවක් සංරක්ෂණය කළ මහැදුරු සෙනරත් පරණවිතාන ශ්‍රීමතුන්ගේ සේවය පිළිබඳ සිහිපත් කිරිම වටනේය.

වර්ෂ 1896 දෙසැම්බර් 26 වැනි දින ගාල්ලේ මැටරඹ, මාබොටුවන උපත ලැබූ සෙනරත් පරණවිතානයන්ගේ පියා වූයේ ඒබ්‍රහම් පරණවිතාන මහතාය. මව ලෝරා හෙට්ටිගෙල් ගිමාරා මහත්මියයි.

යටගල විහාරයේ කලහේ ශ්‍රී රතනජෝති ගුණරතනාභිදාන නායක ස්වාමින් වහන්සේ වෙතින් අකුරු උගත් පරණවිතාන කුලදරුවා අන්නාසි හෙට්ටිගොඩ මෙතෝදිස්ත සිංහල පාසලෙන්ද උණවටුනේ බොනවිස්ටා ඉංගී‍්‍රසි පාසලෙන්ද, හීනටිගල රන්වලගොඩ විද්‍යාවර්ධන පිරිවෙනෙන්ද අධ්‍යාපනය ලැබීය.

පරණවිතානයන් රජයේ සේවයට ඇතුළත් වූයේ වර්ෂ 1920 දීය. වර්ෂ 1923 දක්වා ගම්පහ උඩුගම්පොළ රජයේ විද්‍යාලයෙහි ඉංගී‍්‍රසි උපගුරුවරයකු ලෙස සේවය කළ එතුමාණෝ 1923 තරග විභාගයකින් සමත්ව ලංකාණ්ඩුවේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරාක්ෂර විඥාන සහායක තනතුරට පත්වූහ.

එම වසරෙහිම භාරතීය පුරාවිද්‍යා ගවේෂණ ශිෂ්‍යත්වයක් හිමිකරගනිමින් ඉන්දියාව බලා ගිය එතුමා කල්කටාවේ ඉන්දියා කෞතුකාගාරයෙහි පුරාවිද්‍යා අංශයේ කලා ශිල්ප පිළිබඳ අධ්‍යයනය කළේය. දකුණු ඉන්දීය කීර්තිමත් පුරාවිද්‍යාඥයකු වූ කේ.වී සුබ්‍රමන්‍ය අයියර් මහතා යටතේ පුහුණුව ලැබ ද්‍රවිඩ සෙල් ලිපි කියැවීමේ හැකියාව ලබා ගත්තේය.

අනතුරුව සිම්ලා නගරයේ ඉන්දියානු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය කළ පරණවිතාන මහතා කීර්තිමත් පුරාවිද්‍යාඥ ජෝන් මාර්ෂල් පඬිවරයා යටතේ මොහෙන්ජොදාරෝ හි කැණීම් කටයුතුවලට සහභාගි විය. ඉන්දියාවේදී ප්‍රාකෘත හා දෙමළ භාෂාවන්ද නාණක (කාසි) විද්‍යාවද හැදෑරූ පරණවිතාන වියතුන් 1926 දී ශ්‍රී ලංකාවට පැමිණියේය. එතුමන් වර්ෂ 1930 දී රොස්ලින් කිතුල්ගොඩ මෙනෙවිය හා විවාහ වූවේය.

අනතුරුව සහාය පුරා විද්‍යා කොමසාරිස් ධූරයට පත්වූ ඒ මහතා 1932 සිට 1935 දක්වා වැඩ බලන පුරාවිද්‍යා කොමසාරිස් ධූරයෙහි කටයුතු කළේය. 1936 වසරේදී යුරෝපය බලාගිය එතුමන් වැඩිදුර අධ්‍යාපනය හා පුහුණුව ලැබුවේය. පරණවිතාන වියතුන් විසින් යුරෝපයේදී සම්පාදනය කරන ලද The stupa in ceylon නම් නිබන්ධනයට 1937 දී ඕලන්දයේ ගිල්ඩන් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය හිමි විය.

නැවත මෙරට පැමිණි ඔහු වර්ෂ 1940 ඔක්තෝබර් මස දී පුරාවිද්‍යා කොමසාරිස් ධූරයට පත් වූයේය. වසර ගණනක විශිෂ්ට සේවයකින් පසු වර්ෂ 1956 දී එයින් විශ්‍රාම ලැබූ පරණවිතාන ශූරීන් ලංකා විශ්වවිද්‍යාලයේ, පුරාවිද්‍යා අධ්‍යයනාංශයේ අධිපති ධූරයට පත්විය. 1957 සිට 1965 දක්වාම එම පදවිය දැරූ එතුමාණෝ අසූවැනිවිය වනතුරු තම ශාස්ත්‍රීය සේවාවෙහි නිරතවීම තුළින් ලාංකේය පුරාවිද්‍යා ක්ෂේත්‍රයට අමිල මෙහෙයක් ඉටු කළෝය.

ඔහුගේ ශාස්ත්‍රීය මෙහෙවර පුළුල්ය. පුරාවිද්‍යාව, ඉතිහාසය, මූර්ති හා චිත්‍රකලාව, භාෂා සාහිත්‍යය, වාග්විද්‍යාව, අභිලේඛන, බුදුසමය, ලක්දිව සමාජ සංවිධාන ආදී විෂය ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ අප්‍රතිහත ධෛර්යයෙන් යුතුව පර්යේෂණවල නිරත වූ මහැදුරු පරණවිතාණයෝ එම විෂයයන් අළලා ග්‍රන්ථ සහ නිබන්ධන ගණනාවක් සම්පාදනය කළෝය. පුරාවිද්‍යා සමීක්ෂණ වාර්තා ශාස්ත්‍රීය අගයකින් යුතුව පළවූයේ පරණවිතාන මහතාගේ කාලයේදීය. එකල අනුරාධපුරය, පොළොන්නරුව, මිහින්තලය, සීගිරිය සහ කෝට්ටේ ප්‍රදේශවල විසිර තිබූ පුරාවිද්‍යා උරුමයන් රැසක් කැණීම් කොට පාදා තහවුරු කර ඇත. එම ගවේෂණ කාර්යය ප්‍රබල ලෙස යොමු වූයේ ශ්‍රී ලංකාවේ ඓතිහාසික යුග වෙතය. පුරාවිද්‍යාව හා අනෙකුත් ශාස්ත්‍රීය විෂයන් පිළිබඳව පරණවිතාන වියතුන් විසින් සම්පාදනය කරන ලද ග්‍රන්ථ හා නිබන්ධන සංඛ්‍යාව පන්සියයකට ආසන්න බව වාර්තාගතව ඇත. එතුමාගේ ප්‍රථම ශාස්ත්‍රීය නිබන්ධනය වූ The Cholas and Ceylon පළවී ඇත්තේ වර්ෂ 1924 දීය.

ඔහුගේ විශිෂ්ටතම සේවාව සිදුවූයේ අභිලේඛන විඥාන විෂය අරභයාය. එනම්, පැරැණි අක්ෂර මාලාවලින් ලිඛිත ශෛලමය, ලෝහමය සහ තල්පත් ලේඛන අනාවරණය කෙරෙහිය. පළමුවැනි විජයබාහු රජුගේ පොළොන්නරු සෙල් ලිපිය අනාවරණය කිරීමෙන් වර්ෂ 1926 දී එතුමන් ශිලා ලිපි ප්‍රකට කිරීමට පිවිසියේය.   Epigraphia Zeylanica සංග්‍රහයෙහි වර්ෂ 1933 – 1973 අතර කාලයෙහි ශාස්ත්‍රීය විවරණය හා ලේඛනය සිදුවූයේ පරණවිතාන ශ්‍රීමතුන් අතිනි. ක්‍රි.පූ. තුන්වැනි සියවසේ සිට ක්‍රි.ව. දහහත්වැනි සියවස දක්වා වූ කාලයට අයත් පුර්ව බ්‍රාහ්මී, පශ්චාත්, බ්‍රාහ්මී, සිංහල, නාගර , ද්‍රවිඩ හා කාම්බෝජ යන අක්ෂර මාලාවන්ගෙන් ලිඛිත ලේඛන එතුමන්ගේ විමර්ශනයට ලක් විය. එතුමන්ගේ යෝජනාවක් අනුව වර්ෂ 1970 දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් ශිලාලිපි 1276 ක එකතුවක් පළකර ඇත. එය Inscriptions of ceylon , vol 1 Early Brahmi Inscriptions  නම් වේ. එමෙන්ම වර්ෂ 1956 දී කාණ්ඩ දෙකක් වශයෙන් පළ කරන ලද Sigiri Graffit නම් මහා ග්‍රන්ථයෙහි 8,9,10 සියවස්වලට අයත් සිංහල පද්‍ය පිළිබඳ අර්ථ විවරණයන් පළ විය. පරණවිතාන මහතාගේ ගවේෂණවල ප්‍රතිඵල අනාවරණය කළ වෙනත් ග්‍රන්ථ වන්නේ. The Shrine of Upulvan at Devundara  (දෙවුන්දර උපුල්වන් දෙවිඳු) The god of Adam’s peak (සමනළ කන්දේ දෙවිඳුන්) Art and Architecture of ceylon polonnaruva period පොළොන්නරු යුගයේ කලාව හා ගෘහ නිර්මාණ ) ආදියයි.

ලක්දිව පැරැණි චිත්‍ර, මූර්ති හා කැටයම්වලින් විවිධ දාර්ශනික මත සන්නිවේදනය වන බව එතුමන් අනාවරණය කළේය. එම අදහස් විවාදයට බඳුන්විය. විවේචනයට බඳුන් වූ එවැනි නිබන්ධනයක් වූයේ Sigiri Abode of a god king ය. ආදී ලක්වැසියන්ගේ ආගමික විශ්වාස පිළිබඳ අධ්‍යයනය කොට ලියැවුණූ නිබන්ධනයක් 1929 දී Pre –Buddhist Religious Beliefs in Ceylon (ප්‍රාග් බෞද්ධ ලංකාවේ ආගමික විශ්වාස) නමින් පළ විය.

ශ්‍රී ලංකාවේ මහායානවාදය පිළිබඳ ලියන ලද ලිපිය Mahayanism in ceylon නමින් පළ වී ඇත. එතුමන් සංස්කාරකත්වය දරන ලද University of ceylon History of ceylon නම් ග්‍රන්ථය ලංකා විශ්වවිද්‍යාලයීය ලංකා ඉතිහාසය නමින් සිංහල බසින් පළ කර ඇත.

සිංහල වැසියන් පිළිබඳ ව්‍යවහාරික බසින් ලියන ලද ‘සිංහලයෝ’ ග්‍රන්ථය එතුමාගේ ශාස්ත්‍රීය ගවේෂණයන්හි ප්‍රතිඵලයකි. එයින් මෙරට බුදුදහම හා සබැඳි කලාව හා ගෘහනිර්මාණ පිළිබඳ ජීවමය විවරණයක් සිදුවිය. බෞද්ධාගම හා බැඳුණු කලාව පිළිබඳ එතුමන් ලියූ පර්යේෂණාත්මක ලිපි රැසක් දෙස් විදෙස්හි ශාස්ත්‍රීය ග්‍රන්ථයන්හි පළ වී ඇත. පරණවිතාන මහැදුරාණෝ ශ්‍රී ලංකාවේ බුද්ධාගම ඇසුරු කරගෙන වර්ධනය වූ කලාව පිළිබඳ ශාස්ත්‍රීය දේශන, ලෝක සම්මේලනවලදී ද ඉදිරිපත් කළහ.

එතුමන් ඉදිරිපත් කළ විවිධ මත විවේචනයට බඳුන් විය. එවැනි මත වූයේ සීගිරිය බලකොටුවක් නොව දෙව්රද විමනක් වූ බව සහ සීගිරි ලලනාවක් විජ්ජුලතා (විදුලිය) හා මේඝලතා (වළාකුළු) කුමරියන් සංකේතවත් කරන බව ආදියයි.

ඔහු ශ්‍රී ලංකාවේ ඓතිහාසික යුග පිළිබඳ කැණීම් කටයුතු ආරම්භ කළේ අනුරාධපුර සහ පොළොන්නරු රාජධානිවල ඇතුළු නගරවලිනි. වර්ෂ 1932 දී දළදාගෙය නම් ගොඩනැඟිල්ල, මහපාලිදානශාලාව හා එයට අයත් ළිඳ කැණීම්කොට පාදා තහවුරු කොට ඇත. එම වසරේදීම පොළොන්නරුවේ ඇතුළු නගරය කැණීම්කර, පරාක්‍රමබාහු මාලිගය හා එයට ඊසාන දෙසින් පිහිටි රාජ වෛශ්‍ය භුජංග මණ්ඩපය පාදා ගත්තේය. තවද කුමාර පොකුණ හා ශිව දේවාලයද පාදා තහවුරු කළේය.

වර්ෂ 1934 දී මිහින්තලේ කණ්ඨක චෛත්‍යය කැණීම් කර පාදා ගැනීමේ ගෞරවය හිමිවන්නේද එතුමන්හටය. එය කැණීමේදී හමුවූ ශිලා ලේඛනයේ සඳහන් වූයේ මෙය පැරැණි කාලයේ කටුසෑය (කටක චෙත) යනුවෙනි.

වර්ෂ 1940 – 45 කාලය තුළ මැදිරිගිරි වටදාගෙය කැණීම් කර සංරක්‍ෂණය කළේ පරණවිතාන වියතුන්ගේ උපදෙස් මතය. එම කාර්යයේදී දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පෑ බව එය වාර්තාකර ඇති ආකාරයෙන් අනාවරණය වේ.

එකල සිදු කළ තවත් වැදගත් කාර්යයක් නම් අනුරපුර පාචීන තිස්ස පබ්බත විහාරයේ මඟුල් උයනේ කැණීම් සිදු කිරීමය. එහි පිටගැටයක කොටා තිබු ශිලා ලිපිය ඇසුරින් අනාවරණය වූයේ, එම ආරාමය පළමුවන ජෙට්ඨතිස්ස රජ විසින් කරවන ලදුව පචින තිස් පව් විහාර නමින් ව්‍යවහාර වූ බවයි.

වර්ෂ 1946 දී අනුරපුර දක්ඛිණ ථූපය පිහිටි භූමිය කැණ, එය වළගම්බා රජුගේ උත්තිය නම් ඇමැතිවරයා විසින් කරවන ලද බව පරණවිතාන මහතා අනාවරණය කරගත්තේය. එතුමාගේ අදහස වූයේ දුටුගැමුණු රජු ආදාහනය කළ ස්ථානයේ ගොඩනංවන ලද අනුස්මරණ ස්ථූපය දක්ඛිණථූපය බවයි.

වර්ෂ 1946 දී සීගිරියෙහි දකුණු ද්වාර මණ්ඩපයද , 1947 වසරේදී එහි බටහිර දොරටුවද කැණ පාදාගන්නා ලදී. 1947 වර්ෂයේදී දැදිගම හා පඬුවස්නුවර කැණීම් කළ අතර දැදිගම සූතිඝර චේතිය හඳුනාගනු ලැබිණි.

1948 දී යාපහුවේ හා මහනුවර මාලිගයේ කැණීම් කටයුතු ආරම්භ විය. යාපහුව බළකොටු නගරයේ බටහිර හා දකුණු දොරටු කැණීම් කොට සංරක්ෂණය කරනු ලැබුවේ 1952 දීය. 1949 දී ලෝවා මහා පායේ කැණීම් කටයුතු සිදු කරන ලදී. එම වසරේදීම විජයබා මාලිගයේ කැණීම් ආරම්භ කර ඇත.

පොළොන්නරුවේ ආලාහන පිරිවෙන් භූ®මියේ කළ කැණීම්වලින් ලංකාතිලක, බද්ධසීමා ප්‍රාසාදය පාදාගනු ලැබිණි. රාජාංගනයේ කැණීම්වලින් එහි වටදාගෙය පාදාගනු ලැබුණි.

1950 දී මාන්තායි හෙවත් මාතොට වරායේ කැණීම් සිදුකරනු ලැබිණි. සීගිරි ජල උද්‍යානයේ කැණීම් කොට එහි මූලික සැලැස්ම තේරුම් ගෙන සංරක්ෂණය කළේද පරණවිතාන මහතාය. 1950 දී මහියංගන ස්ථූපයේ කළ කැණීම්වලින් එහි ධාතු ගර්භයේ බිත්තියේ ඇඳ තිබූ සිතුවම්, එකොළොස්වැනි සියවසට අයත් වන බව එතුමන් ප්‍රකාශ කළේය. එම සිතුවම් සංරක්ෂණය කරවූයේය.

අනුරාධපුර ‘මාපා මාලිගය’ කැණ පාදාගනු ලැබුවේ 1951 දීය. තිරියාය වටදාගෙය සංරක්ෂණය කිරීම හා එහි වු සංස්කෘත ශිලා ලිපිය හඳුන්වාදීමද එතුමාගේ අමිල මෙහෙයකි. එකලදීම දඹේගොඩ හා මාලිගාවිල පිළිම ගෙවල්ද කණිනු ලැබිණි.

1952 දී කෝට්ටේ අලකේශ්වර සොහොනද 1953 දී නාලන්දා ගෙඩිගෙයද කැණීම් කරනු ලැබිණි. 1954 දී අනුරපුර අභයගිරි විහාරයට අයත් කපරාරාමයේ කැණීම්කොට එහිදී හමුවූ ශිලා ලිපියක් ඇසුරින්, පැරැණි කප්පුර පිරිවෙන එයයැයි ස්ථිර වශයෙන්ම සොයා ගනු ලැබ ඇත. එම වසරේදීම, පදවියේ ස්ථූප දෙකක්ද 1955 දී සීගිරිය මහානාග පබ්බත විහාරයට අයත් ආරාමයක්ද කණිනු ලැබිණි. 1955 දීඅභයගිරියේ පංචාවාසයේ කැණීම් කර ඇත.සිය පළපුරුද්ද හේතුවෙන්ද ඉතිහාසය, සාහිත්‍යය , භාෂාව හා අභිලේඛන පිළිබඳ තිබූ පෘථුල දැනුම උපයෝගී කරගනිමින්ද වැදගත් බෞද්ධ ස්මාරක රැසක අනන්‍යතාව හඳුන්වාදීමට පරණවිතාන වියතුන් සමත් විය. එතුමාගේ වැඩි අවධානය යොමුවී තිබුනේ පැරැණි රජරට පළාතෙහි බෞද්ධ ස්මාරක වෙතය. එම ස්මාරක අතර ස්ථූප, ථූපඝර (වටදාගෙවල්) බෝධිඝර, පඨිමාඝර (පිළිමගෙවල්) සහ උපෝසථඝර වැනි විශිෂ්ට ගෘහනිර්මාණ අංගවිය. පැරැණි ස්මාරකවල පුරාවිද්‍යාත්මක අගය පිළිබඳ ගැඹුරු වැටහීමක් එතුමන් සතුවිය. එවැනි ස්මාරකයක මුල් ස්වභාව, එය ගරාවැටුණු අයුරු, බිඳ වැටුණු අයුරු, නිධන් සොරුන් විනාශ කළ කොටස් හා ඉතිරි වූ කොටස් පිළිබඳ පරිකල්පනික සියුම් නිරීක්ෂණ ඔහු සතුවිය.

ලංකා ඉතිහාසය පිළිබඳ ලියන ලද එක් සඳහනක තෙවැනි ධර්ම සංගායනාව සහ මහින්දාගමනය ඓතිහාසික සත්‍යයන් බවත් ඒ සඳහා අභිලේඛන සාක්ෂි ඉදිරිපත් වන බවත් දක්වා ඇත. දශක ගණනාවක් පුරා ශිලාලේඛන විද්‍යා (Epigraphy), නාණක විද්‍යා (Numismatic) ප්‍රතිමා විද්‍යාව (Ieonograhy), පුරාවිද්‍යාත්මක තහවුරු කිරීම් (Restoration), කෞතුකාගාර විද්‍යාව (Museology) සහ පුරාවිද්‍යා පර්යේෂණ වාර්තා සැකසීම (Reporting) ආදී විෂය ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ පු‍්‍රළුල් වූ හැදෑරීම් කළ පරණවිතාන වියතාණෝ එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා භූමියෙහි සැඟව තිබූ බෞද්ධ උරුමයට පුනර්ජීවනයක් ලබා දුන්නෝය. වසර දෙදහස් පන්සියයකට අධික වූ ඓතිහාසික බෞද්ධ උරුමයක් අපට ඇති බවත් එය මතුකර ආරක්ෂා කළ යුතු බවත් මහාචාර්ය සෙනරත් පරණවිතාන වියතාණෝ ප්‍රකාශ කළහ. ඒ අනුව ක්‍රියාත්මක වූහ. ඔහුගේ නාමය, ශ්‍රී ලාංකිකයෝ වන අපි සැමදා ගෞරවයෙන් සිහිපත් කරමු.

නවම් පුර අටවක පෝය

නවම් පුර අටවක පෝය පෙබරවාරි 10 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 12.00 ට ලබයි.
12 වන දා සෙනසුරාදා පූර්ව භාග 01.24 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 11 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය
පෙබරවාරි 17 වන දා බ්‍රහස්පතින්දාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 11

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 17

Second Quarterඅව අටවක

පෙබරවාරි 24

New Moonඅමාවක

මාර්තු 04

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]