UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

 ශ්‍රී ධර්මානන්ද වංශාලංකාර ශාසනශෝභන විනයාචාර්ය යන ගෞරවනාම සහිත සංඝ නායක ධූරයෙන් පිදුම් ලද  පණ්ඩිත සීදුවේ සුමනවංස නා හිමි

අමරපුර මහා නිකායේ ශ්‍රී සුමංගල කාරක මහා සංඝ සභාව මගින් පිරිනමා ඇති ශ්‍රී ධර්මානන්ද වංශාලංකාර ශාසනශෝභන විනයාචාර්ය යන ගෞරවනාම සහිත සංඝ නායක ධූරය පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතා ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් රද්දොළුව අභිනවාරාමයේදී සිදු කැරෙන, අභිනවාරාම වාසී සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි ගම්පහ දිස්ත්‍රික් හා කටාන මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද ජාතික පාසලේ ආචාර්ය පණ්ඩිත සීදුවේ සුමනවංස නා හිමි


උභය සමාජයටම මෙහෙවරක් සිදුකරනවා

රද්දොළුව අභිනවාරාම විහාරාධිකාරී, පණ්ඩිත සීදුවේ සුමනවංස ස්ථවිරයන් වහන්සේ ගිහි පැවිදි උභය සමාජයටම ජාතික හා ආගමික මෙහෙවරක් සිදුකරනු ලබන ආදර්ශවත් යතිවරයාණ කෙනෙකි.

උන්වහන්සේ සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි වශයෙන් මෙන්ම, කටාන, මීගමුව ප්‍රාදේශීය හා ගම්පහ දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරි, වශයෙන් ද අගනා ශාසනික මෙහෙවරක් ඉටු කරන සුපේශල ශික්‍ෂාකාමී තරුණ යතිවරයෙකු වශයෙන් අපි හඳුනාගෙන සිටිමු.

බ.ප/මී.ග/රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද ජාතික පාසලේ ආචාර්ය වරයෙකු වශයෙන් සුමනවංස ස්ථවිරපාදයාණන් වහන්සේ අතින් සිදුවන සුවිශේෂ ජාතික අධ්‍යාපනික මෙහෙවර අගේ කළයුතු වේ. මේ අතර රද්දොළුව ශ්‍රී සුමංගල දහම් පාසලේ ප්‍රධානාචාර්ය වරයා වශයෙන් ඉටු කරනු ලබන දහම් පාසල් අධ්‍යාපන මෙහෙවර ද පැසසිය යුතු වේ.

ජාතික හා ආගමික වශයෙන් මහත් කාර්ය සම්භාරයක් ඉටු කරමින් වැඩ වෙසෙන, පණ්ඩිත, සීදුවේ සුමනවංස ස්ථවිරයන් වහන්සේට අමරපුර මහා නිකාය මගින් ගෞරව නාමයක් සහිතව සංඝ නායක ධූරයක් පිරිනමන මෙම සුවිශේෂ අවස්ථාවේදී උන්වහන්සේට තවදුරටත් ලෝක ශාසනික මෙහෙවර හොඳින් පවත්වා ගැනීමට අවශ්‍ය අයුරාරෝග්‍ය සම්පත් හා නිදුක් නිරෝගී චිර ජීවනය ද ප්‍රාර්ථනා කරමි.


සමාජයේ උන්නතියට අගනා මෙහෙවරක් ඉටු කැරේ

සීදුව - රද්දොළුව අභිනවාරාම විහාරාධිකාරී කටාන මීගමුව ප්‍රාදේශීය හා ගම්පහ දිස්ත්‍රික් ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී හා සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, පණ්ඩිත, ගෞරව ශාස්ත්‍රවේදී සීදුවේ සුමනවංස ස්ථවිරයන් වහන්සේ සම්බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහාත්, බෞද්ධ සමාජයේ උන්නතිය සඳහාත්, ඉතා අගනා ආගමික මෙහෙවරක් ඉටු කරනු ලබති.

අප දන්නා තරමින්, සීදුවේ සුමනවංස ස්ථවිරයන් වහන්සේ භික්‍ෂු සමාජයේ කැපී පෙනෙන ආදර්ශවත් යතිවරයන් වහන්සේ නමකි. මා එසේ කියන්නේ උන්වහන්සේ අඛණ්ඩව වාර්ෂිකව ශ්‍රී දළදා වහන්සේට පවත්වාගෙන එනු ලබන අත්‍යුත්කර්ෂවත් දළදා පූජාව නිසයි.

දැනට වර්ෂ 27 ක් තිස්සේ උන්වහන්සේ තමන්ගේ උපන් දිනය වෙනුවෙන් දළදා වහන්සේ වෙනුවෙන් වාර්ෂික මුරුතැන් බුද්ධ පූජාවක් පවත්වාගෙන ඒම සහ භික්ෂූන් වහන්සේ සියක් නමකටත් අධික මහ සංඝයා වහන්සේ විෂයෙහි එනම් බුදු රදුන් ජීවමානව සිටින කාලයේදී මෙන් ශතාධික මහා සංඝරත්නය විෂයෙහි සපිරි කර සංඝගත දක්‍ෂිණාවක් පිරිනැමීම මාහැඟි පුන්‍ය ක්‍රියාවක් වශයෙන් මේ අවස්ථාවේදී මතක් කළ යුතුම දෙයකි.

ශ්‍රී දළදා වහන්සේට සීදුව නගරය වැනි ඈත දුර බැහැර පෙදෙසක සිට කිසිකෙනෙකුටත් කරදරයක් අවහිරයක් නොවන පරිදි, තුන්හාරසියයක් තමාගේ කුළුපග පිරිස් සමඟ සෙංකඩගල ඓතිහාසික මහනුවර නගරයට වාහන කිහිපයකින් පැමිණ, ඉතා පිරිසුදුව, ගරු ගාම්භීර ලෙස දානමාන පිළියෙළ කරමින් අතුල්ය හා අසමසම පූජාවක් පැවැත්වීම අපේ සුමනවංස ස්ථවිරයන් වහන්සේගේ සුවිශේෂ ශ්‍රමණ ශක්‍ය පුත්‍රභාවය, බුද්ධ පුත්‍රභාවය ප්‍රකට කරන්නක් බව මා මෙහිලා ශ්‍රද්ධා භක්තියෙන් සිහිපත් කළයුතු දෙයකි.


පූර්වාදර්ශ භික්‍ෂු නමක්

අප රට තුළ මහත්සේ ඇප කැපවීමෙන් ජාතික හා ආගමික කටයුතුවල නිරතව සිටින භික්‍ෂූන් වහන්සේලා නිසා බුද්ධ ශාසනයත්, රටත්, රටවැසි ජනතාවත්, ආධ්‍යාත්මික හා බාහිර වශයෙන් සංවර්ධනය වන බව අප තරයේ විශ්වාස කරන දෙයකි.

රද්දොළුව අභිනවාරාම විහාරාධිකාරී, පණ්ඩිත සීදුවේ සුමනවංස ස්ථවිරයන් වහන්සේත්, ඉහත සඳහන් කළ ආකාරයට ජාතික, හා ආගමික කටයුතු වෙනුවෙන් ඇප කැප වන, අවංක පූර්වාදර්ශී තරුණ යතිවරයින් වහන්සේ නමක් බව කලක පටන් අප දන්නා කරුණකි.

සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ධූරයට පත් උන්වහන්සේ පියවරෙන්, පියවරට කටාන, මීගමුව ප්‍රාදේශීය හා ගම්පහ දිස්ත්‍රික් යන අනුපිළිවෙළින් ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී තනතුරේ සිටම ඇප, කැප වෙමින් වැඩ කිරීම තුළින් ම උන්වහන්සේ පූර්වාදර්ශ භික්‍ෂුනමක් වශයෙන් අපට ගෞරවයෙන් සිහිපත් කළ හැකිව තිබේ.

බ.ප/මි.ග/රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද ජාතික පාසලේ ධර්මාචාර්ය වරයාද වන සුමනවංස හිමිපාණන්ගේ මූලිකත්වයෙන් සිදුවන ජාතිකාගාමික ව්‍යාපෘති රැසක්ම පවතින අතර, උතුරු නැගෙනහිර, සරණාගතයින් හා එම දූ දරුවන් වෙනුවෙන් පිළිසරණ සැපයීම, කොළඹ ජාතික රෝහල ඇතුළු රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන් වෙනුවෙන් ඇප උපස්ථාන වැඩ පිළිවෙළ වැඩිහිටියන් සඳහා වෛද්‍ය සායන ආදිය ඉන් ව්‍යාපෘති කීපයකි.

රට, දැය සමයට උරදෙන විද්වත් යතිවරයින් වහන්සේ නමක් වන පණ්ඩිත සීදුවේ සුමනවංස මහස්ථවිරයන් වහන්සේට, අමරපුර මහා නිකාය මඟින් ගෞරවනාමයක් සමඟ සංඝ නායක පදවියක් පිරිනැමීම සුදුස්සාට සුදුසු ගරු සම්භාවනා දැක්වීමක් වශයෙන් අගේ කළ හැකි වේ. අභිනව නායක ස්ථවිරපාදයානන් වහන්සේට තවදුරටත් ලෝ සසුන් වැඩ යහතින් පවත්වා ගැනීමට අවශ්‍ය නිදුක්, නීරෝගී, භාවය සමග දීර්ඝායු ශ්‍රී සම්පත් ද වැඩේවා! යි. සුභාශිංසනය කරමි.


පිළිගැනීමක් ඇති මහ තෙර නමක්

අමරපුර මහ නිකාය බැබළවූ පරපුරේ මහා ස්ථවිරයන් වහන්සේලා අතර, දොඩන්දූවේ ශ්‍රී පඤ්ඤානන්ද ලොකු හාමුදුරුවන් වහන්සේ මෙන්ම, පණ්ඩිතාචාර්ය කොටුගොඩ ධම්මානන්ද ලොකු හාමුදුරුවන් වහන්සේ ද නිරායාසයෙන් අපගේ මතකය ප්‍රකර්ශවත් කරත්මය.

එම යතිවර පරපුරේම පහළ වූ අපවත්වී වදාළ රද්දොළුවේ අරියවංශ මහා ස්ථවිර හා රද්දොළුවේ අමරවංශ මහා ස්ථවිර යන මහා ස්ථවිර පාදයන් වහන්සේලා ප්‍රමුඛ කොට ඇති, භික්‍ෂු සංඝයා ද ප්‍රමාණවත් ලෝක ශාසනික මෙහෙවරකට ඇප කැප වූහ.

විශේෂයෙන් රද්දොළුවේ අභිනවාරාමය, රද්දොළුවේ ශ්‍රී සුබෝධාරාම මහා විහාරය යන විහාරාද්වයාධිපති රද්දොළුවේ අමරවංශ නායක හිමිපාණන් වහන්සේ අමරපුර මහා නිකායේ ශ්‍රී සුමංගල කාරක සංඝ සභාවේ ජ්‍යේෂ්ඨ සභික ධුරයක මෙන්ම සංඝ නායක ධුරයකද කටයුතු කරමින් යථෝක්ත විහාරස්ථානවල දායක කාරකාදීන් මෙන්ම, විහාරස්ථානයන්හි උභයාර්ථ සාධනයද සිදුකරවමින් යතිවර පරපුර බබළවන විද්වත්, උගත්, ශිෂ්‍ය පරපුරක් බිහිකිරීම උන්වහන්සේගේ විශිෂ්ඨ ශාසනික මෙහෙවරකි. විශේෂයෙන් අමරවංශ නායක ස්ථවිරයන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය රත්නය වන රද්දොළුවේ විමලවංශ නායක ස්ථවිර පාදයන් වහන්සේ අමරපුර මහා නිකායේ බොහෝ කටයුතු වලට රද්දොළුවේ ශ්‍රී සුබෝධාරාම මහා විහාරස්ථානය නිකායේම මූලාස්ථානයක් වශයෙන් යොදා ගෙන කටයුතු කිරීම අමරපුර මහා නිකායට ගෞරවයකි. නිකායේ වාර්ෂික උපසම්පදා විනය කර්ම සහ පූජා උත්සව කටයුතු වෙනුවෙන් මේ විහාරස්ථානය ගිහි පැවිදි උභය පාර්ශ්වයටම අපරිමිත අනුග්‍රහයක් ලබාදී ඉදිරියටත් එය පවත්වා ගෙන යෑම විශේෂ බුහුමනකට ලක්විය යුතු දෙයකි. රද්දොළුවේ විමලවංශ මහා ස්ථවිරයන් වහන්සේ වරින් වර ජාත්‍යන්තර ධර්මදූත මෙහෙවරේද යෙදෙමින් අමරපුර මහා නිකායේ ලේඛකාධිකාරී වශයෙන් ද කටයුතු කිරීම තුළින් තම ආචාර්යවරයින් වහන්සේ ඇතුළු ගමට රටට මහත් කීර්තියක් ඇති වේ.

ලෝක ශාසනික සේවාවේ නිරත ප්‍රමුඛ බුද්ධ ශ්‍රාවකයින් අතරට එක්වන පණ්ඩිත සීදුවේ සුමනවංශ මහ ස්ථවිර පාදයන් වහන්සේ රද්දොළුවේ අමරවංශ නායක ස්ථවිර පාදයාණන් වහන්සේගේම කනිටු ශිෂ්‍ය රත්නය වෙති.


ශ්‍රී සුමංගල කාරක සංඝ සභාවට ඉමහත් ගෞරවයක්

ලාබාල වියේදී සසුන් ගතවන කුලදරුවකු වශයෙන් අරුණට පළමුව නැගිට මළුපෙත් මං ඇමද නිමවා තබා ආදී වශයෙන් දක්වන සසුන් පිළිවෙත් හොඳට හුරු පුරුදුව තෙරුවන් කෙරෙහි අචල විශ්වාසයෙන් කටයුතු කරන නොපැහැදුණු අය පහදවන පැහැදුණු අයගේ පැහැදීම වැඩි කරන සුපේශල ශික්‍ෂාකාමී යතිවරයින් වහන්සේලාගේ පරමාදර්ශී නායකත්වය රටට වඩාත් අවශ්‍ය යුගයක් වශයෙන් වර්තමාන කාලය හැඳින්විය හැකිවේ.

රද්දොළුව අභිනවාරාම විහාරාධිකාරී ගෞරව ශාස්ත්‍රවේදී පණ්ඩිත සීදුවේ සුමනවංස ස්ථවිරයන් වහන්සේ මා මුලින් සඳහන් කළ සසුන් පිළිවෙත් හොඳීන් පිළිපැද තෙරුවන් කෙරෙහි මහත් ගෞරවයකින් හා විශ්වාසයකින් කටයුතු කරන ශික්‍ෂාකාමී යතීන්ද්‍රයන් වහන්සේ නමකි. උන්වහන්සේ බ.ප/මී.ග/ශ්‍රී පඤ්ඤානන්ද ජාතික පාසලේ ධර්මාචාර්යවරයා වශයෙන් ආචාර්ය මණ්ඩලයේත්, දරුවන්ගේත්, දෙමාපිය වැඩිහිටියන්ගේත් සිත් දිනාගෙන සතුටුදායක මෙහෙවරක් ඉටුකරති.

පණ්ඩිත සීදුවේ සුමනවංස ස්වාමින් වහන්සේ රද්දොළුගම නිවාස සංකීර්ණයේ ශ්‍රී සුමංගල දහම් පාසලේ හා, රද්දොළුව අභිනවාරාම විහාරස්ථ ශ්‍රී ධම්මානන්ද දහම් පාසලේත් ප්‍රධානාචාර්ය වරයා වශයෙන් ගම් ප්‍රදේශයේ දූ දරුවන් දහස් ගණනකගේ ධර්ම ඤාණය මෙන්ම සදාචාර සම්පන්නභාවය ද දියුණුපවුණු කිරීමේ ඇප කැපව ක්‍රියා කරති. එසේම සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරි, කෘත්‍යාධිකාරී මණ්ඩලයේ විධායක සභික ගම්පහ දිස්ත්‍රික් හා කටාන, මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී, තනතුර දරමින් බැරෑරුම් වගකීමකින් රට ජාතිය හා ආගම පිළිබඳ යම් නායකත්වයකින් ප්‍රභූත්වයකින් ක්‍රියා කරති. තමන්ගේ ජන්ම දිනය වෙනුවෙන් ආගමානුකූලව සිහිපත් කිරීම සඳහා වර්ෂයක් පාසා පිරිවර සමග මහනුවර දළදා මාළිගාවේ වැඩ වෙසෙන දළදා වහන්සේ ජීවමාන බුදුරජාණන් වහන්සේ සේ සලකා මහත් බුද්ධ භක්තියෙන් බුදුන් ප්‍රමුඛ කොට ඇති ශතාධික මහා සංඝ රත්නය විෂයෙහි සපිරිකර සංඝගත දක්‍ෂිණාවක් පිරිනැමීම හා සැමට ආශිර්වාදය ලබාදීම දුර්ලභ ගනයේ සුවිශේෂී පින්කමකි. උන් වහන්සේට නායක පදවියක් පිරිනැමීම විශේෂයෙන් අමරපුර මහා නිකායේ මහානායක මාහිමිපාණන් වහන්සේ ඇතුළු ශ්‍රී සුමංගල කාරක සංඝ සභාවට ඉමහත් ගෞරවයකි.


දහම් අධ්‍යාපනය දියුණුවට ක්‍රියා කරන යතිවරයෙක්

සීදුව රද්දොළුව අභිනවාරාම විහාරාධිකාරී, සමස්ත ලංකා ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, ගම්පහ දිස්ත්‍රික් හා කටාන මීගමුව ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී, රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද ජාතික විදුහලේ ආචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී, පණ්ඩිත ගෞරවාර්හ සීදුවේ සුමනවංශ ස්වාමීන් වහන්සේ වෙත අමරපුර මහා නිකායේ මහානායක මහා ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ කාරක සංඝ සභාව මගින් “ශ්‍රී ධම්මානන්ද වංශාලංකාර ශාසන සෝභන විනයාචාර්ය” යන ගෞරව නාම සම්මුතිය පිරිනැමීම නිමිත්තෙන් සුභාශිංසන පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබඳ අතිශයින් සතුටට පත්වෙමි.

වර්ෂ 1958 දී ජන්ම ලාභය ලැබ, වර්ෂ 1971 දී ප්‍රව්‍රජ්‍යා භූමියට පත් වූ උන්වහන්සේ, පානදුර රන්කොත් විහාරස්ථ ශ්‍රී සෞගත විද්‍යාලයීය පිරිවෙනින් මූලික අධ්‍යාපනයත් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයෙන් උසස් අධ්‍යාපනයත් ලබා ගත්හ.

වර්ෂ 1978 දී උතුම් උපසම්පදා භූමියට පත් වූ උන්වහන්සේ, දරුවන්ගේ දහම් අධ්‍යාපනය දියුණු කරලීමට මහත් වෙහෙසක් ගෙන ක්‍රියා කරන යතිවරයෙක් ලෙස මම දකිමි.

ඒ නිසාම සමස්ත ලංකා ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී ධූරය ලැබීමට සමත් වූහ.

තම විහාරස්ථානය අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කිරීමට මහත් වෙහෙසක් ගත් උන්වහන්සේ, ප්‍රදේශයේ ජනතාවගේ සාමාජික කටයුතු මනාව ඉටු කරමින් කරනු ලබන සේවය අපමණය.

ස්ව නිකායෙන් පිරිනැමූ අභිනව තනතුරත් සමඟ තම සද් කාර්යයන් මනාව ඉටුකරලීමට සමත් වනු ඇතැයි මම හුදෙක්ම විශ්වාස කරමි.

ගෞරවාර්හ සීදුවේ සුමනවංශ ස්වාමීන් වහන්සේට නිදුක් නීරෝගී භාවයත්, දීර්ඝායුෂත්, තෙරුවන් සරණින් ලැබේවා! යි මෙත් සිත් පෙරටුව ප්‍රාර්ථනා කරමි.


කළ මෙහෙවර ප්‍රශංසනීය යි

සමස්ත ලංකා ශාසනාරක්‍ෂක බල මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද ජාතික පාසලේ ආචාර්ය, ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය පණ්ඩිත සීදුවේ සුමනවංස ස්වාමීන් වහන්සේ වෙත ශ්‍රී ධම්මානන්දාවංශාලංකාර ශාසන ශෝභන, විනයාචාර්ය යන ගෞරවනාමය සහිත නායක පදවිය පිරිනැමීමේ පුවත අසා මම බලවත් සතුටට පත්වීමි.

සීදුව මූකලංගමුව ප්‍රදේශයේ උපන් අප නායක ස්වාමීන් වහන්සේ සම්බුද්ධ ශාසනය පිළිබඳ ඇතිවූ අපරිමිත ගෞරව භක්ත්‍යාධරය නිසාම වර්ෂ 1971 දී පැවිදි දිවියට ඇතුළත් වූහ.

පිරිවෙන් අධ්‍යාපනයේදී විවිධ දක්‍ෂතා පෙන්වමින් කටයුතු කළ අප නායක ස්වාමීන් වහන්සේ, භික්‍ෂුවක් විසින් පිළිපැදිය යුතු ධර්ම විනය මැනවින් ප්‍රගුණ කළහ. බෞද්ධ, පාලි, අභිධර්මය වැනි විෂයන්ට අමතරව ඉංග්‍රීසි, දෙමළ හා ජපන් වැනි භාෂා ප්‍රගුණ කළහ. පූජ්‍ය සීදුවේ සුමනවංස නායක ස්වාමීන් වහන්සේ වෙතින් ඉටු වූ ශාසනික සමාජීය මෙහෙවර අපමණය. උන්වහන්සේ රද්දොළුව අභිනවාරාම විහාරස්ථානය අංග සම්පූර්ණ විහාරස්ථානයක් බවට පත් කරමින් සම්බුද්ධ ශාසනයේ චිරස්තිථිය උදෙසාත්, අභිවෘද්ධිය උදෙසාත් කළ මෙහෙවර ප්‍රසංශනීයයි.

පැවිදි සමාජයේ මෙන්ම ගිහි සමාජයේ විවිධ තනතුරු හොබවමින් කටයුතු කළ සුමනවංස ස්වාමීන් වහන්සේ දහම් පාසල් අධ්‍යාපනයේ ප්‍රවර්ධනය උදෙසා ප්‍රමුඛ වූ කාර්යභාරයක් ඉටුකළ හිමිනමක බව ප්‍රකටය. ශාසනික, සාමාජීය, සංස්කෘතික, අධ්‍යාපනික වශයෙන් සුවිශාල මෙහෙවරක් ඉටු කළ අප ස්වාමීන් වහන්සේ තනතුරු හා ගෞරව නාමයන්ගෙන් පිදුම් ලැබීය.

කිසිදු අවස්ථාවක සම්බුද්ධ ශාසනය නිසා අප ස්වාමීන් වහන්සේ බැබළුනේ නැත. සැමවිටම උන්වහන්සේ නිසා සම්බුද්ධ ශාසනය බැබළුනේය. උන්වහන්සේ කිසිදු දිනක තනතුරු පසුපස හඹා ගියේ නැත. තනතුරු උන්වහන්සේ කරා ආවේ නිතැතිනි. මෙවැනි පැවිදි උතුමෝ රටටම ආදර්ශයකි. අභිනව නායක පදවියෙන් පිදුම් ලැබූ පූජ්‍ය සීදුවේ සුමනවංස ස්වාමීන් වහන්ස, ඔබ වහන්සේ වෙත මාගේ සුබ පැතුම් පිරිනමමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා! යි ප්‍රාර්ථනා කරමි.


මෙහෙවර ශක්තිමත් කිරීමක්

සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී, රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද ජාතික පාසලේ ආචාර්ය ගෞරව ශාස්ත්‍රවේදී පූජ්‍ය පණ්ඩිත සීදුවේ සුමනවංස ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඉටුකරන ආගමික, සාමාජික හා ජාතික මෙහෙවර වෙනුවෙන් අමරපුර මහා නිකාය මගින් ශ්‍රී ධම්මානන්දවංශාලංකාර ශාසනසෝබන, විනයාචාර්ය යන ගෞරව නාම පිරිනැමීම වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරන්නට ලැබීම භාග්‍යයක් සේ සලකමි.

ජනතාවගේ හිත සුව පිණිස සුබ සිද්ධිය සඳහාත් මහා සංඝරත්නය කටයුතු කළයුතු බව අප තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ වදාළහ. පණ්ඩිත සීදුවේ සුමනවංශ හිමිපාණෝ එම බුදු වදන අනුව කටයුතු කරන යතිවරයෙකි.

සීදුව මූකලංගමුවේ දී ජන්ම ලාභය ලැබූ උන්වහන්සේ 1971 ඔක්තෝම්බර් මස 31 වෙනිදා රද්දොළුව සුබෝධාරාම විහාරස්ථානයේ දී සසුන් ගත වූහ. එදින පටන් අද දක්වාම උන්වහන්සේගෙන් ඉටු වූ ආගමික, ශාසනික හා සමාජයීය මෙහෙවර අනන්තය, අප්‍රමාණය. රද්දොළුගම ජාතික නිවාස සංකීර්ණයේ ප්‍රජාශාලාව තුළ රද්දොළුගම ශ්‍රී සුමංගල නමින් දහම් පාසලක් ආරම්භ කිරීම, රද්දොළුගම බෞද්ධ මහා සංගමය ඇරඹීම, රද්දොළුගම එක්සත් තරුණ බෞද්ධ සංගමය පිහිටුවීම, එම ආගමික, ශාසනික හා සමාජීය සේවාවන්ගෙන් බිඳක් පමණි. උන්වහන්සේගේ සේවය ඇගයීම සඳහා අමරපුර මහා නිකායේ මහානායක හිමිපාණන් වහන්සේ ප්‍රධාන කාරක සංඝ සභාව මගින් ශ්‍රී ධම්මානන්ද වංශාලංකාර, ශාසනසෝභන සහ විනයාචාර්ය යන නාමයන් සහිත පදවිය පිරිනැමීම උන්වහන්සේගේ ආගමික, ශාසනික හා සමාජයීය මෙහෙවර තවදුරටත් ශක්තිමත් කිරීමක් ලෙස මම විශ්වාස කරමි. මෙම නායක පදවි ලැබීම නිමිත්තෙන් උන්වහන්සේට නමස්කාර පූර්වක සුබාශිංසනය පිරිනමන අතරම මෙතෙක් සිදුකළ ආගමික, ශාසනික හා සමාජයීය මෙහෙවර තවදුරටත් ශක්තිමත්ව ඉදිරියට ගෙනයෑමට හැකිවේවායැයි ගෞරව පූර්වකව ප්‍රාර්ථනා කරමි.


ලබාදෙන සහයෝගය ශක්තියක්

අභිනව නායක මාහිමි මුලින් ම ගම්පහ දිස්ත්‍රික් හා කටාන, මීගමුව ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ප්‍රධාන ලේඛකාධිකාරී වශයෙන් සසුන් කෙත සුරැකීමට විසි වසරකට අධික කාලයක සිට මේ දක්වා කළ මෙහෙවර සහ සිදු කරමින් පවතින මෙහෙවර ජනතා විශ්වාසය මල්ඵල ගන්වමින් තවදුරටත් සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී වීමත්, එම තනතුර පිළිබඳ ඇප කැපව කටයුතු ඉටු කිරීමත් දෙස බලන විට “අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා” යන පිළිවෙළ යටතේ පියවරෙන් පියවර ඉහළට යන ශ්‍රේෂ්ඨ යතිවර චරිතයක් බව නිසැකව සඳහන් කළ යුතු ය.

සීදුවේ සුමනවංස නාහිමිපාණන් වහන්සේ දහම් පාසල් නිර්මාතෘවරයාණ නමක් ද වන අතර, දහම් පාසල් දෙකක ම ප්‍රමුඛ ආචාර්යවරයා වශයෙන් ද, බ.ප/මීග/රද්දොළුව ශ්‍රී පඤ්ඤානන්ද ජාතික පාසලේ ආචාර්යවරයෙකු හා, රද්දොළුව අභිනවාරාම විහාරස්ථානයේ විහාරාධිකාරී ධර්මෝපදේශක වශයෙන් ද බහුතර ජනතාවගේ හිතසුව සඳහා ඇප කැප වන ආදර්ශවත් තරුණ නායක හිමිපාණන් වහන්සේ නමක් වශයෙන් ද මෙම උන්වහන්සේ අගය කරමි. සීදුවේ සුමනවංස ස්වාමීන් වහන්සේ සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලීය කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සැමගේ ප්‍රසාදය දිනාගනිමින් බුද්ධ ශාසන අමාත්‍යාංශයේ හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ සියලු නිලධාරීන් සමඟ සමීප සම්බන්ධතා පවත්වා ගනිමින් ක්‍රියා කිරීම ගැන ද, විශේෂයෙන් සඳහන් කළ යුතු ය. වත්මන් සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලයේ ක්‍රියාත්මක වැඩසටහන් කීපයක් සීදුවේ සුමනවංශ නාහිමිපාණන්ගේ යෝජනා අදහස් බව මෙම අවස්ථාවේ ගෞරව පූර්වකව සඳහන් කළ යුතු වේ. ඒ අනුව දහම් පාසල් සේවාවන්ට ද සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලයට හා කෘත්‍යාධිකාරී මණ්ඩලයේ කටයුතු වලට ද, ලබාදෙන සහයෝගය එහි ඉදිරි පැවැත්ම සඳහා සවිබල සම්පන්න ශක්තියක් වන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් වශයෙන් සඳහන් කිරීම මගේ පරම යුතුකමකි.

දුරුතු පුර පසළොස්වක පෝය

දුරුතු පුර පසළොස්වක පෝය ජනවාරි 19 වන දා බදාදා පූර්ව භාග 5.19 ට ලබයි.
20 වන දා බ්‍රහස්පතින්දා පූර්ව භාග 02.51 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 19 වන දා බදාදාය

මීළඟ පෝය
ජනවාරි 26 වන දා බදාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ජනවාරි 26

New Moonඅමාවක

පෙබරවාරි 02

First Quarterපුර අටවක

පෙබරවාරි 11

Full Moonපසෙලාස්වක

පෙබරවාරි 17

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]