UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

මහ සයුරයි බුදු සසුනයි

බුදුරජාණන් වහන්සේගේ බුදු සසුන (බුද්ධ අවවාදය) මහ සයුරට උපමා කොට, දේශිත සූත්‍ර ධර්මයක්, ඛුද්දක නිකායේ එයි. ඒ උපෝසථ සූත්‍රයයි.

බුදුරදුහු භික්‍ෂූන් අමතති. මහණෙනි, මහ මුහුද ක්‍රමයෙන්, ගැඹුරු වූයේ, ක්‍රමයෙන් ගැඹුරට නැඹුරු වූයේ, ක්‍රමයෙන් ගැඹුරට බර වූයේ, එක එල්ලේම බෑවුමක් නැත්තේ ය. ක්‍රමයෙන් නැඹුරු වූයේ ක්‍රමයෙන් ගැඹුරට බර වූයේ, එක එල්ලේම බෑවුමක් නොවේ යන යමක් වේද,?

මහණෙනි, යමක් දැක දැක අසුරයෝ මහ මුහුදෙහි ඇලෙත් නම්, මහ මුහුදෙහි, මේ පළමුවන ආශ්චර්යය ධර්මයයි. අද්භූත වූ ධර්මයයි.

මේ පළමුවන කාරණයට සමානව බුදු සසුන කෙරෙහි ශ්‍රාවකයන් ඇලෙන කරුණ පහත පරිදි දක්වයි.

මහ මුහුද ක්‍රමයෙන් නැඹුරු වූයේ, ගැඹුරට නැඹුරු වූයේ, එමෙන්ම මහණෙනි, මේ සසුනෙහි අනුපූර්ව ශික්‍ෂාව, (ත්‍රිවිධ ශික්‍ෂා) අනුපූර්ව ක්‍රියා (ධූත ධර්ම දහ තුන) අනුපූර්ව ප්‍රතිපදා ඇත. පිළිවෙළ ඉක්මවා (ශීල, සමාධි, ප්‍රඥා, නොපුරා) එක්වනම රහත් බවට පැමිණීම නොවේ. මහණෙනි, මේ සස්නෙහි පිළිවෙළින් අනුපූර්ව ශික්‍ෂා, අනුපූර්ව ක්‍රියා, අනුපූර්ව ප්‍රතිපදා ඇත.

එක්වර නිවන් අවබෝධය නැත්තේ යන යමක් වේද?, කටයුතු යමක් දැක, භික්‍ෂූහු මේ සසුනෙහි ඇලෙත්ද සසුනෙහි මේ පළමුවන, ආශ්චර්ය අද්භූත ධර්මයයි.

මහ මුහුදෙහි දක්නා ලැබෙන දෙවන අද්භූත ආශ්චර්ය ධර්මය මෙයයි. එනම්, මහණෙනි, තවද මහ මුහුද ස්ථිත ස්වභාව ඇත්තේ, වෙරළ නොඉක්මවයි.

මහ මුහුද ස්ථිත ස්වභාව ඇත්තේ වෙයි, වෙරළ නොඉක්මවයි යන යමක් වේද, යමක් දැක, දැක අසුරයෝ මහ මුහුදෙහි ඇලෙත් නම්, මහණෙනි, මහ මුහුදෙහි මේ දෙවන ආශ්චර්ය වූ අද්භූත වූ, ධර්මයයි.ඉහත දෙවන කරුණට සමානව බුදු සසුනෙහි ශ්‍රාවකයන් ඇලෙන කරුණ පහත පරිදි දක්වා ඇත.

මහණෙනි, යම්සේ මහ මුහුද ස්ථිත ස්වභාව ඇත්තේ, වෙරළ නොඉක්මවයිද, මෙසේම මහණෙනි, ශ්‍රාවකයන්ට යම් ශික්‍ෂා පදයක් පනවන ලදද එය මාගේ ශ්‍රාවකයෝ සෝවාන් ආදී මඟඵල ලැබූ ආර්යශ්‍රාවකයෝ ජීවිත හේතුවෙන්වත් (ජීවිතය අහිමිව ගියද) නොඉක්මවත් යන යමක් ඇද්ද, මෙයද මහණෙනි, යමක් දැක, දැක, භික්‍ෂූහු මේ සසුනෙහි, ඇලෙත් ද සසුනෙහි මේ දෙවන ආශ්චර්ය අද්භූත ධර්මයයි.

මහණෙනි, යම් සේ මහ මුහුද මළකුණු හා එක්ව නොවසයිද, මහ මුහුදෙහි යම් මළකුණක් වී නම් එය වහාම මුහුදු තෙරට ගොඩ ගසයිද, මෙසේ මහණෙනි, දුශ්ශීල වූ, පහත් ස්වභාව ඇති, අපරිශුද්ධ වූ සැකයෙන් සිහිකටයුතු හැසිරීම් ඇති, ශ්‍රමණබවෙන් බැහැර වූ අය සමග එක්ව සංඝයා නොවසති. වහාම සංඝයා රැස්ව ඔහු නෙරපයි. මහණෙනි, යමක් දැක භික්‍ෂූහු මේ සසුනෙහි ඇලෙත් නම් මෙය ඒ තෙවැනි ආශ්චර්ය ධර්මය වේ.

මහණෙනි,

යම්සේ ගංගා, යමුණා, මහී යන මහා නදීහු වෙත්ද ඔවුහු මහ මුහුදට, පැමිණ පළමු නම්ගොත් අත්හරිත්. මහ මුහුද යැයි ව්‍යවහාරයට යත්.

මහණෙනි, එසේම ක්‍ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර යන මේ සතර කුලයෝ වෙත්ද, ඔවුහු ගිහිගෙයින් නික්ම තථාගතයන් වහන්සේ විසින් මැනවින් දේශිත සසුනෙහි, පැවිදි වී, පළමු නම්, ගොත් අත් හරිත්, මෙයද මහණෙනි, යමක් දැක, දැක භික්‍ෂූහු මේ සසුනෙහි, ඇලෙත්ද, මේ සිව්වැනි ආශ්චර්ය අද්භූත ධර්මයයි.

මහණෙනි, යම්සේ ලෝකයෙහි යම් ගංගා ඇළ දොළ මහ මුහුදට ගලා බසියිද, එයින් මහ මුහුදෙහි අඩු බවක් හෝ පිරුණු බවක් නොපෙනේ.

මහණෙනි, මෙසේම බොහෝ භික්‍ෂූන් අනුපාදිශේෂ පරිනිර්වාණයෙන් පිරිනිවන් පාන නමුදු එයින් පරිනිර්වාණ ධාතුවෙහි අඩුබවක් හෝ පිරුණු බවක් නොපෙනේ. මෙය දැක පැහැදී, භික්‍ෂූහු මේ සසුනෙහි, ඇලෙත් ද, සසුනෙහි මේ පස්වෙනි ආශ්චර්යයි. අද්භූත ධර්මයයි.

මහණෙනි, යම්සේ මහ මුහුද එකම රස ඇත්තේ, ලුණු රස ඇත්තේ වේද, මහණෙනි, මෙසේම මේ ධර්ම, විනය එකම රස ඇත්තේ විමුක්ති රස ඇත්තේ වේ. මහණෙනි, මේ ධර්ම විනය එකම රස ඇත්තේ විමුක්ති රස වේ යන යමක් ඇද්ද මහණෙනි, යමක් දැක, දැක භික්‍ෂූහු මේ සසුනෙහි, ඇලෙත්ද, සසුනෙහි, මේ සයවෙනි, ආශ්චර්යය අද්භූත ධර්මයයි.

මහණෙනි, යම්සේ මහ මුහුද, මුතු, මැණික්, ආදී වූ නොයෙක් රුවන් ඇත්තේ ද, මෙසේම මේ ධර්ම විනය, බොහෝ රුවන් ඇත්තේ නොයෙක් රුවන්, ඇත්තේ වේ. එහි සතර සතිපට්ඨාන, සතර සම්‍යක් ප්‍රධාන, සතර සෘද්ධි පාද පඤ්ච ඉන්ද්‍රිය, පඤ්ච බල ආර්ය අෂ්ටාංගික මාර්ගය යන මේ ආදී රතන ඇත්තේ වේ.

මහණෙනි, මේ සසුන බොහෝ රතන ඇත්තේ ය. බොහෝ රුවන් ඇත්තේය යන යමක් ඇද්ද, මහණෙනි, මෙයද යමක් දැක, දැක භික්‍ෂූහු මේ සසුනෙහි ඇලෙත් ද, සසුනෙහි, මේ සත්වෙනි ආශ්චර්ය අද්භූත ධර්මයයි.

මහණෙනි, යම්සේ මහ මුහුද විශාල සත්වයන්ට වාසස්ථාන වේද, එහි තිමි තිමිංගල, තිමිර පිංගල, අසුර, නාග, ගන්ධර්ව සත්ව කොටස් ආදී අතිමහත් වූ සත්ව කොටස් වෙති. මහණෙනි, මහ මුහුද විශාල සත්වයන්ට වාසස්ථානය වේය යන යමක් වේද එසේම මහණෙනි, යමක් දැක, දැක අසුරයෝ මහ මුහුදෙහි, ඇලෙත් නම්, මහණෙනි, මහ මුහුදෙහි මේ අටවන ආශ්චර්ය අද්භූත ධර්මයයි. මෙපරිද්දෙන් මේ සසුන මහත් සත්වයන්ගේ වාසස්ථානය වේ. එහි සෝවාන්ය, සෝවාන් ඵලය පසක් කිරීමට පිළිපන්නේ ය, සකෘදගාමීය. සකෘදගාමී ඵල පසක් කිරීමට පිළිපන්නේය, අනාගාමිය, අනාගාමි ඵලය පසක් කිරීමට පිළිපන්නේ ය, රහත්ය, රහත් ඵලය පසක් කිරීමට පිළිපන්නේය යන මේ මහත් සත්ත්වයෝ වෙති. මෙයද මහණෙනි, යමක් දැක දැක භික්‍ෂූහු මේ සසුනෙහි ඇලෙත් නම් ඒ මේ සස්නෙහි අටවැනි ආශ්චර්ය අද්භූත ධර්මය වේ.

දුරුතු මස පුර අටවක පෝය

දුරුතු මස පුර අටවක පෝය ජනවාරි 12 වන දා බදාදා පූර්වභාග 03.53 ට ලබයි.
13 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 06.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 12 වන දා බදාදා ය.

මීළඟ පෝය
ජනවාරි 19 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 12

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

Second Quarterඅව අටවක

ජනවාරි 26

New Moonඅමාවක

පෙබරවාරි 02

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]