UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

බෞද්ධ ශිෂ්ටාචාරය හදාරන පිරිස අඩුවන්නේ ඇයි ?

සදාචාරවත් දැහැමි සමාජයක් ගොඩනැඟීමෙහිලා බුදු දහම විෂයක් ලෙස ඉගෙන ගැනීමේ වැදගත්කමක් තිබේ. දැනුම යනු හික්මීම නොවුණ ද මනා විනයගරුක බවක් සඳහා දැනුමෙන් ද පෝෂණයක් ලැබේ. මේ කරුණු වටහාගත් බොහෝ බෞද්ධ, අබෞද්ධ පිරිස් අද දහම් අධ්‍යාපනය සඳහා විශේෂ නැඹුරුතාවක් දක්වනු පෙනේ. මෙය අප රට තුළ පමණක් නොව ලෝකයෙහිද දක්නට ලැබෙන ප්‍රවණතාවකි. විශේෂයෙන් අප රටෙහි දහම් අධ්‍යාපනය සඳහාත්, ධර්මය උගතුන්ට රැකියා සම්පාදනයෙහිලාත් රාජ්‍ය අනුග්‍රහය ද ලැබෙමින් පවතින වකවානුවකි මේ.

මෙවන් පසුබිමක් තුළ මේ තත්ත්වයට පටහැනිබවක් පෙන්වන වාතාවරණයක් අ.පො.ස. උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය විෂය සම්බන්ධයෙන් දැක ගත හැකි ය. එනම්, එම විෂය හැදෑරීම සඳහා යොමුවන ශිෂ්‍ය සංඛ්‍යාව එන්න එන්නම පහළ වැටෙමින් තිබීමයි. 2005 වසරේ දී උසස් පෙළ විභාගයේ බෞද්ධ ශිෂ්ටාචාරය විෂයට පෙනී සිටි ශිෂ්‍ය සංඛ්‍යාව සමස්ත ශිෂ්‍ය සංඛ්‍යාවෙහි ප්‍රතිශතයක් ලෙස ගත් විට 14.53 % ක් වන විට 2009 දී එය 12.29% ක් දක්වා පහළ බැස ඇත. මෙය පසුගිය වසර කිහිපය තුළ ක්‍රමානුකූලව සිදු වූ පහළ යෑමක් ලෙස හඳුනාගත හැකි ය.

බෞද්ධ ශිෂ්ටාචාර විෂය හැදෑරීමට යොමුවන ශිෂ්‍ය සංඛ්‍යාව අඩු වූවද ඔවුන්ගේ සමත්වීමේ ප්‍රතිශතය ඉහළගොස් තිබීම මෙහිදී දැකගත හැකි තවත් කරුණකි. එසේම විමසීමට බඳුන් කළ යුත්තකි. විෂය හැදෑරීමට යොමුවන පිරිස් සැබැවින්ම එම විෂය කෙරෙහි ප්‍රියතාවකින් හා බැඳීමකින් එය හැදෑරීමට උනන්දු වීම ඊට හේතුවීද?

අනෙක් අතට උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය විෂය ඇතුළත් කලා විෂය ධාරාවෙන් සමත් වී ඉහළ ලකුණු ලබා සරසවියට පිවිසෙන සිසුන්, එහිදී වෙනත් විෂයන් (ඒවා හැදෑරීමෙන් රැකියා සඳහා සුදුසුකම් ලබාගත හැකි යැයි සමාජ මතයක් ගොඩනැඟී ඇති විෂයන් )හැදෑරීමට යොමුවන බවක් ද කියැවේ. එසේම බෞද්ධ ශිෂ්ටාචාරය වැනි විෂයන් වැඩිදුරටත් ඉගෙන ගන්නා සිසුන් වූවද අරගලවලට සම්බන්ධ වන්නේ කුමක් නිසාදැයි සමහරු විමසති. විමසීමෙන් ඔබ්බට ගොස් විෂය උගන්වන ආචාර්යවරුන්ටද චෝදනා කරති.

මේ ආදී කරුණු කාරණාවලට අදාළ සැබෑම තත්ත්වය කෙසේවේදැයි සොයා බැලීම කාලීනය. ගිහි පැවිදි විද්වතුන් දක්වන මේ අදහස්වලින් හෙළි වන්නේ මෙහි සැබෑ පසුබිමයි.


බෞද්ධ විෂයන් ඉගෙනීම කාලයට නොගැළැපෙතැයි සිතීම මුළාවක්

බෞද්ධ ශිෂ්ටාචාරය විෂයට පෙනී සිටින ශිෂ්‍ය සංඛ්‍යාව අඩුවීමට කාරණා කිහිපයක්ම බලපානවා. එකක් තමයි බෞද්ධ විෂයක් ඉගෙනගෙන රැකියා නැහැ කියන මානසිකත්වයක් ළමයි තුළ ඇතිවෙලා තිබීම. බෞද්ධ ශිෂ්ටාචාරය, සංස්කෘත, පාලි, බෞද්ධ දර්ශනය වැනි විෂයන්ට ආර්ථිකමය වටිනාකමක් නැහැ කියලා බොහෝ අය හිතනවා. එහෙම හිතන්න තුඩුදෙන ආකාරයේ අදහස් රටේ තිබෙනවා. සමහරවිට ගුරුවරු පවා එහෙම හිතනවා. මවුපියොත් එහෙම හිතනවා. ළමයි මේ සිතිවිලිවලින් කොටුවෙල. මේ ආකල්පය වැරැදියි.

බුද්ධ ධර්මය ඉගෙනීම ප්‍රගුණ කළ අයට විශිෂ්ට තලයේ රැකියා අවස්ථා තිබෙන බව අන්තර්ජාලය පරිහරණය කළවිට පැහැදිලි වෙනවා. බෞද්ධ ශිෂ්ටාචාරය විෂය විශිෂ්ට ලෙස සමත් වී විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා, ඊට අදාළව බෞද්ධ දර්ශන පශ්චාත් උපාධියත්, පර්යේෂණ උපාධියක් කරගත්තොත් ඉතාම ඉහළ මට්ටමේ ඉතාමත් හොඳ ආදායම් ලැබිය හැකි පුළුල් ආර්ථික අවස්ථා තිබෙනවා. බෞද්ධ අධ්‍යයන හා බැඳුණු උසස් අධ්‍යයන ආයතන දහස් ගණනක් තිබෙනවා. මම කියන්නේ මේ විෂය යන්තම් ඉගෙනගැනීම නෙමෙයි, හොඳට ප්‍රගුණ කරලා, ඉංගී‍්‍රසි භාෂා නිපුණතාවත් ලබාගෙන, පරිගණකයටත් යොමුවෙලා තියෙනව නම් මේ විෂය තුළින් ඉහළ ආදායම් ලබන රැකියා ක්‍ෂේත්‍ර කරා ළමයින්ට යන්න පුළුවන්. බුදුදහමට බැඳුණු විෂයන්ට පවතින ඉල්ලුම ඉහළ තලයක පැවතීම සම්බන්ධව ළමයි දැනුම්වත් කළ යුතු වෙනවා.

අපේ රටේ දැවැන්ත සංස්කෘතික ප්‍රවාහය තමයි බෞද්ධ සංස්කෘතික ප්‍රවාහය. රටේ ජනගහණයෙන් වැඩි ප්‍රතිශතයක් බෞද්ධයෝ. බුද්ධාගමෙන් තොරව මේ දැවැන්ත ප්‍රජාවට ජීවත්විය නොහැකි වෙලා තිබෙනවා. බුද්ධාගමෙන් අයින්වෙන්න සමහරු වෑයම් කළත් බුද්ධාගමෙන් ඈත් වෙන්න බැරිවෙලා. සමහර බෞද්ධයෝ ටිකෙන් ටික දුරස්ථ වෙන්න හදනවා. නමුත් ඔවුන්ට මුළුමනින්ම තම ආගමික දර්ශනයෙන් ඉවත් වෙන්න බැහැ. ඒ නිසා මේ සම්බන්ධව පුද්ගලයන් මෙහෙයවන්න, සම්බුද්ධ දර්ශනයට යොමු කරන්න පුළුවන් උගතුන්ට විශාල ඉල්ලුමක් තිබෙනවා.

නිදසුනක් හැටියට රජය පැත්තෙන් ගත්තොත් සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට බෞද්ධ කටයුතු සමායෝජක නිලධාරියෙක් පත්කරලා තිබෙනවා.

පළාත් සභා කාර්යාලවලට බෞද්ධ සංස්කෘතික නිලධාරීන් දෙන්නෙක්, තුන්දෙනක් වගේ පත් කරලා තිබෙනවා.

වර්තමානයේ පාසල්වල බෞද්ධ සංස්කෘතිය, බෞද්ධ ශිෂ්ටාචාරය උගන්වන්න ප්‍රමාණවත් තරම් ගුරුවරු නැහැ. වෙන විෂයන් ඉගෙනගත් ගුරුවරු බෞද්ධ ශිෂ්ටාචාරය උගන්වනවා. ගුරුවරු පුහුණු කරන සම්පත් පුද්ගලයන් හැටියට ජාතික අධ්‍යාපන ආයතනයේ වැඩමුළුවලට ගියවිට අපට පැහැදිලි වන කාරණයක් තමයි, දේශනවලදී ගුරු උපදේශකවරුන්ට ඔවුන් කියනවා මේ විෂය උගන්වන්නේ මේ විෂය ඉගෙන ගත්තු පිරිස් නොවෙයි කියලා. බෞද්ධ ශිෂ්ටාචාරය විෂය හෝ බුද්ධ ධර්මය හා බැඳුණු ඕනෑම විෂයක් ඉගෙන ගත්තොත් රැකියා අවස්ථා අවමයි කියන්න බැහැ. ලෝකය දිහා ඇස් ඇරලා බැලුවොත් ඒක පැහැදිලි වෙනවා.

මෑතකාලීනව රජය විසින් සංස්කෘතික නිලධාරී, බෞද්ධ කටයුතු සමායෝජක වගේ පත්වීම් රාශියක් ලබා දුන්න. ඒ වගේම බුද්ධ ධර්මය හා බැඳුණු බෞද්ධ සංස්කෘතික රාජ්‍ය නොවන ආයතන රැසක් අපේ රටෙත් තිබෙනවා.

ලෝකය පුරා මෙවැනි සංවිධාන රාශියක් පවතින බව අපේ රටේ බහුතරයක් උදවිය දන්නෙ නැහැ. බෞද්ධ ශිෂ්ටාචාරය, බෞද්ධ සංස්කෘතිය, බුද්ධ ධර්මය උගත් අය ඒ ආයතන වලට බඳවා ගන්නවා.

බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථාන, පොත් සාප්පු බොහොමයක් තිබෙනවා. ජනමාධ්‍ය පැත්තෙන් ගත්තම පුවත්පත් වල දැන් බුද්ධ ධර්මයට විශාල ඉඩක් ලබාදීල, තියෙන බව පෙනෙනවා. ඉස්සර ඉරිදා පත්තරේ අනිවාර්යයෙන් බෞද්ධ ලිපියක් තිබුණෙ නැහැ.

දැන් හැම ඉරිදා පත්තරයකම පිටු දෙකක් හෝ තුනක් ධර්මය සම්බන්ධ ලිපි සඳහා වෙන්කරලා තිබෙනවා. මේ අනුව වර්තමානයේ මේ විෂයට අලුත් නැම්මක් හා ප්‍රවණතාවක් ඇතිවෙලා. මේ සම්බන්ධයෙන් ළමයි දැනුම්වත් කළ යුතු වෙනවා. මේ විෂය කිසිම ඉල්ලුමක් නැති කාලයට ගැළපෙන්නෙ නැති, වටිනාකමක් නැති, කිසිවක් උපයන්න බැරි විෂයක් කියලා හිතන්න හොඳ නැහැ.

දැන් ඇතිවෙලා තියෙන්නෙ අධ්‍යාපනයයි චරිත සංවර්ධනයයි අතර පරතරයක්.

ඉගෙනගත යුත්තේ රස්සාවක් සඳහා යන අදහස සමාජය තුළ රෝපණය වෙලා මවුපියන් දරුවන්ට උගන්වන්නෙ හොඳ මිනිස්සු කරන්න නෙවෙයි, හොඳ රස්සාවක් කරන්නයි.

ඉස්සර අපේ සිංහල සංස්කෘතිය තුළ ඉගෙනගන්නෙහොඳ මනුස්සයෙක් වෙන්න කියන පිළිගැනීම තිබුණා. විවිධ හේතු නිසා එය දැන් වෙනස් වෙලා. ඉගෙන ගත්තා කියලා මිනිස්සු හැදිලා නැහැ.

බෞද්ධ ශිෂ්ටාචාරය විෂය හදාරලා විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන ශිෂ්‍යයන් වුණත් අරගල ගැටුම් වලට යොමුවෙනවා.

එය ඔවුන් රැගෙන එන ගුණ ධර්ම වගාව සම්බන්ධ ප්‍රශ්නයක්.ගසක් නමන්න ඕනෑ කුඩා අවධියේ, ඵල දරපු ගස් නමන්න ගිහොත් අතු කඩා වැටෙනවා.

ගහත් අපිත් විනාශ වෙන එක විතරයි එතකොට වෙන්නෙ මවුපියන්ගෙන්, පාසල් අධාපනය තුළින් යහපත් ගුණ දහම් ළමයින්ට ලැබිලා.

නැත්නම් ළමයිනට තිබෙන්නෙ විෂය දැනුමක් විතරයි. විශ්වවිද්‍යාලයට ඇතුළත් වෙන්නෙ තරුණ ජවයෙන් පිරිපුන් ළමයි පිරිසක්.

ඒ ළමයින්ට ගුණධර්ම කාවද්දන්න විශ්වවිද්‍යාල අධ්‍යාපනය තුළින් සිදු කරන්නට යෑම ඵල දරන ශක්ති සම්පන්න ගස් නැමීමට දරන උත්සාහයක් වගේ.

ළමයින්ට යහපත් ජීවිතයක් පවත්වාගෙන යා යුතු අන්දම අවබෝධ කළ හැක්කේ, මව්පිය ඇසුරෙන්, කුඩා අවධියේ සිට ලබන දහම් අධ්‍යාපනයෙන් සහ පාසල් අධ්‍යාපනය තුළින්.


විෂය ප්‍රායෝගිකව භාවිත කළ යුතුයි

2005 සිට 2009 දක්වා අවුරුදු පහක දත්ත විශ්ලේෂණයට අනුව උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය හැදෑරූ ශිෂ්‍ය සංඛ්‍යාව ක්‍රමයෙන් පහත වැටීමක් දක්නට ලැබෙනවා. බෞද්ධ ශිෂ්ටාචාර විෂය අනෙක් විෂයන්ට සාපේක්‍ෂව ගෙන බලනවිට 14% සීමාවේ අවුරුදු 3 ක් රැඳිලා 2008, 2009 වසර තුළ 12% ප්‍රතිශතය දක්වා අවපාතයකට ලක් වෙලා තිබෙනවා. මෙසේ ශිෂ්‍ය සංඛ්‍යාව අඩු වීමට හේතුවන කාරණා ගණනාවක් පවතිනවා.

සාමාන්‍යයෙන් ලෝකයේ සෑම රටකම මෙන් ශ්‍රී ලංකාවේ ද වාණිජ හා විද්‍යා විෂය ධාරා කරා සිසුන් යොමුවීම දක්නට ලැබෙන ප්‍රවණතාවක්. කලා විෂය ධාරාවට ළමයි එකතු වෙන්නේ ඊට අමතරවයි. බහුතරයක් ශිෂ්‍යයන් බෞද්ධ ශිෂ්ටාචාරය විෂය තෝරාගන්නේ බෞද්ධ සංස්කෘතික ජීවන රටාවක් තියන රට තුළ, කලා විෂය ධාරාව යටතේ එය වඩාත් පහසුවෙන් සමත්විය හැකි විෂයක් ලෙස සලකන නිසයි. බොහොමයක් පාසල්වල විෂයන් සඳහා ගුරුවරුන් නොමැතිකම නිසා හෝ පහසුකම් නොමැතිකම නිසා පාසල විසින් නම් කරන ලද විෂයන් යටතේ උසස් පෙළ හදාරන්නට ශිෂ්‍යයන්ට සිදුවෙලා තිබෙනවා.බොහොමයක් පාසල්වල උසස් පෙළ හදාරන්නට පැමිණෙන ශිෂ්‍යයන්ට ඉඩකඩ වෙන් කරලා තියෙන විෂයක් වන්නේ බෞද්ධ ශිෂ්ටාචාරයයි. සංඛ්‍යා ලේඛන දත්ත විශ්ලේෂණයට අනුව 2005, 2006, 2007, වසර කිහිපය තුළ බෞද්ධ ශිෂ්ටාචාරය විෂය වැඩි පිරිසක් තෝරාගැනීමට යොමුවෙලා තිබෙන්නේ ඉහත හේතුව නිසා විය හැකියි. නමුත් ගුරු හිඟය නිසා හෝ සමත්වීම පිළිබඳ ප්‍රශ්නයක් නිසා හෝ ශිෂ්‍යයන් මෙම විෂය තෝරාගැනීම පසුව අඩු කර ඇති බව 2008, 2009 වසරවල බෞද්ධ ශිෂ්ටාචාරය විෂය තෝරාගත් ශිෂ්‍ය සංඛ්‍යාව පහළ බැසීමෙන් පෙනී යනවා. සංඛ්‍යා ලේඛන දත්ත විශ්ලේෂණයට අනුව බෞද්ධ ශිෂ්ටාචාරය විෂය සමත් ශිෂ්‍ය සංඛ්‍යාවෙහි ප්‍රතිශත අගයන් කෙරෙහි අවධානය යොමු කළ විට, එහි ක්‍රමානුකූල වර්ධනයක් දක්නට ලැබෙනවා. ඒ අනුව ශිෂ්‍යයන් විෂය තෝරාගැනීම 2005 වසරේ සිට 2009 වසර දක්වා සංඛ්‍යාත්මකව අවපාතයට ලක්වීමට හේතු ලෙස දකින්නේ පාසල්වල ගුරු හිඟය හා කලා විෂය ධාරාව යටතේ නව විෂයන් හඳුන්වා දීමයි.

බෞද්ධ ශිෂ්ටාචාරය විෂයට පෙනී සිටීමේදී ශිෂ්‍යයන්ගේ සංඛ්‍යාත්මක අවපාතයක් දක්නට ලැබීමෙන් සංඛ්‍යාත්මකව, ක්‍රමානුකූලව බෞද්ධ ශිෂ්ටාචාරය විෂය පසුගාමී වන ලකුණු පෙන්නුම් කර තිබීම සතුටට කරුණක් නොවේ.

2005 සිට සලකා බැලූවිට බෞද්ධ ශිෂ්ටාචාරය විෂය හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව අඩු වුව ද සමත්වීමේ ප්‍රතිශත අගයන් වසර පහ ඇතුළත ඉතා සතුටුදායක බව පෙනෙනවා. ශිෂ්‍ය සංඛ්‍යාවේ අඩුවීම සමත් වන සංඛ්‍යාව වැඩිවීමට බලපෑම් කරන්නත් ඉඩ තිබෙනවා. ශිෂ්‍යයන් බෞද්ධ ශිෂ්ටාචාරය අසමත් වීමේ සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවීම ඉතා හොඳ තත්ත්වයක්. 2005 – 2009 වසර පහ තුළ උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය විෂය සමත්වුණු ශිෂ්‍යයන්ගේ ‘ඒ ’ හා ‘බී’ සාමාර්ථ දෙස අවධානය යොමුකළ විට විශාල වර්ධනයක් දැකිය හැකි වෙනවා. 2005 වසරේ සිට 2009 වසර දක්වා මෙලෙස ශිෂ්‍යයන් සමත්වීමේ ශීඝ්‍ර දියුණුවක් සිදුව ඇත්තේ කාරණා කිහිපයක් නිසා බව සිතිය හැකියි.

එනම් දක්ෂ ශිෂ්‍ය පිරිසක් සිටීම, දක්ෂ ගුරුවරුන් පිරිසක් සිටීම, ඉතාම ක්‍රමානුකූල අධ්‍යාපන ක්‍රමවේදයක් තිබීම හෝ ලෙහෙසි ප්‍රශ්න පත්‍රයක් ලැබීම නිසා විය හැකියි. මෙම කාරණා එකක් හෝ නොමැති නම් මෙලෙස වැඩි ශිෂ්‍ය සංඛ්‍යාවක් ‘ඒ’ හෝ ‘ බී’ සාමාර්ථයන්ගෙන් සමත්කම් දක්වන්නෙ නැහැ. මේ කියන කාරණා හතරෙන් එකක් යටතේ තමයි ශිෂ්‍යයන් විශිෂ්ට ප්‍රතිඵල ලබලා තියෙන්නෙ. මෙම දත්ත වඩාත් නිවැරැදි ලෙස බැලීමටනම් ප්‍රශ්න පත්‍රය දෙසද අවධානය යොමුකළ යුතුයි. 2009 ප්‍රශ්න පත්‍රය 2005 ප්‍රශ්න පත්‍රය හා සසඳා බලන කල වඩාත් පහසු බවකින් යුක්ත නම් මේ ශිෂ්‍යයන්ගේ වසර පහක කාලය තුළ ශීඝ්‍ර වර්ධනාත්මක ප්‍රතිඵල පිළිබඳව පුදුම විය යුතු නැහැ. එසේ නැත්නම් එනම් සාමාන්‍යයෙන් ප්‍රශ්න පත්‍රය සංකීර්ණ බවකින් යුක්තව සැකසී ඇත්නම් පැහැදිලිවම ඒ තුළින් ශිෂ්‍යයන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ බව තක්සේරු කළ හැකියි. පෞද්ගලිකව මා ප්‍රමාණාත්මකව ශිෂ්‍යයන්ගේ සංඛ්‍යාවේ අඩුවීම ගැන කම්පා වන්නේ නැහැ. මන්ද යත් උසස් පෙළ හදාරන ශිෂ්‍ය සංඛ්‍යාව වැඩිවෙලා බෞද්ධ ශිෂ්ටාචාරය හැදෑරූ ශිෂ්‍ය සංඛ්‍යාවේ අඩුවීම රටට අවැඩදායක යැයි සිතිය නොහැකි නිසයි. මොනයම් විෂය ධාරාවක් යටතේ හෝ අධ්‍යාපනයක් ලබා ඇත්නම් එය රටට වැදගත් වෙනවා. 2005 වසරේ බෞද්ධ ශිෂ්ටාචාරය විෂය සඳහා විශිෂ්ට සාමාර්ථ ලබාගත් ශිෂ්‍ය සංඛ්‍යවේ ප්‍රතිශතය 25.65% ක්. 2009 වසරේ එය 57.17% ක්. එතරම් ඉහළ වර්ධනයක් දක්වා ගමන් කිරීම රටට වැඩදායක ප්‍රතිඵලයක්.

රටට වුවමනා කරනවානම් බෞද්ධ ශිෂ්ටාචාරය පිළිබඳ ඉහළ දැනුමක් තිබෙන ශිෂ්‍යයන් සිය දෙනෙක්, සාමාන්‍ය දැනුම තියෙන දාහක් බිහිවුණත් ඵලක් නැහැ. ඉහළ දැනුමක් තිබෙන සියයක් ඉන්නවා නම් ප්‍රමාණවත් වෙනවා. ලබා ඇති ප්‍රතිඵල දත්ත, විශලේෂණය කර බලනවිට බෞද්ධ ශිෂ්ටාචාරය විෂය පිළිබඳව ලබා ඇති සාමාර්ථ ගැන සතුටු වෙන්න පුළුවන්.

වසරකට ජනසන්නිවේදනය විශේෂවේදී උපාධි හැදෑරූ ශිෂ්‍යයන් විශාල පිරිසක් අපේ රටේ බිහිවුණත් රටේ හොඳ සන්නිවේදනයක් දක්නට ලැබෙන්නෙ නැහැ. සන්නිවේදන ආයතනවල වැඩ කරන්නේ සන්නිවේදනය විෂය හැදෑරූ පිරිස්ම නෙමෙයි. ලංකාවේ පුවත්පත් 80, රූපවාහිනී නාලිකා 14, ගුවන් විදුලි නාලිකා 34 විතර තිබෙනවා. නමුත් ඒවායේ ඉන්නේ සන්නිවේදනය පිළිබඳ පූර්ණ දැනුමක් තිබෙන පිරිස් නොවෙයි. මෙවන් තත්ත්වයක් රටේ පවතින කල බෞද්ධ ශිෂ්ටාචාරය විෂය තුළින් පමණක් සරසවි ශිෂ්‍යයා හික්මවීමට උත්සාහ දැරීම අනුවණකමක්.


ඉගෙනීමෙන් පමණක් ශික්ෂණය ගොඩනැගෙන්නේ නැහැ

සංඛ්‍යා ලේඛන දත්තවලට අනුව බෞද්ධ ශිෂ්ටාචාරය විෂයට පෙනී සිටින ශිෂ්‍ය සංඛ්‍යාව අඩුවීම සඳහා බලපාන මූලිකම කාරණාවක් වන්නේ මේ විෂයට හිමිවී ඇති සමාජමය ආකල්පයයි. එනම් සමාජය විසින් ආර්ථිකමය වශයෙන් අඩු වටිනාකමක් බෞද්ධ ශිෂ්ටාචාරය විෂයට ලබාදීලා තිබෙන නිසයි. උසස් පෙළ කලා විෂය ධාරාව යටතේ බොහෝ ශිෂ්‍යයන් බෞද්ධ ශිෂ්ටාචාරය, බුද්ධ ධර්මය, ඉතිහාසය වැනි විෂයන් තෝරා ගැනීම සිදු කරන්නේ, තෝරාගැනීම සඳහා වෙනත් විෂයන් නොමැතිකම නිසයි. ජාත්‍යන්තර තලයේදී බෞද්ධ ශිෂ්ටාචාරය විෂයට ඇති ඉල්ලුම ශිෂ්‍යයන්, මවුපියන්, ගුරුවරුන් දන්නේ නැහැ. ශිෂ්‍යයෙක් බෞද්ධ ශිෂ්ටාචාරය විෂය පරිගණක නිපුණතාවය සමඟින් ඉංග්‍රීසි භාෂාව නිවැරැදිව හැසිරවීමට සමත් වුවහොත් ලෝකය පුරා රැකියා අවස්ථා කරා යන්න පුළුවන්කම තිබෙනවා. තායිවානය, හොංකොං, මැලේසියාව, සිංගප්පූරුව යනු විදේශීය රටවල බුද්ධ ධර්මය, පාලි භාෂාව, බෞද්ධ සංස්කෘතිය උගන්වන්න ගුරුවරුන් ඉල්ලනවා. විෂයෙහි වටිනාකම නොතේරෙන නිසා බහුතරයක් ශිෂ්‍යයෝ බෞද්ධ ශිෂ්ටාචාරය විෂයට විශිෂ්ට සාමාර්ථ ලබාගෙන, විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබා පසුව වෙනත් විෂයන් කරා යොමු වෙනවා.

කලා විෂය ධාරාව යටතේ අධ්‍යයන කටයුතු වල නියැළෙන බහුතරයක් ශිෂ්‍යයන් මුහුදෙන් මෙහා පැතිකඩ මිසක් ඉන් එහා පැත්තක් ගැන හිතන්නෙ නැහැ. ලෝකය පුරා බහුතරයක් රටවල් බුදු දහම, පාලි භාෂාව ඇතුළු බෞද්ධ විෂයන් සහ බෞද්ධ ඓතිහාසික ස්ථාන පිළිබඳව අවදියෙන් ඉන්නවා කියන එක විශ්වවිද්‍යාල දරුවෝ දන්නේ නැහැ. ඔවුන්ගේ ලෝකය ලංකාව තුළ පමණක් ගොඩනඟා ගැනීමට තමයි උත්සාහ දරන්නෙ.

ලංකාව තුළ විකිණිලා තියෙන පොත් පත් අතර පළමු ස්ථානය හිමිවන්නේ බෞද්ධ පොත්පත් වලට. කලා විෂය ධාරාව යටතේ බෞද්ධ දර්ශනය විෂය හදාරා උපාධිය සමත්ව රැකියා නොකරන පිරිස් ඉතාමත් අවමයි. බෞද්ධ ශිෂ්ටාචාරය, බුද්ධ ධර්මය, පාලි ඉගෙනගත් බහුතරයක් පිරිස් රැකියාවල නියුක්ත වෙලා සිටිනවා.

සංඛ්‍ය ලේඛන දත්ත අනුව, බෞද්ධ ශිෂ්ටාචාරය විෂය හැදෑරූ අයගෙන් වැඩි ප්‍රතිශතයක් සමත්වීමට මෙම විෂය සමඟ ළමයින්ගේ තිබෙන සමීපතාවය බලපානවා. ළමයින්ට අනෙක් විෂයන්ට වඩා නිරන්තරයෙන් උදේ, සවස අසන්නට, දකින්නට ලැබෙන්නේ බෞද්ධ ශිෂ්ටාචාරය විෂයට අදාළ කාරණායි. ඒ නිසා ළමයි මේ සම්බන්ධයෙන් නිරතුරුව දැනුම්වත්වීම ඔවුන් සමත්වීමට බලපානවා.

එසේ වුවත් තමන්ගේ ප්‍රායෝගික ජීවිතයට බෞද්ධ ශිෂ්ටාචාරය විෂය අදාළ කරගන්නේ ඉතා සීමිත පිරිසක්. විභාගය සමත්වීමේ අරමුණින් ළමයි මෙම විෂයට අදාළ කරුණු කාරණා කටපාඩම් කරගැනීම ඔවුන් සුචරිත පිරිසක් වූ බවට සාධකයක් නොවෙයි. විෂයක් තුළින් පමණක් ළමයින් තුළ සදාචාර වර්ධනයක් සිදුකරන්න බැහැ. ඊට වඩා දහම් පාසල තුළින් ළමයින්ට ලබාදෙන දහම් දැනුම ප්‍රායෝගිකයි. ළමයින් තුළ ගුණධර්ම වර්ධනයක් විෂයක් තුළින් කරන්න බැහැ.

ඒ සඳහා අනුගමනය කළ හැකි වෙනත් ප්‍රායෝගික ක්‍රම පවතිනවා. එය සමාජයේ යහපත උදෙසා ඉවහල් විය හැකියි. බෞද්ධ ශිෂ්ටාචාරය වැනි විෂයක් තුළින් ලබන අධ්‍යාපනික දැනුම විශ්වවිද්‍යාල අරගල සමනයට හෝ සමාජය සාමකාමීවීම සඳහා ඉවහල් වෙතැයි සිතීම ප්‍රායෝගික නැහැ.


කටපාඩම සහ අවබෝධය අතර පරතරයක් තිබෙනවා

අ.පො.ස.උසස් පෙළ සඳහා කලා විෂය ධාරාව යටතේ විෂයන් ගණනාවක් පවතිනවා. බෞද්ධ ශිෂ්ටාචාරය විෂය විශිෂ්ට ලෙස සමත්වීමෙන් විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබන ශිෂ්‍යයෝ බහුතරයක් විශ්වවිද්‍යාලය තුළ අධ්‍යයනය සඳහා වෙනත් විෂයන් තෝරාගන්නවා. සමාජ ආර්ථිකමය වශයෙන් වටිනාකම් ලබාදී ඇති විෂයන් තමයි ළමයි වැඩි වශයෙන් ඉල්ලුම් කරන්නේ. එහිදී බෞද්ධ ශිෂ්ටාචාරය විෂය අවතක්සේරුවට ලක්කිරීමක් වෙනවා. එය පිළිබඳ හරි අවබෝධයකින් ශිෂ්‍යයෝ පසුවන්නේ නැහැ. විශ්වවිද්‍යාලය තුළ බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය යනාදී විෂයන් ඉගෙනීම සඳහා සැබෑ වුවමනාව තිබෙන සිංහල ශිෂ්‍යයන් ඉතා සීමිතයි. කැලණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨය ගත්තොත් පුරා විද්‍යාව, ඉතිහාසය, බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය පාලි, සංස්කෘත වැනි විෂයන් විශ්වවිද්‍යාලය තුළ හැදෑරීම සඳහා අයැදුම් කරන සංඛ්‍යාව අඩුවෙලා තියෙනවා. එය විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට හා විශ්වවිද්‍යාලයට ගැටලුවක් වී තිබෙනවා.

(අධ්‍යයන අංශවල ආචාර්යවරුන් සිටිනමුත් ශිෂ්‍යයන් නොමැතිවීම) ඒ හේතුව නිසා විශ්වවිද්‍යාලයට මුල් තෝරාගැනීමේ කණ්ඩායමට අමතරව විශේෂ ප්‍රවේශය නමින් දෙවැනිවරට ශිෂ්‍යයන් කණ්ඩායමක් බඳවාගැනීම සිදුකරනවා.

සංඛාලේඛන දත්තවලට අනුව උසස් පෙළ බෞද්ධ ශිෂ්ටාචාරය විෂය සමත්වූ පිරිස ප්‍රතිශතයක් ලෙස ගත්විට 2005 වසරේ 85.49% ක්. 2009 වසර වනවිට 92.08% ක් දක්වා එය වර්ධනය වෙලා තිබෙනවා. මෙලෙස ඉහළ ප්‍රතිශතයක් සමත්වීම වාර්තා වුවත් උසස් පෙළට මේ විෂය හැදෑරීම සඳහා තෝරාගැනීම අඩු වෙලා තිබෙනවා. බෞද්ධ ශිෂ්ටාචාරය විෂය විශ්වවිද්‍යාල තුළට ඇතුළත් වීමෙන් පසුවත් විශ්වවිද්‍යාල ප්‍රවේශයට ප්‍රථම උසස් පෙළ සඳහා තෝරාගැනීම අඩුවන හේතු විමසා බැලිය යුතු වෙනවා.

බෞද්ධ ශිෂ්ටාචාරය විෂය හදාරන්නේ බහුතරයක් ග්‍රාමීය මට්ටමේ ළමයි. නාගරික මට්ටමේදී මේ විෂයට එතරම් ප්‍රබල තැනක් ලැබෙනවාද යන්න සැක සහිතයි. බෞෟද්ධ ශිෂ්ටාචාරය වැනි විෂයක් හැදෑරීමට අවබෝධයෙන් යොමුවන්නේ භික්ෂූන් වහන්සේ සහ සීමිත ගිහි ළමයි පිරිසක් විතරයි. ගිහි ශිෂ්‍යයෝ අතර බහුතරයක් මේ විෂය උසස් පෙළ අධ්‍යයනය සඳහා තෝරාගන්නේ විෂය පිළිබඳව අවබෝධයක් ඇතිවම නොවෙයි. විශ්වවිද්‍යාලය තුළ විෂයන් තෝරාගැනීම සිදුවන්නේ මෙලෙසයි.

බහුතරයක් මේ ලක්දිව ඉන්නෙ බෞද්ධයෝ. පවිත්‍ර පිරිසුදු දර්ශනයක් අපට ලැබිලත් මිනිසුන් නොමග යන සම්භාවිතාව වැඩිවී තිබෙන කාරණය විමසා බැලිය යුතුයි. බෞද්ධ ශිෂ්ටාචාරය වැනි විෂයක දැනුම ලැබිලා පමණක් හික්මීමක් ළමයි තුළ ඇති වෙයි කියලා හිතන්න පුළුවන්ද? ඒ නිසා සමාජයක් සාමකාමී වෙයි කියලා හිතන්න අමාරුයි. ගෙදරින්, පාසලෙන් තමයි යහ ගුණධර්ම මුලින්ම ළමයින් තුළ වර්ධනය කරන්න පු‍්‍රළුවන්. උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටින්නේ තරුණ වයසේ ළමයි. කුඩා අවධියේ ඔවුන් තුළ යහගුණධර්ම ඇතිවෙලා නැතිනම් විෂයක් තුළින් පමණක් එය ලබාදිය නොහැකියි.

ධම්ම පදය කියන්නේ ලෝකයේ තිබෙන ශ්‍රේෂ්ඨතම උපදේශාත්මක ග්‍රන්ථයක්. මිනිසෙකුට ජීවිතය සාර්ථක කරගැනීමට එය ඉවහල් වෙනවා. ධම්මපදය බෞද්ධ ශිෂ්ටචාරය විෂය නිර්දේශයට අන්තර්ගතවෙලා තිබෙන බව ඇත්ත. ආගම හා සම්බන්ධ විෂයක් හැදෑරීමේදී ළමයින් ප්‍රායෝගිකව එය සිදුකරන්නේ නැහැ. ළමයි ධම්මපදය ගිරව් වගේ කටපාඩම් කරනවා මිසක් ගාථා ධර්මවල අර්ථය අවබෝධ කරගැනීමටත් ඒවා ජීවිතයට සම්බන්ධ කර ගැනීමටත් උත්සාහ දරන්නෙ නැහැ. පොතටම යොමුවෙලා විභාගය සමත්වීමම අරමුණු කරගෙන තමයි බහුතරයක් පාඩම් වැඩ කටයුතුවල යෙදෙන්නෙ. ගුරුවරුනුත් දේශන ස්වරූපයෙන් තමයි ළමයින්ට උගන්වන්නේ. ගාථා කටපාඩම් ද තේරුම් දන්නවද කියලා බලනවා හැර එය විශ්ලේෂණය කරලා ළමයින්ට සමාජීය අවබෝධයක් ලබාදීම සිදුකරන්නේ සීමිත වශයෙන්.

දුරුතු මස පුර අටවක පෝය

දුරුතු මස පුර අටවක පෝය ජනවාරි 12 වන දා බදාදා පූර්වභාග 03.53 ට ලබයි.
13 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 06.05 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම ජනවාරි 12 වන දා බදාදා ය.

මීළඟ පෝය
ජනවාරි 19 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 12

Full Moonපසෙලාස්වක

ජනවාරි 19

Second Quarterඅව අටවක

ජනවාරි 26

New Moonඅමාවක

පෙබරවාරි 02

2011 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2011 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]