UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකායේ දෙවන සියවස් සැමරුම

ශ්‍රී ලංකා අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායට වසර දෙසීයක් පිරීම නිමිත්තෙන් පැවැත්වෙන මහෝත්සවය ශ්‍රී කල්‍යාණි වංශ මහ නිකායේ මහ නායක ධුරන්ධර මහෝපාධ්‍යාය අතිපූජ්‍ය දොඩම්පහළ චන්දසිරි නා හිමිපාණන් වහන්සේගේ අනුශාසනා පරිදි සිදුකෙරේ. ඒ පිළිබඳ රාජ්‍ය උත්සවය නිමිත්තෙන් නිකුත් කළ පණිවුඩ මෙසේය

කෘතවේදී බෞද්ධ සාධූ ජනයාගේ පී‍්‍රති ප්‍රමෝදයට හේතු වන්නේය

’සුඛා සඞඝස්ස සාමග්ගි සමග්ගානඤ්ච අනුග්ගහො
සමග්ග රතො ධම්මට්ඨො යොගක්ඛෙමා න ධංසති
සඞඝං සමග්ගං කත්වාන කප්පං සමග්ගම්හි මොදතිති ‘

“භික්‍ෂු සංඝයාගේ සමගිය සුවයෙකි. සමගි වූ සඟුන්ගේ අනුග්‍රහය ද සුවැත්තේය. සමඟියෙහි ඇලුණු, ධර්මස්ථ වූවෝ යෝගක්ෂේමයෙන් නො පිරිහෙති. සංඝයා සමඟි කොට කපක් ස්වර්ගයෙහි ප්‍රමෝදිත වෙයි .” සම්බුද්ධ ශාසනයේ චිර පැවැත්ම හා උභයාර්ථ සංසිද්ධි සාධනයෙහිලා ව්‍යක්ත, විශාරද, බහුශ්‍රැත , ධර්මානු ධර්ම ප්‍රතිපත්ති පූර්ණ භික්‍ෂු සමාජයක් බිහි කිරීමට දායක වූ අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකාය සමාරම්භ කොට දෙසිය වසරක් සපිරීමට සමගාමීව මෙම නිකාය පිහිටුවා වදාළ බෝධිසත්ව ගුණෝපේත පූජනීය කතළුවේ ශ්‍රී ගුණරතන තිස්ස මහා ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ගුණ සමරු උළෙලක් පැවැත්වීම වනාහි කෘතවේදී බෞද්ධ සාධූ ජනයාගේ බලවත් පී‍්‍රති ප්‍රමෝදයට හේතු වන්නේය.

ශ්‍රී ලංකා ශාසන වංශය ශෝභාමත් කෙරෙන ධර්මධර, විනයධර, සුපේශල , ශික්ෂාකාමිත්ත්වයෙන්, ආදර්ශ සම්පන්න භික්‍ෂූ ආකල්පයන්ගෙන් හා ශ්‍රමණ සාරූප්‍ය ගුණයෙන් යුක්තව පරොපවාද රහිතව, ආදර්ශවත් භික්‍ෂූ ජීවිත ගත කෙරෙමින්, ලෝක ශාසනික අනුපමය සේවාවන් කළ, ලක්දිව ප්‍රථම බෞද්ධ පාසල පිහිටු වූ දොඩන්දුවේ ශ්‍රී පියරතන තිස්ස නාහිමි, සකු බස් මහ පඩිවර අලුත්ගම සීලක්ඛන්ධ මහනාහිමි, තෙල්වත්තේ ශ්‍රී අරියවංස මහනාහිමි, පාලි භාෂාව පිළිබඳ මහා පඬිරුවනක් වූ මහාචාර්ය පොල්වත්තේ ශි‍්‍ර බුද්ධදත්ත මහනාහිමි, සංස්කෘත භාෂාව පිළිබඳ මහා පඩිරුවනක් වූ කෙරමිනියේ ශ්‍රී ජිනානන්ද මහනාහිමි ආදි මහා යතිවරයෝ මෙම නිකායික මහා පදවිය හෙබවූහ. ධර්ම ශාස්ත්‍රිය හා භාෂා ශාස්ත්‍රපෝෂණයට මෙන්ම, සමස්ත සංඝ සමාජයේ උන්නතිය පිණිස,, උත්කෘෂ්ඨ ශාසනික මෙහෙවරක් සිදු කළ යටකි මහානාහිමිපාණන් වහන්සේලා හා තත් නිකායික භික්‍ෂු සංඝයා වහන්සේලාට කෘතවේ දී කාගේත් ප්‍රසාදය හා ගෞරව ප්‍රණාමය පිරිනැමෙනු නියතය.

ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ වර්තමාන මහා නායක පදවිය හොබවන, ශ්‍රී ලංකා අමරපුර මහා සංඝසභාවේ උපසභාපති පදවියෙන් ද පුදනු ලැබූ, විපස්සනා කම්මට්ඨානාචාරිය දොඩම්පහළ චන්දසිරි මහනාහිමිපාණන් වහන්සේට ද අතීත මහනායක මාහිමිපාණන් වහන්සේලා ආදර්ශ කොට ඉටු කෙරෙනු ලබන ලෝක ශාසනික හා ජාතික, ආගමික, සාමාජික,සංස්කෘතික සේවාවන් ඉදිරියටත් මනාව ඉටු කිරීම සඳහා ත්‍රිවිධ රත්නයේ හා දළදා වහන්සේගේ ආශීර්වාදය නො මදව ලැබේවායි ආශිංසනය කරම්හ.


භාෂා ශාස්ත්‍ර උන්නතියට විශාල මෙහෙවරක් සිදු කළා

ශ්‍රී ලංකා අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකාය පිහිටුවා වසර දෙසියයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් සුබපැතුම් පණිවුඩයක් නිකුත් කරනුයේ ඉමහත් සතුටිනි.

වර්ෂ 1810 දී බුරුම රට හංසාවතී නුවරට වැඩි කතළුවේ ශ්‍රී ගුණරතන තිස්ස ස්වාමීන්ද්‍රයන් වහන්සේ ‘කල්‍යාණී’ සීමා මාලකයේ දී උපසම්පදාව ලබා මෙරටට පැමිණි දොඩන්දූව ශෛලබිම්බාරාමය මුල්කොට තත් නිකාය ආරම්භකොට ඇත.

ගත වූ වසර දෙසියයක කාලයක් දොඩන්දූවේ ශ්‍රී පියරතන, අලුත්ගම සීලඣන්ධ, මහාචාර්ය පොල්වත්තේ බුද්ධදත්ත වැනි මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේලා ප්‍රභවය වූ මෙම නිකාය තුළින් පෙළ දහමේ සුරක්‍ෂිත භාවය භාෂා ශාස්ත්‍ර උන්නතියට විශාල මෙහෙවරක් සිදු වී ඇත. එකී වියතුන්ගෙන් සෝභාසම්පන්න වූ මෙම නිකායික මහා සංඝයා වහන්සේට ඉදිරියටත් සම්මා සම්බුද්ධ ශාසනයේ උන්නතිය සඳහා විශාල මෙහෙවරක් සිදු කිරීමට ශක්තිය හා ධෛර්යය ලැබේවා’යි ආසිංසනය කරම්හ.


සිදුවී ඇති ලෝක ශාසනික සේවාව අපරිමිතය

අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකාය ශ්‍රී ලංකාද්වීපයේ ස්ථාපිත කොට වර්ෂ දෙසියයක් සම්පූර්ණ වීම නිමිත්තෙන් ශ්‍රී ලංකා අමරපුර මහානිකාය වෙනුවෙන් අපගේ ආශීර්වාදය පිරිනමන්නේ බලවත් සතුටිනි.

කල්‍යාණිවංශ නිකාය විශ්ව කීර්තියට පත් අළුත්ගම ශ්‍රී සීලක්ඛන්ධ, තෙල්වත්තේ ශ්‍රී ආරියවංශ, තෙල්වත්තේ ශ්‍රී අමරවංශ , අග්ගමහා පණ්ඩිත පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත ,කෙරමිණියේ ශ්‍රී ජිනානන්ද යනා දී අග්‍රගණ්‍ය පැවිදි පඬිවරුන් හා ලංකාවේ ප්‍රථම පාඨශාලාව පිහිට වූ දොඩම්දුවේ ශ්‍රී පියරතන, දඹගස්ආරේ ශ්‍රී සුමේධංකර යනාදී අතිමහත් ශාසනික හා සාමාජික මෙහෙවරක් ඉටුකළ පැවිදි උතුමන් වහන්සේලා මහනායක පදවිය දැරීමෙන් ශෝ්භාවත් වූ නිකායකි.

මේ හැරුණුවිට වැලිපටන්විල ශ්‍රී දීපංකර අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වැනි පඬිවරු ද රන්නේ ආනන්ද නා හිමි මෙන්ම ඉංගී‍්‍රසි බසින් ගුවන් විදුලි ධර්ම දේශනා පැවැත් වූ දොඩම්දූවේ ධර්මසේන පඬි හිමි වැනි කීර්තිමත් ධර්ම දේශකයන් වහන්සේලා ද මෙම නිකාය නියෝජනය කළහ.

අතිපූජ්‍ය කතළුවේ ශ්‍රී ගුණරතන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ යතිවරයන් වහන්සේලා බුරුම රට කල්‍යාණී සීමාවෙන් උපසම්පදාව ලබා මෙරට ස්ථාපනය කරන්නට යෙදුන කල්‍යාණිවංශ නිකාය වෙනම නිකායක් ලෙස සලකා දීර්ඝ කාලයක් මුළුල්ලේ කටයුතු කළත් වර්තමානයේ අප ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවට එක්ව එහි පාර්ශ්වයක් ලෙස කටයුතු කිරීම ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවට දක්වන ලද ගෞරවයක් ලෙස සලකමි.

ගතවූ වර්ෂ දෙසියයක ඉතිහාසය තුළ ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශ්වයට අයත් භික්ෂූන් වහන්සේලා ගෙන් සිදුවී ඇති ලෝක ශාසනික සේවාව අපරිමිතය. අනාගතයේ දී එබඳු ලෝක ශාසනික සේවාවක් සිදු කිරීමට ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ ද උප සභාපති පදවිය දරන දොඩම්පහල චන්ද්‍රසිරි මහානායක ස්ථිවිරයන් වහන්සේ ප්‍රමුඛ කල්‍යාණිවංශික සියලු දෙනා වහන්සේටම තුනුරුවන් පිහිටෙන් ආයුරාරෝග්‍යා දී සම්පත්තිය ලැබේවා’යි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.


කළ සේවාව අතිඋත්කෘෂ්ට යි

ශ්‍රී ලංකා අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකාය මෙරට ප්‍රතිෂ්ඨාපනය කොට වසර දෙසීයක් ගත වන මේ අවස්ථාවේ ඒ නිමිත්තෙන් සුභාශිංසන පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම මම අතිශය අගය කොට සලකමි. අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමිපාණන් වහන්සේ විසින් මෙරට දල්වන ලද ධර්මශාස්ත්‍රාලෝකය දස දෙස ව්‍යාප්ත කරලීම සඳහා කටයුතු කළෝ ධර්මශාස්ත්‍රාභිලාෂී මහතෙරුන්වහන්සේලාය.

එම පරපුරේ මහඟු ඵලයක් ලෙස ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකාය මෙරට පිහිටුවා වදාළ බෝධිසත්ව ගුණෝපලක්‍ෂිත බ්‍රහ්ම ශ්‍රී කතළුව ශ්‍රී ගුණරතනතිෂ්‍යාභිධාන මහා සංඝනේතෘන්වහන්සේ හැඳීන්විය හැකිය.

බුරුම රට හංසවතී නුවර කල්‍යාණී සීමාවේදී සුපරිශුද්ධෝපසම්පදාව ලබා මෙරට වැසි ශාසනමාමක කුල දරුවන් පැවිදි උපසම්පදා කරමින් එදා උන්වහන්සේ කළ සේවාව අතිඋත්කෘෂ්ඨය. තත් නිකායේ අරමුණු සහ පරමාර්ථයන් සාධනය කරමින් උක්ත නිකායෙහි වර්තමාන භාරධාරිත්වය උසුලන අමරපුර මහා සංඝ සභාවේ උපසභාපති කල්‍යාණිවංශ මහා නිකායේ මහානායක දොඩම්පහල චන්දසිරි මහානායක ස්වාමීන්ද්‍රයන්වහන්සේ විසින් උසුලනු ලැබීම මා අගය කරනුයේ අතිශය සොම්නස් සිතිනි. සුවිශාල ලෝක ශාසනික සේවාවන් සිදුකරලීමට සමත් සිසු පිරිසක් මෙන්ම ප්‍රතිබල සම්පන්න දායකකාරකාදින් මහත් සමූහයින් සපිරි මුන්වහන්සේහට ස්වකීය නිකායෙහි අභිවෘද්ධිය සඳහා කැපකිරීමට අවැසි කායික ශක්තිය, සමගින් නිරෝගී සුවය ද පැවැත්ම මහත් භාග්‍යයකි.

එසේ හෙයින් ස්වනිකායික අභිවෘද්ධිය සාධනය සඳහා වත්මන් මහානායක දොඩම්පහල චන්දසිරි මහා ස්ථවිරතුමන්හට ඇති ශක්‍යතාවය නැවත ද අගයන අතර තෙරුවන් බෙලෙන් සියලු කටයුතු චිරාත් කාලයත් නිදුකින් කරලීමට අවැසි ශක්තිය තෙරුවන් බෙලෙන් සැලසේවා’යි ඉත සිතින්ම ප්‍රාර්ථනය කරම්හ.


ඓතිහාසික අවස්ථාවක්

ශ්‍රී ලංකා අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ ද්විශත සංවත්සරය නිමිත්තෙන් සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරණුයේ බලවත් සතුටිනි.

අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකාය ආරම්භයේ සිටම ඉතා සිල්වත් , ගුණවත්, වියත්, සුපේශල, ශික්‍ෂාකාමී, ධර්ම විනයධර, සංඝ පීතෘන් වහන්සේලාගෙන් ප්‍රභාමත් වූ, ශි‍්‍ර ලංකාවේ සම්බුද්ධ ශාසනයෙහි චිරස්ථායිභාවය උදෙසා උත්තුංග මෙහෙවරක් සිදු කළ නිකායක් ලෙස අප නිකාය හැඳින්විය හැකිය. බෝධිසත්ව ගුණෝපලක්‍ෂිත, බ්‍රහ්ම ශ්‍රී පූජ්‍ය කතළුවේ ගුණරතනතිස්සාභිධාන මහාස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් 1810 දී ආරම්භ ශ්‍රී කල්‍යාණිවංශ නිකාය අද වන විට 180 කට අධික විහාරස්ථාන සංඛ්‍යාවක් සහ 1500 කට අධික භික්‍ෂූන් වහන්සේලා සංඛ්‍යාවකින් සමන්විත කීර්තිමත් නිකායක් බවට පත්ව තිබීම අපනිකායික මෙන් අන්‍ය නිකායි සියලු දෙනා වහන්සේටම සතුටු විය හැකි කරුණකි.

කතළුවේ ගුණරතනතිස්ස මහාස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සිට වැඩ සිටි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගෙන් නිකායාභිවෘද්ධිය සඳහා සිදු වූ සේවය සුළුපටු නොවේ.

මෑත ඉතිහාසය පිළිබඳව අප අවධානය යොමු කරණ විට කාලානුරූපීව ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ අභිවෘද්ධිය උදෙසා ක්‍රියා කළ ස්වාමිපාදයාණන් වහන්සේලා බොහෝ වෙති. ඒ අතර අප තපෝවන සම්ප්‍රදාය ඇති කොට වදාළ, පරමපූජනීය කම්මට්ඨානාචරිය, ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ අධිකරණ සංඝනායක කුඩාවැල්ලේ වංගීස ස්වාමිපාදයාණන් වහන්සේ කෘතවේදීව සිහිකරමු. එසේම අප නාහිමියන්ගේ ශිෂ්‍යවරයෙකු ලෙස පැවිදිව මෙ රටට සැදැහැ වඩන බෝධිපූජා ක්‍රමය හඳුන්වාදුන් පානදුරේ අරියධම්ම ස්වාමින්ද්‍රයන් වහන්සේ ලෝවැසි බොදුනු කිතුණු නන් ඈ ආගමිකයන්ගේ ද හදවත් සැනසූහ.

එසේම අතිපූජ්‍ය දඹගස්ආරේ සුමේධංකර (සේරුවිල) මහානායක ස්වාමින් වහන්සේගේ ශිෂ්‍යවරයෙකු ලෙස පූජනීය කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමිපාදයන් වහන්සේ වත්මනෙහි අපගේ උපාධ්‍යායත්වයෙන් පන්සීයකට අධික ශිෂ්‍ය භික්‍ෂූන් වහන්සේලා සහ ආයතන පනහකට අධික ප්‍රමාණයක් ඇතිව සැදැහැතියන්ගේ ධර්මාවබෝධය සඳහා සුවිශාල සේවාවක නිරත වෙති.

එහෙයින් මහමෙව්නා සංඝ සභාවද මෙහිදී සිහිපත් කළ යුතුය.

දේශීය වශයෙන් පමණක් නොව විදේශීය වශයෙන් ද ශ්‍රී කල්‍යාණිවංශ නිකායික සමස්ත භික්‍ෂූ සංඝයාගෙන් සිදුවන සේවය අත්‍යුදාරය. අප තපෝවන මධ්‍යස්ථානයෙහි ථෙරවාදි බුද්ධ ධර්මය සහ භාවනා ප්‍රගුණ කොට අද ඇමරිකාවේ විශාල කීර්ති යශෝරාවයකින් යුතුව ථෙරවාදි බුද්ධ ධර්මයේ සභ්‍යත්වය ලොවට බෙදාහරින යෝගාවචර රාහුල ස්වාමීන්ද්‍රයන් වහන්සේ ද අපනිකායික භික්‍ෂු නමකි. ඇමරිකාව, සිංගප්පූරුව, කොරියාව ආදි විවිධ රටවල සම්භාවනාවට පාත්‍රවෙමින් සුවිශාල ආගමික සේවාවක නිරත වන අප නිකායික සියලු ස්වාමිපාදයන් වහන්සේලා මෙහි දී මෙත් සිතින් සිහිපත් කළ යුතුය.

වසර දෙසීයක පරමොත්කෘෂ්ට ශාසනික සේවාවක නිරතව සිට අපවත් වී වදාළ අප නිකායේ මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා ප්‍රමුඛ සියලු ස්වාමීන්ද්‍රයන් වහන්සේලාටත් නිර්වානාවබෝධය ප්‍රාර්ථනා කරන අතර අද වැඩ සිටින අප නිකායික සියලු ස්වාමිපාදයන් වහන්සේලාටත් චිරාත් කාලයක් ශි‍්‍ර කල්‍යාණිවංශ නිකාය ඉදිරියට පවත්වාගෙන යෑමට අවශ්‍ය ශක්තිය,ධෛය¸ය හා නිදුක් නිරෝගි චිරජීවනය තෙරුවන් බෙලෙන් සැලසේවා ‘යි ආශිංසනය කරම්හ.


දෙවන සියවස් සැමරුම සාර්ථක වේවා

ශ්‍රී ලංකා අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකාය මෙරට පිහිටුවා වසර 200 ක් පිරීම නිමිත්තෙන් සුභාසිංසන පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම පිළිබඳව මම අතිශයින් සතුටට පත්වෙමි.

ශ්‍රී කල්‍යාණිවංශ නිකාය ආරම්භ වූයේ 1810 වර්ෂයේදී දොඩන්දූව ශෛලබිම්බාරාම මූල මහා විහාරස්ථානයේදීය. එදා සිට මේ දක්වා එම නිකාය ආරම්භ කළ අතිගෞරවාර්හ කතළුවේ ශ්‍රී ගුණරතන තිස්ස නාහිමිපාණන් වහන්සේ ඇතුළු එම නිකායික මහා සංඝරත්නයෙන් ජාතික, ආගමික හා ශාසනික වශයෙන් ඉටු කරනු ලැබූ සේවාවන් මම මෙම අවස්ථාවේ දී ගෞරව පූර්වකව සිහිපත් කිරීමට කැමැත්තෙමි.

ලක්දිව ප්‍රථම බෞද්ධ පාසල ආරම්භ කළ අතිගෞරවාර්හ දොඩන්දූවේ පියරතන තිස්ස නාහිමිපාණන් වහන්සේ, සංස්කෘත භාෂා මහාපඬිවරයෙකු වූ අතිගෞරවාර්හ අලුත්ගම සීලක්ඛන්ධ නාහිමිපාණන් වහන්සේ, පාලි භාෂා මහා පඬිරුවනක් වූ අතිගෞරවාර්හ පොල්වත්තේ බුද්ධදත්ත නාහිමිපාණන් වහන්සේ, සංස්කෘත මහා පඬිවරයෙකු වූ අතිගෞරවාර්හ කෙරමිණියේ ජිනානන්ද නාහිමිපාණන් වහන්සේ වැනි බහුශ්‍රැත ස්වාමීන් වහන්සේලා මහානායක ධුරය හෙබ වූ ශ්‍රී කල්‍යාණිවංශ නිකාය අමරපුර සංඝ සභාව තුළ කැපීපෙනෙන කාර්ය භාරයක් ඉටු කරනු දක්නට ලැබීම සතුටට කරුණකි.

සම්බුදු සසුනේ චිරස්ථිතිය, ආරක්‍ෂාව හා එහි පෝෂණය සඳහා ශ්‍රී ලංකා අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ මහා නිකාය තුළින් ලැබෙන්නේ අසීමිත ශක්තියකි. ඒ පිළිබඳව මාගේ ගෞරවය එම නිකායික මහා සංඝරත්නයට පුද කිරීමට කැමැත්තෙමි.

දෙවන සියවස් සමරු උත්සවය සංවිධානය කළ සැමටත්, මෙම නිකායේ වර්තමාන මහානායක පදවිය හොබවන ශ්‍රී ලංකා අමරපුර මහා සංඝ සභාවේ උප සභාපති අතිගෞරවාර්හ දොඩම්පහල චන්දසිරි මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් මාගේ සුභාසිංසනය පිරිනමන අතර, උත්සවයේ කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා! යි ඉතා මෙත් සිතින් ප්‍රාර්ථනා කරමි.


ශාසනික පුනර්ජීවයක් ඇති කළ නිකායක්

අමරපුර ශ්‍රී කල්‍යාණිවංශ නිකායේ දෙසියවස් සමරු උළෙල වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කිරීමට ලැබීම භාග්‍යයක් කොට සලකමි.

වසර 1810 දී කල්‍යාණිවංශ නිකාය මෙරට පිහිටුවීම තුළින් ශාසනික පුනර්ජීවයක් ඇති වූ අතර එය භික්‍ෂු ශාසනයේ අභිවෘද්ධිය සඳහා ඉවහල් විය.

වර්තමානයේ මෙරට අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථානය වන බෞද්ධ පාසල් ක්‍රමය හඳුන්වා දෙමින් මෙරට ප්‍රථම පාසල පිහිටුවීමට කටයුතු කළ කල්‍යාණිවංශ නිකායේ මහානායක ධූරය දැරූ පූජ්‍ය දොඩන්දුවේ ශ්‍රී පියරතන තිස්ස නාහිමියන් මෙහිදී විශේෂයෙන් සිහිපත් කළ යුතුය. එතැන් සිට මේ දක්වා මෙරට බෞද්ධ පාසල් ක්‍රමයේ ව්‍යාප්තවීම තුළින් තරුණ පරපුර වෙත දැනුම් සම්භාරයක් ලබාදෙමින් ජීවන මග සකස් කිරීමට හැකිවී තිබේ.

ආරම්භයේ සිට කල්‍යාණිවංශ නිකායේ මහානායක ධුරය විදග්ධ ස්වාමින්ද්‍රයන් වහන්සේලා විසින් හෙබවූ අතර එහි වර්තමාන නායකත්වය අමරපුර සංඝ සභාවේ උප සභාපති පූජ්‍ය දොඩම්පහළ චන්දසිරි මහානාහිමියන් විසින් හොබවනු ලැබීම තත් නිකාය තව තවත් ශෝභාවත් වීමට හේතුපාදකවී තිබේ.

වසර දෙසීයක් සපිරෙන ශ්‍රී කල්‍යාණිවංශ නිකායට සහ තත් නිකායික භික්ෂූන් වහන්සේලාට තව තවත් ශාසනික සේවාවන් සිදුකරමින් මෙරට බුද්ධ ශාසනයේ ප්‍රවර්ධනයට කටයුතු කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවායි ප්‍රාර්ථනා කරමි.

ඉල් අව අටවක පෝය

ඉල් අව අටවක පෝය නොවැම්බර් 28 වනදා ඉරිදා අපරභාග 03.08 ට ලබයි.
29 වනදා සඳුදා අපරභාග 01.03 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 28 වන දා ඉරිදාය.
මීළඟ පෝය
දෙසැම්බර් 05 වනදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

නොවැම්බර් 28

New Moonඅමාවක

දෙසැම්බර් 05

First Quarterපුර අටවක

දෙසැම්බර් 13

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 20

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]