UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

ඉල් පුර පසළොස්වක 2010.11.21

උදාරිලාට පාඩමක් 

නූතන සංකීර්ණ සමාජ ගැටලු නිසා පීඩා විඳින ජීවිත සුවපත් කිරීම සඳහා බුදුදහම උපයෝගී කැරගත හැකි ආකාරය පිළිබඳ උදාහරණ සපයන ලිපියක් අද පත්‍රයේ මැද පිටු දෙකෙහි පළකොට තිබේ. ඇමෙරිකාවේ පළවන ‘ඉන්ක්වයරිං මයින්ඩ් ‘ නමැති ඉංගී‍්‍රසි, බෞද්ධ වාර ප්‍රකාශනයෙන් උපුටා ගත් එම ලිපිය සිංහලට පරිවර්තනය කරන ලද්දේ ප්‍රවීණ ලේඛක නාරාවිල පැට්රික් මහතා විසිනි. දැනට විපස්සනා භාවනා ගුරුවරියක ලෙස ක්‍රියාකරන ඇමරිකානු ජාතික ස්පි‍්‍රං වොෂම් හා ඇගේ මව වන ලෝනා ජෝසෆ් සමඟ පැවැත් වූ සම්මුඛ සාකච්ඡාවකින් මේ ලිපිය සකස් කැර ඇත.

මව හා බාල සොහොයුරිය සමඟ සිටි වොෂම් ගේ පියා ඔවුන් අතහැර ගොසිනි. ඇය තම ජීවිතයේ කටුක අත්දැකීම් ‘ඉක්ක්වයරිං මයින්ඩ් ‘ සඟරාවට ප්‍රකාශ කැර ඇති අයුරු දැන් බලමු.

“එතකොට මගෙ වයස අවුරුදු දහතුන යි. ඒ අතරතුර තමයි අපේ අම්මට එයාගෙ දැන් ඉන්න සැමිය මුණ ගැහුණෙ. අපි හැම වෙලේ ම කළේ සණ්ඩු කරන එකයි. අන්තිමට ඒක මහ හිත් රිදවන වින්නැහියක් වුණා. ඇත්තට ම මට වයස පහළොව වෙද්දී ඒ තත්ත්වය අන්තිම නරක තැනකට ගියා. මම ඔක්කොම දමල ගහල ගෙදරින් පිටවෙලා යන්න ගියා. මම කෙළින් ම ගියෙ දකුණු කැලිෆෝර්නියාවට. මම ඉපදිලා තියෙන්නෙ එහෙ. ඒ නිසා මම කුඩා කාලෙ අවුරුදු කිහිපයක් එහෙ ජීවත්වෙලා තිබුණෙ. ඒ කොහොම වුණත් එහෙදි මට නරක දසාවක් ලැබුව. මම කියන්න බැරි තරම් පුදුම විදියට තනි වුණා. කලකිරුණා. ඊට පස්සෙ මම අම්මත් එක්ක කිසිම ඇයි හොඳයි කමකට සම්බන්ධ වුණේ නෑ. මගෙ තාත්ත පළමුවෙන් අපිව දාලා යද්දී මගෙ වයස මාස පහයි . අන්තිමට තාත්ත එහෙම පිටින්ම අමතක වෙලා ගියා.මේ ඔක්කොම කරදර හින්ද තමයි මම මේ තරම් මුරණ්ඩු වුණේ. කනිෂ්ඨ පන්තිවල ඉඳල ම මම අනික් ළමයින් එක්ක ගුටි ඇනගන්න පටන් ගත්ත. අන්තිමට මේ ගුටි ඇනගැනිල්ල දිගට ගිහින් මාව උසස් පාසලෙනුත් එළව ගත්ත”

මේ ජීවිතය වෙනස් වූ ආකාරය ඇය මෙ සේ විස්තර කැර තිබේ.

“එතකොට මගෙ වයස විසිතුන යි. මම පළමුවෙන් භාවනා කරන්න පටන් ගත්තෙ එහෙදි. මට එහෙදී පොතක් හම්බ වුණා. ඒක පරමහංස යෝගානන්ද ලියාපු ‘මිනිසාගේ සර්වකාලීන ගවේෂණය’ඒ පොත අපේ අම්මගෙ දෙවන ස්වාමිපුරුෂයා විසිකරල තිබුණු එකක්

“මම හුදකලා භාවනාවට යන්න තීරණය කළා. ඒක මගෙ පළමුවන හුදකලා භාවනාව. දවස් දහයයි. ඒ කැලිෆෝනියාවෙ යූකා මිටියාවතේ . මගේ ගුරුවරිය ජැක් කෝන්ෆීල්ඩ් . එයා කීප සැරයක් ‘බුද්ධ’ කියන වචනෙ කිවුව. ඒකට මගෙ හිත ගියා. මමත් ඒක කියවල පුහුණු කළා. මට ගැළපෙන්නේ ඒක තමයි කියලා මම හිතුව. එතකොට මගෙ වයස විසි හතර යි.”

ස්පි‍්‍රං වොෂම් ගේ මේ අත්දැකීම් එතරම් සමීප නැතැයි ඇතැම් විට අප පාඨකයන්ට සිතෙන්නට ඉඩ තිබේ. එ සේ නම් ඇගේ මේ අත්දැකීම දෙස වඩාත් අවධානය යොමු කරන මෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමු.

“මගේ වයස අවුරුදු දහතුනේ දී , වයසෙ තරමට වඩා පළල් අවබෝධයක් මට තිබුණා. ඒ නිසා ද මම දන්නෙ නෑ සාප්පුවකින් බඩු හොරකම් කරලත් අහුවුණා. “

පසුගිය 09 වන දා දිනමිණ පළ කළ පහත දැක්වෙන පුවත සමඟ ස්පි‍්‍රං වොෂම් ගේ ප්‍රකාශය සසඳා බැලීම මැනවි.

“කොළඹ සුපිරි වෙළෙඳ සැලකින් නිමි ඇඳුම් සොරා ගත් බවට හා ඒවා සන්තකයේ තබාගත් බවට වරද පිළිගත් ටෙලිනාට්‍ය නිළි උදාරී වර්ණකුලසූරිය මහත්මියට මාස හය බැගින් වූ සිර දඬුවමක් නියම කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා එම දඬුවම වසරකට අත්හිටුවන බව නියෝග කැර ඇය මුදා හැරියේ ය. සිදු වූ වරද පිළිගැනීම හා පෙර වැරැදි නොමැති වීම මත නිළියට යළි සමාජගත විය හැකි සුදුසු දඬුවමක්, දඩයක් අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදන අනුව නිකුත් කරන ලෙස වර්ණකුලසූරිය මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කළ ඉල්ලීම සලකා බැලීමෙන් පසු ව මහේස්ත්‍රාත්වරයා මේ දඬුවම නියම කළේ ය.”

“රුපියල් 12700 ක් වටිනා නිමි ඇඳුම් සොරකම් කිරීම හා ඒවා ළඟ තබා ගැනීමේ චෝදනා මත කුරුඳුවත්ත පොලීසිය විසින් මේ පැමිණිල්ල ගොනුකැර තිබිණ.”

උදාරි වර්ණකුලසූරිය සිද්ධියේ දී ඇගේ නීතිඥවරයා ගේ ඉල්ලීමවී ඇත්තේ ඇයට යළි සමාජගත විය නො හැකි දඬුවමක් නියම කළහොත් ස්වාධීන රූපවාහිනියෙන් විකාශය කැරෙන ටෙලිනාට්‍යයෙන් (බොඳ මීදුම්) ඉවත්වීමට සිදුවන බවත් එ මඟින් ටෙලිනාට්‍ය ශිල්පීන් 102 කට අගතියක් හා ආර්ථිකමය වශයෙන් රුපියල් මිලියන ගණනක පාඩුවක් සිදුවන බවත් ය. එ මෙන් ම ශල්‍ය වෛද්‍යවරයකු හා විවාහ වී සිටින ඇයට ස්වාමිපුරුෂයා සමඟ විදේශ ගත වීමේදී වීසා ගැනීමට නොහැකි තත්ත්වයක් මතු විය හැකි බව ය. මේ වරදකාරියට සමාජගත වීමට අවස්ථාව ලබා දිය යුත්තේ එම කරුණු කිසිවක් නිසා නො වේ. ඊට අදාළ අධිකරණමය ක්‍රියාදාමය අවසන් වූ පමණින් එයින් ලැබෙන සමාජ අපවාදය අවසන් නොවීම හාඇගේ මානසික බිඳවැටීම සුවපත් නො වනු බැවිනි.

මෙහි සඳහන් කළ ස්පි‍්‍රං වොෂම් මෙන් තමා කළ වරද ජනමාධ්‍යයකට ප්‍රකාශ කිරීමට තරම් ආත්ම ශක්තියක් උදාරී වර්ණකුලසූරිය මහත්මිය තුළ ද වර්ධනය විය යුතු ය. සැබෑ සමාජගත වීමක් සිදුවිය හැක්කේ එ ලෙසිනි. එහෙත් උදාරී වර්ණකුලසූරිය සිද්ධිය අප මෙහි සඳහන් කළේ උදාහරණයක් වශයෙන් මිස ඇය සමාජගත කළ නො හැකි තරම් වරදකාරියක වශයෙන් සලකා නො වේ.

කෙසේ වුව ද ස්පි‍්‍රං වොෂම්ට සිය ජීවිතය සුවපත් කැර ගැනීම සඳහා බුදුදහම උපයෝගී වූ ආකාරය අප රටේ සියලු උදාරිලාට මඟ පෙන්වීමකි.

 

ඉල් පුර පසළොස්වක පෝය

ඉල් පුර පසළොස්වක පෝය නොවැම්බර් 20 වන දා සෙනසුරාදා අපර භාග 10.37 ට ලබයි. 21 වන දා ඉරිදා අපර භාග 10.57 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම නොවැම්බර් 21 වන දා ඉරිදා ය.
 මී ළඟ පෝය නොවැම්බර් 28 වන දා ඉරිදා ය.


පොහෝ දින දර්ශනය

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 21

Second Quarterඅව අටවක

නොවැම්බර් 28

New Moonඅමාවක

දෙසැම්බර් 05

First Quarterපුර අටවක

දෙසැම්බර් 13

2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]