UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය 2010

බුද්ධ ධර්මය - උපකාරක පාඩම

පරිසරය සෞන්දර්යය හා මිනිස් පැවැත්ම

බුදුරජාණන්වහන්සේ ‘ආරාම රෝපා වන රෝපා’ ආදි ගාථාව දේශනා කළේ දෙවියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු වශයෙනි. එම ප්‍රශ්නය හා පිළිතුරු සූත්‍ර පිටකයේ සංයුක්ත නිකායේ දක්නට ලැබේ. ‘ස්වාමිනි, බුදුරජාණන් වහන්ස, කවරෙකුට නම් දිවා රාත්‍රි පින් වැඩෙන්නේ ද? කවරකු නම් සුගතියට යයි ද? යනු ඒ දේවතාගේ ප්‍රශ්නයයි. එයට පිළිතුරු සපයන බුදුරජාණන් වහන්සේ ‘යමෙක් මල්, පලතුරු, උයන් වවන්නේද ස්වභාවික වනාන්තර වවන්නේද, ඒ දඬු පාලම්, පොකුණු ආදිය කරවන්නේ ද ඔහුට දිවා රෑ පින් වැඩේ. ඔහු සුගතියට ද යයි’ යනුවෙන් පිළිතුරු දේශනා කළහ.

මෙසේ දේශනා කළේ අප හුස්ම ගැනීම සිට සියලු කාර්යයන් සිදු කරනු ලබන්නේ පරිසරය නිසා යැයි උන්වහන්සේ හොඳින් දැන සිටි නිසාය. ඒ නිසාම මිත්‍රශීලි ලෙස අප පරිසරයට ආදරය කළ යුතුය. තමාගේ් සෞඛ්‍යයට ද පරිසරය ඉතා හොඳින් බලපාන නිසා එය වඩාත් සැලකිලිමත් වීම වටී. බුදුන් වහන්සේ ජීවමාන කාලයේදී ම නිරෝගි බව විනාශ වන නොයෙක් ව්‍රත තිබුණි. එහෙත් ඒ ව්‍රත උන්වහන්සේගේ ගැරහීමට ලක් වූ ආකාරය සූත්‍ර දේශනාවල දැක්වේ. අජව්‍රත, ගෝව්‍රත, සුනඛව්‍රත ඒ අතර ප්‍රධානය. ඒවා තම සෞඛ්‍යයට ඉතා අහිතකර ලෙස බලපාන බැවින් එසේ ගැරහීමට ලක්විය.

තවද වර්ෂ 2500 කටත් වඩා ඉහත ඉතිහාසයක් ඇති ලොව ඉපැරණිම නිල ඇඳුම වන චීවරය පවා නිර්මාණය වූයේ මගධ රාජ්‍යයේ කෙත් යායක ආකෘතියට ය. සිවුරු වර්ණ ගැන්වීම සඳහා භාවිතා කරන ලෙස දේශනා කළේ ද ස්වභාව ධර්මයේ ඇති කොස්, අඹ ආදී වර්ණ කාරක වේ.

දියුණුවන රටවල හා දියුණු රටවල කොන්ක්‍රිට් වනාන්තර ලෙස දක්නට ලැබුණ ද කෘතිමව හෝ දිය ඇලි ගස් වැල් නිර්මාණයට පෙළඹීමට ඇත්තේ පරිසරය ඉතා වටිනා නිසාමය. ‘සෙන් ගාර්ඩන්’ යනුවෙන් ජපානයේ නිර්මාණය වූ පරිසරය අපගේ් ථෙර - ථෙරී ගාථාවන් ඇසුරින් නිර්මාණය කළ බව හෙළි වේ.

බුද්ධ විනය දේශනා තුළ ද ප්‍රබල ලෙස පරිසර සංරක්ෂණය සඳහා අවශ්‍ය සාධක ගොනු වී ඇත. සේඛියා වල එන පරිදි ජලයට මුත්‍රා කිරීම හෝ මළපහ කිරීම හෝ තහනම් ය. ලා තණ කොළ ඇති ස්ථානවලට මුත්‍රා කිරීම තහනම් ය. වතුරට කෙළ, සෙම්, සොටු, ලේ, සැරව, වමනය ආදිය දැමීම තහනම් ය. ගස් කැපීම මල් කැඩීම ආදිය විනය දේශනා තුළ තහනම් ය. පොළොව කැපීම, සැරීම ආදිය ද තහනම් ය.

එසේම වැස්ස වැටී තණ කොළ ලියලන වස්සාන සමයේ පොළොව පාගා ඇවිදීම පවා බුද්ධ දේශනාවෙන් තහනම් කොට ඇත. වතුර පානය කළයුත්තේ් ද පෙරා ගෙනය. එය සෞඛ්‍ය ගැන මෙන්ම පරිසර සංරක්ෂණය ගැන සලකා පැන වූ විනය නීතියකි. ජලය පෙරාගත් රෙදිකඩ නැවත ජලයට ම සෝදා හැරිය යුත්තේ එහි ප්‍රාණින් සිටිය හැකි බැවිනි.

දිනපතාම වටපිටාව හැමදීම කළ යුතුය. (සම්මජ්ජනී) සිවුරු, පාත්‍රය, ආදිය හොඳින් සෝදා අවුවේ වේලිය යුතුය. කෙස්, නියපොතු, රැවුල ආදිය ගැලපෙන සේ කපා පිරිසුදු විය යුතුය. වැසිකිළි ආදිය හොඳින් පිරිසුදු කළ යුතුය. ආදි නීති දේශනා කළේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට පිරිසුදුකම් අත්‍යාවශ්‍ය නිසාමය.

තවද බුදුරජාණන්වහන්සේ තම දේශනාවලට උපමා ලෙස ගනු ලබන්නේ බොහෝ දුරට පරිසර සංසිද්ධීන්ය. උදාහරණය ලෙස කුඹුරු, ගස්, සතුන්, ජලය, මුහුද, හිරු, සඳු, වලාකුළු ගෙඩි, කොළ, උරග, නාග, ඇත්, ආදි පාරිසරික සියලු දේ උන්වහන්සේගේ් උපමා කෞෂල්‍යයට ගොදුරු වූහ.

මේ ආදී සියලු කාරණාවලින් පරිසරය ආරක්ෂා කළයුතු බවත් වායු දූෂණය, ශබ්ද දූෂණය, ජල දූෂණය, පාංශු දූෂණය, ආදි විවිධ දූෂණයන් වලක්වා පරිසරය සංරක්ෂණය කළයුතුª බවත්, බුදු දහම සර්ව අසුභවාදී ආගමක් නොව පරිසර සංරක්ෂණවාදී හා ස්වභාව ධර්මය අගය කළ එයින්ම පෝෂණය වූ ආගමක් බවත්, පරිසර සංරක්ෂණය නිසා තම සෞඛ්‍යයත්, අන් අයගේ සෞඛ්‍යයත් ආරක්ෂාවන බවත්, ඒ සඳහා ඉතා හොඳ මග පෙන්වීමක් බුදුදහම තුළින් ලැබෙන බවත් අවබෝධ කරගත යුතුය.

ආදර්ශ ප්‍රශ්න

1. සෞඛ්‍යය සංරක්ෂණය සඳහා පරිසර සංරක්ෂණය කළ යුතු බව පෙන්වන්න.
2.’බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ ශ්‍රේෂ්ඨතම පරිසර වේදියාණෝය’ මෙය සනාථ කිරීමට හේතු දක්වන්න.
3. පරිසර පාඩමට අදාළ වූ ගාථා පහක් එකතු කොට ලියා තේරුම ලියන්න
4. පරිසරය දූෂණය වන ක්‍රම හඳුන්වා, ඒ නිසා ඇතිවන හානිය විස්තර කරන්න
5. අත්තුපනායික ධර්ම පර්යාය හඳුන්වන්න.

බුද්ධ ධර්මය - උපකාරක පාඩම් 02

සීලය සදාචාරය හා සංවර්ධනය

අද අපි කතා කරන්න බලාපොරොත්තු වන්නේ සීලය හා සදාචාරය සම්බන්ධ තොරතුරු ඇතුළත් පාඩම ගැනයි. විෂය නිර්දේශයේ 04 වන පාඩම් ඒකකය තමයි මේක. මෙය පාඩම් ඒකකය කොටස් දෙකකින් යුත්ත වෙනවා.

01 සීලය
02 සදාචාරය යනු ඒ දෙකයි. ඒ පාඩම් ඒකකයට අදාල නිපුණතා කිහිපයක් ගැන ප්‍රශ්න ඇසීමට නියමිතයි. එම කොටස් තමයි...

සීලය හා සමාජ සංවර්ධනය
සිල්වත් වීමේ වැදගත්කම
සදිසා නමස්කාරය
බෞද්ධ සමාජ ධර්ම,

යුතුකම් ඉටුකිරීමේ වැදගත්කම , ආදි තොරතුරු ඒ අතර ප්‍රධාන වෙනවා. ඒ නිසා හොඳින් මෙම පාඩම කියවා තේරුම් ගෙන එයින් අසන ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු ලියන්න පුරුදු වන්න.

අප මුලින්ම බලමු සීලය කියන්නේ කුමක් ද? කියලා. බුදු දහම තුළ ඇති ප්‍රධානතම ඉගැන්වීම් වලින් එකක් තමයි සීලය කියන්නේ. සීලයෙන් සිදු වන්නේ මිනිසාට වගේ ම සමාජයටත් මහගු සේවයක්. මිනිසාට සිත, කය, වචනය කියලා ප්‍රධාන අංග තුනක් තියෙනවා. මෙම අංග තුනෙන් කය වචන දෙක සංවර වීම සිදු වන්නේ සීලය තුලින් බවයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරල තියෙන්නේ. “ කාය වාචා සමෝදානං සීලං “ යනුවෙන් එය සූත්‍ර දේශනාවල දක්වා තියෙනවා. මේ අපි කෙටියන් තමයි මෙය හඳුනා ගත්තේ. පසුව විස්තර දක්වනවා.

ඊළඟට අපි බලමු සදාචාරය කියන්නේ කුමක්ද? කියා. මෙය සීලය තුලිනුත්, යුතුකම් ඉටු කිරීම මඟිනුත් තමයි ගොඩ නැගෙන්නේ. බුදු දහම හා අන් සියලුම ආගම්වල විශේෂ බලාපොරොත්තුවක් තමයි සදාචාරය කියන්නේ. බුද්ධ දේශනාව තුළ සදාචාරයට සම්බන්ධ විශේෂම හා ඔයාලාගේ විෂය නිර්දේශයට ඇතුළත් සූත්‍රය තමයි සිගාලෝවාද සූත්‍ර දේශනාව.

මෙම පාඩමට ඉන් පස්සෙ සම්බන්ධ වන්නේ සංවර්ධනය කියන කොටසයි. සංවර්ධනය කොටස් කීපයක් යටතේ දක්වන්න පුළුවන්. ඒකත් සදාචාරය වගේම සීලයත් එක්ක හොඳීන්ම ගැලපෙනවා. මානසික සංවර්ධනය, ආර්ථික සංවර්ධනය ආදි වශයෙන් කොටස් දක්වන්න. මේ අනුව හොඳින් අපට දැනෙනවා. සීලය, සදාචාරය හා සංවර්ධනය මනාව එකින් එකට ගැලපී ඇති බව.

සීලය තුලින් කය හා වචනය යන අංශ දෙකම සංවර වන බව ඉහතින් ඉගෙන ගත්තා. මුලින්ම අපි බලමු බුදු දහම තුළ සීලය යෙදෙන අවස්ථා මොනවාද කියා.

පංචශීලය හෙවත් නිත්‍ය ශීලය ලෙසද,
ත්‍රිවිධ පුණ්‍යක්‍රියා වල ද,
ත්‍රිශික්‍ෂාවල පළමු අංගය ලෙස ද,
ආජීව අෂ්ටමක සීලය ලෙසද,
දස සීලය,
ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ සම්මා වාචා හා සම්මා කම්මන්ත නමින්ද,
දස පාරමිතාවලද,
දස පුණ්‍යක්‍රියා වල ද,
දස අකුසල් වල පළමු අංග 07 යටතේද,
සතර සංවර සීලය ද
සාමණේර – උපසම්පදා වශයෙන්ද

සිගාලෝවාද සූත්‍රයේ සතර කර්මක්ලේෂ ලෙසද,ආදී බොහෝ ස්ථානවල සීලය ගැන තොරතුරු දැක්වෙනවා.

මෙම මාතෘකාව සඳහා කෙලින්ම සම්බන්ධකම් දක්වන ප්‍රධාන අංග දෙකක් තමයි හිරි හා ඔත්තප්ප කියන්නේ. හිරි යනු පවට ඇති ලැජ්ජාවයි. ඔත්තප්ප යනු පවට ඇති බියයි. ඒ අනුව සීලය සම්පූර්ණ වීම සඳහා මේ දේව ධර්ම දෙක ප්‍රධාන වෙනවා. උදාහරණයක් ලෙස ගත්තොත්, යමෙක් සොරකම් නොකර ඉන්නේ තමාටත්, තම පවුලටත්, තම පෞර්ෂයටත්, යම් හානියක් වෙයි යන ලජ්ජාව නිසායි. සමාජයෙන් තමාට දඬුවම් ලැබෙයි කියාද බිය නිසා ඔහු එසේ නොකර ඉන්නවා වෙන්න පුළුවන්. සතුන් මැරීමත් එහෙමයි. අනිත් වැරදිත් එහෙමයි.

තවද , සීලය පූර්ණත්වයට පත් වීමට නම් හෙවත් වරදින් මිදීමට හේතු විදියට සැලකිය හැකි කරුණු තුනක් තියෙනවා. ඒවා අධිපති ධර්ම නමිනුයි දැක්වෙන්නේ. තමාගේ පෞර්ෂයට, තත්වයට සිදුවන හානිය ගැන සිතා වරදින් මිදීමට හැකියි. එය බුදු දහමේ හඳුන්වන්නේ අත්තනුවාද බිය (අත්තාධිපති) යන නමිනුයි. සියලු දෙනාගෙන් සිදුවන හිංසා පීඩා වලින් කෙසේ හෝ වැළකී සිටියත් තමාගේ සිතෙන් සිදුවන පීඩාවෙන් වැලකී සිටින්නට කෙසේවත් පුළුවන් කමන් නෑ. ඒ නිසා වරදින් මිදීම පිණිස මෙම කරුණ ඉතාම වැදගත්.

එසේම ලෝකයාගෙන්, දෙමාපියන්ගෙන්, හා වටපිටාවේ සමාජයෙන් තමාට සිදුවන අගරු කිරීමේ හා හිංසා පීඩා නිසා යම් අයෙකු වරදින් මිදෙන්න පුළුවන් කම තියෙනවා. කරණීය මෙත්ත සූත්‍රයේ දී බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නච බුද්ධං සමාචරේ කිඤ්චියේන විඤ්ඤු පරේ උපවදෙවය්‍යුං යනුවෙනුයි. ඒ කියන්නේ ලෝකයාගෙන් අපවාදයට ලක්වන කිසිඳු වරදක් සිදුනොකළ යුතුයි යනු එහි තේරුමයි. මෙසේ ලෝකයාගෙන් සිදුවන අපවාද ගැන සිතා වරදින් මිදීම ලෝකානුවාද බිය (ලෝකාධිපති) යනුවෙන් හඳුන්වනවා.

තවද ඔබ කර්ම සංකල්පනයේදී ඉගෙනගත් පරිදිම විවිධ කර්මවල විවිධ විපාක ගැන සිතා එම කර්ම විපාක වලට ඇති බිය ද බුදු දහම තුළ දක්නට ලැබෙන අංගයක්, නරක තිරිසන් පේ‍්‍රත අසුර ආදී සතර අපායේ ඉපදීමෙන් ඇතිවන විවිධ දුක් ගැන සිතා ඉන් මිදීමට හැකිය. එය ධම්මානුවා බිය (ධම්මාධිපති) යනුවෙන් සඳහන් වෙනවා.

මෙම අධිපති ධර්ම වගේම සීලය පාඩමේ ඉගෙන ගතයුතු තවත් අංගයක් වන්නේ ත්‍රිකෝටික පාරිශුද්ධියයි. ත්‍රිකෝටික කියන්නේ අංග තුනතකින් යුක්තවන නිසයි.

01. පළමුව තමා වරදින් මිදිය යුතුයි
02. අන්‍යයන් ද වරදින් මුදවා ගතයුතුයි
03. වැරදි කිරීමේ ආදීනව පෙන්වා දිය යුතුයි. යනු ඒ ත්‍රිකෝටික පාරිශුද්ධියයි . අපි පළමු ශික්ෂා පදය දෙස බැලුවහොත් එය අවබෝධ කර ගන්නා ඉතා පහසුයි.

තමා සතුන් මැරීමෙන් වැළකීම
අන් අය ලවා සතුන් මැරවීමෙන් වැළකීම

සතුන් මැරීමේ ආදීනව කියා දීම, යනුවෙන් එය සඳහන් කරන්න පුළුවන්. අන් ශික්‍ෂා පද වලටද මෙය සමානයි. මෙසේ තුන් ආකාරයකින් වරදින් මිදීම ත්‍රිකෝටික පාරිශුද්ධියයි. මේ ආදී වශයෙන් විවිධ කාරණා සීලය ඔස්සේ සඳහන් කරන්න පුළුවන්. විෂය නිර්දේශයට අනුව මෙම පාඩමේ දී දැනගත යුතු අනිත් කරුණ වන්නේ විරමනය හා සමාදානය යන අංග දෙකයි. සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර යන නම් වලින්ද මෙය දැක්වෙනවා. යම් වරදකින් මිදීම විරමනයයි. එහි ඊළඟ අංශය එයට විරුද්ධ දේ කිරීමයි.

උදාහරණයක් ලෙස එය දක්වන්නේ නම් සතුන් මැරීමෙන් වැලකීම විරමනය, විරතිය, චාරිත්‍රය ලෙස දක්වන්න පුළුවන්. එහි ප්‍රතිවිරුද්ධ දේ වන සතුන්ට මෛත්‍රී කිරීම සමාදානය හෙවත් චාරිත්‍රය ලෙස දක්වන්න පුළුවන්. මෙසේ සෑම ශික්‍ෂා පදයක්ම විරමණය හා සමාදානය යන කොටස් දෙකට අයත් වෙනවා. විශේෂයෙන් අපි වරදකින් මිඳුනාටම මදි. හොඳ දේ කරන්නත් ඕන. සියලු බුදුවරයන්ගේ අනුශාසනාවේ ද එය මැනවින් දක්වා තියෙනවා. “ සබ්බ පාපස්ස අකරණං “ යනු සියලු පවු නොකරන්න යනුයි. එහි ඊළඟ පියවර “ කුසලස්ස උපසම්පදා “ වශයෙන් දැක්වේ. එනම් කුසල් සම්පූර්ණ කිරීමයි. ඒ අනුව සබ්බ පාස්ස අකරණං යනු විවිරතියයි. කුසලස්ස උපසම්පදා යනු සමාදානයයි. මේ කරුණ සැම ශික්‍ෂා පදයකම නාම මාත්‍ර වශයෙන්ම දක්නට ලැබෙනවා. වේරමණී හා සමාදියාමි යනු ඒ දෙකයි.

බුදු දහමේ ඉතා වැදගත් අංගයක් වූ ආර්ය අෂ්ටාංගික මාර්ගයේදී සම්මා වාචා හා සම්මා කම්මන්ත යන නම්වලිනුයි සීලය දක්වා ඇත්තේ. සම්මා වාචා යනු “ මුසාපේ සුඤ්ඤා ඵරුසා සම්පප්පලාපා වාචතෝ “ යනුවෙන් එය රාහුලෝවාදයේ දී දක්වා තිබෙනවා. ඒ අනුව බොරුකීම, හිස්වචන කීම, ඵරුස වචන කීම, හා කේලාම් කීම යන අකුසල් වලින් වැලකීම සම්මා වාචා නම් වේ. සම්මා කම්මන්ත යනු කුමක්දැයි “ප්‍රාණඝාත පරද්දබබං පරදාරං ව කායතෝ “ යන රාහුලෝවාද දේශනාවෙන් දක්වා තිබෙනවා. ඒ අනුව සතුන්මැරිම , සොරකම් කිරීම, කාමය වරදවා හැසිරීම යන වැරැදි වලින් මිදීම සම්මා කම්මන්ත වේ. මේ දැක්වීමෙන්ම සීලයේ ඇති වැදගත්කම දැනගන්න පුළුවන්.

වප් අමාවක පෝය

වප් අමාවක පෝය නොවැම්බර් 05 වන දා සිකුරාදා අපර භාග 01.02 ට ලබයි.
6 වන දා සෙනසුරාදා පූර්වභාග 10.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 05 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය
නොවැම්බර් 13 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 05

First Quarterපුර අටවක

නොවැම්බර් 13

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 21

Second Quarterඅව අටවක

නොවැම්බර් 28


2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]