UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

ඇසුරු කළ යුත්තේ කවුද?

අප ඇසුරු කරන පුද්ගලයා ශ්‍රද්ධාශීල, ත්‍යාග, ප්‍රඥා යන ගුණයන්ගෙන් පෝෂිත විය යුතුය. ශ්‍රද්ධාව නැති පුද්ගලයකු ඇසුරු කිරීමෙන් තමන්ද අනුන්ද අනතුරට පත්වෙයි. ‘ශ්‍රද්ධාව‘ ලෝකයේ ප්‍රකට පුද්ගලයන් රැසකට මාර්ගෝපදේශකත්වය සැපයූ සංකල්පයකි. කල්‍යාණ මිත්‍රයන් තුළ ශ්‍රද්ධාව අත්‍යාවශයෙන්ම තිබිය යුතුය. ශ්‍රද්ධාව වුවමනාවට වඩා තිබීමෙන් අන්ධ භක්තිය ඇතිවන අතර එය වඩාත් භයානක ප්‍රතිඵල අත්කර දෙයි.

රුසියාවේ නිකොලායි ගොගොල් කතුවරයා ශ්‍රද්ධාව දොහොත් මුදුණේ ලා ඇදහූ අයෙකි. ඔහු සමාජයේ නුගුණ පැත්ත හා සැබෑ සත්‍ය හෙළිකළ “ මළමිනිස්සු” නවකතාව ලියා පළකොට කීර්තියක් ලද්දේය. ඔහුගේ කීර්තිය දේශදේශාන්තර වල පතළවිණි. සමාජයේ නුගුණ කීම මහා පාපයකැයි මේ දිනවල නිකොලායි ගොගොල් ඇසුරු කළ ඔහුගේ කල්‍යාණ මිත්‍රයන් විසින් ඔහුට ඒත්තු ගන්වා තිබිණි.

සමාජයේ සුගුණ කීමට නැඹුරු විය යුතු යැයි ගොගොල්ට මෙවිට සිතුණි. මෙතෙක් කලක් සමාජයේ ඇත්තකු හෙළිකළ ගොගොල්ට එය ඉතා දුෂ්කර කාර්යයක් බවට පත්විය.

දැඩි මානසික විපර්යාසයක් ගොගොල් තුළ සිදුවෙමින් පැවැතිණි. මේ කාලයේ කළ පව් සෝදා ගැනීමට ජෙරුසලමේ වන්දනාවේ යාමට ගොගොල් සිතීය. එම වන්දනා ගමනේදී ගොගොල්ට අපූරු කල්‍යාණ, මිත්‍රයකු මුණ ගැසුණි. ඔහු පූජකයෙකි.ශ්‍රද්ධාව කෙනෙකු තුළ තිබිය යුතු මහඟු ගුණාංගයක් බව පූජකයා ගොගොල්ට ඒත්තු ගැන්විය.

ගොගොල් ශ්‍රද්ධාව වෙනුවෙන් කළ හැකි සෑම දෙයක්ම ඉටු කළේය. දෙවියන් වහන්සේ කැමැත්ත අනුව ලොව සියල්ල සිදුවන බවත් දෙවියන් වහන්සේ ගැන ශ්‍රද්ධාවෙන් කල්ගත කළ යුතු බවත් උමතු පූජකයා ගොගොල්ට දැන්වීය.

ගොගොල් දිව මතුරක් සේ දෙවියන් වහන්සේ ගැන නිතර මෙනෙහි කරන්නට විය. වඩ වඩාත් ශ්‍රද්ධාසම්පන්න විය. උමතු වූවකු සේ දෙවියන් වහන්සේ යදින්නට විය. අවසානයේ ගොගොල්ගේ පියවි සිහිය නැතිව ඔහු ආගමික භක්තිය ශ්‍රද්ධාව කරපින්නාගත් උමතු වූවකු බවට පත්විය. ඔහු අවසානයේ අකාලයේ උමතු බවින්ම මිය ගියේය. ශ්‍රද්ධාව නම් අන්ධභක්තිය ඔස්සේ සිත මෙහෙයවිය යුතු දෙයක් නොවන බව මේ කතාවෙන් අපට ඔප්පුවේ. ශ්‍රද්ධාව ප්‍රඥාව පෙරටු කොටගෙන ඉපදවිය යුතු දෙයකි. අන්ධ භක්තිය ශ්‍රද්ධාව සිත උමතුකරයි. සිත එකලස්ව නිස්කංලකව මෙහෙයවා සැබෑ ශ්‍රද්ධාව සොයා යායුතුය. ආගම දහම තේරුමක් ඇතිව ඇදහිය යුතුය. අවබෝධයක් ඇතිව ඇදහිය යුතුය.

ඒ නිසා අපගේ කල්‍යාණ මිත්‍රයෙක් අපට අන්ධ ශ්‍රද්ධාව පුරුදු පුහුණු කරන්නට උත්සාහ ගන්නේ නම් අප වඩාත් ප්‍රවේශම් විය යුතුය. සැබෑ ශ්‍රද්ධාව කුමක්දැයි අප අවබෝධ කර ගත යුතුය.

සිල් රැකීම හොඳ කල්‍යාණ මිත්‍රයන් තුළ තිබිය යුතු ගුණාංගයකි. එහෙත් එයද අන්ධ භක්තිය හා අන්ධ ප්‍රතිපත්ති අනුව කරන සීලයත් නොවිය යුතුය. සැබෑ ලෙස සීලය රකින තැනැත්තා මෙලොවද එලොවද යහපත් තැනක් කර ගනී. සීලය කෙනෙකු තුළ බිහිවන දුර්ලභ ගුණාංගයකි. ත්‍යාගය හොඳ කල්‍යාණ මිත්‍රයෙක් තුළ තිබිය යුතු ගුණාංගයකි. ත්‍යාගය යනු දීමයි.

මෙත් සිතින් තුටු සිතින්, ගුණවත් සිතින් යමක් ලබාදෙන්නා හොඳ යහපත් ඇසුරු කළ යුතු පුද්ගලයෙකි. යම් පරමාර්ථයක් හිතට තබාගෙන එය ඉෂ්ට කරගන්නට ත්‍යාග ලබාදෙන්නා ගැන අප වඩාත් ප්‍රවේශම් විය යුතුය. යමෙකුගේ ව්‍යසනයකදී අනතුරකදී මෙත් සිතින් තුටු සිතින් මුළු හදින් යමක් දෙන්නා උතුම් මිතුරෙකි. ඔහු තම මිත්‍රයන්ටද ඥාතිමිත්‍රාදීන්ටද වඩාත් හොඳ යහපත් පුරුෂ රත්නයකි. මනුෂ්‍යයෙකි. අපට සැබැ කල්‍යාණ මිත්‍රයන් උවමනා වන්නේ අපගේ දුකකදී කරදරයකදී පිහිට වීමටය. ඒ අවස්ථාවේදී ඔහු ක්‍රියා කරන ආකාරය අනුව අපට ඔහු කවුදැයි නිශ්චය කර ගත හැකිය. සැපේදීත් දුකේදීත් කල්‍යාණ මිත්‍රයා ළඟ සිටිය යුතුය. අප ඇසුරු කරන්නා ත්‍යාගවන්තයෙක් සීලවන්තයෙක් වීමෙන් ඔහු ඇසුරු කිරීමෙන් අපටද ඔහුගේ කීර්තිය හිමිවේ.

ප්‍රඥාව අප ඇසුර කරන කල්‍යාණ මිත්‍රයකුට තිබිය යුතු යහපත් ගුණාංගයකි. ප්‍රඥාවෙන් තොර පුද්ගලයකු ඇසුරු කිරීමෙන් අපට නොයෙකුත් ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවේ. ප්‍රඥාවෙන් යුත් පුද්ගලයකු හා ඇසුර සුරක්‍ෂිත එකක් වේ. ඔහු සිය බුද්ධි මහිමය මගින් සියල්ල නිරාකරණය කර ගනී. සියලු ගැටලු තැන් ලිහිල් කර ගනී. එවැන්නකු හා සාකච්ඡා කිරීමටත් ගැටළු නිරාකරණය කර ගැනීමටත් අපට අවස්ථාව උදාවේ.

යම් පුද්ගලයකු ප්‍රඥාවෙන් තොර වූ විට නොයෙකුත් ගැටලු වලට අපට මුහුන පාන්නට සිදුවන්නේ අන්‍යෝන්‍ය අවබෝධය නොමැතිවීම නිසාවෙනි. අන්‍යෝන්‍ය අවබෝධය ප්‍රඥාව තුළින් ලබා ගත හැකිය. ප්‍රඥාවෙන් පිරිපුන් පුද්ගලයකු ඇසුරු කිරීම කෙනකු ලබන උතුම් භාග්‍යයක් වේ. ප්‍රඥාවද සීලයද ත්‍යාගවන්ත වීමද, දුකේදී පිහිට වීමද කල්‍යාණ මිත්‍රයකු සතුවිය යුතු උසස් ගුණාංග අතරට එක්වෙයි.

වප් අමාවක පෝය

වප් අමාවක පෝය නොවැම්බර් 05 වන දා සිකුරාදා අපර භාග 01.02 ට ලබයි.
6 වන දා සෙනසුරාදා පූර්වභාග 10.22 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම නොවැම්බර් 05 වන දා සිකුරාදා ය.

මීළඟ පෝය
නොවැම්බර් 13 වන දා සෙනසුරාදාය.


පොහෝ දින දර්ශනය

New Moonඅමාවක

නොවැම්බර් 05

First Quarterපුර අටවක

නොවැම්බර් 13

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 21

Second Quarterඅව අටවක

නොවැම්බර් 28


2010 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2010 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]