UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පුනරුදය කලා උළෙල - 2009

ගාල්ල යටගල හෙට්ඨාචල මහ පිරිවෙනේ දී

සමස්ත ලංකා පිරිවෙන් දින සැමරුම හා අන්තර් පාරිවේණික සිසු නිපුණතා ප්‍රදර්ශන අධ්‍යාපනික වැඩ සටහන ‘පුනරුදය කලා උළෙල 2009’ නමින් සැප්. මස 07 වැනිදින ගාල්ල - උණවටුන යටගල හෙට්ඨාචල මහ පිරිවෙනේදී ආරම්භ කැරිණ. සැප්. 11 වැනිදින සමාප්ති උළෙල ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ගේ ද සහභාගිත්වයෙන් පැවැත් වේ. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

දකුණු සිරිලක ගාලු පුරවරය ආසන්නයේ ඓතිහාසික යටගල රාජමහා විහාරය පිහිටා ඇත. අනුරාධපුර මහමෙවුනා උයනෙහි රෝපිත ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ඵලරුහ බෝධීන් වහන්සේ නමක් මෙම ඓතිහාසික විහාරස්ථානයෙහි රෝපණය කොට තිබේ. එම බෝධීන් වහන්සේ නිසා පූජනීයත්වයට පත් යටගල රාජමහ විහාරය කැටගොඩ ශ්‍රී රතනජෝති නාහිමියන්ගේ පුරෝගාමිත්වයෙන් ආරම්භ කෙරිණි.

වැලිවිට සරණංකර සඟරජ මාහිමියන්ගෙන් උපසම්පදාව ලත් පහතරට භික්ෂූන් අතර කැටගොඩ හිමියන්ට ප්‍රමුඛ ස්ථානයක් හිමිවෙයි. උන්වහන්සේ පහතරට ප්‍රමුඛ සංඝ පරම්පරාත්‍ර‍්‍රයේ කැටගොඩ පරපුරේ ප්‍රධානියා ද වෙති. කැටගොඩ නාහිමි ආධිපත්‍ය දැරූ පහතරට සිද්ධස්ථාන 18 ක් පිළිබඳ විස්තරයක් තත්කාලීනව රචිත ලේඛනවල සඳහන් වෙයි.

මෙසේ කැටගොඩ නාහිමි යටගල රාජමහා විහාරය කේන්ද්‍රකර ගනිමින් රුහුණු ප්‍රදේශය පුරා ම අතිඋදාර වූ ජාතික ආගමික හා ධර්ම ශාස්ත්‍රීය සේවාවක නිරත වූ හ. එමතු නොව.18 - 19 සියවස්වල දී යටගල විහාර සංවර්ධන කාර්යයන් සඳහා යටගම ජෝතිපාල, හල්ඔලුවේ දේවමිත්ත, තල්පේ සෝණුත්තර යන නාහිමිවරු ද ප්‍රමුඛ දායකත්වයක් දැක් වූ හ. කවිකුලතිලක කළහේ ශ්‍රී ගුණරතන නාහිමියෝ ද කැටගොඩ සඟ පරපුරේ දීප්තිමත් යතිවරයන් වහන්සේ නමක් වූ හ. උන් වහන්සේ මාලිගාකන්දේ විද්‍යෝදය මහ පිරිවෙනින් පෙරපර දෙදිග භාෂා ශාස්ත්‍ර ප්‍රගුණ කොට ඉක්බිතිව ස්වකීය විහාරස්ථානයට වැඩමවා හෙට්ඨාචල මහ පිරිවෙණ ආරම්භ කළ හ.

1891 දී මෙසේ ඇරැඹි හෙට්ඨාචල මහ පිරිවෙන තුළින් එදා මෙදා තුර ඉතා හරවත් ධර්ම ශාස්ත්‍රීය සාහිත්‍යයික හා සංස්කෘතික මෙහෙවරක් සිදු වී තිබේ. විද්‍යෝදය පරිවේණාධිපතිව වැඩ සිටි බද්දේගම ශ්‍රී පියරතන නාහිමි, මහනුවර සංඝසභාවේ අන්දරවැවේ අත්ථදස්සි නාහිමි හා හිටපු පුරාවිද්‍යා කොමසාරිස් මහාචාර්ය සෙනරත් පරණවිතාන සූරීන් ආදී ගිහි පැවිදි පඬිවරු විශාල පිරිසක් මෙම පරිවේණාස්ථානය තුළින් බිහි වූ හ. මෑතක දි අපවත් වී වදාළ වත්තේහේනේ ශ්‍රී රතනසාර නාහිමි හා වත්තේහේනේ පියරතන පඬි හිමියන්ගෙන්ද මෙම පිරිවෙණේ සංවර්ධනය සඳහා සිදුවූයේ අත්‍යුදාර මෙහෙවරකි.

රුහුණේ වැදගත් පරිවේණස්ථානයක් වන යටගල හෙට්ඨාචල මහ පිරිවෙණ කේන්ද්‍රකර ගනිමින් මෙවර සමස්ත ලංකා ජාතික පිරිවෙන් දින උත්සවය හා සිසු නිපුණතා ප්‍රදර්ශන අධ්‍යාපනික වැඩසටහන පැවැත්වීමට කටයුතු සූදානම් කොට තිබීම ඉතා වැදගත් ය. මෙම පුනරුදය කලා උළෙල 2009 සමස්ත ලංකා පාරිවේණික පැවිදි - ගිහි ශිෂ්‍ය දෙපාර්ශ්වය ම සම්බන්ධ කර ගනිමින් පැවැත්වීමට කටයුතු යොදා ඇත. පාරිවේණික සිසු නිපුණතා වැඩ සටහන (ත්‍යාග හා සම්මාන ප්‍රදානය) ප්‍රදර්ශන කුටි, ආචාර්ය මහාචාර්යවරුන් ගේ විෂයබද්ධ දේශන, ගෞරවනාම ප්‍රදානය හා සමාප්ති උළෙලද මෙම ‘පුනරුදය කලා උළෙල 2009’ ට ඇතුළත් ය. මෙම කලා උළෙලෙහි අපේක්ෂිත පරමාර්ථ රාශියකි. ඒ අතර පිරිවෙන් අධ්‍යාපනයේ ප්‍රධාන බලාපොරොත්තුව වන පර්යාප්ති ප්‍රතිපත්ති, ප්‍රතිවේධ යන ත්‍රිවිධ ශාසනයේ උන්නතිය සඳහා කටයුතු කිරීම, පිරිවෙන් අධ්‍යාපනයට නව මුහුණුවරක් දෙමින් උද්‍යෝගිමත් හා ප්‍රසන්න අධ්‍යාපන රටාවක් නිර්මාණය කිරීම, ඒකාකාරී අධ්‍යාපන රටාවක සිර වී සිටින පාරිවේණික ආචාර්ය ශිෂ්‍ය දෙපාර්ශ්වය ම උද්‍යෝගිමත් කරවීම හා පාරිවේණික සිසු නිපුණතා ප්‍රදර්ශනයට පුළුල් වේදිකාවක් සැකසීම ප්‍රමුඛත්වයෙහිලා සැලකිය හැකි ය.

මෙම කලා උළෙල සිසු නිපුණතා තරග සඳහා කථික කුසලතා, දේශන කුසලතා ආගමික වැඩ මෙහෙයුම හා පද්‍ය ගායනා ද පැවැත්වේ. ත්‍යාග හා සහතික පත්වල ද තරග සංවිධානය කර ගැනීමෙහි ද දුෂ්කරතාවන් සැලකිල්ලට ගනිමින් 2009 අන්තර් පාරිවේණික තරගවල ප්‍රථම ස්ථානය ගත් තරග ඉසව් කිහිපයක පමණක් සිසුන් සහභාගි කරවා ගැනේ. සිසු නිපුණතා ප්‍රදර්ශනයේදී සෑම ප්‍රථම ස්ථානයක් සඳහා රු. 3000 ක් ද, දෙවන ස්ථානය සඳහා රු. 2500 ක් ද, තෙවන ස්ථානයට රු. 2000 ක් ද පිරිනමන අතර සෙසු සහභාගිවන්නන්ට රු. 1000 බැගින් තෑගි පිරිනැමේ.

මෙහි ප්‍රදර්ශන කුටි පැවැත්වීමෙහි අපේක්ෂිත පරමාර්ථය වී ඇත්තේ පාරිවේණික ආචාර්යවරුන් ගේ නිර්මාණ හැකියාවන්ට ප්‍රමුඛ ස්ථානය ලබාදීම යි. එසේම සිසුන් මේ සඳහා සහභාගි කරවා ගැනීමෙන් ඔවුන් ගේ දැනුමට අලුත් අත්දැකීමක් ලබාදීම ද අපේක්ෂිත ය. සිංහල, පාලි, සංස්කෘත, ත්‍රිපිටක ධර්මය, ගණිතය හා ඉංගී‍්‍රසි ආදී විෂයයන් සඳහා ප්‍රදර්ශන කුටි 15 ක් පමණ ප්‍රදර්ශනය කිරිමට කටයුතු යොදා ඇත. මෙම ප්‍රදර්ශන කුටි සඳහා ද ප්‍රථම ස්ථානය වෙනුවෙන් රු. 10,000 ක් ද, දෙවන ස්ථානයට රු. 7500 ක් ද, තෙවන ස්ථානයට රු. 5000 ක් ද, සෙසු කුටි සඳහා රු. 3000 බැගින් ද ත්‍යාග පිරිනැමේ. තවද පුනරුදය කලා උළෙල සාර්ථක කර ගැනීම සඳහා ගුරු, සිසු නිපුණතා දැක බලා ගැනීමට පැමිණෙන පාසල් සිසුන් මහජනතාව ආදී සැමට සාම්ප්‍රදායික පාරිවේණික අධ්‍යාපනය පිළිබඳ පුළුල් අවබෝධයක් ලබාදීම් වස් විශ්වවිද්‍යාල ගිහි පැවිදි ආචාර්ය මහාචාර්යවරුන් සහභාගි කරවා දිනකට විෂයානුබද්ධ දේශනයක් බැගින් පැවැත්වීමට ද කටයුතු යොදා තිබේ. මීට අමතරව සන්ධ්‍යා කාලයේ බෝධිපූජා හා සංස්කෘතිකාංග වැඩ සටහන් ද ක්‍රියාත්මක කෙරේ.

සැප්. මස 07, 08, 09, 10, 11 වන දිනයන් හි දී පැවැත්වීමට යෝජිත වැඩ සටහනට අනුව සැප් 07, සිංහල භාෂා දිනය ලෙසද, සැප්. 08 වැනිදා පාලි හා ඉංගී‍්‍රසි භාෂා දිනය ලෙසද, සැප්. 09 දා සංස්කෘත භාෂා දිනය ලෙස ද, සැප්. 10 වැනිදා ත්‍රිපිටක ධර්ම දිනය ලෙසද, වෙන්කොට ඇත. සැප්. 11 වැනිදා පැවැත්වෙන පුනරුදය කලා උළෙල 2009 සමාප්ති දින උත්සවය අතිගරු ජනාධිපති විශ්වකීර්ති ශ්‍රී ත්‍රිසිංහලාධිශ්වර මහින්ද රාජපක්ෂ මැතිතුමා ගේ සම්භාවනීය සහභාගිත්වයෙන් පැවැත්වේ.

මෙම පුනරුදය කලා උළෙල 2009 සඳහා ස්ථානය හා සම්පත්දායකත්වය යටගල රාජමහා විහාරය සිතුල්පව්ව රාජමහා විහාරය ප්‍රමුඛ තදනුබද්ධ අෂ්ට මහා විහාරාධිපති හෙට්ඨාචල පරිවේණාධ්‍යක්ෂ හා කෘත්‍යාධිකාරී මැටරඹ හේමරතන නාහිමියන් ගේත්, හෙට්ඨාචල පරිවේණාධිපති කෙහෙල්වල සුමංගල හිමියන්ගේත් තත් පරිවේණස්ථ ආචාර්ය මණ්ඩලයේත් මැදිහත්වීම පරිදි සිදු කෙරේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් ශාඛාවේ අධීක්ෂණය පරිදි පිරිවෙන් උපදේශක නැදගමුවේ විජයමෛත්‍රී නාහිමියන් ගේ හා අධ්‍යාපන අධ්‍යක්ෂ ජනරාල් (පිරිවෙන්) වලස්වැවේ ඤාණරතන නාහිමියන්ගේ අනුමැතියෙන් ද, නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ දීවෙල මහින්ද, සමස්ත ලංකා කෘත්‍යාධිකාරී පරිවේණාධිපති සංගමයේ භාණ්ඩාගාරික හබරකඩ සෝරත, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (ගාල්ල) බලගොඩ අමරජෝති, සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ සම්බන්ධීකරණ (ගාල්ල) කෙරදේවල පුඤ්ඤරතන යන හිමිවරුන් ගේ මෙහෙයවීමෙන් ද අබේසේකරගම විජිත උළුවිටිකේ සෝමරතන යන හිමිවරුන්ගේ හා ඩී.ජී. සුනිල් මහතා ගේ සැලසුම් හා සංවිධානය පරිදි මෙම පුනරුදය කලා උළෙල 2009 පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

 

බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය සැප්තැම්බර් 11 වන දා සිකුරාදා අපරභාග 8.33 ට ලබයි.
12 වනදා සෙනසුරාදා අපරභාග 6.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 12 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 18 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 12

New Moonඅමාවක

සැප්තැම්බර් 18

First Quarterපුර අටවක

සැප්තැම්බර් 26

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 03

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]