UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

ඉකේරස් යළි ඉපදීම

ගෞතම බුදුන් වහන්සේ ගේ ජන්ම භූමිය ශ්‍රී ලංකාව යැයි සනාථ කිරීම සඳහා කළ අපූරු සොයා ගැනීමක් පිළිබඳ කරුණු ඇතුළත් ලිපියක් මෙහි පළ කැර තිබේ. ඊ.පී.ද සිල්වා මහතා විසින් ලියා ඇති මේ ලිපිය සමඟ එවා තිබූ ආවරණ ලිපිය අනුව, මෙය ‘ඉතිහාසය ප්‍රබන්ධයක් නො වේ’ යනුවෙන් අප ලියූ 2009.07.06 දිනැති කතු වැකියට පිළිතුරකි.

ඊ.පී.ද සිල්වා මහතා ගේ මේ ලිපිය පළ කිරීමට අප තීරණය කළේ එහි සඳහන් කරුණු වල කිසිදු වැදගත්කමක් ඇති නිසා නො වේ. මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමියන් විසින් ලියන ලද ‘අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි’ නමැති කෘතිය මඟින් සමාජගත කිරීමට උත්සාහ දරන මතය වෙනුවෙන් පෙනී සිටින ඊ.පී.ද සිල්වා මහතා වැනි පිරිස ඒ සඳහා ඉදිරිපත් කරන තර්කවල සැබෑ අගය අප පාඨකයන්ට වටහා දීමට එයින් මහඟු අවස්ථාවක් ලැබීම ඊට හේතුවයි. එම අපූරු සොයා ගැනීම පිළිබඳ ඔහු ව මෙ සේ විස්තර කැර තිබේ.

“වෙසක් මාසයේ දී දඹදිව වන්දනාමාන කර ගැනීමට මා තුළ බලවත් ආශාවක් ඇති විය. මේ නිසා දඹදිව වන්දනා සංචාරයන් සංවිධානය කරන සංවිධාන රාශියක් වෙත ගොස් මගේ අරමුණ ගැන මම දන්වා සිටියෙමි. ඒ හැම සංවිධානයකින් ම මට දන්වා සිටියේ අප්‍රේල්, මැයි, ජූනි මාසවල දී දඹදිව වන්දනා චාරිකා සංවිධානය නො කරන බවයි. මෙම කාල සීමාව දඹදිවට ඔරොත්තු නො දෙන දැඩි රස්නයක් පවතින කාලයක් නිසා එකී කාලය තුළ සංචාරය කිරීම සුදුසු නැති බව ඊට හේතු වශයෙන් සංචාරක ව්‍යාපාර රාශියක් ම මට දන්වා සිටිය හ.”

‘මේ ප්‍රකාශය නිසා මට බලවත් සැකයක් ඇති විය. බුදුරජාණන් වහන්සේ දඹදිව උත්පත්තිය ලැබීමට පෙර පස්මහ බැලුම් බලා ඊට අනුකූල ව දඹදිව උපත ලබා ඇති බව මම අසා ඇත්තෙමි. මෙහි සඳහන් පස්මහ බැලුම් නම්, කාලය, දේශය, ද්වීපය, කුලය සහ මව යන කරුණු පහ ය. මෙ වැනි පූර්ව නිගමනයකට එළඹී උපතක් ලැබූ බෝසත් තුමා උපන්නේත්, බුද්ධත්වය පත් වූයේත්, පිරිනිවන් පෑවේත් වෙසක් දිනයක නම් ඒ වෙසක් දිනය මෙ තරම් කර්කශ වූ දිනයක් විය හැකි ද යන්න ගැටලුවකි. මේ අපහැදිලිතාවත්, වෙසක් දිනයක දඹදිව යන්න බැරි ඇයි යන සැකයත් මේ පිළිබඳ තව දුරටත් සොයා බැලීම සඳහා මා පොළඹවන ලදී.’

‘නමුත් මේ වෙසක් මාසයේ දී ලංකාවේ නම් ගස් හා වැල් ආදිය මල් හා ගෙඩිවලින් පිරී පවතින බවත් අවාරයේ දී පමණක් පල දරන රඹුටන්, මැංගුස්, දූරියන් වැනි පලතුරු වර්ග පවා වෙසක් මාසයේ දී පල දරන බවත් ලංකාවට ප්‍රසන්න දේශගුණයක් පවතින බවත්, ප්‍රමාණවත් අයුරින් වැසි පවා ලැබෙන බවත් අපි අත්දැකීමෙන් ම දන්නෙමු.’

‘මේ අනුව බුදුහිමියන් ගේ උත්පත්තියත්, බුද්ධත්වයට පත්වීමත්, පිරිනිවන්පෑමත් වෙසක් මාසයේ සිදු වූයේ නම් එය ඉන්දියාවේ දී නො ව ලංකාවේ දී සිදු වූ සිද්ධිදාමයක් ලෙස සැලකීම සාධාරණ යැයි මම විශ්වාස කරමි. වෙසක් මාසයේ ලංකාවේ අය තොරණ බැඳ, දන්සැල් ඇතිකර, ආගමික කටයුතුවල යෙදී ඉතා ධාර්මික ව කාලය ගත කරන වසරේ ඉතා ම ප්‍රසන්න මාසය බව කාටත් නො රහසකි. නමුත් ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තය හා තදාසන්න ප්‍රදේශවල අය මීට ඉඳුරා ම වෙනස් මහත් දුෂ්කර, කර්කශ පරිසරයක අසරණ ලෙස වෙසක් කාලය ගත කරන බවත්, බිහාර් ආශි‍්‍රත ප්‍රදේශ එ වැනි දුෂ්කර ජීවිත ගත කරන පිරිසකට උරුම වූ ප්‍රදේශයක් බවත් ඉතා පැහැදිලි කරුණකි.’

‘මේ අනුව වෙසක් මාසයේ දී දේශගුණික වශයෙන් අන්ත දෙකක පිහිටි බිහාර් ප්‍රාන්තයත් ලංකාවත් ගැන විමසිලිමත් වීමේ දී බුද්ධෝත්පත්තිය, බුද්ධත්වයට පත්වීම හා පිරිනිවන්පෑම ලංකාව ආශි‍්‍රත ව මිස ඉන්දියාව ආශි‍්‍රත ව සිදුවූවා දැයි ඇතිවන සැකයත්, මේ පිළිබඳ ව උද්ගත වන විවිධ මතිමතාන්තර දෙස අංගුත්තර නිකායේ කාලාම සූත්‍රයේ උපදෙස් වලට එකඟ ව යෝනිසෝ මනසිකාරයෙන් විමසා සත්‍ය තහවුරු කර අවබෝධ කර ගෙන අන් අය ගේ යහපතට හේතුවන ලෙස පෙන්වාදීම අප කාගේත් වගකීම හා යුතුකම වේ.’

අටවන ග්‍රෙගරි පාප්තුමා 1582 දී හඳුන්වා දී දැනට භාවිත වන ග්‍රෙගරියානු දින දර්ශනය අනුව ක්‍රි.පූ. 6 වන සියවසෙහි වෙසක් මාසය තීරණය කිරීම කෙතරම් ඥානාන්විත ද යන්න ප්‍රශ්නයකි. හිරුවටා එක් රවුමක් ගමන් කිරීමට පෘථිවියට ගතවන කාලය සලකා ක්‍රියාත්මක වන දින 365 ක වර්ෂ ක්‍රමය යටතේ අසම්පූර්ණ කාලය ගළපා ගැනීම පිණිස සෑම වසර හතරකට ම වරක් අධික වර්ෂයක් හඳුන්වා දී තිබේ. මෙයින් අදහස් වන්නේ දින දර්ශනය සම්මුතියක් මිස යථාර්ථයක් නො වන බව ය.

මෙ සේ පුරාවිද්‍යාත්මක සාධක හෝ පුරානෝක්ති ආදිය නො සලකා මැයි මාසයේ ශ්‍රී ලංකාවේ පවතින දේශගුණික තත්ත්වය යහපත් නිසා බුද්ධෝත්පත්තිය, බුද්ධත්වයට පත් වීම හා පිරිනිවන්පෑම ලංකාව ආශි‍්‍රත ව මිස ඉන්දියාව ආශි‍්‍රත ව සිදුවිය නො හැකි යැයි කීම විකාර තර්කයකි. එය ක්‍රි.පූ. 71 දී ගී‍්‍රසියේ විසූ ඉකේරස්ගේ තර්ක ක්‍රමයට සමාන ය.

ඉකේරස් තර්ක කරන ලද්දේ අත්තටු දෙක නිසා පක්‍ෂීන් පියාඹන බව ද, අත්තටු දෙකක් තිබේ නම් ඕනෑම අයකුට පියෑඹීමට හැකි බව ය. එ සේ තර්ක කළ ඉකේරස්, අත්තටු දෙකක් සවි කැර ගෙන පියඹා යෑමට උත්සාහ කිරීම නිසා කන්දකින් පහළට ඇද වැටී මිය ගියේ ය.

බුදුන් වහන්සේ ගේ පහළ වීම සඳහා පදනම සැපයූ ක්‍රි.පූ. 6 වන සියවසේ භාරතීය සමාජ, ආර්ථික හා දාර්ශනික පසුබිම නො සලකා වර්තමාන පාරිසරික ගුණාංග මත ගෞතම බුදුන් වහන්සේ ගේ ජන්ම භූමිය භාරතය නො වේ යැයි තීරණය කිරීම ඉකෙරියවාදියකුට මිස වෙනත් අයකුට කළ නො හැකි ය. බුදුන් වහන්සේ දේශනා කළ කාලාම සූත්‍රය ගැන කතා කරන ඊ.පී. ද සිල්වා මහතාට අවම වශයෙන් පන්සිල් පිළිබඳ ව හෝ නිසි අවබෝධයක් නොමැති බව පෙනේ. එ බඳු අවබෝධයක් තිබුණේ නම් මේ ආකාරයේ බොළඳ තර්ක ඉදිරිපත් නො කරනු ඇත.

බිනර අව අටවක පෝය

බිනර අව අටවක පෝය සැප්තැම්බර් 11 වන දා සිකුරාදා අපරභාග 8.33 ට ලබයි.
12 වනදා සෙනසුරාදා අපරභාග 6.49 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම සැප්තැම්බර් 12 වනදා සෙනසුරාදාය.

මීළඟ පෝය සැප්තැම්බර් 18 වනදා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 12

New Moonඅමාවක

සැප්තැම්බර් 18

First Quarterපුර අටවක

සැප්තැම්බර් 26

Full Moonපසෙලාස්වක

ඔක්තෝබර් 03

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]