UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

මිනිස්කම අලෙවි කිරීම

ශ්‍රී ලංකාවට රූපවාහිනී මාධ්‍යය හඳුන්වා දී ගත වූ තිස් වසර පුරා ම එය භාවිත කළ ආකාරය පිළිබඳ ව බොහෝ වාද විවාද දක්නට ලැබිණ. එ සේ වූව ද මෙ රට සමාජයී ය අවශ්‍යතා සපුරාලීමට රූපවාහිනී මාධ්‍ය තවමත් සමත් වී නොමැත. ඒ බව ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය දා කළ කතාවකින් සනාථ විය.

විවිධ රූපවාහිනී නාලිකා වලින් විකාශය කැරෙන වෙළෙඳ දැන්වීම් වල බලපෑමට ගොදුරු වී සිටින සිය දරුවන් එයින් බේරාදෙන ලෙස දෙමවුපියන් තමාගෙන් ඉල්ලා ඇතැයි ජනාධිපතිවරයා එහි දී කියා තිබේ. දෙමවුපියන් ගේ එම පැමිණිල්ල ඉතා සාධාරණ බව රූපවාහිනී නරඹන සියල්ලන් පිළිගත යුතු ය.

පාසල් යන දරුවකු අධ්‍යාපනය සඳහා දිනකට වැය කරන කාලයට වැඩි කාලයක් රූපවාහිනී වැඩසටහන් නැරැඹීම පිණිස ගත කිරීම අද සාමාන්‍ය තත්ත්වයකි. මේ දරුවන් තවදුරටත් ආකර්ෂණය කැර ගැනීම සඳහා පාසල් නිවාඩු කාලය ආරම්භ වූ දින සිට ම රූපවාහිනී සේවාවන් විශේෂ උපක්‍රම යොදන අයුරු දක්නට ලැබේ. ළමයින් වෙනුවෙන් නිපැයූ චිත්‍රපට විකාශය කිරීම එක් උපක්‍රමයකි. එ බඳු ළමා චිත්‍රපට නැරැඹීමට දෙමවුපියන් ගෙන් ද එ තරම් තහංචි පැනවීමක් දක්නට නැත. එහෙත් ළමා චිත්‍රපටයක අඩංගු කරුණු ගැන පමණක් සිතා රූපවාහිනී යන්ත්‍රය අබියස සිටින දරුවා ගේ මනසට එයින් කැරෙන බලපෑම තීරණය කළ නො හැකි ය. මන්ද යත්, චිත්‍රපටයක් විකාශය වන කාලය අතරතුර වෙළෙඳ දැන්වීම් රාශියක් ද නැරැඹීමට ලැබෙන බැවිනි.

දැනට රූපවාහිනී නාලිකාවලින් නිතර ම දක්නට ලැබෙන (මෙය ක්‍රිකට් තරග අතරතුර දී බහුල වශයෙන් විකාශය කැරේ.) රෙදි සෝදන කුඩු වර්ගයක් පිළිබඳ දැන්වීමක් මෙහි දී උදාහරණ ලෙස ගත හැකි ය. නිවෙසක ජනෙල් වීදුරුවක් බිඳී යන අයුරින් ගැසූ තම ක්‍රිකට් පන්දුව රැගෙන යෑමට වයස අවුරුදු දහයක පමණ පිරිමි දරුවකු එම වත්තට ඇතුල් වෙයි. එ විට වැඩිහිටියකු පැමිණ, ‘කැඩුව නේ ද වීදුරුව, අල්ලනව අත, මාර්ස්ටර් බ්ලාස්ටර් වගේ සික්සර් ගහන්න ද හදන්නේ,’ යැයි කියමින් ළමයා ගේ අතට කෝටු පහරක් ගැසීමට සැරැසෙයි. ‘එහෙනම් අත් දෙකට ම ගහන්න, ඊළඟටත් සික්සර් එකක් තමයි’ යනුවෙන් අභියෝගාත්මක ව පවසන ළමයා වැඩිහිටියා වෙත අත් දෙක ම පායි.

වැඩිහිටියකුට ගරු කිරීම වෙනුවට අභියෝග කිරීමට උගන්වන මේ ආකාරයේ වෙළෙඳ දැන්වීම් පිළිබඳ ව සමාජයීය සාකච්ඡාවක් තිබිය යුතු ය.

කිසියම් නිෂ්පාදනයක්, මතයක් හෝ කාරණයක් මහජන අවධානයට යොමු කිරීම පිණිස යොදා ගන්නා ක්‍රමවේදය දැන්වීමක් යැයි හඳුන්වනු ලැබේ. බ්‍රිටැනිකා විශ්ව කෝෂයට අනුව, මෙ සේ දැන්වීම් පළ කිරීමේ ක්‍රමය ආරම්භ වී ඇත්තේ 17 වන සියවසේ දී සතිඅන්ත ලන්ඩන් පුවත්පත් වලිනි. එම පුවත්පත් දැන්වීම් අද වන විට විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සෑම නිවසකට ම පාහේ පැමිණෙන ‘සමීපතම ආගන්තුකයෙකි.’ එම ආගන්තුකයා ගේ බලපෑම අති විශාල ය.

රූපවාහිනී වෙළෙඳ දැන්වීම් මඟින් සිදුවන සමාජයීය බලපෑම පිළිබඳ ව අවධානය යොමු කළ බොහෝ විද්වතුන්, මේවා ප්‍රචාරණයට පෙර අධීක්‍ෂණය සඳහා විධිමත් ආයතනික ක්‍රමවේදයක් තිබිය යුතු යැයි පෙන්වා දී තිබේ. මේ කරුණු සාකච්ඡා කැරෙන කදිම ලිපියක් 2009.08.10 වන දා ඩේලිනිවුස් පුවත්පතට ලයනල් විජේසිරි මහතා විසින් ලියා තිබිණ. රූපවාහිනී වෙළෙඳ දැන්වීම් මඟින් ළමයින්ට සිදුවන බලපෑම ගැන ස්වීඩන් සමාජවිද්‍යාඥවරියක වන අර්ලින් බජර්ස්ට්‍රොම් (Erling Bjurstrom)විසින් කරන ලද අන්තර්ජාතික අධ්‍යයනයක ප්‍රතිඵල එහි සඳහන් ය. රූපවාහිනී වෙළෙඳ දැන්වීම් වලින් කියැවෙන කාරණය ග්‍රහණය කැර ගැනීමේ මූලික අවබෝධය බොහෝ ළමයින් අවුරුදු දහය වන විට ලබා ගන්නා බව එම අධ්‍යයනයෙන් හෙළි වූ කරුණකි. අවුරුදු දොළහ හෝ ඊට වැඩි වයසේ ළමයින් ඒවායේ අරුත වටහා ගැනීමට අවශ්‍ය දැනුමෙන් යුක්ත ය.

ලයනල් විජේසිරි මහතා ගේ එම ලිපියෙහි දැක්වෙන ආකාරයට වයස අවුරුදු දොළහට අඩු ළමයින් ඉලක්ක කැර රූපවාහිනී වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණය ස්වීඩනයේ ගුවන් විදුලි විකාශන පනතෙන් තහනම් කොට තිබේ. ළමයින් ඉලක්ක කැර ගුවන්විදුලි හා රූපවාහිනී වෙළෙඳ දැන්වීම් නිර්මාණය කිරීමේ දී දැඩි ලෙස අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ ඩෙන්මාර්කය හඳුන්වා දී ඇත. වයස අවුරුදු දාහතරට අඩු ළමයින් සෘජු ව ඉලක්ක කළ රූපවාහිනී වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණය හෝ ළමා වැඩ සටහන් අතරතුර වෙළෙඳ දැන්වීම් විකාශනය කිරීම නෝර්වේ රටෙහි සම්පූර්ණයෙන් තහනම් ය. පින්ලන්තය ද මේ සම්බන්ධයෙන් නිසි මඟ පෙන්වීම් හඳුන්වා දී තිබේ.

රූපවාහිනී සේවා, ගුවන්විදුලිය හා පුවත්පත් පවත්වා ගෙන යෑම පිණිස දැන්වීම් ආදායම අත්‍යවශ්‍ය සාධකයකි. එ බැවින් එම දැන්වීම් වල ස්වභාවය සමාජයට අහිතකර වූව ද ඒවා ප්‍රතික්‍ෂේප කිරීමට කිසිදු ආයතනයක් නො පෙළෙඹේ.මන්ද යත් එක් ආයතනයක් ප්‍රතික්‍ෂේප කළ දැන්වීමක් ප්‍රචාරය කිරීමට වෙනත් ආයතන ඉදිරිපත් වන බැවිනි. මේ තත්ත්වය තේරුම් ගෙන ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලය වැනි ආයතනයක් පිහිටුවීම උචිත ය. එහෙත් වඩා සාර්ථක වන්නේ වාරණය නො ව ස්වයං වාරණයක් සඳහා පොළඹවන ආගමික මඟ පෙන්වීමකි.

බිනර පුර අටවක පෝය

බිනර පුර අටවක පෝය අගෝස්තු 27 වන දා බ්‍රහස්පතින්දා පූර්වභාග 4.38 ට ලබයි. 28 වන දා සිකුරාදා පූර්ව භාග 06.00 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 27 වන දා බ්‍රහස්පතින්දා ය.

මීළඟ පෝය සැප්තැම්බර් 4 වන දා සිකුරාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

අගෝස්තු 27

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 4

Second Quarterඅව අටවක

සැප්තැම්බර් 12

New Moonඅමාවක

සැප්තැම්බර් 18

2009 පෝය ලබන ගෙවෙන වේලා සහ සිල් සමාදන් විය යුතු දවස


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2009 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]