UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සුඛී දීඝායුකො භව - දිගාසිරි ලැබේවා

සියවස සපුරන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක “අග්ග මහා සද්ධම්ම ජෝතිකාධජ” “සාහිත්‍ය චක්‍රවර්ති ධර්ම ශාස්ත්‍ර ශිරෝමණී”  “ශාසනශෝභන ශ්‍රී සද්ධර්මවාගීශ්වරාචාර්ය සිරි සරණංකරෝපසේන වංශාවතංස” “ත්‍රිපිටක වාගීශ්වරාචාර්ය” මීරිගම ශාසනවර්ධන පිරිවෙන් මහා විහාරාධිපති වේවැල්දෙණියේ මේධාලංකාර මහ නාහිමියන්ට


අන්‍යෝන්‍ය සුහදත්වයෙන් කටයුතු කරනු දැක්ම සතුටට කරුණකි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක වේවැල්දෙණියේ මේධාලංකාර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සියවැනි ජන්ම දිනය හා ශාසනික ජීවිතයෙහි දශක අටකට වැඩි කාලයක් සිදු කරන ලද ලෝක ශාසනික සේවය අගය කරමින් සුභාශිංසන පණිවුඩයක් ලියා එවන්නේ සාතිශ්‍ය පී‍්‍රතියෙනි.

ඉතා දීර්ඝ කාලයක් මුළුල්ලේ ජාතික හා ජාත්‍යන්තර වශයෙන් කර ඇති අනූපම සේවය අගය කරනු වස් මෙවැනි උපහාර පළ කිරීම කෘතවේදී සද් ක්‍රියාවකි.

ශාසනයේ චිර පැවැත්මට මහෝපකාරී වන ධර්ම විනයධරත්වයෙන් පරිපූර්ණ සිල්වත් ගුණවත් කමින් මෙන්ම තපෝ ගුණයෙන් හා වයෝ ගුණයෙන් ශෝභමාන සංඝ පීතෘ වරයකු වන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සිය නිකායාභිවෘධිය සඳහා උදාර සේවාවක් සිදු කරමින් සෙසු නිකායන්හි අනුනායක මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලා සමග ජාතික ආගමික හා දේශපාලනික වශයෙන් වැදගත් වන ප්‍රශ්න වලදී අන්‍යෝන්‍ය සුහදත්වයෙන් හා මනා අවබෝධයෙන් කටයුතු කරනු දැක්ම අපගේ සන්තෝෂයට හේතුවකි.

මහත් වූ පුරාකෘත පුණ්‍යමහිමයක් ඇති සිය දිවියේ ‘සියවස’ සපුරන අතිගරු මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට තෙරුවන් සරණින් හා සිරි දළදා වහන්සේගේ ආශිර්වාදයෙන් නිදුක් නීරෝගී සුවයත් චිර ජීවනයත් සිද්ධවේවායි ඉත සිතින් ආශිංසනය කරම්හ.

 


වත්මන් සඟ සසුනේ වැඩ වසන චිරරාත්‍රඥ මහ තෙරුන් වහන්සේ නමකි

සියවසකට එළඹි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිගරු වේවැල්දෙණියේ ශ්‍රී මේධාලංකාර මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙනුවෙන් සුභාශිංසන පණිවිඩයක් නිකුත් කරනුයේ චිත්තප්‍රසාදයෙන් යුතුව ය. වර්තමාන ශ්‍රී ලංකාවේ වැඩ සිටින වෘද්ධිතම මහානායක ස්වාමීන් වහන්සේ යථොක්ත වේවැල්දෙණියේ ශ්‍රී මේධාලංකාර මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. උන්වහන්සේ සමීපව ඇසුරු කිරීමට ලැබීමේ හේතුවෙන් උන්වහන්සේ තුළ පවත්නා බොහෝ ගුණාංග අපට අවබෝධ කරගන්නට හැකියාවක් ලැබුණි. නිහතමානිත්වය, සීල සංවරය සහ බහුශ්‍රැත භාවය ඒ අතර අප දුටු ප්‍රසන්නතම ගුණයෝ වෙති.

ජාතික ආගමික ප්‍රශ්නයන්හිදී උන්වහන්සේ තුළ පවත්නා උද්යෝගය හා අවශ්‍යතාවය බොහෝ දිරිමත් කරවන සුළු ය. නිකායාන්තරික සහයෝගීතාව අතිශය අගය කරනු උන්වහන්සේ නිහතමානීව හා සුහදශීලීව අප හා කටයුතු කරන අතරම වත්මන් සඟ සසුන තුළ වැඩ වෙසෙන චිරරාත්‍රඥ මහතෙරුන් වහන්සේ නමක් ද වෙති. උන්වහන්සේ ඉටු කරනු ලබන ශාසනික කාර්ය භාරය ප්‍රශස්තය. පුරාකෘත පුණ්‍ය මහිමයෙන් ශත වර්ෂයක් ආයු ලැබ සිටියේ වී නමුදු රෝගාබාධයන්ගෙන් පීඩාවට ලක් නොවූ උන්වහන්සේගේ කථනය හා ස්මෘති ශක්තිය ද ප්‍රශංසනීයය. සියවසක් තුළ ජාතික ආගමික හා ශාසනික වශයෙන් සුවිශාල කාර්යභාරයක් ඉටු කොට ඇති මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් මෙතෙක් සිදු කර ඇති අත්‍යුදාර සේවාව බෙහෙවින් අගය කරන අතර සියවසක් සපිරි මහනාහිමිපාණන් වහන්සේට ශ්‍රීමත් දළදා වහන්සේගේ හා ත්‍රිවිධ රත්නයේ අනන්ත ගුණ බලයෙන් නිදුක් නීරෝගී සුවපත් භාවය සහ චිර ජීවනය සැලසේවා යි එක සිතින් ප්‍රාර්ථනා කරම්හ.


ශාසනාම්බරයේ කනක තරුවක්

සාසනාම්බරයේ කනක තරුවක් ලෙසින් දෘෂ්‍යමාන වන ශාසන ශෝභන ශ්‍රී සද්ධර්ම වාගීශ්වරාචාර්ය සරණංක රෝපසේන වංශාවතංස අතිගරු වේවැල්දෙණියේ මේධාලංකාරාභිධාන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක ස්වාමිපාදයන් වහන්සේ 1909 දෙසැම්බර් මස 07 දින උපත ලබා 2008 දෙසැම්බර් 08 දින දී සියක් වසරකට පියමං කිරීම හේතු කොටගෙන ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ සාතිශය සංතෘප්තය පළටු කිරීමට ලැබීම භාග්‍යයක් කොට සලකමි. මෑත සාසන ඉතිහාසයේ ගුණ වෘද්ධ, තපෝවෘද්ධ, ඥානවෘද්ධ, වයෝ වෘද්ධ, යතිවරයෙකුට උපහාර පිදීම වයස් තලයට අනුගතවූ සුවිශේෂ සිදුවීමකි.

මහෝපාධ්‍යාය අතිගරු කදිරාගම සුමනසාර අතිගරු කතලුවේ ශීලවංස යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් පැවිදි වී අධිශීල සංඛ්‍යාත උපසම්පදා ප්‍රතිලාභයට පත්වී, නිට්ටඹුවේ විද්‍යානන්ද පිරිවෙණ මගින් ත්‍රිපිටක ධර්මඥානයද, භාෂාන්තර ඥානයද ලබාගෙන මීරිගම ශාසනා වර්ධන පිරිවෙන පාදක කොටගෙන මෙතුමන් විසින් සලසන ලද ශාසනාභිවෘද්ධිය හා සමාජාභි වෘද්ධිය අතිශයින් ප්‍රශස්තය.

ස්වනිකායේ පාලක සභාවට 1963 දී පත්වීමේ සිට සියලු නිලතල තමන් වහන්සේ කරා නිරතුරුවම ළඟා වූයේ මුන්වහන්සේගේ විඥානයේ පවිත්‍රතාවය හා කාර්යශූර වූ සංඝ ශෝභන ගුණභාවයේ පූජෝතිමත් වූ සාධකය හේතුකොට ගෙන ය. 1998 දී මහානායක ධූරයෙන් සම්භාවනීයත්වයට පත් මෙතුමෝ අන්තර්නිකායික සබඳතාව තීව්‍රකරමින් ශාසනික ප්‍රගතිය සඳහා දේශීය විදේශීය වශයෙන් සිදුකරන මෙහෙය අමන්දානන්දයට හේතුවන්නකි.

මිල වූද, පෘථුල වූද, අකලංක වූද, ප්‍රතුල්‍ය වූද, නොමියන්නා වූද, ශාසනික ආගමික හා අධ්‍යාපනික මෙන්ම සමාජ සේවාවකට මංපෙත විවර කළ අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මහානායක ස්වාමිපාදයන් වහන්සේගේ අවියෝජනීය කාර්ය භාරය අගයමින් නිරෝගී සුවයට හා දිගායුබලය පිණිස රත්නත්‍රයේ අනන්ත තේජානුභාවය ලැබේවායි ආශිර්වාද කරමි.


සසුනේ චිරස්ථිතියට ක්‍රියා කිරීම ප්‍රශංසනීය යි

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාරාභිධාන මහා ස්වාමින්ද්‍රයන් වහන්සේට සියවසක් ලැබීම නිමිත්තෙන් ශුභාශිංසන පණිවුඩයක් ලබාදීමට හැකිවීම ගැන සතුටු වෙමි.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මූලමහා අධ්‍යාපන කේන්ද්‍රස්ථානයක් වූ නිට්ටඹුව විද්‍යානන්ද මහා විද්‍යාස්ථානයේ ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණයෙහි අතිපූජ්‍ය මහානායක මාහිමිපාණන් වහන්සේ නිරත වී සිටි යුගයේ මට ද එහි අධ්‍යාපනය ලබා ගැනීමට හැකිවීම භාග්‍යක් කොට සලකමි. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ස්වාමීන් වහන්සේලා වශයෙන් වැඩසිටි මාතලේ ධම්මසිද්ධි මහාස්වාමින්ද්‍රයන් වහන්සේ දීපේගොඩ සිරි චන්දවිමල මහාස්වාමින්ද්‍රයන් වහන්සේ, පොත්තේවෙල පඤ්ඤාසාර මහාස්වාමීන්ද්‍රයන් වහන්සේ වැනි බහුශ්‍රැත කුශාග්‍ර බුද්ධිමත් ස්වාමින්ද්‍රයන් වහන්සේ සමග ඇසුරු කරමින් කටයුතු කිරීමට අප මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේට ලැබීම උන්වහන්සේගේ භාග්‍යයක් සේ සලකමි. එබදු නැණවත් සිල්වත් බහුශ්‍රැත යතිවරයාණන් වහන්සේලාගේ ඇසුරට පත්වීම නිසා අප නාහිමිපාණන් වහන්සේට බොහෝ අත්දැකීම් ලැබිණි.

මීරිගම ශාසනවර්ධන පිරිවෙන කේන්ද්‍ර කරගෙන නිකායේ ව්‍යාප්තිය සඳහා නාහිමිපාණන් වහන්සේ මහත් සේවයක් කලහ. ප්‍රදේශයේ දහම් පාසල්, සමිති සමාගම්, ආරම්භ කිරීමට අනුශාසනා කරමින් ඒවා දියුණු කිරීමට කටයුතු කරමින් ක්‍රියාකිරීම පිළිබඳව නිකායික මහා සංඝයා තුළ බලවත් ප්‍රසාදයක් නාහිමිපාණන් වහනසේ වෙත ඇති විය. එහි ප්‍රතිඵළක් ලෙස ප්‍රාදේශික අනුවිජ්ජක, ජෙට්ඨානුවිජ්ජක , උපරිමානුවිජ්ජක, සංඥාලේඛක, තනතුරු ලබා ශාසනයට අති විශාල සේවයක් සිදුකළහ. ඉන් පසු භාරදූර වගකීමකින් යුතු අධිකරණනායක ධූරය ලබා ශ්‍රී ලංකාව පුරා විසිරී පවතින ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ සංඝයා කෙරෙහි විශාල ශාසනික සේවයක් සිදු කිරීම නිසා උත්තරීතරම පදවිය වන මහානායක පදවිය උන්වහන්සේට පිරිනැමීම සිදුවිය. අප මහානායක ස්වාමින් වහන්සේ ස්වකීය නිකායේ මෙන්ම අන් නිකායික මහ සගරුවන සමඟද මිත්‍රශීලීව ක්‍රියාකරමින් ශාසනයේ චිරස්ථිතිය සඳහා ක්‍රියාකිරීම ප්‍රශංසනීයයි.

තවත් චිරාත් කාලයක් එම ලෝක ශාසනික සේවය කිරීමට අප මහානායක වේවැල්දෙණියේ මේධාලංකාරාභිධාන මහා ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගි බවත් චිරජීවනයත් තෙරුවන් බලෙන් සැලසේවායැයි ඉත සිතින් පතමි.

විනය විශාරද විනයාචාර්ය රාජකීය පණ්ඩිත අග්ගමහාපණ්ඩිත නාපාන ‍ෙප්මසිරි නා හිමි


රටටම ආශිර්වාදයක් ගෞරවයක් වීමට ද භාග්‍යසම්පන්න වුණා

ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නායක බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ මහා මහෝපාධ්‍යාය මීරිගම ශාසන වර්ධන මහා පිරිවෙන් විහාරාධිපති සිරි සද්ධර්ම වාගීස්වරාචාර්ය සිරිසරණංකරෝපසේන වංසාවතංස අග්ගමහා සද්ධම්මජෝතිකාධජ ශාසනශෝභන සාහිත්‍ය චක්‍රවර්ති ධර්ම සාහිත්‍ය ශිරෝමණී පණ්ඩිත අතිගෞරවාර්හ වේවැල්දෙණියේ මේධාලංකාරාභිධාන මහානායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේගේ ජන්ම ශත වර්ෂ පූර්ණය නිමිත්තෙන් සුභාශිංසන පණිවිඩයක් නිකුත් කරනු ලබන්නේ හද පිරි අප්‍රමාණ භක්තියකින් හා ඉමහත් සතුටකිනි. ශ්‍රී ලංකාව රාමඤ්ඤ මහා නිකායේ 12 වන මහා නායක ධූරයෙන් පිදුම් ලැබීමට වාසනාවන්ත වූ ගෞරවණීය ඔබ වහන්සේ ස්වනිකායට පමණක් නොව මුළු මහත් රටටම ආශීර්වාදයක් හා මහත් අභිමානයක් මෙන්ම ගෞරවයක් වීමට ද භාග්‍යසම්පන්න වූහ .

සන්තකායො සන්තවාචො සන්තවා සුසමාහිතො
වන්තලෝකාමිසො භික්ඛු උපසන්තෝති වුච්චති

ශාන්ත වූ කායද්වාර ඇති ශාන්ත වූ වාග්ද්වාර ඇති ශාන්ත වූ මනෝද්වාර ඇති තුන්දොර මොනවට පිහිටි පහ කළ ලෝකාමිසය ඇති මහණ තෙම උපශාන්ත යයි කියනු ලැබේ. ධම්මපදයේ සඳහන් මෙම ගාථාවෙන් ගෞරවණීය ඔබ වහන්සේ තුළ ඇති ශාන්තභාවය මනාව ස්ඵුට කිරීමට සමත්ව ඇති බව මාගේ විශ්වාසයයි. පිරිපුන් නායකත්වය සැමගේ ආලෝකයට මග පාදයි යන ව්‍යක්ත ව්‍යවහාරයට අනුව තම නායකත්වය සැම විටම අන්‍යයන්ගේ යහපත සඳහාම යෙදවීම විශේෂයකි. රට දැය සමය පුබුදුවනු වස් ජනිත උතුම් බුදුපුතෙකු ලෙස අති ගෞරවණීය මහානායක ස්වාමීන් වහන්සේ හඳුන්වාදිය හැකි අතර ඍජු බව හා ආත්ම විශ්වාසය යථාවාදී තථාකාරී බව අන්‍ය දුකේ දී කම්පාවට පත්වන ගුණය සහජයෙන් ලබා ඇති දායාද වේ.

අතීත සඟ පරපුරට අනුගත වෙමින් අදත් තම ජීවිතයෙන් ඉටු කරන සුවිශාල මෙහෙය සැමට ආදර්ශයක් ගෙන දීමට සමත් වී තිබේ.

අති ගෞරවණීය නායක ස්වාමීන් වහන්සේ මෙරට පමණක් නොව ජපානය, සිංගප්පූරුව, මියන්මාරය, ඉන්දියාව, කාම්බෝජය , කොරියාව, ඕස්ට්‍රේලියාව, පකිස්ථානය, චීනය වැනි රටවල සංචාරය කරමින් ඉටු කර ඇති ආගමික සේවාවන් තුළින් අප රටට මහත් ගෞරවයක් ලබා දීමට සමත් වී තිබේ. මේ රටේ නායකයා වශයෙන් එදත් අදත් මාගේ ඒකායන අරමුණ සැමට සාමයෙන් පිරි ජීවිතයක් ගත කිරීමට ඇති නිවහල් දැහැමි රටක් නිර්මාණය කිරීමයි. එම කාර්ය ඉතා ඉක්මණින් ඉටු කිරීමට හැකි වනු ඇති බව මගේ බලවත් විශ්වාසයයි. එම භාරදූර වගකීම ඉටු කිරීමේ දී එදත් අදත් අති ගෞරවණීය මහා නායක ස්වාමීන් වහන්සේ මා වෙත ලබා දුන් අනේකප්‍රකාර අවවාද අනුශාසනා නිරන්තරයෙන් මා සිහිපත් කරන අතර ඉදිරියටත් එබඳු අනුශාසනා මා වෙත ලැබෙනු ඇතැයි මා හුදෙක් ම විශ්වාස කරමි. අති ගෞරවණීය මහානායක ස්වාමීන් වහන්සේ ශත වර්ෂයක් ජීවත් වීම රටට භාග්‍යයක් මෙන් ම මටද පෞද්ගලිකව මහත් පී‍්‍රතියක් ගෙන දීමට සමත් වී ඇති බව විශේෂයෙන් සඳහන් කිරීමට කැමැත්තෙමි. ජන්ම ශත වර්ෂ පූර්ණය සිහිපත් කරන අති ගෞරවණීය ඔබ වහන්සේට තවත් දිගුකලක් නිරපද්‍රිතව ජීවත්වීමට අවශ්‍ය කායික හා මානසික ශක්තියත්, චිර ජීවනයත් තෙරුවන් සරණින් හා සියලු දෙවි රැකවරණින් ලැබේවායි මෙත් සිත් පෙරටුව ප්‍රාර්ථනා කරමි.


සීලයෙන් හා ගුණයෙන් පිරිපුන් මහ නා හිමි

සීල වත්තං ගුණ වන්තං - පුඤ්ඤකෙත්තං අනුත්තරං
තුන්න මේව මහාභන්තං - බුද්ධ පුත්තං නමා මහං

සීලයෙන් මෙන්ම ගුණයෙන් පිරිපුන්, පින්කෙතක් බඳු වූ බුද්ධ පුත්‍රයාණන් වහන්ස, ඔබ වහන්සේට මම වඳිමි, පුදමි. ඔබ වහන්සේට මාගේ නමස්කාර වේවා!.

බෞද්ධයින් වූ ඔබ අප කවුරුත් මහා සංඝ රත්නය වන්දනා කරන මෙම ගාථා පාඨය වචනයේ පිරිපුන් අර්ථයෙන්ම අර්ථවත් කළ මහතෙර නමක් ලෙස හැඳින්විය හැකි අතිපූජනීය වේවැල්දෙණියේ මේධාලංකාරාභිධාන මහා නායක මාහිමිපාණන් වහන්සේ සිය වැනි ජන්ම දිනය නිමිත්තෙන් සුභ පැතුමක් එක් කිරීමට ලැබීම භාග්‍යයකි.

පුරා 86 වසරක් උතුම් වූ ප්‍රවෘජ්‍යා භූමියෙහි රැඳී සිටිමින් සිය පැවිදි ආචාර්යපාදෝත්තම අතිපූජ්‍ය මහෝපාධ්‍ය කදිරාගම සුමනසාර නාහිමි සහ අතිගරු කතළුවේ සීලවංශ නාහිමිපාණන්ගේ අවවාද අනුශාසනා පරිදි තම පැවිදි ජීවිතය ගත කළ උන්වහන්සේ, ගිහි පැවිදි කිසිවෙකුටත් වරදක් පෙන්වීමට නොහැකි වන ආකාරයෙන් පැවිදි ජීවිතය ගත කළ අයුරු උන්වහන්සේගේ අසල්වැසියෙකු, ඥාතියෙකු මෙන්ම දායකයෙකු ලෙස මෙහි සඳහන් කරන්නේ මහත් අභිමානයෙනි.

අනුරාධපුර අභයගිරි මහා විහාරයේ දී පැවිදිව මීරිගම ශාසනවර්ධන පිරිවෙන් මහා විහාරයට අපේ මහ නාහිමිපාණන් වහන්සේ වැඩම කළේ මීට 82 වසරකට පෙරදී ය. ඒ වන විට සාමණේර හිමි නමක් වූ උන්වහන්සේ නිදහස් සටනේ පුරෝගාමී යුග මෙහෙවරක යෙදුණු ශ්‍රී ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිඳුන් විසින් ගෙන ගිය ජාතික ආගමික හා ශාසනික සේවාවන් තුළින් ලද පන්නරය ද එඩිතර භික්‍ෂු චරිතයකට තවත් එක් මාවතක් විය.

සාමණේර අවදියේ සිටම සමාජ සේවය අගය කළ අපේ මහ නාහිමිපාණන් වහන්සේ නිසා මීරිගම ප්‍රදේශයේ ජනතාවට සෙත සැලසෙන ව්‍යාපෘති රැසක් ඇරඹී ඇත. විහාරස්ථාන, පාසල්, දහම් පාසල් මෙන්ම විවිධ ස්වේච්ඡා සංවිධාන ඇරඹූ උන්වහන්සේ, කිසිම දේශපාලන පක්‍ෂයකට ගැති නොවී අභීතව සිය අදහස් දක්වමින් සමාජයේ කොයි කාගේත් හොඳහිත දිනා ගනිමින් ක්‍රියා කිරීම අතිශයින්ම පැසසිය යුත්තකි. ශ්‍රී ලංකාවාසී ජනතාව පමණක් නොව සමස්ත ලෝකවාසී ජනතාවගේ සම්භාවනාවට පාත්‍ර වී සිටින අතිගෞරවණීය වේවැල්දෙණියේ මේධාලංකාර මහ නාහිමිපාණන් වහන්සේ සියක් වසරක් ජීවත් වෙමින් ඉටු කළ උදාර ජාතික ආගමික හා ශාසනික සේවය සමස්ත ශ්‍රී ලංකාවාසීන් වෙනුවෙන් මා බෙහෙවින් අගය කරන අතර, තව තවත් ලෝ සසුන් වැඩ පිණිස උන්වන්සේට දිගාසිරි ලැබේවායි ප්‍රාර්ථනා කරමි.


සුපේෂල ශික්‍ෂාකාමී ගුණය නොමඳ ගෞරවයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ධුරන්ධර ශ්‍රී සරණංකරෝපසේන වංශාවතංශ අග්ග මහා සද්ධම්ම ජෝතිකා ධජ අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මහා නාහිමිපාණන් වහන්සේගේ ජන්ම ශත සංවත්සරය වෙනුවෙන් මගේ නමස්කාරපූර්වක සුභාශිංසන පළ කරමි.

දශක අටක් අභිබවා විහිදෙන උන්වහන්සේගේ පැවිදි දිවිය තුළ වත්මන් භික්‍ෂු පරපුරට උකහා ගත හැකි සුවිශේෂ ගුණාංග රැසකි. වර්තමානයට සාපේක්‍ෂව අධ්‍යාපන පහසුකම් ව්‍යාප්තව නොපැවති වකවානුවක ස්වෝත්සාහයෙන් හා මහත් කැපවීමෙන් උසස් ධර්ම අධාපනයක් ලබා විවිධ ශාසනික හා සමාජයීය සේවාවන් රැසකට සක්‍රිය දායකත්වය ලබා දෙමින් උන්වහන්සේ ප්‍රශස්ත කාර්යභාරයක් ඉටු කළ බව ප්‍රකට ය. පදවි තානාත්තර පසුපස නො ඇදුණු උන්වහන්සේ තමන් වෙත පැවරුණු කවර හෝ වගකීමක් නිහතමානි ගුණයෙන් යුතුව දැරීමට කවදත් සමත් වූ හ. උන් වහන්සේ ඇසුරු කිරීමෙන් අප උගත් දේ ද බොහෝ ය. උන් වහන්සේ තුළ පවතින සුපේෂල ශික්‍ෂාකාමී ගුණය කවදත් අපගේ නොමඳ ගෞරවයට පාත්‍ර වෙයි.

මීරිගම ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ප්‍රජා සේවාවන් රැසක් ඉටු කළ උන්වහන්සේ මීරිගම වත්මන් ඩී. එස්. සේනානායක ජාතික පාසල ආරම්භ කිරීමේ ලා එදා ඉටු කළ පුරෝගාමි මෙහෙවර ප්‍රදේශවාසීන් විසින් තවත් බොහෝ කාලයක් මුළුල්ලේ කෘතවේදිත්වයෙන් යුතුව සිහිපත් කරනු නොඅනුමාන ය.

සියක් වසක් ආයු වැළඳු ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක ධුරන්ධර ශ්‍රී සරණංකරෝපසේන වංශාවතංශ අග්ග මහා සද්ධම්ම ජෝතිකා ධජ අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර අප මහා නාහිමිපාණන් වහන්සේට වියවුලින් පිරි වත්මන් ලෝකයට තවදුරටත් පුළුල් මෙහෙයක් ඉටු කිරීමට ශක්තිය, ධෛර්යය නො අඩුව ලැබේවා යි ද උන්වහන්සේට නිදුක් නිරෝගි සුවය සපිරිව දීර්ඝායු අත්වේවා යි ද මම ප්‍රාර්ථනා කරමි.


බොදු ලොවට මිණි පහනකි

සියක් වසරක් කල් ජීවත් වීමට තරම් යම් ගිහි හෝ පැවිදි උතුමෙක් භාග්‍යවන්ත වේ නම් එය සසර පෙර පින නිසාම සිදු වන්නකි. මීරිගම ශාසන වර්ධන පිරිවෙන් මහා විහාරාධිපති, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක, වේවැල්දෙණියේ මේධාලංකාර මහ නාහිමිපාණන් වහන්සේ ද සසර පෙර පින නිසා සිරිලක ඉපිද, මුළු ලොවට දහම් රස බෙදූ පැවිදි උතුමෙකු ලෙස මා දකින අතර, උන්වහන්සේ බොදු ලොවට මිණි පහනකි.

අපේ මහනාහිමිපාණන් වහන්සේ සම්බුදු දහමට අනුව ගත කරන අල්පේච්ඡ ජීවිතයත්, වත් පිළිවෙත් සුරැකීමත්, භික්‍ෂු ආකල්ප තුළ ජීවත් වීමත් අප අතර සියක් වසරක් කල් ජීවත්වීමට තරම් හේතු වී යැයි මම සිතමි. ගිහි හෝ පැවිදි කාටත් සීලය හා ගුණය ආභරණයක් බව ප්‍රකට කරුණකි. අපේ මහා නාහිමිපාණන් වහන්සේ සීලයෙන් හා ගුණයෙන් පිරිපුන් ශ්‍රේෂ්ඨ සංඝ පීතෘවරයකු ලෙස ගත කරන උතුම් පැවිදි ජීවිතය මුළු මහත් සඟ පරපුරටම ආදර්ශයකි. ගම්පහ දිස්ත්‍රික්කයේ, හාපිටිගම කෝරළයේ ජන්ම ලාභය ලද උන්වහන්සේ ගම්පහ දිස්ත්‍රික්කයේ උපන් අපට ගෙන දෙන්නේ විශාල කීර්තියකි. ගම්පහ දිස්ත්‍රික්කයට, සිරිලකට පමණක් නොව මුළු මහත් බෞද්ධ ලෝකයාටම මිණි පහනක් වූ, අපේ අතිගරු වේවැල්දෙණියේ මේධාලංකාර මහ නාහිමිපාණන් වහන්සේට නිදුක් නීරෝගී චිර ජීවනය වේවා! තෙරුවන් සරණින් දිගාසිරි ලැබේවා!


ශාසනික හා සමාජයීය සේවා ගෞරවයෙන් සිහි කරමු

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ශ්‍රී සරණංකරරෝපසේන වංශාවතංශ අග්ගමහා සද්ධම්ම ජෝති ධජ අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මහා නාහිමියන්ගේ සියවස් ජන්ම දිනය සමරන මොහොතේ උන්වහන්සේගේ ගුණ සුවඳ සිහි කරමින් සුභාශිංශන පණිවිඩයක් නිකුත් කිරීමට ලැබීම මා ලද මහත් පුණ්‍ය කර්මයකි.

හාපිටිගම් උඩුගහපත්තුවේ වේවැල්දෙණියේ මිල්ලවල ගම්පියසෙහි දී 1909 දෙසැම්බර් 07 වන දින ජන්ම ලාභය ලත් උන්වහන්සේ 1922 දී පැවිදි බිමට පත්ව එදා මෙදාතුර ශ්‍රී බුද්ධ ශාසනයටත් සමස්ත ලෝකවාසී ජනතාව කෙරෙහිත් ඉටුකළා වූ ශාසනික හා සමාජයීය සේවාවන් මේ මොහොතේ ඉතා ගෞරවයෙන් සිහිපත් කරමි. විදේශ රටවල ධර්මදූත සේවාවන්හි යෙදෙමින් ලොව පුරා සියලු ජනතාවගේ මහත් ගෞරවාදරයට පාත්‍ර වූ උන්වහන්සේ සියවසක් දිවි ගෙවීමට තරම් පුන්‍යවන්ත විය. ජන්මලාභියකුට ඉතා අහඹු ලෙස ලැබිය හැකි පින්බර අවස්ථාවක් ලෙස එය සලකමි. තවද සියවස් ජන්මලාභය ලත් මොහොත වන විට ශ්‍රී බුද්ධ ශාසනයේ, ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහා නාහිමියන් ලෙස කටයුතු කිරීමද මෙහිලා සුවිශේෂි අවස්ථාවකි. ඒ පින්බර අවස්ථාව උදාකරගැනීමට තරම් මහා නාහිමියන් කායික මෙන්ම, මානසික නිරෝගිතාවය ලත් සිල්වත් හිමිනමක් වූහ. විශේෂයෙන් මාගේ පියා වන එස්.ඩී.බණ්ඩාරනායක මැතිතුමා ඉතා ළඟින් ඇසුරුකළ මහා නායක හිමියන්ගේ උපදෙස් හා අනුශාසනා ලැබීමට තරම් මම ද වාසනාවන්ත වූයෙමි. මා ආගමික කටයුතු විෂය භාර අමාත්‍යවරයා ලෙස පත්ව උන්වහන්සේ බැහැදැකීමට ගිය මොහොතේ ඉතාමත් ආදරයෙන් පිළිගෙන ලබා දුන් අනුශාසනා මගේ අමාත්‍යදිවියට ඉතා වැදගත් විය. සියවස් ජන්මලාභය ලබන අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මහා නාහිමියන්ට නිරෝගී සැප සම්පත් ලැබ, තවත් චිරාත්කාලයක් ශාසනය වෙනුවෙන් ක්‍රියා කරන්නට හේතුවාසනා වේවායි ප්‍රාර්ථනා කරමි.

උදුවප් පුර අටවක

 
පෝය දෙසැම්බර් 5 වනදා සිකුරාදා අපර භාග 2.33 ට ලබයි.
6 වනදා සෙනසුරාදා අපරභාග 3.6 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 5 වන දා සිකුරාදාය.

මීළඟ පෝය දෙසැම්බර් 12 වන දා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 5

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 12

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

New Moonඅමාවක

දෙසැම්බර් 26

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]