UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

චිරං ජයතු මහ නා හිමියනි

රාජකීය පණ්ඩිත, ගෞරව ශාස්ත්‍රවේදී
තෙරිපැහැ සෝමානන්ද මහ නා හිමි

බහුශ්‍රැතබව, පාණ්ඩිත්‍යය හා පරානුකම්පාව ආදී උත්තරීතර ගුණයන්ගෙන් මෙන්ම ව්‍යක්ත බව හා සිල්වත් බව යන සුවිශේෂ ශක්තීන් ගෙන් ද පිරිපුන් මාහිමි නමක් හැටියට කීර්තිධර වැ වැජඹෙන ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක වේවැල්දෙණියේ මේධාලංකාර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට සිය ජීවිතයේ සිය වැනි සංවත්සරය යහතින් ගෙවාලීමේ භාග්‍යය උදාවීම වර්තමාන භික්‍ෂු වංස කථාවේ අමරණීය සිහිවටනයකි. උන්වහන්සේ ගෙවා ඇති මේ සියක් වසර තුළ සියයක් කරුණුවලින් නොව දහසක් පැතිවලින් සම්බුද්ධ ශාසනයට හා සමස්ත සමාජයට කර ඇති මෙහෙවර ගණනින් ගණනය කළ හැක්කක් හෝ මිනුම් දණ්ඩකින් මිනිය හැක්කක් හෝ නොවේ.

ජාතියේ පිනට පහළ වූ මහා යතිවරයන් වහන්සේ නමක් හැටියට උන්වහන්සේගේ උපත සිදු වූයේ ගිය සියවසේ මුල වසර 1909 දී ය. විදේශීය ආක්‍රමණ හා බලපෑම් නිසා සිංහල ජාතියත් බුද්ධාගමත් යම්තම් හිස ඔසවන්නට වෙර දරමින් සිටින අවධියකි. ඒ හාපිටිගම් කෝරළයේ වේවැල්දෙණියේ වංසවත් පවුලක උපත ලද මේ කුල කුමරා ධන්‍ය පුණ්‍ය ලක්‍ෂණවලින් පිරි සිටුනා සසුනඹරෙහි බබළන ඕසධී තාරකාවක පෙර ලකුණු පහළ කරන්නකු බවට පත් වූයේ ඒ ළමා ළපැටි අවධියේ සිටමය. මේ කුල කුමරුනට තෙළෙස් විය පිරෙත් ම 1922 මැයි මස 26 වැනි දින අනුරාධපුර අභයගිරි මහා විහාරයේ දී කතළුවේ සීලවංස මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙහි සසුන් ගත කිරීම සිදු විය. පුරා වසර හතරක් අභයගිරි විහාරයේ සිට ධර්මශාස්ත්‍ර අධ්‍යයනය ආරම්භ කළ අතර වැඩිපුර අධ්‍යයන කටයුතු සඳහා මීරිගම ශාසනවර්ධන පිරිවෙනට සැපත් ව සුපේශල ශික්‍ෂාකාමී භික්‍ෂු ජීවිතයක් ගොඩ නඟා ගැනීමේ අධිෂ්ඨානශීලීවැ ක්‍රියා කළේ ධර්ම විනය විෂයෙහි සුගැඹුරු දැනුමක් ද භාෂා ශාස්ත්‍ර විෂයෙහි පෘථුල අවබෝධයක් ද ලබාගෙන ව්‍යක්ත විශාරද වියතකු හැටියට භික්‍ෂු සමාජය තුළ කැපී පෙනෙන තත්ත්වයක් ඇතිකර ගැනීමේ සමත් වූහ. එ පමණක් නොව උන්වහන්සේට දර්ශන දර්ශනාන්තර විෂයයන්හිත් තර්ක න්‍යාය විෂයයන්හිත්, පෘථුල පටුත්වයක් ලබාගත හැකි වූයේ එදා එම විෂයයන් පිළිබඳ ව මෙරට සිටි විශාරද වියතුන් වන ආභිධම්මික රේරුකානේ අරියඤාණ නා හිමි, න්‍යායාචාර්ය අබේසිංහ මහතා හා ඩබ්ලිව්.ඩී. වාගීශ්වර යන මහතුන් ආචාර්යවරුන් හැටියට ආශ්‍රය කරන්නට ලැබීමත් නිසා ය.

මේ වන විට වියතකු ධර්මධරයකු හා දේශකයකු හැටියට රට පුරා කීර්තියක් ලබා සිටි මේධාලංකාර යතීන්ද්‍රයන් වහන්සේ ස්ව නිකාය තුළ ද විවිධ තනතුරු දරමින් විශාල මෙහෙවරක නිරත වැ සිටියහ. ඒ අනුව 1966 නිකායේ පාලක සංඝ සභාවට ද 1967 නිකායේ කාරක සංඝ සභාවට ද, 1972 පිරුවන් විහාරාධිපති පදවියට ද පත් වූ මුන් වහන්සේ ආගමික වශයෙන් ද ,ජාතික හා ආයතනික වශයෙන් ද විවිධ නිලතල හා වගකීම් දරමින් නොනිමි සේවාවක නියමුවා වූහ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ උපරිමානුවිජ්ජක ධූරයට පත් මේධාලංකාර යතීන්ද්‍රයන් වහන්සේ 1985 ස්ඤ්ඤාලේඛකාධිකාරී ධූරයට ද, 1987 අධිකරණ නායක ධූරයට ද, 1998 මහා නායක ධූරයට ද පත් වූහ. නිදහස් මන්දිරයේ පැවති මහා උත්සවයේ දී එවක ජනාධිපති පදවිය දැරූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය අතින් ඒ පිළිබඳ සන්නස් පත්‍රය ප්‍රදානය කරන්නට යෙදිණ.

දේශීය විශ්වවිද්‍යාල කීපයකම උපදේශක ධූර දරන මහනාහිමියෝ බුරුම රජය විසින් පිරිනමන ලද අග්ග මහා සද්ධම්ම ජෝතිකා ධජ අති සම්භාවනීය සම්මාන උපාධියෙන් ද පිදුම් ලදහ. දේශීය විශ්වවිද්‍යාල ඇතුළු විශිෂ්ට පෙළේ ආයතන ගණනාවකින් ම මහා නායක හිමියන් හට පුද හරසර දක්වා ගෞරවෝපාධි හා සම්මානෝපාධි පිරිනමා ඇත. ඒ ඒ රටවලින් ලද ආරාධනා සඳහාත්, දේශ දේශාන්තර සංචාරය සඳහාත් විදේශ රටවල් රැසකට වැඩම කළ මේධාලංකාර මහනාහිමියෝ ඒ ඒ රටවල සමාජ තත්ත්වය ආගමික තත්ත්වය ගැන සේම ඓතිහාසික පුරාවිද්‍යාත්මක තොරතුරු ගැන ද කාලෝචිත අවබෝධයක් ලබා ගත්හ. උන්වහන්සේ වැඩම කළ එම රටවල් අතර ප්‍රධාන වන්නේ සිංගප්පූරුව, ඉන්දියාව, බුරුමය, තායිලන්තය, ජපානය, කොරියාව, ඕස්ට්‍රේලියාව, පකිස්ථානය, චීනය යන රටවල් ආසියාතික රටවල් හැටියට මුල්තැන් ගනී. මේ දේශ සංචාරවල දී බුද්ධාගම ගැනත්, එහි අතීත හා වර්තමානය කරුණු ගැනත්, පැහැදිලි කර දීමට උන්වහන්සේ ඉදිරිපත් වී තිබීම සුවිශේෂ සිද්ධියකි. තවද ස්වනිකාය තුළ ප්‍රතිපත්ති ගරුක සුපේෂල ශික්‍ෂාකාමී ධර්ම විනයධර භික්‍ෂු පිරිසක් ඇති කිරීමෙහිලා මහනාහිමියන් දැරූ අගනා පරිශ්‍රමය ශාසනෝන්නතකාමි ගිහි පැවිදි හැම දෙනාගේම පැසසුමට ලක් වූවකි. උන්වහන්සේ ඒ පිළිබඳ ආදර්ශයේ ප්‍රතිබිම්බය බවට ද පත් වූහ. ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අතිපූජ්‍ය වේවැල්දෙණියේ මේධාලංකාර මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේට වසර සියයක් පිරෙන දින එනම්, 2008 දෙසැම්බර් මස 07 වැනි දින විහාරස්ථාන රැසක විවිධ පින්කම් හා උත්සව පවත්වා අතිපූජ්‍ය මහනාහිමියනට සෙත් පැතීමට ගිහි පැවිදි සිසුන් මෙන් ම දායක කාරකාදී හිත මිතුරන් ද සැදී පැහැදී සිටීම විශේෂ සිද්ධියකි.

මහ නා හිමිපාණන්ට දිගාසිරි සැලසේවා!

 

උදුවප් පුර අටවක

 
පෝය දෙසැම්බර් 5 වනදා සිකුරාදා අපර භාග 2.33 ට ලබයි.
6 වනදා සෙනසුරාදා අපරභාග 3.6 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර් 5 වන දා සිකුරාදාය.

මීළඟ පෝය දෙසැම්බර් 12 වන දා සිකුරාදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 5

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 12

Second Quarterඅව අටවක

දෙසැම්බර් 19

New Moonඅමාවක

දෙසැම්බර් 26

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]