UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

වප් මහිම
 

වප් ධාතුවෙන් නියත ‘වප්’ යනු, වැපිරීමයි. එම නිසා වප් මහිමය යනු වපුරණ කපා පාගාගෙන භුක්ති විඳීමේ මහිමයයි. වැපිරීම, භෞතිකව පමණක් නොව, අධ්‍යාත්මිකවද කළ හැකි දෙයකි. සිංහල ගොවියන් මැදින් මහ කනන්යේදී නෙළා ගැනීම සඳහා තමන්ගේ අගනාම බීජය වන වී වපුරන්නේ, වප් මාසයේ දී යල එම මාසය, සිංහලයේ දී වප් මාසය නමින් හැඳින්වෙන්නේ ද එම නිසා ය.

බුද්ධ කාලයේ සිටම බෞද්ධ භික්‍ෂූන් වහන්සේ තමන් අත්දුටු අගනාම ධර්මය වන නිර්වාණ ධර්මයේ ධර්ම බීජ බහුජනයාගේ හිත සුව පිණිස, ලෝකානුකම්පාවෙන් ලෝකයා අතර වැපිරීම මහා පරිමාණයෙන් සිදු කිරීම ආරම්භ කළේ ද වප් මාසයේ ය.

එසේ වූවද බුදු හිමියන්ගේ ප්‍රථම ධර්මදූත පිරිස වන රහතන් වහන්සේ සැට නමක් අට දිසා භාගයටම පිටත් කර හරින ලද්දේ වප් මාසයෙන් පසු උදා වූ ඉල් මාසයේ දීය. ඉල් මස යනු උතුරු දඹදිව, වළාකුලින් තොට අහස මුළුමනින්ම නිල් පැහැගැන්වෙන සරත් සමයේ උච්චම අවස්ථාවයි.

උතුරු දඹදිව ධර්ම බීජ වපුරන ධර්ම දූත මෙහෙය සඳහා හොඳම කාලයත් සෞම්‍ය දේශගුණයෙන් යුතු සරත් සමයේ වියළි කාලය යි.

බුද්ධ කාලයේදී එක දිගට වැසි වසින ඇසළ, නිකිණි, බිනර යන වස්සාන කාලයේ දී වස් වැස භාවානුයෝගීව සිටිමින් සාක්‍ෂාත් කර ගත් අමා මහ මඟඵල සුවය දිනෙය ජන ලෝකයාට බෙදා දීම සඳහා භික්‍ෂු සංඝයා වාර්ෂික ධර්ම චාරිකාවල යෙදීම ආරම්භ කළේ වැහි සමය ගෙවී ගොස් වලාකුළින් තොර අභය නිල් පැහැ ගැන්වෙන වියළි සරත් සෘතුව ආරම්භ වන වප් මාසයේදී ය.

සරත් සෘතුව ලෙස සැලකෙන්නේ වප් හා ඉල් යන දෙමසයි. තදින් වැසි වසින වස්සාන කාලය ලෙස සැළකෙන්නේ නිකිණි හා බිනර යන දෙමසයි.

බෞද්ධ භික්‍ෂූන් පෙරවස් එළඹීම කරන්නේ ඇසළ පුන් පෝදා ය.පසු වස් එළඹීම කරන්නේ නිකිණි පුන්පෝදා ය. එසේ වස් එළඹෙන භික්‍ෂූන් තද වැහි වහින නිකිණි හා බිනර දෙමස තුළ ප්‍රධාන වශයෙන් නියුක්ත වන්නේ එක්තැන් වී කරන භාවනා කාර්යයේ ය. මෙම දෙමස මඟ ඵල සංකේතවත් වීම සඳහා පිටුබල වන්නේ මේ නිසා ය. මඟ ඵල සාක්‍ෂාත් වූ භික්‍ෂූන් වහන්සේ ලෝකයාගේ හිත සුව පිණිස ධර්ම ප්‍රචාරණය සඳහා ධර්ම චාරිකා ආරම්භ කරන්නේ බිනර මසින් පසු එළඹෙන වප් මාසයේදී ය.

මඟ ඵල ලාභී බෞද්ධ භික්‍ෂූන් වප් මාසයේ දී ධර්ම ප්‍රචාරක චාරිකාවන්හි යෙදීම, ගොවියන් තමන් වවාගෙන නෙළාගත් අස්වැන්න අනුන් හා බෙදාහදා ගැනීමක් වැනි ය. නැතහොත් මඟ පල බීජ ලෝකයා අතර වැපිරීමක් වැනි ය.

ගොවියන් මෙන් බෞද්ධ භික්‍ෂූහුද වවාගෙන කන්නෝ ය. උන්වහන්සේ කන්නලව් කර, යාතිකා කර, යාඥා කර, ඉල්ලා ගෙන කන යාචකයෝ නොවති. ධාන්‍ය බීජ මෙන්ම ධර්ම බීජ වපුරා වවාගෙන අස්වනු නෙළා බෙදා හදා ගනිමින් භුක්ති විඳීම බෞද්ධකමේ මූලික ලක්‍ෂණයකි. කසීභාරද්වාජ සූත්‍රයේ දී බුදු හිමියන් කසී භාරද්වාජ නම් බමුණාට වදාළේ තමන් වහන්සේ වපුරා වවා අස්වනු නෙළාගෙන භක්ති විඳින්නකු බව ය. බුදුන් වහන්සේ වැපිරුවේ සද්ධා වීජයයි. භුක්ති විඳි අස්වැන්න වූයේ අමෘත ඵල නම් වූ නිවන් සුවයයි.

කසීභාරද්වාජ සූත්‍රයේ සඳහන් වන පරිදි, බුදු හිමියන් පමණක් නොව උන්වහන්සේගේ ආර්ය ශ්‍රාවකයන් ද විනෙයජන ලෝකයෙහි වැපුරුවේ, ශ්‍රද්ධා බීජය. ශ්‍රද්ධා බීජ වැපිරීම යනු තමන් වහන්සේගේ ශාන්ත දාන්ත, සංවර, නිවී සැනසුණු කායික වාචසික, මානසික ස්වරූප මගින් විනෙය ජනයන් තුළ ශ්‍රද්ධාව ඇති කිරීම ය.

‘සද්ධා ධනං’ යනුවෙන් කියැවෙන, සප්ත ආර්ය ධනයන්ගේ ප්‍රථම ආර්ය ධනය, ශ්‍රද්ධාවය. නැතහොත් ප්‍රසාදය නමැති පැහැදීම ය. ‘ප්‍රසාදය’ යනු පිළිගැනීම ය. පිළිගැනීම නම් අනුමත කිරීම ය. ආර්යයන් වහන්සේගේ ආර්ය ස්වරූපය මැනවැයි අනුමත කිරීම ශ්‍රද්ධාව පහළවීමකි. වස්සාන කාලයේ දී වස් වැස භාවනානුයෝගීව සිටින සංඝයා වහන්සේ තුළ ඇතිවන්නේ විනෙය ජනහස පහදවන ප්‍රසාද ජනක ස්වරූපයකි.

ඒ ස්වරූපය මැනවැයි පිළිගැනෙන ශ්‍රද්ධාව, ප්‍රත්‍යක්‍ෂාවබෝධයක් මිස අන්ධ භක්තියක් හෝ අන්ධ විශ්වාසයක් නොවේ.

බුදුදහමෙහි ඇත්තේ ‘පච්චත්තම වේදිතබ්බෝ විඤ්ඤූහි යැයි කියැවෙන පරිදි විඤ්ඤාණ වන්තයන් නමැති සංවේදී ඇත්තන් තුළ පච්චත්තං නමැති ප්‍රත්‍ය කැප වීමෙන් ඇතිවන වෙදි තබ්බේ නමැති අවබෝධයයි. කරුණු සහිතව තමාටම අවබෝධ වීම යි ඇත්තක් දැක එය ඇත්තක් බව වටහා ගැනීම, අන්ධ භක්තියක් හෝ අන්ධ විශ්වාසයක් නොවේ. සත්‍යාවබෝධයකි.

බුදු හිමියන් කාලාම සූත්‍රයේ දී කාලමයන්ට අනුශාසනා කරන්නේ සැක කටයුතු දේ සැක කටයුතු බවය. ප්‍රත්‍යක්‍ෂව පිළිගත නොහැකි දේ පිළිනොගත යුතු බව ය. එසේම පරම්පරාවෙන් පැමිණි නිසාවන්, අසන්නට ලැබුණු නිසාවත්, පිටකත්‍රයෙහි තිබුණු නිසාවත් තර්කානුකූ®ල වූ නිසාවත්, කියන්නාගේ විවිධ සුදුසුකම් නිසාවත්, කියන්නා ගරුකට යුතු පුද්ගලයෙකු නිසාවත් කිසිවකු විමසිල්ලෙන් තොරව පිළිනොගත යුතු බව ය.

තමන් වහන්සේගේ සම්මා සම්බුද්ධ භාවය හෝ තමන් වහන්සේ දේශනා කරන ධර්මයෙහි ස්වාක්ඛාත භාවය හෝ පිළිගත යුත්තේ ප්‍රත්‍යක්‍ෂ ඤාණයෙන් පමණක් බව, බුදුහිමියන් චුල්ල හත්ථිපදෝපම සූත්‍රයෙන් ප්‍රකාශ කර ඇත. එහි උදාහරණය ලෙස දක්වා ඇත්තේ වනයෙහිදී මහ ඇතකුගේ පිය සටහනක් දුටු පමණින්, එය නාගමනික නම් මහ ඇතකුගේ යැයි පිළිනොගත යුතු බව ය.

මහ අඩි ඇති වෙනත් ඇතුන් ද ඇති බැවිනි. එය නාගවනික යකුගේ යැයි පිළිගත යුතුවන්නේ එම ඇතා ප්‍රත්‍යක්‍ෂයෙන් දුටු විටය.

බුදු හිමියන් සම්මා සම්බුද්ධද නැතහොත් ක්ලේශ ධර්මයන්ගෙන් යුක්ත පෘථග්ජනයකුදැයි පිළිගත යුතු වන්නේ, උන්වහන්සේ ඇසුරු කර ඇසට පෙනෙන දේ හා කණට ඇසෙන දේ අනුව ප්‍රත්‍යක්‍ෂාවබෝධයෙන් බව ය. වීමංසක සූත්‍රයෙන් කියැවෙන්නේ.

බුද්ධ ශාසන ඉතිහාසයේ ප්‍රථම වස්සානයෙන් පසු ධර්ම ප්‍රචාරය සඳහා හැම අතකටම පිටත් කර හරින ලද රහතන් වහන්සේ සැට නමට අයත් වූ අස්සජී මහරහතන් වහන්සේ පිඬු සිඟා වඩිනු දුටු පමණින් පසු කලක අගසවු සැරියුත් හිමියන් බවට පත් වූ උපතිස්ස පරිබ්‍රාජකයන් තුළ මහත් ශ්‍රද්ධාවක් හටගත්තේ ඔහු පුණ්‍ය ශක්තිය මෝරා තිබුණු කෙනෙකු වූ බැවිනි.

බුදු, පසේබුදු, මහරහතන් වහන්සේලා කොතරම් ශ්‍රද්ධා බීජ වැපිරුවත් ඒවා පැළ වන්නේ ඊට සුදුසු සිත් සතන් ඇත්තන් තුළ පමණකි. ගල් බොරලු හෝ කටු පඳුරු උඩ වපුරන ධාන්‍ය බීජ පැළ නොවනාසේ, බුදු පසේ, බුදු මහරහතන් දකින සමහරුන් තුළ ශ්‍රද්ධාව හට නොගනී. රූපවාහිනි යන්ත්‍රයකට රූපවාහිනි තරංගයක් හෝ ගුවන් විදුලි යන්ත්‍රයකට ගුවන් විදුලි තරංගයක් හෝ පිළිගත හැකි වන්නේ ඒ සඳහා එම යන්ත්‍ර සූදානම් කර තිබුණහොත් පමණකි. පින් ඵල මෝරා තිබීම යනු, ආර්ය ධර්ම බීජ හෙවත් කුසල ශක්ති අවශ්‍ය මට්ටමට මෝරා තිබීම ය. අස්සජී රහතන් වහන්සේගෙන් ගාථා දෙපදයක් ඇසූ පමණින් උපතිස්ස පරිබ්‍රාජකයන් සෝවාන් වූයේ ඊට අවශ්‍ය පින්ඵල ඔහු තුළ මෝරා තිබුණු බැවිනි.

රහතන් වහන්සේ දුටු පමණින් පුණ්‍යවන්තයන් තුළ ශ්‍රද්ධාව පහළ වෙයි.

එය ආයාසයකින් තොරව සිදුවන්නකි. ඒ සඳහා රහතන් වහන්සේගෙන් ධර්ම ශ්‍රවණය කිරීම අවශ්‍ය නොවේ. බුදු හිමියන් මහ මඟ පිඬු සිඟා වඩිනු දුටු පමණින් දුරු විරිය නම් බාහිය තවුසා තුළ පහළ වූයේ, බලවත් ශ්‍රද්ධාවකි. කෙටි ගාථා පදයක් ඇසූ පමණින් බාහිය තවුසා මහ මඟ සිටගෙන සිටිමින්ම රහත් වූයේ එම බලවත් ශ්‍රද්ධාව නිසා ය.

රහතන් වහන්සේ ගම් නියම් ගම් නගරාදියේ පිඬු සිඟා වැඩීමම හේතු සම්පත් ඇත්තන් තුළ ශ්‍රද්ධා බීජ වැපිරීමට උපකාර වෙයි.

එසේ රහතුන් ගම්නියම්ගම් ආදියේ හැසිරීම ධම්ම පදයේ පුෂ්ප වග්ගයේදී උපමා කොට ඇත්තේ, මලෙන් රොන් ගෙන, මලේ පරාග පෝෂණය කොට ඵලයක් ඉපදවිය හැකිකම ලබාදී පියාඹා යන බඹරුන්ට ය.

බුදුහිමියන් දම්සක් සුතුර දෙසා බරණැස මිගදායේ වැඩ විසීමම බරණැස යසකුල සිටු පුත්‍රයාගේ සිත තුළ මහ රෑ සසර කළකිරීමක් ඇති කිරීමට සමත් විය.

ධම්මපදයේ පුෂ්ප වග්ගයෙන් ඊට හේතුව උපමාවකින් කියැවෙන්නේ මල් සුවඳ සුළං අතට පමණක් ගමන් කළද සත් පුරුෂයන්ගේ සිල් සුවඳ හැම අතටම ගමන් කරතැයි යන්නෙනි. එසේ වූවද කුමන සුවඳක් වූවද විඳිය හැකි වන්නේ සුවඳ දැනෙන නහයක් ඇත්තන්ට පමණකි. රහතන් වහන්සේගෙන් නිරන්තරව නිරායාසයෙන් ධර්ම බීජම වැපිරෙන්නේ විකාශන කුළුණකින් හැම අතට ගුවන් විදුලි හෝ රූපවාහිනි තරංග විකාශනය වන්නා සේය. ඒ ධර්ම බීජ පැළවන්නේ ඊට සුදුසු සිය සතන් ඇත්තන් තුළ පමණකි.

වප් අව අටවක පෝය


වප් අව අටවක පෝය ඔක්තෝබර් 21 වන දා අඟහරුවාදා පූර්ව භාග 06.17 ලබයි. 22 වන දා බදාදා පූර්ව භාග
4.38 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ඔක්
තෝබර් 21 වන දා
අඟහරුවාදා ය.
 

මීළඟ පෝය ඔක්තෝබර්
28 වන දා අඟහරුවාදා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

New Moonඅමාවක

ඔක්තෝබර් 28

First Quarterපුර අටවක

නොවැම්බර් 6

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]