UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවමු

2008.10.07 පත්‍රය හා සම්බන්ධයි

අවිද්‍යාව හේතුවෙන් අවිද්‍යාව නිසා යන යෙදුම් ද ඒ වෙනුවෙන් යෙදීමේ වරදක් නොවේ. එහෙත් අවිද්‍යාව තුළින්, අවිද්‍යාව හරහා යන යෙදුම්වලින් නිසි අර්ථය ගම්‍ය නොවේ.

‘ඉ’ යන්නේ චතුරාර්ය සත්‍යය හරහා තුළින් යන යෙදුම් නිසා චතුරාර්ය සත්‍ය වැනි ගැඹුරු සියුම් ධර්ම හිස් උණ බම්බු, බට කුඹල්, එස්ලෝන් බට ආදී හිස් දේ බවට පත් වෙයි.චතුරාර්ය සත්‍ය එසේ රිංගා යායුතු හිස් තැන් නොවේ.බුද්ධ ධර්මයට අයත් ගැඹුරු ධර්ම පිළිබඳ ව විස්තර කිරීමේ දී තුළින්, හරහා යන යෙදුම් කිසිසේත් යෝග්‍ය නොවන බව මේ අනුව පැහැදිලි ය.

‘ඊ’ යන්නෙහි යෙදෙන්නාක් මෙන් පුද්ගයන් සම්බන්ධ කාරණාවලදී තුළින්, හරහා යන පද සුදුසු යෙදුම් නොවේ. එවැනි තැන්වල යෙදිය යුත්තේ ආනන්ද හාමුදුරුවන්ගේ අනුග්‍රහයෙන්, ආධාරයෙන් මැදිහත්වීමෙන් ආදී යෙදුම්ය තුළින්, හරහා යන යෙදුම් ඉහත දැක්වුණු උදාහරණ වල ඇති ලෙස යෙදීමෙන් සිංහල භාෂාාවේ අනන්‍යතා ලක්‍ෂණ ද මැකී යයි.

වරෙක ගුවන් විදුලිය සේවයෙන් ධර්ම දේශනාවක යෙදුණු භික්‍ෂූන් වහන්සේ නමක් මව්පිය, දූ දරු සම්බන්ධය ගැන පැහැදිලි කරමින් මනුෂ්‍ය සංස්කෘතියට ඒවා අයත් වූවද තිරිසන් සංස්කෘතියට ඒවා නැති බව පැවැසූහ. මනුෂ්‍යයාට සංස්කෘතියක් ඇතත් තිරිසනාට සංස්කෘතියක් නැත. ඒ නිසා ඒ ධර්ම දේශක භික්‍ෂූන් වහන්සේ බල්ලකු හා බලු පැටවුන් උදාහරණ වශයෙන් ගෙන තිරිසන් සංස්කෘතියක්, බලු, සුනඛ සංස්කෘතියක් ගැන කීවත් එවැනි සංස්කෘති නැත. බල්ලාට ඇත්තේ බලු ගති හා බලු පුරුදු ය. තිරිසනාට ඇත්තේ තිරිසන් ගති හා තිරිසන් පුරුදු ය. මිනිසාට ද මිනිස් ගති හා මිනිස් පුරුදු තිබුණත් ඒවා ඉක්මවා යන සංස්කෘතියක්ද ඇත. එය ඇති වූයේ මනසේ උසස්කම නිසා ය. එහෙයින් බලු, සංස්කෘතිය, හිවල් සංස්කෘතිය, වැනි නොමනා යෙදුම් බෞද්ධ ධර්ම දේශකයන් වහන්සේගේ බසට එක්වීම කිසිසේත් සුදුසු නැත. එහෙත් අද එවැනි යෙදුම් උන්වහන්සේගේ බසට එකතු වෙමින් ඇත්තේ පාරිවේණික අධ්‍යාපනයේ පරිහානිය නිසා බව කිව යුතුව ඇත.

දිනක් ගුවන්විදුලිය ස්වදේශ අංශයේ පැවති සංවාදයක උපමාතෘකාවක් වූයේ ‘බිත්තර ප්‍රවාහනයයි. සංවාදය මෙහෙයවනු ලැබුවේ විශ්ව විද්‍යාලයක කථිකාචාර්ය බෞද්ධ භික්‍ෂූන් වහන්සේ කෙනකු විසිනි. බිත්තර ආරක්‍ෂා සහිතව ප්‍රවාහනය කළ යුතු ආකාරය මේ අනුව සාකච්ඡාවට භාජනය කැරිණ. බෞද්ධ භික්‍ෂූන් වහන්සේ කෙනෙකු මෙවන් සාකච්ඡාවක් මෙහෙයවීම හෝ මෙවන් සාකච්ඡාවකට සම්බන්ධවීමෙහි ඇති යෝග්‍යතාව කුමක්ද? පිරිවෙන්හි අධ්‍යාපනය පිරිහීම පිළිබඳ ලකුණු මේ ආකාරයෙන් මතුවන අවස්ථා බොහෝවෙයි. පිරිවෙන් විශ්ව විද්‍යාල කිරීම පිළිබඳ මිථ්‍යාව මෙයින් ගම්‍ය වෙයි. විද්‍යෝදය විශ්ව විද්‍යාලය, විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය යනුවෙන් ඇරැඹුණු උසස් බෞද්ධ අධ්‍යාපන ආයතනද්වය පාරිවේණික ලක්‍ෂණයන්ගෙන් ඉවත් වෙමින් ගොස් අද සාමාන්‍ය විශ්වවිද්‍යාල බවටම පත්ව තිබේ. යන්තම් නමවත් තවම රැඳී ඇත්තේ කැලණිය විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙහි පමණි. විද්‍යොදය යන නම පවා විශ්වවිද්‍යාලයෙන් ඉවත්ව ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය නමින් අද අනෙක හැඳින්වෙයි.

ලාංකික බෞද්ධ භික්‍ෂූන් වහන්සේ විවිධ විෂයන් ඉගෙනීම කරා යොමු වූයේ පිරිවෙන් විශ්වවිද්‍යාල ඇති වූදා සිට ය. මුලින් ඇති වූ පිරිවෙන් සරසවි දෙක සෙසු විශ්ව විද්‍යාල තත්ත්වයට පත්වීමත් සමඟ භික්‍ෂූන් වහන්සේ වැඩි වශයෙන් බුද්ධ ධර්මය හා අනුගත විෂයයන්ට වඩා ලෞකික පක්‍ෂයට බර විෂයයන් කෙරෙහි නතු වන්නට වූහ. මේ නැඹුරුතාවට පිරිවෙන ද කිසියම් ප්‍රමාණයකින් යොමු වන්නට විය. පිරිවෙනට ඔබින අධ්‍යාපනය පිරිහෙන්නට වූයේ එනිසා ය. අද එහි අනිෂ්ට ඵල දැකිය හැකි ය. ‘බිත්තර ප්‍රවාහනය’ වැනි භික්‍ෂූත්වයට අයෝග්‍ය මාතෘකා පිළිබඳ ව උන්වහන්සේ සාකච්ඡා හා සංවාදවලට තල්ලු වූයේ මේ අයහපත නිසා ය.

සමහර පාසල ඉගැන්වීමෙහි යෙදෙන භික්‍ෂූන් වහන්සේ කෙනකුගෙන් ශිෂ්‍යයකු විසින් අසනු ලබන ප්‍රශ්නයක පිළිතුර වෙනුවට ලැබෙන්නේ, ඇයි බුද්ධ ධර්මය උගන්වන මිස්ගෙන් ඇහුවෙ නැද්ද? වැනි ප්‍රතිප්‍රශ්නයකි. එවැනි භික්‍ෂුවකගේ ඉගැන්නුම් විෂයය ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, වාණිජ විද්‍යාව වැනි විෂයයක් විය හැකි ය. ඒ විෂයයන් පිළිබඳ දැනුම වර්ධනය කර ගන්නා උන්වහන්සේලා බුද්ධ ධර්මය විෂයයට දෙන්නේ දෙවන තැනකි. බෞද්ධ භික්‍ෂූන් වහන්සේ අනිවාර්යයෙන් ඉගෙන ගත යුතු බුද්ධ ධර්මය, පාලි භාෂාව, සිංහල භාෂාව, සංස්කෘත භාෂාව යනාදී විෂයයන් ඔවුන් වහන්සේ වෙතින් යම් පමණකට දුරස් වෙයි. මඟ හැරෙයි, අද උන්වහන්සේගේ ලේඛන හා දේශනවලින් මේ පිරිහීමේ සෙවණැල්ල දක්නට ලැබේ.

පිරිවෙන් විශ්වවිද්‍යාල දෙක ඇති වී කලක් ගතවන විට එයින් බලාපොරොත්තු වූ මූලික හරාත්මක ප්‍රතිඵල නොලැබීමේ හේතුව නිසා ගරු අධ්‍යාපන අමාත්‍ය අයි, ඇම්. ආර්. ඒ. ඊරියගොල්ල මහතාගේ කාලයේ අනුරාධපුර බුද්ධ ශ්‍රාවක ධර්ම පීඨය ආරම්භ කැරිනි. බෞද්ධ භික්‍ෂු අධ්‍යාපනය වෙනුවෙන්ම ආරම්භ කැරුණ ද එයින් ද අද නිසි ප්‍රතිඵල ;නාලැබෙන බව අසන්නට ලැබේ. මෙයින්ද ගම්‍ය වන්නේ බෞද්ධ භික්‍ෂූ අධ්‍යාපනය නිසි අයුරින්, නිසි පමණින් නොසිදුවන බවය. එහි අනිෂ්ට ප්‍රතිඵල දක්නට ලැබෙමින් ඇත. අද සමහර අවස්ථාවල සිනමා ශාලාවකට පිවිසෙන සමහර භික්‍ෂූන් වහන්සේ අපේ කිසියම් චිත්‍රපටයක් නරඹා පිටවෙද්දී ජනමාධ්‍ය වාර්තාකරුවන් උන්වහන්සේගේ මුවට ළඟා කරන මයික්‍රෆෝනවලට එම සිනමා කෘතිය පිළිබඳව අගය කැරෙන ප්‍රකාශ නිකුත් කරනු අසන්නට දකින්නට ලැබේ. මෑත දිනෙක භික්‍ෂූන් වහන්සේ පිරිසක් දැනට ස්වාධීන රූපවාහිනියෙන් විකාශය කැරෙන ‘පබා’ නමැති ටෙලිනාට්‍යයට සම්මාන පිරිනැමූ බව එම රූපවාහිනි සේවයෙන්ම අසන්නට දකින්නට ලැබිණ. යම් යම් කලා කෘති අගය කිරීමේ අයිතිවාසිකමක් භික්‍ෂූන් වහන්සේට නැතැයි අපි නොපවසවූ එහෙත් විකාශනය වී අවසානයක් ද නොදුටු පබා වැනි ටෙලි නාට්‍යයකට සම්මාන පුද කිරීමට අපේ බෞද්ධ භික්‍ෂූන්ගේ පෙළැඹීම නම් ඒ අයිතිවාසිකමේ සීමාව ඉක්මවා යෑමක් බව අපේ අදහසයි. එහෙත් සිංහල භාෂාවේ කෙලෙසීම පිළිබඳ ව ඔවුන් වහන්සේගේ සිත් ප්‍රමාණවත් අයුරින් නතු නොවීම බවලවත් අඩුපාඩුවකි. දැඩි දොසකි. මේ අගතිගාමී දේ අද භික්‍ෂූන් වහන්සේ වෙතින් වැඩි වැඩියෙන් දක්නට ලැබෙමින් පවතින්නේ භික්‍ෂු අධ්‍යාපනය සුමඟින් නොමගට යොමුවීමේ හේතුව නිසා ය.

මෙහි කියැවුණු, නොකියැවුණු අමාර්ගගාමී බොහෝ දේ සත්මාර්ගාමී කිරීමට නම් පාරිවේණික අධ්‍යාපනය යළි පුනරුත්ථාපනය කළ යුතුව ඇත. මේ සඳහා දැනුම් තේරුම් ඇති අපේ උගත්, බුද්ධිමත්, ධර්මධර විනයධර භික්‍ෂු පිරිසගේ අනුශාසකත්වයෙන් නිසි වැඩ පිළිවෙළක් රජය විසින් ආරම්භ කළ යුතු වන්නේ ය. එසේ නොමැතිව තාවකාලික සිහින ලෝක මවා පෑමෙන් ඇතිවන සුගතියක්, යහපතක් පිළිබඳ සිතිය නොහැකිය.

වප් අව අටවක පෝය


වප් අව අටවක පෝය ඔක්තෝබර් 21 වන දා අඟහරුවාදා පූර්ව භාග 06.17 ලබයි. 22 වන දා බදාදා පූර්ව භාග
4.38 දක්වා පෝය පවතී.
සිල් සමාදන් වීම ඔක්
තෝබර් 21 වන දා
අඟහරුවාදා ය.
 

මීළඟ පෝය ඔක්තෝබර්
28 වන දා අඟහරුවාදා ය.
 


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

ඔක්තෝබර් 21

New Moonඅමාවක

ඔක්තෝබර් 28

First Quarterපුර අටවක

නොවැම්බර් 6

Full Moonපසෙලාස්වක

නොවැම්බර් 12

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]