UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

පෘථක්-ආර්ය චින්තන වෙනස

බුදුදහම පෘථක් - ආර්ය යනුවෙන් මිනිසා කොටස් දෙකකට බෙදා දක්වයි. පෘථග්ජනයා සහ ආර්ය ශ්‍රාවකයා යන යෙදුම් නිකාය ග්‍රන්ථයන්හි නිතර හමුවේ. එසේම මේ දෙදෙනාගේ් වෙනස ද සංසන්දනාත්මකව පෙන්වා දී තිබේ.

පෘථග්ජනයා හැඳින්වීම සඳහා පෙළ දහමෙහි යෙදී ඇති විශේෂණ පද අතර වඩාත් ප්‍රකට කිහිපයක් මෙසේය.

අස්සුතවා - දහම් අසා නැති (නූගත්)
අරියානං අදස්සාවී - ආර්යයන් නොදක්නා

අරියධම්මස්ස අකෝවිදෝ -
ආර්ය ධර්මයෙහි අදක්ෂ

අරියධම්මේ අවිනීතෝ -

ආර්ය ධර්මයෙහි හික්මීමක් නැති

සප්පුරිසානං අදස්සාවී -
සත්පුරුෂයන් නොදක්නා

සප්පුරිස ධම්මස්ස අකෝවිදෝ -
සත්පුරුෂ ධර්මයෙහි අදක්ෂ

සප්පුරිසධම්මේ අවිනීතෝ -
සත්පුරුෂ ධර්මයෙහි හික්මීමක් නැති

මේ විශේෂණ පදයන්හිම විරුද්ධාර්ථ දෙන

පදවලින් ආර්ය ශ්‍රාවකයා ගැන හැඳින්වේ.

සුතවා - දහම් අසා ඇති (උගත්)
අරියානං දස්සාවී - ආර්යයන් දක්නා

අරියධම්මස්ස කෝවිදෝ -
ආර්ය ධර්මයෙහි දක්ෂ

අරිය ධම්මේ සුවිනීතෝ -
ආර්ය ධර්මයෙහි හික්මීමක් ඇති

සප්පුරිසානං දස්සාවී - සත්පුරුෂයන් දක්නා

සප්පුරිස ධම්මස්ස කෝවිදෝ -
සත්පුරුෂ ධර්මයෙහි දක්ෂ

සප්පුරිස ධම්මේ සුවිනීතෝ -
සත්පුරුෂ ධර්මයෙහි හික්මීමක් ඇති

(මනි . 1, 20 - 22 සබ්බාසව සූත්‍රය)

මෙවැනි පසුබිම් මත මේ දෙදෙනාගේ දර්ශනයන්හි වෙනස්කම් ඇත. ආකල්පයන්හි වෙනස්කම් ඇත. ඒ නිසා චර්යා රටාවන්හි වෙනස්කම් ඇත. සූත්‍ර ධර්ම ගණනාවකදී මේ වෙනස්කම් පෙන්වා දී තිබේ. එයින් කිහිපයක් සාකච්ඡාවට ගැනීම මේ ලිපියෙහි අරමුණ වෙයි. එයට හේතුව, බුදුදහම පුද්ගලයා පෘථග්ජන මානසිකත්වයෙන් ඉවත් කොට ආර්ය මානසිකත්වයෙහි පිහිටුවීම අභිප්‍රාය කොට ගෙන තිබීම ය.

සබ්බාසව සූත්‍රයෙහි සඳහන් පරිදි පෘථග්ජනයා නූගතෙකි. එනිසා මෙනෙහි කළ යුතු දහම් නොදනියි. මෙනෙහි නොකළ යුතු දහම් නොදනියි. ඒ නිසා හෙතෙම මෙනෙහි කළ යුතු දහම් මෙනෙහි නොකරයි. මෙනෙහි නොකළ යුතු දහම් මෙනෙහි කරයි. ආර්ය ශ්‍රාවකයා මෙනෙහි කළයුතුª දහම් දනියි. මෙනෙහි නොකළ යුතු දහම් දනියි. ඒ නිසා හෙතෙම මෙනෙහි කළ යුතු දහම් මෙනෙහි කරයි. මෙනෙහි නොකළ යුතු දහම් මෙනෙහි නොකරයි.

මෙනෙහි නොකළ යුතු දහම් මෙනෙහි කරන විට කාමාසව, භවාසව, අවිජ්ජාසව වැඩෙයි. ඒ නිසා නූපන් කෙලෙස් ද හට ගනියි. උපන් කෙලෙස් දියුණු වෙයි. ඒ මගින් මිථ්‍යාදෘෂ්ටිය ඇති වෙයි. එහි ප්‍රතිඵලය වශයෙන් ඉපදීමෙන් මිදෙන්නට නොලැබෙයි. නැවත නැවත ඉපදෙමින් ජරා මරණාදී දුක්වලට නැවත නැවතත් පත්වෙයි. දුකින් මිදීමක් නොවෙයි. පෘථග්ජන බවෙහිම යළි යළිත් ගැළෙමින් සිටියි.

මෙනෙහි නොකළ යුතු දහම් මෙනෙහි නොකරන විට කාමාසව, භවාසව, අවිජ්ජාසව පහව යයි. ඒ නිසා උපන් කෙලෙස් නැතිවෙයි. නූපන් කෙලෙස් හට නොගනියි.

ඒ නිසා සම්‍යක්දෘෂ්ටිය ඇතිවෙයි. එහි ප්‍රතිඵලය වන්නේ උපත නැතිවීමයි. නැවත නැවත ඉපදෙමින් ජරා මරණාදී දුකට නැවත නැවතත් පත්වීමට සිදුනොවෙයි. දුකෙන් මිදීමට පුළුවන් වෙයි. මෙය ක්‍රමානුකූ®ලව සිදුවන්නකි. සම්‍යක් දෘෂ්ටියෙන් යුක්තව ලෝකය දකින තැනැත්තාගේ සක්කායදිට්ඨිය පහව යයි. විචිකිච්ඡාව පහව යයි. සීලබ්බත පරාමාසය පහව යයි. මේ සංයෝජනය ඉවත් වීමෙන් හෙතෙම සෝතාපන්න ඵලයට පත්වෙයි. එවිට හෙතෙම අචල ශ්‍රාවකයෙකි. ආර්ය මාර්ගයෙහි නොසෙල්වෙන තැනකට පත්ව සිටින්නෙකි.

වේදනා සම්බන්ධයෙන් මෙනෙහි කළයුතු හා මෙනෙහි නොකළ යුතු ආකාරයත් පෘථග්ජනයා හා ආර්ය ශ්‍රාවකයා වේදනා මෙනෙහි කරන දෙයාකාරයත් සවිස්තරව පෙන්වා දෙන අවස්ථාවක් සංයුක්ත නිකායේ සල්ල සූත්‍රයෙහි ඇතුළත් වී තිබේ. (සනි. 4, 394, සල්, සූත්‍රය)

දහම නොදත් පෘථග්ජනයාටත්, දහම දන්නා ආර්ය ශ්‍රාවකයාටත් යන දෙදෙනාටම සැප වූ ද, දුක් වූ ද, මධ්‍යස්ථ වූද වින්දන ලැබේ. එහෙත් මේ දෙදෙනා ඒ වින්දන විඳගන්නේ දෙයාකාරයකට ය.

පෘථග්ජනයාට දුක්ඛ දායක වින්දනයක් ලැබුණ විට හෙතෙම ශෝක කරයි. ක්ලාන්ත වෙයි. විලාප නගයි. ළෙහි අත් ගසා ගනියි. හඬමින් මහා අවුලකට පත්වෙයි. මෙසේ ඔහු දුක්ඛදායක වින්දන දෙකකට භාජනය වේ. ශාරීරිකව ලැබෙන දුක් වේදනා සහ ඒ ගැන සලකා මානසිකව ලබන දුක්වේදනා යනුවෙනි.මෙය හරියට තියුණු උලකින් අනිනු ලැබූ පුද්ගලයකුට දෙවන වරට ද උලකින් අනිනු ලැබීමක් වැනිය. මෙසේ දුක්ඛ වේදනාවට ලක් වූ පෘථග්ජන පුද්ගලයා ක්‍රෝධයක් ඇතිකර ගනියි. ඔහුගේ් යටි සිත තුළද ක්‍රෝධ ස්වභාවයක් ඇතිවෙයි. පටිඝානුස්සයක් ඇතිවේ.

මේ අයුරින් සිත තුළ අනුසය වශයෙන් පටිඝය (ක්‍රෝධය) ඇතිවීම නිසා, එයට විරුද්ධ වූ වින්දනයක් හෙවත් කාමසුඛයක් (එනම් පසිඳුරන් පිනවීමේ ආසාවක්) අපේක්ෂා කරයි. මේ නිසා සිතෙහි රාගානුසයක් තැන්පත් වේ. හෙතෙම වේදනා ඇතිවීම පිළිබඳවත්, වේදනා නැතිවීයාම පිළිබඳවත්, ඉන්ද්‍රිය ආස්වාදය ගැන හෝ එහි ආදීනව පිළිබඳවත් ඒ වේදනාවන්ගෙන් ඉවත්වීම පිළිබඳවත් තතු පරිදි කිසිවක් තේරුම් නොගනියි. මේ නොදැනීම නිසා අනුසය වශයෙන් අවිද්‍යාව සිතෙහි තැන්පත් වෙයි. මේ තැනැත්තා, ඒ නිසාම සැප වින්දනයක් හෝ මධ්‍යස්ථ වින්දනයක් විඳගන්නේ ද ඒ ඒ වින්දනයන්ට දැඩි සේ බැඳීම ඇතිව ය. එයට වහල්ව ය. උපතින්, ජරා මරණයෙන්, බැඳී සෝකපරිදේව දුක්ඛ දෝමනස්සයන් ගෙන් උපායාසයෙන් බැඳී සිටින මේ පුද්ගලයා මේ අයුරින් පෘථග්ජනයෙකි.

දහම උගත් ආර්යශ්‍රාවකයා ද දුක්ඛදායක වේදනා විඳියි. එහෙත් හෙතෙම ඒ අවස්ථාවේ දී ශෝක නොකරයි. ක්ලාන්ත නොවෙයි. විලාප නොනගයි. ළෙහි අත් ගසා නොගනියි. නොහඬයි. මහා අවුලකට පත් නොවෙයි. මේ නිසා හෙතෙම ශාරීරික වේදනා පමණක් විඳියි. මානසික වේදනාවනට පත් නොවෙයි. හෙතෙම පළමු උලෙන් පමණක් පීඩා විඳියි. දෙවන උලින් පීඩාවට ලක් නොවෙයි. දුක්, වේදනා නිසා ඔහු සිතේ පටිඝ (නුරුස්නා) සිතිවිලි පහළ නොවේ. සිත තුළ පටිඝ අනුසය තැන්පත් නොවේ. ඒ නිසා එයට ප්‍රතිවිරුද්ධව කාමසුඛ වින්දනයන් (ඉන්ද්‍රිය ආස්වාදයන්) අපේක්ෂා නොකරයි. ඉන්ද්‍රිය ප්‍රීණනයෙන් ලබන සුවයට වඩා වෙනස් ආකාරයකින් දුකෙන් මිදීමේ මඟක් අනුගමනය කරයි.

කාමසුඛ අපේක්ෂා නොකරන ඔහුගේ සිත තුළ රාගානුසයක් තැන්පත් නො වේ. වේදනාවන් ඇතිවන ආකාරය මෙන් ම නැති වී යන ආකාරය ද ඔහු දනියි. එයින් ලබන ආස්වාදය මෙන් ම එහි ආදීනවය ද දකින හෙතෙම එයින් මිදීමේ මඟ ද යථාභූතව වටහා ගනියි. මධ්‍යස්ථ වින්දනයන් පිළිබඳව ද අවිද්‍යා අනුසය ද සිතෙහි තැන්පත් නොවේ. සැප, දුක්, මධ්‍යසථ යන ත්‍රිවිධාකාර වින්දනයන් ම හෙතෙම ඒ වේදනාවන්ට නොබැඳී හෙවත් එයට වහල් නොවීම වින්දනය කරයි. මේ හේතුව නිසා ජාති, ජරා, මරණ සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාසයන්ට ගොදුරු නොවීම දහම දත් ආර්ය ශ්‍රාවකයාගේ ස්වභාවය යි. මේ අයුරින් පෘථග්ජනයාට වඩා වෙනස් අයුරකින් ආර්ය ශ්‍රාවකයා වින්දනයන් ලැබීම කරන බව පෙන්වා දිය යුතුය. දෙදෙනා අතර වෙනස මෙයයි.

ලෝක ස්වභාවයනට මුහුණ පාන ආකාරයේ ද පෘථග්ජන ආර්ය ශ්‍රාවක දෙදෙනාගේ වෙනස්කම් ප්‍රකට වේ. අංගුත්තර නිකායේ දුතිය ලෝකධම්ම සූත්‍රය (අනි. 5, 16- 20) මේ කරුණ මෙසේ පෙන්වා දෙයි.

ලෝකයාට මුහුණ දීමට සිදුවන ස්වභාව අටකි. 1 – 2 ලාභ - අලාභ, 3-4, අයස - යසස, 5 - 6. නින්දා - ප්‍රසංසා, 7- 8, සුඛ - දුක්ඛ යනුවෙනි.

පෘථග්ජනයාට ලාභ - අලාභ ආදියට මුහුණ දීමට සිදු වූ විට ඒ ලාභය හෝ අලාභය අනිත්‍යය, දුක්ය, වෙනස්වීමට පත්වේයැයි ඇති සැටියෙන් දැකීමට ඔහු අපොහොසත් වෙයි. ඒ උපන් ලාභය හෝ අලාභය ඔහුගේ සිත යටපත් කරගෙන සිටියි. ඔහු ලාභයේදී අනවශ්‍ය පරිදි උද්දාමයට පත් වෙයි. අලාභයේදී දැඩි ශෝකයට පත්වෙයි. මෙසේ ඔහු ලාභයේ දී ඇලෙයි. අලාභයේදී ගැටෙයි. මෙසේ ඇලීම්, ගැටීම් දෙකට පත්වන නිසා හෙතෙම ජාති, ජරා, මරණ ආදී දුකෙන් නොමිදෙයි. ඒ දුකෙහි ම ගැළෙයි. එහෙත් ආර්ය ශ්‍රාවකයා ගේ හැසිරීම ඊට හාත්පසින්ම වෙනස් ය. හෙතෙම තමාට ලැබුණ ලාභය ද අනිත්‍යය, දුක් ය, වෙනස්වන සුලු යැයි තතු සේ සලකයි. අලාභයද අනිත්‍යය, දුක් ය, වෙනස්වන සුලු යැයි තතු සේ සලකයි. මේ නිසා ආර්ය ශ්‍රාවකයා ලාභයෙහි නො ඇලෙයි. අලාභයෙහි නොගැටෙයි. ඇලීම් ගැටීම් දෙකට පත් නොවන ඔහු අනිත්‍යය දකින්නේ ජරා මරණාදී දුකෙන් නිදහස් වෙයි. මේ චර්යා රටා අනුව පෘථග්ජනයාගෙන් වෙන් කොට ආර්ය ශ්‍රාවකයා හැඳින ගත හැකියි. කිසියම් අරමුණක් ඉටුකර ගැනීම සඳහා අනුගමනය කරන ක්‍රියා මාර්ගයන්හිද පෘථග්ජනයාට වඩා විශාල වෙනසක් ආර්ය ශ්‍රාවකයා කෙරෙහි දක්නා ලැබෙන අයුරු පංච ඉට්ඨධම්ම සූත්‍රයෙන් (අනි. 3, 74) ප්‍රකට වේ.

භාග්‍යවතුන්වහන්සේ පෙන්වා දෙන හැටියට ආයුස, වර්ණය, සැපය, යශස හා සුගතිය යන කරුණු පහ මිනිසාට ඉෂ්ට වූද මිනිසා කැමැති වන්නා වූද සිත් අලවන්නා වූද එහෙත් ලෝකයේ දුර්ලභ වූ ද අරමුණු ය. මේවා ආයාචනයෙන්වත් ප්‍රාර්ථනාවෙන්වත් ලබා ගැනීමට නුපුළුවන. ඒ නිසා මේවා ලබා ගැනීමට යාඥා කිරීමවත්, ප්‍රාර්ථනා කිරීමවත් කළ යුතු නැත. එසේ කිරීමෙන් මේවා ලබාගත හැකි නම් මේ ලෝකයේ මේවා නොලබා සිටින්නෝ කවුරුද? එහෙත් පෘථග්ජන මිනිසාගේ ස්වභාවය මේ දේවල් ලබා ගැනීම සඳහා යාඥා කිරීමය. නැතහොත් ප්‍රාර්ථනා කිරීමය. ආර්ය ශ්‍රාවකයා නම් මෙයට වෙනස් වූ ක්‍රමයක් අනුගමනය කරයි. ඒ කුමක් ද?

කිසියම් ආර්ය ශ්‍රාවකයකුට ආයුෂ හෝ අනෙක් අවශ්‍ය දෙයක් ඇත්නම් හෙතෙම ඒ අරමුණ කරා ළඟා විය හැකි මාර්ගය කුමක්දැයි පළමුව සොයා බලයි.

ඉන්පසු ඒ මාර්ගයෙහි නොනැවතී ඉදිරියට ගමන් කරයි. එනම්, එයට අදාළ ප්‍රතිපත්තිය අනුගමනය කරයි. එසේ කිරීමෙන් නිවැරැදිව අරමුණ ඉටුකර ගනියි. භාග සමත් වීමට ලෙඩ සුව වීමට, උසස් වීම් ලබා ගැනීමට, මිනිසුන් විසින් අද දවසේ ද අනුගමනය කරන නිරර්ථක ව්‍යායාම පෙනෙන විට ඔවුනගේ් පෘථග්ජන ස්වභාවය මැනැවින් ප්‍රකට වෙයි. පෘථග්ජන - ආර්ය ශ්‍රාවක වෙනස තේරුම් ගැනීමට ඔවුන්ගේ දර්ශනය, ආකල්ප, චර්යා රටා පිළිබඳ පෙළ දහමෙහි ඇතුළත් බොහෝ කරුණු අතුරින් කිහිපයක් පමණක් මෙහිදී සාකච්ඡාවට ගැනිණි. ආර්ය මාර්ගයෙහි දැනට අප පැමිණ සිටින තැන වටහා ගැනීමට එය ප්‍රමාණවත් විය හැකි ය.

නිකිණි අව අටවක පෝය


නිකිණි අව අටවක පෝය අගෝස්තු 23 වන දා සෙනසුරාදා අපර භාග 6.26 ට ලබයි. 24 වනදා ඉරිදා අපර භාග 4.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 24 වන දා ඉරිදා ය.
 

මී ළඟ පෝය අගෝස්තු 30 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 24

New Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 14

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]