UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

වයසින් වෙනස් නොවූ අවබෝධයේ වෙනස

අක්කොච්ඡි මං අවධි මං
අජිනි මං අහාසි මේ
යේ තං උපනය්හන්ති
වේරං තේසං න සම්මති

මේ ගාථා ධර්මය, ධම්මපදයේ පළමු වන යමක වග්ගයේ තුන් වැන්නයි.

තේරුම් ගැනීමේ පහසුව සලකා එහි පද පිළිවෙළ හෙවත් අන්වය ,මෙසේ පෙළගස්වා ගත හැකි ය.

“මං අක්කොච්ඡි. මං අවධි. මං අජිනි, මේ ආහාසි, යේ තං උපනය්හන්ති, තේසං වේරං න සම්මති.”

පදගතාර්ථය අනුව එහි මූලික තේරුම මෙසේ පැහැදිලි කළ හැකි ය.

මං අක්කොච්ඡි = (අසවලා) මට ආක්‍රෝශ කළේ ය. හෙවත් රළු පරළු බසින් බැන්නේ ය.

මං අවධි = මට වධ වේදනා දුන්නේ ය. හෙවත් පහර දුන්නේ ය, ගැසුවේ ය, මං අජිනි මා පැරදවී ය. මේ අහාසි = මගේ දේ පැහැර ගත්තේ ය. හෙවත් උදුරා ගත්තේ ය. යේ තං උපනයහන්ති = යමෙක් එය ක්‍රෝධ සිතින් අල්ලා ගනියි ද, තේසං වේරං න සම්මති = ඔවුන්ගේ (ඒ) ක්‍රෝධ හෙවත් වෛර සිත සමනය හෙවත් තැන්පත් නොවෙයි.

දැන්, ඉතා සරල බසින් මේ ගාථා ධර්මය, මෙසේ තේරුම් ගත හැකි ය. අසවලා මට බැන්නේ ය. මට පහර දුන්නේ ය. මා පැරදවී ය. මගේ දේ පැහැර ගත්තේ යැයි යමෙක් වෛර සිත් බැඳ ගනිත් ද, ඔවුන්ගේ ඒ වෛර සිත සමනය නොවේ.

මේ ගාථා ධර්මයෙන් දැක්වෙන නොසංසිඳෙන වෛරය හටගන්නා අයුරු විවරණය කරනු පිණිස ධම්මපදට්ඨ කථාවේත්, එය ම යළි අටුවා කරමින් සද්ධර්මරත්නාවලියේත් ඉදිරිපත් කර ඇත්තේ ථුල්ලතිස්ස හාමුදුරුවන් පිළිබඳ කථාන්තර යි. එය බෙහෙවින් හුරු පුරුදු කතාවකි.

ථුල්ලතිස්ස තෙරණුවෝ බුදුරදුන්ගේ කිට්ටු නෑයෙකි. එනම් සුදොවුන් රජුගේ නැඟණියකගේ පුතෙකි. පැවිදි වූයේ කල් ගතව වූවත්, බුදු රදුනට ඇති නෑකමින් උදම්ව හැසුරුණේ, නැණ ගුණ පිරි මහ තෙර නමක ලෙස පෙන්වා ගෙන ය.

මේ නිසා භික්‍ෂූන් වහන්සේ සමඟ ආරවුලක් ඇති කර ගත් උන්වහන්සේ වෙනත් භික්‍ෂූන් වහන්සේ නමක් තමන්ට නින්දා කළහයි බුදුරදුනට පැමිණිලි කළහ. තතු විමසා බැලූ බුදුහිමියෝ වරද ථුල්ලතිස්ස තෙරුන්ගේ මයැයි වදාරා උන්වහන්සේට අනෙක් භික්‍ෂූන්ගෙන් සමාව අයදින ලෙස දැන්වූහ.

ථුල්ලතිස්ස තෙරණුවෝ බුදුරදුන් කීවත් සමාව නොයැද්දෝම ය. එලෙසින් ඒ හිමියෝ බුදු හිමියනට ද අකීකරු වූහ. බුදුරදුන්ටත් අකීකරු වූ උන්වහන්සේගේ ම ගිහි නෑයා ගැන අනෙක් භික්‍ෂූන් වහන්සේ මවිතය පළ කළහ.

එවිට බුදු හිමියෝ බද්ධ වෛරය දිගින් දිගටම ගෙන යෑමේ අනර්ථය පැහැදිලි කරමින්, බණක් දෙසා වදාළ සේක.

වෛරයෙහි අනර්ථය, ගිහි, පැවිදි භේදයෙන් තොර ය. කවර භේදයකින් වුවත් තොර ය. කවුරුන් කාට වෛර කළත්, එහි විපාක කළ කළවුනට ම ,කළ කළ පමණින් විඳින්නට සිදු වෙයි. කර්මයෙහි ස්වභාවය එබඳුය. ථුල්ලතිස්ස හිමියෝ, එහි ලා බණ පොතින් උපුටා ගත හැකි අපූර්ව උදාරහණයකි.

ථුල්ලතිස්ස තෙරුන්ගේ චරිතයෙන් බිඳක්, ධර්මසේන හිමියන් සද්ධර්ම රත්නාවලියේ දක්වන්නේ මෙසේ ය.

“ඔබ වැළිත් ගොයම් කළමනා වක තබා පියා, කල් පසු කොට කරන ගොයමක් සේ, පිළිවෙත් පිරීමට යෝග්‍ය වූ බාල අවස්ථාව ගිහිගෙයි ම රඳා, වැඩිමාලු කළ මහණව, රූක්‍ෂ ප්‍රතිපත්ති නමැති රළු පරළු දෙය හැර, බුදුන්ට උපන් මියුරු ආහාර සුව සේ වළඳා, පිළිවෙතින් සීන් වූවත්, මසින් ලෙයින් මහත්ව,ඉසක් බඩත් මහත් හෙයින් ථුලතිස්ස තෙරුන් වහන්සේ යැයි ප්‍රසිද්ධව මටසිලුටු වූ සීන් සිවුරු වැළඳ පියා ආඪ්‍ය තරම් හඟවනු නිසා විහාර මධ්‍යයෙහි බොහෝ තැන් රැස් වන හෙයින්, උස්ව තිබෙන හස්නකට නැඟ පියා බොහෝ සේ හිඳිනා සේක.”

ළකුණ්ටක භද්දිය තෙරුන් වහන්සේගේ නැණ ගුණ මහිමය දඹදෙණි යුගයේ විසූ ධර්මසේන හිමියෝ, සද්ධර්මරත්නාවලියේ මෙසේ දක්වන සේක.

“ඔබගේ තරම් නොදන්නා පෘථග්ජන බාල වහන්දෑත්, සාමණේර වහන්දෑත් ඔබ දුටු කළ කන් රොඹුවත් අල්ලාගෙන කුමක් ද කුඩා පියාණන් වහන්ස, සස්නෙහි උකටලී නැද්දැයි උන්වහන්සේ රහත් නියාව නොදන්නා හෙයින් වෙහෙසනු නියා මෙසේ කියන දෑ ය. තෙරුන් වහන්සේ එතැන් හැම කුමක් කියතක්, අලපත, නෙළුම්පත ඔත් දියත්තක් මෙන් සිත උරණක් නැති හෙයින් මුසුප්පු නොවන සේක.”

නිකිණි අව අටවක පෝය


නිකිණි අව අටවක පෝය අගෝස්තු 23 වන දා සෙනසුරාදා අපර භාග 6.26 ට ලබයි. 24 වනදා ඉරිදා අපර භාග 4.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 24 වන දා ඉරිදා ය.
 

මී ළඟ පෝය අගෝස්තු 30 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 24

New Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 14

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]