UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

අමරපුර මහා නිකායේ අඹගහපිටි පාර්ශ්වයේ වයඹ පළාතේ ප්‍රධාන සංඝ නායක පදවියෙන් හා ‘ගුණරතන කීර්ති ශ්‍රී සීලාලංකාර පඤ්ඤාතිලක’ ගෞරව නාමයෙන් පිදුම් ලද

නාත්තන්ඩියේ සිරිනිවාස තිස්ස නා හිමියන් වෙත අක්තපත්‍ර ප්‍රදානය හලාවත විජයාරාමයේ දී 24 වන දා සවස 3ට

1969 වර්ෂයේදී තම ආචාර්ය නා හිමිපාණන්ගේ ඇවෑමෙන් හලාවත විජයාරාමයේ අධිපතිධූරයට පත් වූහ.

1956 දී ශ්‍රී සීලාලංකාර දහම් පාසල ආරම්භ කොට අවුරුදු පනහක තරම් දීර්ඝ කාලයක් එහි ප්‍රධානාචාර්ය ධූරය දරමින් අමිල සේවාවක් කළ උන්වහන්සේ එහි පනස්වන සංවත්සර උත්සවය ඉතා උත්කර්ෂවත් අයුරින් පැවැත්වූහ. හලාවත ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි ස්වාමීන් වහන්සේ ලෙස අවුරුදු කීපයක්ම සේවය කළහ. මෙම ප්‍රදේශයේ බෞද්ධ ආගමික හා සමාජීය මෙහෙයුම් සියල්ලන්ගේ් මුලසුන හොබවති. හලාවත සණස බැංකු ශාඛාවේ සභාපති වශයෙන් කටයුතු කරමින් රටේ සංවර්ධනය උදෙසා මහඟු සේවාවක් ලබා දෙමින්ද, පුත්තලම් දිස්ත්‍රික් මානව හිමිකම් කමිටුවේද සභාපතිවරයා ලෙස ක්‍රියාශීලි දායකත්වයක් ලබා දෙති.

පුත්තලම් දිස්ත්‍රික්කයට අයත් රමණීය වූ පොල්වතු හා කෙත් යායන්ගෙන් හෙබි අඹගහවාඩිය නම් ග්‍රාමයේ 1928 අපි‍්‍රයෙල් මස 28 දින ජන්මලාභය ලැබූ මෙම පින්වත් කුමරා ජේමිස් අප්පුහාමි බණ්ඩාරනායක අප්පුහාමි සහ ගුණරත්නහාමිනේ යන දම්පතීන්ගේ කනිෂ්ට පුත්‍රරත්නය සිරිසේන අප්පුහාමි බණ්ඩාරනායක නම් විය. කුඩාකළ පටන් ආගම දහමට නැඹුරු වූ මෙම දරුවා මාපියන්ගේ අවසරය පරිදි වත්මන් හලාවත ආනන්ද ජාතික පාසලේ නිර්මාතෘ වූ බෝලගල සීලාලංකාර නාහිමියන්ගේ ශිෂ්‍ය රත්නය ලෙස 1945 ඔක්තෝබර් 29 දින පැවැදි වූහ.

එවකට පරම විඥානාර්ථ බෞද්ධ සමාගමේ පාලනය යටතේ පැවැති හලා/ විජය බෞද්ධ මිශ්‍ර පාඨශාලාවෙන් අධ්‍යාපනය ලද ප්‍රථම කණ්ඩායමට ඇතුළත් වීම සුවිශේෂී කරුණක් විය. එවකට මුල්ගුරු වශයෙන් සේවය කළ සී.ඒ. රන්දෙනි මහතාගේ් මඟ පෙන්වීම යටතේ එම විදුහලින් ප්‍රාරම්හ විභාගය සමත් විය.

උසස් දහම් අධ්‍යාපනය සඳහා පල්ලේවෙල වික්‍රමශීලා පිරිවෙනට ඇතුළත්ව එහි අධ්‍යාපන කටයුතු නිමවා වාද්දුව මොල්ලිගොඩ ශ්‍රී ප්‍රවචනෝදය මහ පිරිවෙනට ඇතුළත් වී ලබුගම ලංකානන්ද මහානිහිමයන් වෙතින් පාලි සංස්කෘත ආදී භාෂා පිළිබඳ පරිචයත් ලබා ප්‍රාචීන මධ්‍යම යන විභාග සමත් විය. ස්වකීය අධ්‍යාපන කටයුතු නිම කිරීමෙන් පසු 1951 මැයි මස 25 දින හලාවත කලපුවේ මහපාලම අසල උදකුක්ඛෙප සීමා මාලකයේදී අමරපුර මහා නිකායේ අඹගහපිටි පාර්ශ්වයේ මහනායක උදම්විට සිරිධම්ම රක්ඛිත තිස්සාභිධාන නායක ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය වෙතින් උපසම්පදාව ලැබ හලාවත ශ්‍රී විජයාරාමයේදී ස්වකීය මංගල ධර්මදේශනය පැවැත්වුහ. නාත්තන්ඩියේ සිරිනිවාස තිස්ස නාහිමිපාණන් වහන්සේ කුලියාපිටිය වෑකන්දේ ශ්‍රී ලෝකානන්ද පිරිවෙනේ ආරම්භක පරිවේනාධිපති වශයෙන්ද එහි දියුණුවට ඉමහත් සේවයක් කළහ. එමෙන්ම යාපනය කන්දරොඩෙයි හින්දු විද්‍යාලයේ සිංහල විෂය භාර ගුරුවරයා ලෙස දමිළ සිසුන්ගේ් සිංහල භාෂා දැනුම වර්ධනය සඳහා විශාල සේවාවක් කළහ.


තෙරුවන් ආසිරි පතමු

හලාවත ශ්‍රී විජයාරාම විහාරස්ථානය ප්‍රධාන විහාරස්ථාන කීපයක අධිපති ධූරය හොබවන නාත්තන්ඩියේ සිරිනිවාස තිස්ස නා හිමිපාණන් වහන්සේ සිදු කරන ආගමික හා සාමාජික සේවාවනට උපහාර කිරීමක් වශයෙන් අමරපුර මහනිකායේ අඹගහපිටිය පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක මාහිමියන් වහන්සේ ප්‍රධාන විංශත් වර්ගික කාරක සංඝ සභාව වෙතින් වයඹ පළාතේ සංඝනායක ධූරය පිරිනමා තිබේ.

නාත්තන්ඩියේ සිරිනිවාස නා හිමිපාණන් වහන්සේ සසරදී පින් කළ උතුමෙකි. උන්වහන්සේ නිරෝගීමත් ය. ක්‍රියාශීලී ය. ආගමික සාමාජික කටයුතු වලට උනන්දුවෙන් සහභාගි වෙති. දහම් පාසල් සිසු සිසුවියන්ගේ දහම් අධ්‍යාපනය කෙරෙහි ඇල්මක් දක්වති. තමන් වහන්සේ ගෙන යන ශාසනික හා සාමාජික ක්‍රියාදාම ඉදිරියට පවත්වාගෙන යාමට සුදුසු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ පැවිදි උපසම්පදා සම්පත්තියෙහි පිහිටුවා අධ්‍යාපනය ලබාදෙමින් අනාගත සසුන බැබළවීමට මූලික වී ක්‍රියාකරති. විහාරස්ථානයේ අභිවෘද්ධිය සලසා තිබේ.

කෙටියෙන් සඳහන් කරන්නේ නම් ආචාර්ය ස්වාමීන් වහන්සේ නමකගෙන් බලාපොරොත්තු විය යුතු සෑම වගකීමක්ම අවබෝධ කරගෙන ආදර්ශවත් වෙමින් ගිහි පැවිදි සියලු දෙනාටම අනුශාසනා ලබාදෙති.

පළාතේ ආගමික සහයෝගීතාව සඳහා මූලික වී ක්‍රියා කරති. මේ මහඟු සේවාවනට උපහාර පිණිස පිරිනැමූ වයඹ පළාතේ ප්‍රධාන සංඝ නායක ධූරය හොබවමින් කටයුතු කිරීමට මුන් වහන්සේට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාද ලැබේවා.


දායකත්වය ප්‍රශංසනීයයි

හලාවත ශ්‍රී විජයාරාමාධිපති නාත්තන්ඩියේ සිරිනිවාස නායක ස්වාමීන් වහන්සේ වෙත වයඹ පළාතේ සංඝනායක පදවිය පිරිනමා ඇති බව දැන ගැනීමෙන් සතුටට පත්වූයෙමි.

උන්වහන්සේගේ කැපවුණු දිවිපෙවත තුළ බොහෝ කාලයක් මුළුල්ලේ මෙම ප්‍රදේශයට ඉමහත් සේවාවක් ඉටු වී ඇත. විශේෂයෙන්ම පුත්තලම් දිස්ත්‍රික්කය තුළ සාමය හා සමගිය ගොඩනැගීම සඳහා උන්වහන්සේගෙන් ලද දායකත්වය ප්‍රශංසනීය වේ.

උන්වහන්සේට පිරිනමන ලද මෙම සංඝනායක පදවිය තම ආගමික හා සමාජීය කටයුතු තවත් පුළුල් ලෙස සිදුකර ගෙන යාමට පාදක වනවා නොඅනුමානය.

සිරිනිවාස නායක ස්වාමීන්වහන්සේට මාගේ සුභාශිංසනය පුදකරන අතර බහුල වූ දේවාශිර්වාදය ප්‍රාර්ථනා කරමි.


ජනතා යහපත වෙනුවෙන් ඉටු කළ සේවා සිහිපත් කරමු

හලාවත ශ්‍රී විජයාරාමාධිපති ගෞරවාර්භ නාත්තන්ඩියේ සිරිනිවාස නායක ස්වාමීන්වහන්සේ වෙත, ‘ගුණරතන කීර්ති ශ්‍රී ශීලාලංකාර පඤ්ඤාතිලක’ යන ගෞරව නාම සම්මුතිය සමඟ “වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක” ධූරය පිරිනමා ඇති බව ඇසීමෙන් මම බලවත් සතුටට පත්වීමි.

වර්ෂ 1928 දී මොලොව ජන්ම ලාභය ලැබූ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ පුරා වසර 63 ක උතුම් ශාසන ප්‍රතිපදාවේ නිරත වෙමින්, ජනතාවගේ යහපත වෙනුවෙන් ඉටුකරන ලද සේවා, කෘතගුණ පූර්වකව සිහිපත් කිරීමට කැමැත්තෙමි.

හලාවත විජය විද්‍යාලය පුනර්ජීවනය කිරීමේදී මහඟු මෙහෙවරක් ඉටුකළ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ, ඒ තුළින් විශාල දරු පිරිසකට අධ්‍යාපන මං පෙත් විවර කරදීමට සමත් වූහ.

දක්ෂ දේශකයෙකු මෙන්ම කාරුණික හදවතක් ඇත්තෙකු ලෙස ජනතාව අතර අප්‍රමාණ ගෞරවාදරයට පත් උන්වහන්සේ තම විහාරස්ථානය වෙනුවෙන් ඉටුකර ඇති මහඟු සේවා විශාලය.

ගෞරවනීය නායක ස්වාමීන්වහන්සේ වෙත මෙම තනතුර පිරිනැමීම අතිශය කාලෝචිත ක්‍රියාවක් ලෙස මම සලකමි.

වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක ‘ගුණරතන කීර්ති ශ්‍රී ශිලාලංකාර පඤ්ඤාතිලක’ ගෞරවාර්භ නාත්තන්ඩියේ සිරිනිවාස නායක ස්වාමීන් වහන්සේට ශාසනික සාමාජීය සියලු කටයුතු තවදුරටත් කරගෙන යාමට අවශ්‍ය ශක්තියත්, කායික මානසික සුවයත්, චිර ජීවනයත් තෙරුවන් සරණින් ලැබේවා’යි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.


ශාසනික හා සමාජයීය සේවාව අමිල ය

වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය හලාවත ශ්‍රී‍්‍ර විජයාරාමාධිපති අතිපූජ්‍ය නාත්තන්ඩියේ සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ වෙත පිරිනැමීම පිළිබඳව මම බෙහෙවින් සතුටට පත්විමි.

වසර 50 ක් තරම් දීර්ඝ කාලයක් තිස්සේ හලාවත විජයාරාමයේ ශ්‍රී සීලාලංකාර දහම් පාසලේ ප්‍රධාන ආචාර්ය හිමියන් වශයෙන් සේවය කරමින් ප්‍රදේශයේ දුවා දරුවන්ගේ ධර්මඥානය දියුණු කිරීමෙහිලා සුවිශාල වූ කාර්යභාරයක් ඉටුකර තිබීම සතුටට කරුණකි.

හලාවත විජයාරාමයේ විහාරාධිපති ධූරයද දිස්්ත්‍රික් මානව හිමිකම් කමිටුවේ සභාපති ධූරයද හොබවමින් විවිධ සමිති සමාගම්වල නිලතල හොබවමින් ප්‍රදේශයේ සංවර්ධනය උදෙසා ප්‍රමුඛ ව කාර්යභාරයක් උන්ව හන්සේ විසින් ඉටුකර ඇත.

සුපේෂල ශික්ෂාකාමි දිවි පෙවෙතක් ගතකරන බුද්ධ පුත්‍රයෙකු වූ සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ වෙතින් ඉටුවන ශාසනික හා සමාජීය සේවා අමිලය.

සාරධර්ම පිරි සමාජයක් බිහිකිරීම සඳහා දහම් පාසල් අධ්‍යාපනය දියුණු කිරීමට ඔබවහන්සේ ගේ අවවාද අනුශාසනා අද දවසේ මහෝපකාරි වෙයි.

අතිපූජ්‍ය නාත්තන්ඩියේ සිරිනිවාස නා හිමිපාණන් වහන්සේට රට දැය වෙනුවෙන් තව තවත් උදාර සේවාවක නියැළීම සඳහා අවශ්‍ය ශක්තිය, ධෛර්යය, වීර්යය හා නිදුක් නිරෝගී සුවය අත්වේවා යි මම ඉතසිතින් ප්‍රාර්ථනා කරමි.


මහ මෙහෙවරට උපහාරයක්

පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත නගර මධ්‍යයේ පිහිටි ශ්‍රී විජයාරාමය ප්‍රදේශයේ ප්‍රධාන බෞද්ධ සිද්ධස්ථානයකි. එහි වත්මන් විහාරාධිපති නාත්තන්ඩියේ සිරිනිවාස හිමිපාණන් වහන්සේ විසින් කරනු ලබන ශාසනික හා ජාතික සමාජ මෙහෙවරට උපහාරයක් වශයෙන් අමරපුර මහා නිකායේ අඹගහපිටි පාර්ශ්වයේ අතිගරු මහානායක මාහිමි ප්‍රමුඛ මහා සංඝ සභාව මගින් වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක ධූරය පිරිනමා ඇත. අභිනව සංඝනායක පූජ්‍ය නාත්තන්ඩියේ සිරිනිවාස තිස්ස මාහිමිපාණන්වහන්සේ වෙත අක්තපත්‍ර ප්‍රදානය කිරීමේ උත්සවය නිමිත්තෙන් සුබ පැතුම් පණිවිඩයක් එවන්නේ සතුටිනි.

නාත්තන්ඩියේ අඹගහවාඩියේ ජේමිස් අප්පුහාමි බණ්ඩාරනායක මැතිතුªමාගේ සහ ගුණරත්න හාමිනේගේ් පුත් රුවනක් ලෙස 1928 අපේ‍්‍රල් 20 වන දින සිරිසේන නමින් මෙලොව එළිය දුටු මේ සුරතල් දරුවා පාසල් යන වයස එළඹෙත්ම හලාවත විජය විද්‍යාලයට ඇතුළත්ව අකුරු කිරීම ආරම්භ කළ අතර දක්ෂ ශිෂ්‍යයෙකු ලෙස දෙටු පෙළ සමත් විය. 1945 ඔක්තෝම්බර් 29 වන දා සසුන් බිමට පිවිස හලාවත ශ්‍රී විජයාරාමාධිපතිව වැඩ විසූ බෝලගල ශ්‍රී සීලාලංකාර ස්වාමීන් වහන්සේ ගේ ශිෂ්‍යයෙකු ලෙස සාමණේර බණ දහම් පැවිදි වත් පිළිවෙත් මැනවින් ප්‍රගුණ කළ උන්වහන්සේ 1951 මැයි මස 25 වන දා උපසපන් අධි සිල් ලදහ. පාලි සංස්කෘත ආදී භාෂා පිළිබඳ මනා අධ්‍යාපනයක් ලද උන්වහන්සේ ප්‍රාචීන මධ්‍යම විභාගයෙන් සමත් වූ සේක.හලාවත ආනන්ද විද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස සේවා ඇරඹූ උන්වහන්සේ කුලියාපිටිය, වෑකන්දේ ශ්‍රී ලෝකානන්ද පිරිවෙනේ ආරම්භක පරිවේණාධිපති වශයෙන් යාපනයේ කන්රොඩෙයි හින්දු විද්‍යාලයේ සිංහල විෂය බාර ගුරුවරයෙකු වශයෙන් ද ඉමහත් සේවාවක් කර ඇති බව සඳහන් කරනුයේ සතුටිනි. 1969 දී ආචාර්ය බෝලගල ශ්‍රී සීලාලංකාර හිමිපාණන් ඇවෑමෙන් හලාවත ශ්‍රී විජයාරාමයේ විහාරාධිපති ධූරයට පත් වූ සේක.

අතිශය නිරහංකාර ගුණයෙන් හෙබි වයෝවෘද්ධ ගුණෝවෘද්ධ, තපෝවෘද්ධ සිරිනිවාස නාහිමිපාණෝ ව්‍යක්ත ධර්ම කථිකයෙකි. පුත්තලම දිස්ත්‍රික්කයේ මානව හිමිකම් කමිටුවේ සභාපතිවරයා ද වෙති. ප්‍රදේශවාසී දූ දරුවන්ට දහම් දැනුම ලබාදීමේ අරමුණින් 1956 දී ශ්‍රී සීලාලංකාර දහම් පාසල ආරම්භ කොට අවුරුදු පනහක් තරම් දීර්ඝ කාලයක් එහි ප්‍රධානාචාර්යවරයා ලෙස කටයුතු කරමින් පන්සිල් සුරකින දැහැමි සමාජයක් ගොඩනැගීමට උන්වහන්සේ කර ඇති සේවය ප්‍රශංසනීයයි. පුත්තලම දිස්ත්‍රික්කයේ බොදු පොදු ජනතාවගේ යහපත උදෙසා කළ සේවය අගයා වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක ධූරයෙන් පිදුම් ලබන නාත්තන්ඩියේ සිරිනිවාස මහ නාහිමිපාණන් වහන්සේ තෙරුවන් සරණින් සියලු දෙවි රැකවරණින් ලෝ සසුන වැඩ පිණිස දිගාසිරි ලබත්වා.


පදවි ප්‍රදානය පැසසිය යුතුයි

වයඹ පළාතේ පමණක් නොව මුළු මහත් ලක්වාසීන්ගේම හිත සුව පිණිස ශාසනික මෙහෙවරක් ඉටුකරන අප නාහිමිපාණන් වහන්සේ විචිත්‍ර ධර්ම කථිකයෙකි.

හලාවත ශ්‍රී විජයාරාම විහාරයේ විහාරාධිපති ධූරය හොබවමින් උන්වහන්සේ තම ප්‍රදේශයට අනුපමේය මෙහෙවරක් ඉටුකොට ඇති බව පෙනී යයි.

මෙවන් ශාසනික, සමාජයීය මෙහෙවරක් ඉටුකරමින් කා අතරත් ජනාදරයට පාත්‍ර වූ පූජ්‍ය නාත්තන්ඩියේ සිරිනිවාස නායක ස්වාමීන් වහන්සේ වෙත ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ අඹගහපිටි පාර්ශවයේ අතිපූජ්‍ය මහානායක හීනටියන පොත්ගුල් විහාරාධිපති හීනටියන නන්දතිස්ස ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ කාරක සංඝ සභාව විසින් වයඹ පළාතේ සංඝනායක පදවිය පිරිනැමීම පැසසිය යුතුය. මෙවන් උදාර මෙහෙවරක නිරතවෙමින් ශාසනයේ දියුණුව උදෙසා ක්‍රියාකරන අප නාහිමියන්ට දීර්ඝායුෂ පතමු.


උතුම් සේවා අගැයීමේ පින්කමක්

ශ්‍රී ලංකා අමරපුර නිකායේ අඹගහපිටි පාර්ශ්වයේ අතිපූජ්‍ය මහානායක හීනටියන පොත්ගුල් විහාරාධිපති හීනටියන නන්ද තිස්ස නාහිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කාරක සංඝ සභාව විසින් හලාවත ශ්‍රී‍්‍ර විජයාරාමධිපති පූජ්‍ය නාත්තන්ඩියේ සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ වෙත වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය සහ ‘ගුණරතන කීර්ති ශ්‍රී සීලාලංකාර පඤ්ඤාතිලක’ යන ගෞරවනාමයද සහිත පදවිය පිරිනැමීම පිළිබඳව මාගේ ගෞරවනීය වූත් පූජනීය වූත් සුභාශිංසනය පිරිනමමි. දීර්ඝ කාලයක් මෙම ප්‍රදේශයේ ශාසනික කටයුතු හා සමාජීය සභාසාධන කටයුතු පිළිබඳ අනුපමේය සේවාවක් සිදුකරමින් බෞද්ධ මෙන්ම කතෝලික ජනතාවගේද ප්‍රසාදයට පාත්‍රව සිටින අප නාහිමිපාණන් වහන්සේට මෙබඳු පදවියක් ලැබීම උන්වහන්සේගේ ඉදිරි පරහිතකාමි සේවාවට සහ ශාසන චිරස්ථිතියට මහඟු උපකාරයක් වන අතර එම සේවාවන් අගය කිරීමේ උතුම් පුණ්‍ය කර්මයක්ද වූ බව සඳහන් කරමි.


ශාසනික හා සමාජයීය කාර්යභාරයට ශක්තියක්

ගුණරතන කීර්ති ශ්‍රී සීලාලංකාර පඤ්ඤාතිලක යන ගෞරවනාමය පෙරදැරිව වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක ධූරයෙන් පිදුම් ලබන හලාවත ශ්‍රී විජයාරාමාධිපති ගෞරවාර්භ නාත්තන්ඩියේ සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ වෙත මගේ උණුසුම් සුභාශිංසනය පළ කරමි. දශක හයක් අභිබවා විහිදෙන උන්වහන්සේගේ උතුම් වූ පැවිදි දිවිය තුළ ඉටු කර ඇති ප්‍රශස්ත ශාසනික හා සමාජීය කාර්යභාරය පිළිබඳව නමස්කාරපූර්වකව සිහිපත් කිරීමට මෙය අවස්ථාවක් කර ගනිමි. භික්ෂූ අධ්‍යාපනය උසස් ලෙස නිම කිරීමෙන් අනතුරුව ප්‍රකට විදුහල් කීපයකම ආචාර්යවරයෙකු ලෙස කටයුතු කර ඇති උන්වහන්සේ කුලියාපිටිය වෑකන්දේ ශ්‍රී ලෝකානන්ද පිරිවෙනෙහි ආරම්භක පරිවේනාධිපතින් වහන්සේ වූහ. උන්වහන්සේ විසින් වසර 1956 දී අරඹන ලද ශ්‍රී සීලාලංකාර දහම් පාසලට අඩ සියවසක් පිරීම හා එකී කාලය මුළුල්ලේ ම උන්වහන්සේ එහි ප්‍රධානාචාර්ය ධූරය හෙබවීම සුවිශේෂ සිද්ධියකි. පුත්තලම දිස්ත්‍රික් මානව හිමිකම් කමිටුවේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරන සිරිනිවාස නාහිමිපාණන් වහන්සේ වෙත පිදෙන මෙම අභිනව ප්‍රධාන සංඝනායක ධූරය උන්වහන්සේ අතින් ඉටුවන සද් කාර්යභාරයන්ට උපහාරයක්ම වනු ඇත.


සේවාව සුවිශාලයි

මහින්දාගමනයෙන් පසු මෙරට ආගමික, ජාතික, පුනර්ජීවනයක් ඇතිකිරීම උදෙසා මූලිකත්වය ගෙන කටයුතු කළේ භික්ෂූන් වහන්සේලා ය. භික්ෂූන්වහන්සේ සිදුකරන ජාතික, ආගමික, සමාජීය, අධ්‍යාපනික සේවය අගයමින් විවිධ තනතුරු ගෞරව නාම ප්‍රදානය කිරීම කාලෝචිත වැදගත් කටයුත්තකි. ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන් ක්‍රියාකළ දක්ෂ භික්ෂූන් වහන්සේලා උදෙසා බුද්ධ කාලයේ ද විවිධ තනතුරු පිරිනැමු බව ශාසන ඉතිහාසය තුළ දක්නට ලැබේ. හලාවත විජයාරාමාධිපති නාත්තන්ඩියේ සිරිනිවාස ස්වාමින් වහන්සේ විසින් පනස් වසරකට අධික පැවිදි ජීවිත කාලය තුළ සිදුකර ඇති ආගමික සාමාජික සේවාව අතිමහත් ය. හලාවත ශාසනාරක්ෂක මණ්ඩලයේ ලේඛකාධිකාරී ධූරය වසර කිහිපයක්ම හොබවා ඇති උන් වහන්සේ හලාවත ආනන්ද විද්‍යාලයේ ධර්මාචාර්යවරයෙකු වශයෙන් ද විශාල සේවාවක් සිදුකළහ. ප්‍රදේශයේ සිදුකරන ආගමික, ජාතික, සමාජීය සේවාවන් සැලකිල්ලට ගනිමින් ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අඹගහපිටිය පාර්ශවයේ මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ කාරක සංඝ සභාව මගින් වයඹ පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම ඉතා වැදගත් කටයුත්තක් සේ මම දකිමි.

නිකිණි අව අටවක පෝය


නිකිණි අව අටවක පෝය අගෝස්තු 23 වන දා සෙනසුරාදා අපර භාග 6.26 ට ලබයි. 24 වනදා ඉරිදා අපර භාග 4.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 24 වන දා ඉරිදා ය.
 

මී ළඟ පෝය අගෝස්තු 30 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 24

New Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 14

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]