UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

යුදඟනාවේ ඇසළ මහා මංගල්‍යය

ඌව - වෙල්ලස්සේ ඓතිහාසික යුදඟනා රජමහා විහාරයේ වාර්ෂික ඇසළ මහා පෙරහර අගෝස්තු මස 28, 29, 30 යන දිනයන් හිදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වේ. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

ලංකා ඉතිහාසය පිළිබඳ සිදුකරන කරුණු ගවේෂණයක දී ඌව පළාතට ඉතා වැදගත් තැනක් හිමිවෙයි. ප්‍රාග් ඓතිහාසික සමයන් හි පවා සශ්‍රීක ප්‍රදේශයක්ව පැවති ඌව පළාත ලංකා ඉතිහාසය පුරාම ජාතියට දිරිදුන් මිනිසුන් විසූ ප්‍රදේශයක් වූ බව ද ඓතිහාසික තොරතුරුවලින් තහවුරු වෙයි. පුරාතන යුගයන් හිදී ලක්නරපතියන් විසින් ඉදිකරවන ලද ඓතිහාසික බෞද්ධ ස්මාරක රාශියක්ම ඌව - වෙල්ලස්සේ මොණරාගල දිස්ත්‍රික්කය තුළ පිහිටා ඇත. මේ අතුරෙන් ඓතිහාසික යුදඟනාවට හිමිවනුයේ අද්විතීය ස්ථානයකි.

මොණරාගල - වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ වත්මන් බුත්තල නගරයේ සිට කි. මී. 02ක් පමණ නුදුරින් පිහිටි යුදඟනා චෛත්‍යය වූ කලී ලක්දිව දක්නට ලැබෙන සුවිසල් දැගැබ් කිහිපයෙන් එකකි. දැනට ඌව පළාතේ ඇති එකම විශාල චෛත්‍යය ද යුදඟනාව යි. නැඟෙනහිර දෙසින් මැණික් ගංගා තීරය ද, උතුරු දෙසින් පුහුල්ගල කඳුවැටිය ද, බටහිර දෙසින් යුදඟනා වැව හා කෙත්යාය ද, දකුණු දෙසින් බුත්තල නගරය ද මැදිවන සේ මෙම ඓතිහාසික යුදඟනාව පිහිටා ඇත.


ගල්ටැම්වත්තේ ශ්‍රී චන්දජෝති නා හිමි

පුරාණ ලක්දිව යුද ඉතිහාසය පිළිබඳ කරුණු ගවේෂණය කිරීමේදී යුදඟනාවට ප්‍රමුඛ ස්ථානයක් හිමිවෙයි. සිංහල රාජධානියේ අවසානය දක්වා රණ ශිල්පීන් ජාතියට සැපයූ මධ්‍යස්ථානය වූයේ, ඌව පුරවරය බව ප්‍රකට කරුණකි. මෙහිදී රටේ රාජ්‍ය තන්ත්‍රයට අවශ්‍ය වන යුද්ධ ශිල්පීන් පුහුණු කිරීම සිදුවූයේ ඌව - වෙල්ලස්ස යුදඟනාවේය. වංශකථාවේ සඳහන්ව ඇති පරිදි කාවන්තිස්ස රජු විසින් ස්වකීය බාල පුත්‍රයා වූ සද්ධාතිස්ස කුමරුට දීඝවාපී ජනපදයේ පාලනය පවරාදෙන ලදී. මෙහි දී ඔහුට වගකීම් දෙකක්ද පැවරිණි. උතුරේ අනුරාධපුර රාජධානියෙන් ආරක්‍ෂාව සැලසීම එයින් පළමුවැන්නයි. දෙවැන්න වූයේ, එම ප්‍රදේශයේ කෘෂි කාර්මික කටයුතු දියුණු කොට යුද්ධය සඳහා අවශ්‍ය ආහාර නිෂ්පාදන ක්‍රියාවෙහි නිරතවීමයි. යුද්ධය සඳහා අවශ්‍ය ආහාර නිෂ්පාදනය එලෙස සිදුවූ අතර යුද්ධ උපකරණ නිපදවීම ඌවේ යුදඟනාවේ සහ මලය රටේ කොත්මලේ වැනි ප්‍රදේශවල සිදුකළ බවට සාධක ඇත. මෙසේ නිපදවූ ආයුධවලින් සන්නද්ධව ඌව - වෙල්ලස්සේ යුදඟනාවෙන් එක්රැස් කොටගත් හමුදාව ද කැටුව රට, ජාතිය විදේශීය ආධිපත්‍යයෙන් මුදාගැනීමේ වීරෝදාර සටන සමඟ දුටුගැමුණු රජු ඉදිරියට ගියේද යුදඟනාව හරහා වැටී තිබූ මාර්ගය ඔස්සේය. එළාර සමඟ සිදුවූ එම සටන සඳහා ගිය සිංහල සේනාවට අවශ්‍ය දෑ සම්පාදනය කිරීම සිදුවූයේද යුදඟනාවේ ය.

රෝහණ රාජ්‍යයේ අගනුවර තිස්සමහාරාමය අසල පිහිටා තිබූ මාගම්පුරයට ගෙනයාමෙන් පසුව අනුරාධපුරය සහ රෝහණ රාජ්‍යය සම්බන්ධ කළ ප්‍රධාන මාර්ග දෙකක් පිළිබඳ ඉඟියක් 13 වන සියවසට අයත් සිංහල ථූපවංසයෙන් ලැබේ. එම මාර්ග දෙකම පැවැතියේ ඌව – වෙල්ලස්සේ යුදඟනාව හරහා ය. මේ අනුව විමසා බැලීමේ දී ඌවේ සිට අනුරාධපුරයට යාමට පමණක් නොව ඌව ප්‍රදේශය තුළදී යුද්ධ කටයුතු සංවිධානය කිරීම සඳහා ද මෙම මාර්ග පද්ධතිය උපකාර වන්නට ඇත. රටත්, ජාතියත්, ශාසනයත්, රැකගැනීමේදී කිසියම් ආපදාවක් සිදුවූයේ නම් ඒ සෑමවිටෙකදීම ඌව යුද පිටියක් වූ බව පෙනේ. ඌව - වෙල්ලස්ස පදනම් කරගත් මෙකී සටන් ව්‍යාපාරය විජයග්‍රහණය කළා මිසක කිසිදිනෙක පරාජිත නොවූ බව ඌවේ සටන් ඉතිහාසයෙන් පැහැදිලි වෙයි.

බුත්තල යුදඟනාව අයත්වන්නේ ඌව - වෙල්ලස්සට ය. දුටුගැමුණු රජු සතුරු සංහාරය සිදුකෙළේ සද්ධාතිස්ස කුමරු විසින් ඌව - වෙල්ලස්සේ ගොඩනගන ලද ආර්ථික පදනම මතය. ඌව - වෙල්ලස්සේ බුත්තල චූලංගනී පිටියේදී දුටුගැමුණු - සද්ධාතිස්ස දෙසොහොයුරන් අතර යුද්ධයක් සිදුවූ බව (ක්‍රි. පූ. 2 වන ශත වර්ෂය) ප්‍රකට ඉතිහාස ප්‍රවෘත්තියකි. දුටුගැමුණු රජු සිය සොහොයුරා සමඟ යුද වැදීමෙන් සිදුවූ සිත්තැවුල මැකීමටත්, එම සටන සදා සිහිවීම පිණිසත්, චූලංගනී පිටිය අසල සටන සිදු වූ අංගනයේ සුවිසල් දාගැබක් ඉදිකෙරිණි. එය යුදඟනා දාගැබ බව ඓතිහාසික සාධක අනුව පිළිගත හැකිය.


ගල්ටැම්වත්තේ නන්දරතන හිමි

දැනට දක්නට ඇති පරිදි යුදඟනා දාගැබේ සම්පූර්ණ උස මීටර් 26ක් හා සෙන්ටිමීටර් 40ක් වේ. ගර්භයේ උස මීටර් 09ක් හා සෙන්ටිමීටර් 90කි. වට ප්‍රමාණයෙන් විශාලතම චෛත්‍යය වන යුදඟනා චෛත්‍යයේ විශාලත්වය වට අඩි 1038 අඟල් 6ක් පමණවේ. ඌව - වෙල්ලස්ස ප්‍රදේශවාසීන්ට ලැබුණු මහාර්ඝ දායාදයක් වන මෙම යුදඟනා චෛත්‍යය කාලාන්තරයක් තිස්සේ විවිධ පීඩාවන්ට පත්ව ගරාවැටී නටබුන්ව ගිය තත්ත්වයක පැවතුණි. මෙම ඓතිහාසික උරුමය ආරක්‍ෂා කරගෙන එම ස්ථානයට පුනර්ජීවයක් ලබාදීම සඳහා ක්‍රියා කළ විහාරාධිපති ගල්ටැම්වත්තේ ශ්‍රී චන්දජෝති නාහිමියන්ටත්, විහාරාධිකාරී හා භාරකාර ගල්ටැම්වත්තේ නන්දරතන හිමියන්ටත් බෞද්ධ ලෝකයාගේ ප්‍රණාමය හිමිවිය යුතුය.

පුරාතන ඌව - වෙල්ලස්සේ ප්‍රෞඩ අභිමානය සංකේතවත් කරමින් වාර්ෂිකව පැවැත්වෙන යුදඟනා ඇසළ මහා පෙරහර ද යුදඟනා ඉතිහාසයේ වැදගත් තැනක් හිමිකර ගනියි. මෙම පෙරහර ඌව - වෙල්ලස්සේ මහා සංස්කෘතික සංදර්ශනය ලෙස හැඳින්වීම වඩාත් යෝග්‍ය ය. මෙවර යුදඟනා ඇසළ මහා පෙරහර ද අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කොට තිබේ. විහාරාධිපති, මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රධාන සංඝනායක මහෝපාධ්‍යාය ගල්ටැම්වත්තේ ශ්‍රී චන්දජෝති නාහිමියන්ගේ හා විහාරාධිකාරී හා භාරකාර, බෞද්ධ කටයුතු සමායෝජක ශාස්ත්‍රපති, පණ්ඩිත ගල්ටැම්වත්තේ නන්දරතන හිමියන්ගේ අනුශාසනා පරිදි මොණරාගල මහ දිසාපති එම්. බී. දිසානායක, බුත්තල ප්‍රාදේශීය ලේකම් අනිල් විජේසිරි, බුත්තල ප්‍රාදේශීය සභාවේ සභාපති දමයන්ත දොලේවත්ත, හිටපු සභාපති ඩබ්. එච්. එම්. ධර්මසේන, මොණරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සේනාරත්න, අධ්‍යාපන අධ්‍යක්‍ෂ ඩී. එම්. සිරිවර්ධන යන මහත්වරුන් ප්‍රමුඛ ප්‍රදේශවාසී ජනතාවගේ ද මොණරාගල දිස්ත්‍රික්කයේ සියලු රාජ්‍ය ආයතනවල ද, අනුග්‍රාහකත්වයෙන් මෙවර පෙරහර සංවිධානය කොට තිබේ. මූලික කටයුතු මෙහෙයවීම යුදඟනා රාජමහා විහාර දායක සභාව, යුදඟනා සහයෝගිතා බෞද්ධ පදනම, යුදඟනා පෙරහර කමිටුව, යුදඟනා තරුණ බෞද්ධ සංගමය හා ශ්‍රී ධර්මෝදය දහම්පාසල මගින් සිදු කෙරේ. දයානන්ද අධිකාරී මහතා නිලමේතුමා ලෙස කටයුතු කරයි. උඩ පහත දෙරට හා සබරගමු යන සම්ප්‍රදායන්ට අයත් නැටුම් කණ්ඩායම් 45කටත් අධික ප්‍රමාණයක් ද, සහිතව අලි ඇතුන් විශාල ප්‍රමාණයක් ද පෙරහරට සහභාගි කරවීමට නියමිතය. අලි ඇතුන් ද, අනෙකුත් පෙරහර උපකරණ ද ලබාදීමේදී කතරගම කිරිවෙහෙර හා කතරගම මහා දේවාලය, තිස්සමහාරාම රාජමහා විහාරය හා පැල්වත්ත සීනි සමාගම පූර්ණ අනුග්‍රාහකත්වය දක්වයි.

අගෝස්තු 27 වැනි දින රාත්‍රී යුදඟනා චෛත්‍යය අසළ ඉදිවූ මණ්ඩපයේ සිට පවත්වන සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනය ද, පසුදින සංඝගත දක්‍ෂිණාවද, දින 75ක් පුරා අඛණ්ඩව සිදුකෙරෙන මහා බෝධිපූජාව ද යුදඟනා ධාතු මන්දිරයේ පැවැත්වෙන සර්වඥ ධාතු ප්‍රදර්ශනය ද පෙරහර හා සමගාමීව සිදු කෙරේ. අගෝස්තු 28, 29, 30 යන දිනයන් හිදී යුදඟනා පූජා භූමිය ආශි‍්‍රත ප්‍රදේශයේ වීථි සංචාරය කෙරෙන මෙම පෙරහර අවසන්වනුයේ අගෝස්තු මස 30 වැනිදා පැවැත්වෙන අවසන් මහා පෙරහරෙනි. 31 වැනි දින පෙරවරුවේ පැවැත්වෙන මහා දේව දානයෙන් සියලු කටයුතු නිම කිරීමට නියමිත ය. මෙම පෙරහර උත්සව මාලාව සඳහා කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ඌව විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය අලුත්වැව සෝරත නාහිමි තිස්සමහාරාම - සඳගිරි උභය මහා විහාරාධිපති ආචාර්ය දේවාලේගම ධම්මසේන යන නාහිමිවරුන් ප්‍රමුඛ ප්‍රදේශවාසී සම්භාවනීය මහා සංඝරත්නය ද, කතරගම දේවාලයේ බස්නායක නිළමේ තැන්පත් ශෂීන්ද්‍ර රාජපක්‍ෂ, බදුලු මහ දිසාපති රෝහණ කීර්ති දිසානායක යන මහත්වරුන් ප්‍රමුඛ ප්‍රදේශවාසී සම්භාවනීය ප්‍රභූහු ද සහභාගි වෙති.

නිකිණි අව අටවක පෝය


නිකිණි අව අටවක පෝය අගෝස්තු 23 වන දා සෙනසුරාදා අපර භාග 6.26 ට ලබයි. 24 වනදා ඉරිදා අපර භාග 4.11 දක්වා පෝය පවතී. සිල් සමාදන්වීම අගෝස්තු 24 වන දා ඉරිදා ය.
 

මී ළඟ පෝය අගෝස්තු 30 වන දා සෙනසුරාදා ය.


පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

අගෝස්තු 24

New Moonඅමාවක

අගෝස්තු 30

First Quarterපුර අටවක

සැප්තැම්බර් 06

Full Moonපසෙලාස්වක

සැප්තැම්බර් 14

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]