UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

අංක 35,
ඩී. ආර්. විජයවර්ධන මාවත,
ලේක්හවුස් - කොළඹ.

දුරකතන‍‍:
2429598, 2429429

ෆැක්ස්:
2429329, 2449069

ඊමේල්:
[email protected]

වැලන්ටයින් ඇවිත්

සමාජය වෙනස් විය යුතු ය. එහි දී වඩාත් වැදගත් වන්නේ වෙනස් වන බව නො ව , එ සේ වෙනස් වීමක් අවශ්‍ය කැරෙනුයේ ඇයි , වෙනස් වීම කුමක් ද යන්න හා එයින් ලැබෙන ප්‍රතිඵලය යි. අප සමාජය වෙනස් වී ඇති ආකාරය අවබෝධ කැර ගැනීමට අතීතයේ පැවැති තත්ත්වය සමඟ අද පවතින තත්ත්වය සසඳා බැලීම අවශ්‍ය වේ. ඒ සඳහා , ආචාර්ය නන්දදේව විජේසේකර විසින් 1955 දී පළ කළ ‘ ලංකා ජනතාව ‘ නමැති කෘතියෙහි ඡේදයක් උපුටා දැක්වීමට කැමැත්තෙමු.

‘’ස්ත්‍රියක ගේ හෝ පුරුෂයකු ගේ වේවා මනුෂ්‍ය ශරීරය වැඳුම් පිදුම් වලටත් එහි රූප ලාවන්‍යය අගේ කොට තැකීමකට වත් ලක් නො වෙයි. ජීවිතේන්ද්‍රිය ශුද්ධ වස්තුවක් සේ සලකන ලද්දේ වුව ද මනුෂ්‍ය රූපයේ හා ශරීරයේ අලංකාරය ගැන නො තකා හැරීමට බුද්ධ ධර්මානුභාවය බොහෝ දුරට හේතු වී යැයි සිතන්නට පුළුවන. විනීත ජන සමාජයක කාමුක ජීවිතයේ ප්‍රකාශනය සභ්‍යත්වයට ගැළපෙන අන්දමින් නමුදු සිදුවීම මැඩලන්ට ඇත්තේ ආගමින හැඟීම වෙන්ට පුළුවන. අනික් සංස්කාර ධර්මයන් මෙන් මිනිස් සිරුර ද අනිත්‍ය ය. සිරුර සරසනුයේ කුමට ද ? එ හෙයින් නාරිලාලිත්‍ය වර්ධනාත්මක විද්‍යා විශේෂයක් නො වීය. ස්ත්‍රී ලීලාවන් හික්මීමත් යන සදාචාර ගුණ විෂයෙහි දක්වන ලද මහත් සැලකිල්ල නිසා ඇගේ අඟ පසඟ ආවරණය වන පරිදිම ඇඳුම් ඇඳිය යුතු විය “

ඉංගී‍්‍රසි ජාතික ජෝන් ඩේවි (1821 දී ) පළ කළ මේ අදහස ද අප ප්‍රඨකයන්ට වැදගත් වනු ඇත.

“ සිංහලයන් අතර තරම් අවංක හා දැඩි සුහද පවුල් සම්බන්ධකම් ඇත්තේ මනුෂ්‍ය සමාජ අතරෙන් ඉතා ම ටිකක බව මගේ විශ්වාසය යි. ඒ සම්බන්ධකම් දුර්වල කිරීමට හෝ වෙනතකට යොමු කිරීමට හෝ තුඩු දෙන කිසිවක් නොමැත”.

මේ සියලු කරුණු උපුටා දක්වන ලද්දේ අද දිනට යෙදී ඇති ආදරවන්තයන් ගේ් දිනය නොහොත් වැලන්ටයින් දිනය ගැන කතා කිරීමට ය.

වැලන්ටයින් නමැති පූජකවරුන් දෙදෙනකු සැමරීම පිණිස පෙබරවාරි මස 14 වන දා වැලන්ටයින් දිනය ලෙස නම් කැරැ තිබේ. ක්‍රිස්තු භක්තිකයකු වීම නිසා මරණයට නියම වී සිටි සිර කුටියේ ජේලර්වරයා ගේ දියණියට “ ඔබ ගේ වැලන්ටයින් ගෙන් “ යැයි ආදර හසුනක් යැවූ වැලන්ටයින් පූජකවරයා ඉන් පළමු වැන්නා ය. දෙවන ක්ලෝඩියස් අධිරාජයා විසින් රෝමානු සොල්දාදුවන්ට විවාහ විම තහනම් කැරැ තිබූ සමයෙහි ඔවුන්ට විවාහ වීමට රහසින් උදව් කළ ශාන්ත වැලන්ටයින් දෙවැන්නා ය.

1969 වසර තෙක් නිවාඩු දිනයක් ලෙස නිල වශයෙන් ප්‍රකාශ කැර තිබූ ශාන්ත වැලන්ටයින් දිනය ඉන් ඉවත් කිරීමට පල්ලිය පියවර ගෙන තිබේ. පල්ලියේ නිල පිළිගැනීම අනුව ශාන්ත සිරිල් හා ශාන්ත මෙතෝදියස් සැමරීම පිණිස පෙබරවාරි මස 14 වන දිනය දැනට වෙන් කැර ඇත.

කෙ සේ වුව ද වැලන්ටයින් දිනය සැමරීම අන්තර්ජාතික සිදුවීමක් බවට පත් වූයේ බ්‍රිතාන්‍ය ජාතිකයන් නිසා ය. සුබ පැතුම් පත් යැවීම සඳහා පමණක් සීමා වී තිබූ ඇමරිකානු වැලන්ටයින් දිනයේ ත්‍යාග හුවමාරු කිරීම ආරම්භ වුයේ 20 වන සියවස මැද භාගයේ දී ය. 1980 දශකය වන විට වැලන්ටයින් දිනය සැමරීම සඳහා දියමන්ති ආභරණ පවා හඳුන්වා දී තිබිණ.

පෙබරවාරි 14 වන දා ආදරවන්තයින් ගේ දිනය සැමරීමට ලැබුණු ත්‍යාග වෙනුවෙන් ප්‍රති ත්‍යාග පිරිනැමීම සඳහා ධවල දිනය (White day) යැයි දිනයක් ද ඇතැම් රටවල ඇත. මේ සියලු දිනයන් හඳුන්වා දීමට හේතුව වාණිජ පරමාර්ථ බව රහසන් නො වේ.

පේ‍්‍රමය හා විවාහය ගැන බෞද්ධ ඉගැන්වීම වලට අනුකූල ව සිතා බැලූ අප සමාජය ද වැලන්ටයින් දින සැමරුම උමතු ලෙස වැලඳ ගෙන තිබේ. ඊට ප්‍රතිකර්මයක් වශයෙන් එ දිනට බෞද්ධ වැඩ සටහන් යොදා ගැනීමක් මෑතක සිට දක්නට ලැබේ. එහෙත් අප සමාජය සැබෑ බෞද්ධ පිළිවෙත් මත පිහිටා තිබේ නම් වැලන්ටයින්වරුන් රටට ආගන්තුක වනු ඇත.

 නවම් පුර අටවක පෝය 

 පෙබරවාරි 13 බදාදා
අපර භාග 10.08 ට ලබයි. 14 වන දා
බ්‍රහස්පතින්දා අපර භාග
07.59 දක්වා පෝය පවතී.
සිල් සමාදන්වීම පෙබරවාරි 14 වන දා බ්‍රහස්පතින්දා ය.

මී ළඟ පෝය
20 වන දා බදාදා ය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

පෙබරවාරි 14

Full Moonපසෙලාස්වක

පෙබරවාර 20

Second Quarterඅව අටවක

පෙබරවාර 29

New Moonඅමාවක

මාර්තු 07

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2008 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]