UNICODE

 

[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

බුදුසරණ අන්තර්ජාල කලාපය

සිත නිවන සෙත් පිරිත් දෙසුම

අප්පමාණෝ බුද්ධෝ අප්පමාණෝ ධම්මෝ අප්පමාණො සංඝෝ පමාණවන්තානි සිරිංසපානි අහිවිච්ඡිකා සතපදී උණ්ණනාභි සරබුමූසිකා කතාමේ රක්ඛා කතා මේ පරිත්තා පටික්කමන්තු භූතානි සෝ හං නමෝ භගවතෝ නමෝ සත්තන්නං සම්මා සම්බුද්ධානන්ති

විශ්වය තුළ පවතින ශක්ති පිළිබඳ තොරතුරු ප්‍රකාශයට පත් කරන විද්‍යාඥයන් මෙන්ම උතුම් ආගමික නායකයන්ද මානව ප්‍රගතියට කරන සේවය අපමණය. බුද්ධාදී උත්තමයෝ තම චින්තන ශක්තිය උපරිම වශයෙන් සත්වයාගේ සංසාරික දුක් දොම්නස් නැති කිරීමට යොදාගත් අයුරු ත්‍රිපිටක ධර්මයෙන් ප්‍රත්‍යක්‍ෂවෙයි. විද්‍යා දැනුමෙන් සොයාගත් ශක්ති භාවිතා කර මිනිසාගේ විවිධ අදහස් ක්‍රියාත්මක කරන්නට යෑමෙන් විශාල විනාශයක් සිදුවෙමින් පවතින අතර ධර්ම ශක්තිය මගින් සෙසු සියලු බලවේග අභිබවා යෑමට ඔහුට හැකිය. එයින් සන්තානය පවිත්‍රවී ශාන්තියක්ම වන්නේය.

බුද්ධාදී රත්නත්‍රයෝ ගුණ මහිමය සිතීමට තමන්ට ප්‍රමාණාතික්‍රාන්ත වන්නේය. මිහිමත බිහිවන අසහාය උත්තමයා ලොව්තුරා බුදුරදුන් වන අතර අතිදීර්ඝ කාල පරාසයක් තුළ ජීවමානව පවතින උතුම් ශක්තිය බුද්ධ ධර්ම ශක්තියයි. එයට හේතුව ලොව පරම සත්‍යය එය නිසාය. එමෙන්ම සැමදා ක්‍රියාත්මක වන සොබා දහමක් බුදුදහමත් එකක්ම වන්නේය. එහෙත් මානව පරපුරේ තණ්හා චින්තනය පෙර ගමන් කරන විට, මිනිසා තුළ බුද්ධිය හීනවී හැඟීම් උත්සන්න වී ධර්ම ශක්තිය යටපත් වී ක්‍රමයෙන් පරිහානියට ඔහු පා තබන්නේය.

බුද්ධාදී උතුමන්ගේ මුවින් පිට වූ ශබ්ද තරංග මෙම විශ්වයේ කොතැනක හෝ පවතින නමුත් ඒවා තෝරා බේරා ගැනීමට තරම් ඤාණ ශක්තියක් වත්මන් මිනිසාට නොමැත. එහෙත් ඒ වචන භාවිතයෙන් ලබන ශාන්තිය වෙනත් කිසිම වදන් ව්‍යවහාරයකින් ලබාගත නොහැකිය.

පිරිත් දේශනයකින් අපේක්‍ෂිත ආරක්‍ෂා සම්පත්තිය ලබාගැනීමෙහිලා ප්‍රධාන කාරණා 3 ක් අවශ්‍ය වෙයි.

01. දේශනා කරන්නාගේ යහපත් චිත්ත ශක්තිය

02. ශ්‍රාවකයාගේ යහපත් චිත්ත ශක්තිය

03. පිරිත් දේශනාවල ශබ්ද තරංග ශක්තිය

පිරිත් දේශනා කරන්නාගේ සන්තානය, කරුණා, මෛත්‍රී වේතනාවලින් සම්පූර්ණ වන විට අක්‍ෂරයක් , වචනයක්, ගාථාවක් , සූත්‍රයක් පාසා මොහොතින් මොහොත මුවින් නික්මෙන ශබ්ද තරංග පරිසරය සිසාරා වාතයටද මුසු වී සත්වයන්ගේ සන්තාන ගත වී ජීව -අජීව පරිසරයට ආරක්‍ෂාව ශාන්තිය භාග්‍යය ශි‍්‍රයාව ඇතිවෙයි. එමෙන්ම පිරිතේ දේශිත භාෂාව පිළිබඳ මනා දැනීමක් දේශකයාට අවශ්‍ය වෙයි.

විශේෂයෙන් පිරිත් දේශනා කරන විට ශ්‍රාවකයාගේ චිත්ත සන්තානය , කම්මාවරණ කිලේසාවරණ දිට්ඨාවරණ වැනි මානසික භෝ ශාරීරික පීඩාකාරී ධර්මයන්ගෙන් තොරව දේශක ශ්‍රාවක දෙපක්‍ෂය තුළ ආධ්‍යාත්මික වශයෙන් සම්බන්ධයක් විවෘත භාවයක් පවතින්නේ නම් එයින් විපුල ප්‍රයෝජන අපේක්‍ෂා කළ හැකිය. සසරදී කළ පාප කර්මයක විපාකයක් වශයෙන් ඇතිවන දුක් දොම්නස්, පිරිත් දේශනා බලයෙන් සම්පූර්ණයෙන් නැති කිරීමට නොහැකි වන්නේය. මේ බව බුද්ධ දේශනාවේම නඅන්තලික්ඛේ න සමුද්ද මජ්ඣෙ ‘ ආදී වශයෙන් පාප කර්මයකින් බේරීමට ආවරණය වීමට තැනක් ක්‍රමයක් නැති බව සඳහන් වීමෙන් පැහැදිලි වෙයි. එහෙත් මානසික ශක්තිය සුවිශේෂ කිරීමෙන් ශාන්තිය ඇති කර ගැනීමට හැකිය.

දේශකයාගේ සන්තානය - කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුක්ත වන විට පිරිතෙන් ප්‍රකාශ වන තෙරුවන් ගුණ මහිමය සමග නිකුත් වන ශබ්ද තරංග ශ්‍රාවකයාගේ මානසික දුක් දොම්නස් සමනය කරන අමා ඔසුවක් වෙයි. කෙලෙස් ගිනි නිවී යන සිහිල් ජල ධාරාවක් වෙයි. වස විස, අපවිත්‍ර දෑ මුසු වූ පරිසර වාතයට සුගන්ධ ධූපයක් වෙයි.

මානසික ශක්තිය වර්ධනය වීම,
පාලි භාෂා ඤාණය දියුණු වීම,
නිරෝගී බව ලැබීම,
ආරක්‍ෂාව,
යහපත් ආගමික සිරිත් විරිත් පුරුදු වීම
මහඟු කුසලයක් සිදුවීම යන අනුසස් පිරිත් දේශනාවෙන් ලැබෙයි.

සංකීර්ණ සමාජය සමඟ ගැටෙන විට මානසික ශක්තිය දුර්වල වීම , ස්වාභාවිකය. එය වෙද හෙද කම්වලින් හෝ වෙනත් ආගමික යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් වලින් යථා තත්ත්වයට පත් කිරිමට නොහැකි ය. පිරිත් දේශනාවෙන් එය සිදුවන්නේ පිරිත ලොවුතුරු ගුණය මිශ්‍ර විශ්ව ශක්තියක් බැවිනි.

පරපුරෙන් පරපුරට ගලායන මතිමතාන්තර ප්‍රවාහයේ ඇලී ගැලී අතරමංවන මානව සමාජයේ ජීවන දුක් වේදනා සමනය කර ගැනීමට බුද්ධාදී තෙරුවන් ගුණ මෙනෙහි කර සිදු කරන ශාන්තිය හේතු වෙයි.

වැලි මිරිකා තෙල්ගන්නට තැත් කරන්නාසේ අර්ථ ශූන්‍ය අනර්ථකාරී විසම අදහස් සන්තානගත ඛ්ලමට ප්‍රයත්න දැරීම, පාපකාරී වංචාවකි. එහෙත් පිරිතෙන් ප්‍රකාශ වන අක්‍ෂරයක් පාසා නිකුත් වන්නේ සත්‍ය ධර්මය මිශ්‍ර ශබ්ද තරංග බැවින් ඒවා මනසේ සියුම් ස්නායු සමග සම්බන්ධ වීමෙන් සිත ද ධ්‍යාන ගත වෙයි.

පවිත්‍ර චේතනාවෙන් ක්‍රියාත්මක වන සෙත්පැතීම නිසා නීරෝගීභාවය, සතුට සමාදානය , සිරියාව, සමෘද්ධිය උදාකැරේ.එබැවින් බුද්ධාදී උතුමන්ගේ අති පවිත්‍ර චේතනාවෙන් දේශිත පිරිත් දේශනාවෙන් උසස් ශාන්තියක් ලබා ගත හැකිය.

ආරෝග්‍යා පරමා ලාභා
සන්තුටිඨි පරමං ධනං
විස්සාසා පරමා ඤාති
නිබ්බාණං පරමං සුඛං

ලාභය , ධනය ඤාතිත්වය , සැප යන අවශ්‍යතා ජීවන ගමනේ දී අපේක්‍ෂා කළ යුතු බාහිර දේ නොව, තම තමන්ගේ චර්යා තුළින්ම ලැබිය හැකිය . නීරෝගීකම , සතුට , විශ්වාසය හා විමුක්ති සැපය බව, බුදුරජාණන් වහන්සේ නුවණින් දැන වදාළ සේක.

භෞතික ආශා සම්පූර්ණ කරගැනීමට උත්සාහ කරන මිනිසාට අවසන ඉන්ද්‍රිය දුබලතාවයත් හිස් වන ධනයත් අතර දෝලනය වන මානසික සන්තාපය ඉතිරිවෙයි. මේ නිසා ගෙවල් දොරවල් , ඉඩ කඩම් මිල මුදල්වලට වඩා සිය දහස් ගුණයෙන් නීරෝගී භාවය පිළිබඳ අවධානය යොමු කළ යුතුය.

බුදුරදුන් විසින් ශාරීරික රෝගී පිළිබඳ විශේෂඥ දැනුමෙන් වෙදහෙදකම් දේශනා කළා පමණක් නොව, ප්‍රයෝගිකව රෝගීන්ට උපස්ථාන කිරීමෙන්- පරමාදර්ශ වූ අයුරු ද ත්‍රිපිටක සාහිත්‍යයේ දක්නට හැකිය. සත්දිනකින් ජීවිත විනාශ වන්නට සිට් දීඝායු කුමරුට සත් දිනක් දිවාරාත්‍රී පිරිත් දේශනා කොට එක් සිය විසි වයසට දීර්ඝායුෂ ලබා දුන් අයුරු, ධම්ම පදට්ඨ කතාවේ එන විස්තරයෙන් බුද්ධාදී රත්නත්‍රයේ බලය ප්‍රකට වෙයි.

සිල්වත්- ගුණවත් - වැඩිහිටි - ගිහි පැවිදි උතුමන්ට අවංක ගෞරවයෙන් වඳින පුදන අයට ඒ අයගෙන් ලැබෙන ආශිර්වාදය නීරෝගීභාවයට - දීර්ඝා යුෂ ලාභයට - සිරියාව වර්ධනයට සිතුම් පැතුම් ඉටුවීමට හේතුකාරක වේ මය. විවිධ අවස්ථාවල දී නොයෙක් සිදුවීම් නිමිති කරගෙන පිරිත් සූත්‍ර දේශනාකර ඇත.

සතුරන් මිතුරන් කර ගැනීමට යක්‍ෂ , ප්‍රේතාදී අමනුෂ්‍ය භය නැති කර ගැනීමට කරණීය මෙත්ත , මිත්තානිසංස ආදී සූත්‍ර ද , වා, පිත්, සෙම් ඛ්පීමෙන් හටගන්නා සිය ගණන් රෝගාබාධ නැති කර ගැනීමට ගිරිමානන්ද සූත්‍රයද මහෝපකාරී වෙයි.

පිරිත් දේශනාව ශ්‍රවණය කරන කාලය තුළ දී එහි දහස් ගණන් වචනවලින් දැක්වෙන අදහස් - චින්ත සන්තානයට ඇතුළු වන විට, සිත ශ්‍රද්ධාවෙන්, කරුණා, මෛත්‍රියෙන්, නිරාමිස පී‍්‍රතියෙන් ප්‍රඥාවෙන් හා සමාධියෙන් පිරී ඉතිරී යන්නේ නිරායාසයෙනි. එය, ලෞකික ලෝකෝත්තර හිත සුව පිණිස , සසර දුකින් එතෙරවීම පිණිස සදාකාලික නිවනින් සැනසීම හේතු වෙයි.

විෂඝෝර සර්පයන්ගෙන් සිදු වන උපද්‍රව නැතිවීමට භාවිතා කළ යුතු පිරිත් ගාථා මෙසේය.

ආපදාකේහි මේ මෙත්තං
මෙත්තං දිපාදකේහි මේ
චතුප්පදේහි මේ මෙත්තං
මෙත්තං බහුප්පදේ හි මේ

මා මං අපාදකෝහිංසි
මාමං හිසිදිපාදකෝ
මාමං චතුප්පදෝ හිංසි
මාමං හිංසි බහුප්පදෝ

සතුරන් මිතුරන් කර ගැනීමට, යක්‍ෂ භූතාදීන්ගෙන් වන බිය ජනක හැඟීම් නැතිකර ගැනීමට වා පිත් සෙම් කිපීමාදියෙන් වන ශාරීරික රෝග පීඩා සමනය කිරීමට, ග්‍රහ නක්‍ෂත්‍රාදීන්ගෙන් වන්නා වූ අපල උපද්‍රව නැතිකර සෙත් සාන්තිය ඇතිවීමට , විභාග පරීක්‍ෂණාදියෙන් අභිමත පරිදි සමත්වීමට පිරිත්වලින් ලැබෙන පිටුබලය අපරිමිත වෙයි.

ජීවිතයක සුබ මංගල කාර්යවලදී ජයමංගල ගාථා සජ්ක්‍ධායනය මානසික වශයෙන් බලවත් උනන්දුවක් ජනිත වීමට මූලික වන අතර, මවුකුස පිළිසිඳ ගැනීම හා බිහිවීමේ පටන්,ඉඳුල් කට ගෑම, ගුරු ගෙදර යෑමා දී සෑම වැදගත් අවස්ථාවකදීම සියලු බාධක දුරු කරගෙන සෞභාග්‍ය උදා කර ගැනීම සඳහා පිරිතේ බලයෙන් ලබන ශාන්තිය ආරක්ෂාව ආශ්චර්ය ජනකය.

ගෙවල් දොරවල් හදාගැනීම, ගොඩ මඩ ඉඩකඩම් ආරක්‍ෂාව වගා දියුණු කර ගැනීම වෙළෙඳාම රැකී රක්‍ෂා ආරම්භ කිරීමාදී ආර්ථික සාමාජික සියලු කාර්ය සාර්ථකව කරගෙන යෑම, සඵලත්වය ලැබීම යන කරුණු උතුම් පිරිත් දේශනාවේ බලයෙන් සිදු කර ගත හැකි වෙයි.

පිරිත් දේශනාව පුණ්‍ය කර්මයකි. චිත්ත සන්තානයේ බුද්ධානුස්සති ධම්මානුස්සති ආදී අනුස්සති භාවනාවක් නිසා නිකෙලෙස් වීමටද හේතුවෙයි.

කරුණා ,මෛත්‍රී ආදී යහගුණ පුරුදු වීම නිසා පරිත්‍රාණ ධර්ම දේශනාව යහපත් සිරිත් විරිත් පුහුණුවට ද හේතුවකි. මෙලොව යහපත පරලොව සුගතිය සහ උතුම් නිවන් සම්පත්තියද ලැබීමට එබැවින් යහපත් පිළිවෙත් සහිතව සිදුකරන පිරිත් දෙසුම හේතු වේ යැයි පැවසිය හැකිය.

බුද්ධෝ තිලෝක සරණෝ
බුද්ධෝ සූරියෝ තමෝනුදෝ
ඒවං තං සරණං ඛේමං
නත්ථි තුය්හං භයං සදා

සියලු සත්වයෝ සුවපත් වෙත්වා!

උඳුවප් පුර අටවක

 
උඳුවප් පුර අටවක පෝය දෙසැම්බර් මස 17 වැනිදා සඳුදා පූර්ව භාග 04.21 ට ලබයි.
18 වැනිදා අඟහරුවාදා පූර්ව භාග 03.05 දක්වා
පෝය පවතී.
සිල් සමාදන්වීම දෙසැම්බර්
17 වැනිදා සඳුදාය .
 

මීළඟ පෝය දෙසැම්බර්
23 වැනිදා ඉරිදාය.


පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

දෙසැම්බර් 17

Full Moonපසෙලාස්වක

දෙසැම්බර් 23

Second Quarterඅව අටවක

දෙසැම්බර් 31

New Moonඅමාවක

ජනවාරි 07

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | ඉංග්‍රිසි ලිපි | පෙර කලාප | දායකත්ව මුදල් |

© 2000 - 2007 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]