ඇසළ පුර අටවක පෝ දා
2025-07-02
දෙලොව දිනීම
මෙලොව, පරලොව ජීවිත සුඛිත මුදිත කොට ගෙන ඉක්මන් භවයක දී ම නිර්වාණාවබෝධය ළඟා කර
ගැනීම බෞද්ධයාගේ ඒකායන අරමුණ වේ. කම්කටොලුවලින් පිරි දුක්ඛිත ජීවිතය නිවන් මඟ පහසු
කරවන්නේ නැත. ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ප්‍රශ්න, ගැටලු සමඟ ඇලීම් ගැටීම් ඇති කර
ගැනීම තුළ තව තවත් දුකෙහි ම ගිලේ. මේ නිසා දෙලොව ජීවිතය ම සුවපත් කර ගැන්මට බෞද්ධයා
උත්සාහවත් විය යුතු ය.
දෙලොව ජීවිතයේ සුඛ සිද්ධිය පිණිස පිළිපැදිය යුතු උතුම් ධර්ම අටක් දහමෙහි සඳහන් ය.
එහි මෙලොව දියුණුව උදෙසා විශේෂිත ධර්ම කරුණු සතරෙකි. උට්ඨාන සම්පත්තිය පළමු
වැන්නයි. ජීවිතය පවත්වා ගැනීම සඳහා කර්මාන්තයක නියැළිය යුතු ය. එසේත් නැතිනම් යම්
ශිල්පයක් පුරුදු පුහුණු කළ යුතු ය. ඒ කවර කර්මාන්තයක් වුව ද, කවර ශිල්පයක් වුව ද
ධාර්මික විය යුතු ය. එසේම අලස බවින් තොරව, උත්සාහයෙන් ඒ ශිල්පයෙහි හෝ කර්මාන්තයෙහි
හෝ නියැළිය යුතු ය. ඒ තුළ දක්ෂ බව, සංවිධාන ශීලී බව, යහපත් උපාය හා නුවණින් විමසීම
ද වේ නම් ඒ පුද්ගලයා ගේ දියුණුව වැළැක්විය නොහැකි ය.
මෙලොව දියුණුව පතන්නා එ පමණින් සෑහීම පත් නොවේ. ඔහු දැහැමෙන් ඉපයූ ධනය රජුන්ගෙන්,
සොරුන්ගෙන්, ගින්නෙන්, ජලයෙන්, අපි‍්‍රය පුද්ගලයන්ගෙන් ආරක්ෂා කර ගත යුතු ය. ඒ සඳහා
සාධාරණ ක්‍රමෝපාය අනුගමනය කළ යුතු ය.
මෙලොව දියුණුව රඳා පවතින තවත් ප්‍රධාන සාධකයක් වන්නේ කල්‍යාණ මිත්තතාව යි. මොනතරම්
ධනයෙන් ආඪ්‍ය ව සිටිය ද, කීර්ති ප්‍රශංසා සහිත ව සමාජයේ ඉහළින් ජීවත් වුවද එකම
අයහපත් ඇසුරකින් ඒ සියල්ල වැනසී යා හැකි ය. එහෙයින් තමන් ඇසුරු කළ යුතු, අනුගමනය කළ
යුතු ශ්‍රද්ධාවෙන්, ශීලයෙන්, ත්‍යාගයෙන් හා ප්‍රඥාවෙන් පිරුණු ගුණවතුන් ය.
මෙලොව ජීවිතය සුවදායක කරන සිව්වැනි ධර්මය සමජීවිකතා ඇත්තෙක් වීමයි. මොන තරම් ධනය
ඉපයුව ද අපරීක්ෂාකාරී පරිහරණය නිසා දුක සේ ජීවත් වන අය සමාජයේ කොතෙකුත් වෙති. තමන්
දැහැමින් උපයන ධනය ආදායම, වියදම දැනගෙන ඉතා වැඩි ද නොවූ, ඉතා අඩු ද නොවූ සමදිවි
පැවත්මක් වේ නම් එය සමජීවිකතාවයි.
මෙලෙස මෙලොව ජීවිතය යහපත් ව ගත කරන පුද්ගලයා පරලොව වෙනුවෙන් ද ධර්මතා සතරක් පූරණය
කළ යුතු ය.
සද්ධා සම්පත්තිය එනම් බුදුරජාණන් වහන්සේගේ නව අරහාදී බුදුගුණ විශ්වාස කිරීම, ඇදහීම
හා පිළිගැනීම කළ යුතු ය. එය පළමු ධර්මතාවයි.
සීල සම්පත්තිය, වාග සම්පත්තිය, හා පඤ්ඤා සම්පත්තිය සෙසු ධර්මතා ය.
මේ අෂ්ට ධර්මයෝ යම් පුද්ගලයෙක් පිළිගනී ද, පිළිපදියි ද හේ දෙලොව ම දිනූවෙකි.
බෞද්ධයා ඒ මඟ යන්නෙකි. |