[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

මෙලොව දී ම අනුසස් ලැබෙන අසිරිමත් පින්කමක්

මෙලොව දී ම අනුසස් ලැබෙන අසිරිමත් පින්කමක්

තුන්ලෝකාග්‍ර වූ අප ගෞතම නම් බුදුරජාණන් වහන්සේ බෝධිසම්භාර පුරන කාලයේ දානය මහත් සේ පුරුදු පුහුණු කළහ. දානය යන වචනය ලෝකයේ උතුම්ම වචනයයි.

ඒ කුමක් නිසාද එය එතරම් වැදගත් වන්නේ? සත්වයාගේ සිතේ ඇතිවන මසුරුමල දුරුකර ගනිමින්, චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමට මහෝපකාරී වෙන නිසයි. දානය ප්‍රධාන වශයෙන් ආමිෂ දානය, ධර්ම දානය, අභය දානය වශයෙන් කොටස් තුනකට බෙදේ. මිනිසුන් විසින් තමන් සන්තක ආහාරපාන ආදී බොහෝ දේ අනුග්‍රහ බුද්ධියෙන් හෝ පූජා බුද්ධියෙන් දන් දෙනු ලබයි.

මේ ලෝකයේ ජීවත් වන මිනිසුන් අතර ඇතැමෙක් උප්පත්තියෙන් ම පොහොසත් ය. ඇතැමෙක් උප්පත්තියෙන් ම දුප්පත් ය, ඇතැමෙක් අධික ලෙස ධනය තිබුණ ද පරිභෝජනය නොකරයි. දන් නොදෙයි. සම්පත් භුක්ති නොවිඳියි. යමකුට උපතින් උරුමකම් කියන මහත් වූ ධනයක් නොතිබුණත් ශ්‍රද්ධාව නමැති ධනයෙන් පොහොසත් පුද්ගලයන් විසින් දන්දීමට සිත් අලවා මෙලොව පරලොව ජයගනී.

ඉතාම දුප්පත් වූ නමුත් ශ්‍රද්ධාවෙන් පොහොසත් වූ දියණියක් තමා සන්තක කෙස් කළඹ දන් දී ලොව සැප විපාක ලබපු ආකාරයේ ඉතාම වටිනා කතා පුවතක් පිළිබඳ සඳහන් වේ.

තෙලප්පනාලී නමින් නියං ගමක් විය. එම ගමේ සිටු දූවරු දෙදෙනෙක් විය. එක් සිටු දියණියක් දුප්පත් සිටු පවුලක ය. අනිත් සිටු දියණිය ධන සම්පත් ඇති සිටු පවුලක ය. දුප්පත් සිටු දියණියගේ කෙස් කළඹ වෙනත් ස්ත්‍රින්ට වඩා මනාව හොඳින් වැඩී ඇත. මේ දුප්පත් කුමරියගේ ඉතාම අලංකාර කෙස්වැටිය ධනවත් කුමරිය විසින් මුදලට ඉල්ලනු ලැබුවා ය.

විශාල කහවණු ප්‍රමාණයකට වුව ද කෙස්වැටිය මිලට ගන්න යෝජනා වුව ද ඇය කැමැති වූයේ නැත. දිනක් මහා කච්චායන මහරහතන් වහන්සේ ප්‍රධාන තවත් රහතන් වහන්සේ සත් නමක් උජ්ජෙනී නුවරට වැඩම කළහ.

මේ මොහොතේ හිස් පාත්‍ර ඇතිව පිණ්ඩපාතයේ වඩින රහතන් වහන්සේලාට දන් පූජා කිරීමට මෙම දුප්පත් කුමරියට සිතිවිල්ලක් ඇති විය. නමුත් ඇය සතුව දන්දීමට තරම් වටිනා කිසිවක් නොමැත. දැන් මම දන් දෙන්නේ කෙසේ දැයි සිතමින් කල් ගෙවීය. ඇයට ඒ මොහොතේම සිහි වූයේ මනරම් කෙස්වැටිය ඉල්ලා දූතයන් එවූ ධනවත් සිටු කුමරියයි. ඇයට කෙස් කළඹ විකුණා ලැබෙන මුදලින් දන් පූජා කරන්නේ මැයි සිතා රහතන් වහන්සේලාට ආරාධනා කොට වැඩම කරවා ගත්තේ ය. උන්වහන්සේලාට වැඩ සිටින්නට සලස්වන ඇය කාමරයට ගොස් කෙස් වැටය කපා කිරි මවට දී මෙම කෙස් වැටිය ධනවත් සිටු දියණියට දී මුදල් ගෙන එන්නැයි කීවා ය.

කිරි මව ඉතාම දුකින් මේ කෙස් වැටිය ධනවත් සිටු දියණිය වෙත ගොස් දුන්නා ය. එවිට ධනවත් සිටු දියණිය සිතන්නී “මින් පෙර කහවනු දහසකුත් දී මෙම කෙස්වැටිය ගෙන්වා ගන්නට නොහැකි විය. එහෙත් දැන් ළඟට ම ගෙනැවිත් දෙන්නට කුමක් හෝ හේතුවක් ඇති බව වැටහේ. පසුව ඇය මෙම කෙස් කළඹ වටින්නේ කහවණු අටක් යැයි පවසමින් කහවණු අටක් පමණක් දුන්නා ය. කිරිමව ඒ කහවනු අට දියණියට දුන්නා ය. සිටු දියණිය මහ රහතන් වහන්සේ එක් නමකට එක කහවනුව බැගින් වියදම් කරමින් පිණ්ඩපාතය සකස් කොට පූජා කරනු ලැබීය.

මහරහත් කච්චායන තෙරුන් වහන්සේ දුප්පත් සිටු දියණියගේ උපදි සම්පත්ති දැක ඈ කොහේදැයි ඇසීය. ඇය කාමරයේ සිටින බව පැවසීය. එම වෙලාවේ ඇයට එන්න යැයි කීසේක. ඉතාම ගෞරවයෙන් පැමිණ නමස්කාර කොට එකත් පස්ව හිඳි කල්හි ඇයගේ හිස කෙස් මුලින් තිබූ අයුරින්ම පිහිටන්නට විය.

අනතුරුව ඇය බලා සිටිය දී ම මහරහතන් වහන්සේ අහසට පැන නැඟී උජ්ජේනී නුවර චණ්ඩපජ්ජෝත රජුගේ කාංචන නම් උයනට වැඩම කළහ. එම උයනෙහි දානය වළඳන්නට විය. මෙම සිදුවීම දුටු උයන්පල්ලා විසින් රජු වෙත ගොස් ස්වාමීනි ඔබ වහන්සේගේ පුරෝහිත කච්චායන බ්‍රාහ්මණ තෙම පැවිදිව උයනට වැඩම කොට දානය වළඳයි. රජු මේ පුවත අසා ඉතාම පී‍්‍රති ප්‍රමෝදයට පත්ව උයනට පැමිණ තෙරුන් වහන්සේට වැඳ විස්තර ඇසුවේය. හිසකෙස් විකුණා දානය පූජා කළ සිටු දියණියගේ කතාව පැවසූහ.

රජු ඇය පිළිබඳ පැහැදී තම රාජධානියේ අග මෙහෙසිය බවට පත්කර ගත්තේ ය. සිටු දියණිය තුන් සිත පහදවාගෙන පූජා කළ දානයේ ආනිශංස මෙලොව දී ම ලැබී ය. මේ කතා පුවත තුළින් අපිට අවබෛීධ වන්නේ සසර දන්දීමට පුරුදු වූ පුද්ගලයෝ නිතර නිතර දන් දෙති. ඒ වගේම පී‍්‍රති ප්‍රමෝදයට පත්වෙති. කළ පින්කම් පිළිබඳ මෙනෙහි කරමින් සතුටු වෙති. අනුසස් ලබති. තෘෂ්ණාව යටපත් කිරීමේ අභ්‍යාසය. දානයයි නම් හැම දෙනා විසින් එය නිතර නිතර පුහුණු කළ යුතුයි. තමා සන්තක පුංචි දෙය පවා ඉතාම ශ්‍රද්ධාවෙන් දන්දීම තුළින් එය නිවනට හේතුවේ.

පීති මුදාරං වින්දති දාතා - ගාරවස්මිං ගච්ඡති ලෝකෙ

කිත්තිං මනන්තං යාති චද්‍රතා - විස්සසන්යො හෝතිච දානා

දන් දෙන තැනැත්තා දන් දී මහත් සතුටක් ලබයි. පරලොව ගිය අයට පින් අනුමෝදන් කරවා ඒ අය, දුකින් මිඳීමට උදව් වෙනවා වගේම මාගේ පරලොව ගමනට ද පිහිටක් ලැබේවා'යි ප්‍රාර්ථනා කරයි. එයින් නුවණැත්තන්ගේ ගෞරවයට පාත්‍ර වෙනවා වගේ ම කීර්තියට ප්‍රසංසාවට ද ලක්වේ. එපමණක් නොව අලුත් මිතුරන් ඇති වෙනවා වගේම, ලෝකයා විශ්වාස කරන පුද්ගලයෙක් බවට පත් වේ. එවැනි අනුසස් රැසක් දන්දීම තුළින් මෙලොව වශයෙන් වගේම පරලොව වශයෙන් ලැබිය හැකි වේ.

නවම් අව අටවක

පෙබරවාරි 13 සඳුදා
පූ.භා. 09.44 න් අව අටවක ලබා
14 අඟහරුවාදා. පූ.භා. 09.03 න් ගෙවේ.
13 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 13

Full Moonඅමාවක

පෙබරවාරි 19

First Quarterපුර අටවක

පෙබරවාරි 27

Full Moonපසළොස්වක

මාර්තු  06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]