[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

ගුණදම් වැඩූ පිනැතියන්ගේ සිත වෛරී සිතිවිලි වැඩෙන්නේ නැත

ගුණදම් වැඩූ පිනැතියන්ගේ සිත වෛරී සිතිවිලි වැඩෙන්නේ නැත

කොසොල් රටේ වාසය කළ එක්තරා පවුලක තරුණයෙක් බුදු සසුනේ පැවිදි ව, උපසම්පදා ලැබ තිස්ස තෙරුන් වහන්සේ ලෙස ප්‍රසිද්ධ වුණා. වැසි සමය උදා වූ කාලයේ ඒ ගමේ උපාසකයකුගේ ඇරැයුම ලැබ තිස්ස හිමියෝ වස් විසුවා.

වස් අවසානයේ දී ඒ උපාසක සිවුරු පිරිකර ද, තෙල්, මී පැණි, සකුරු ආදිය ද රැගෙන තෙරුන් වහන්සේ දැකීමට පැමිණියා. “උපාසක මේ කවර හේතුවකට ද?”

“ස්වාමීන් වහන්ස, අපගේ විහාරයේ වස් වසන තෙරුන් වහන්සේට අප මෙසේ චීවර ආදී පූජා භාණ්ඩ පිරිනමනවා. එනිසා ඔබ වහන්සේ මේ පූජාව පිළිගන්නා සේක්වා”

“උපාසක මෙවැනි පූජා භාණ්ඩවලින් අපට ඵලක් නැහැ. මට ගෝල නමකුත් නැහැ. ඒ නිසා මේ පිරිකර , තෙල්, මී පැණි, සකුරු ආදිය මට ප්‍රයෝජනයක් නැහැ.”

තිස්ස තෙරුන් වහන්සේගේ ඒ වදන ඇසූ ඒ උපාසක තම සත් හැවිරිදි පුත්‍රයා කැඳවාගෙන පැමිණ මහණ කර ගන්නා ලෙස දන්වා තෙරුන් වහන්සේට බාර කළා. කුඩා දරුවාගේ හිස කෙස් තෙමා ඔහුට කමටහන් උගන්වා තෙරුන් වහන්සේ ඔහුගේ කෙස් බූ ගාන්නට වුණා. දැලි පිහිය හිස මත තබා බූ ගෑම අවසන් වෙත්ම ඒ කුඩා දරුවා අරහත්වයට පත් වුණා. ඒ බව නො දත් තිස්ස තෙරුන් ඔහු පැවිදි කරවූවා. පසුව බණ දහම් කියා දී පැවිදි ව පෝය දෙකක් ගෙවීමෙන් පසු තෙරුන් වහන්සේ කුඩා සාමණේරයන් වහන්සේ ද කැටුව බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට පිටත් වුණා.

ගමනාන්තය ඉතා දිගුයි. ඒ නිසා අතරමඟ තිබූ විහාරයක උන්වහන්සේ නවාතැන් ගත්තා. කුඩා සාමණේරයන් වහන්සේ වහ වහා තමන් වහන්සේගේ ගුරු හිමියන්ට ලැගුම් ගැනීමට ස්ථානයක් පිළියෙළ කර වූවා. එය නිම කරද්දී රෑ බෝ වූවා. සාමණේරයන්හට ලැගුම් පිණිස කුටියක් පිළියෙළ කර ගැනීමට නොහැකි වූවා. තම ගෝල නමට කුටියක් නොමැති බව දුටු ලොකු තෙරුන් වහන්සේ “පොඩි නම මේ ස්ථානය අපට නුපුරුදු ස්ථානයක්. ඔබට සැතපෙන්න ස්ථානයක් නැති නිසා මගේ කුටියේ ඔබත් සැතපෙන්න” කියා උන්වහන්සේ නින්දට ගියා.

සාමණේරයන් වහන්සේට සිතුණා “ මගේ ගුරු හිමියන් සමඟ රෑ තුනක් එකම ලැගුම් ගෙයි සැතපුණොත් එය වැරැද්දක් වෙනවා. එනිසා මම උන්වහන්සේ අසල සැතපෙන්නේ නැතිව එරමිණිය ගොතාගෙන වැඩ සිටිනවා” සිතා කුඩා හිමියෝ අලුයම දක්වා නිදි වර්ජිතව සිටියා. නින්දෙන් පිබිදුණු තිස්ස මහ තෙරුන් වහන්සේ ගෝල හිමියන් සමඟ එකම ලැගුම් ගෙයි සැතපීම ඇවැතක් බව සිහි වී කලබලයට පත්ව, අසල තිබූ වටාපත අතට ගෙන එහි මිටෙන් ඇන කුඩා හිමියන් අවදි කරන්නට සිතුවා.

අඩ අඳුරේ වටාපතෙහි මිටෙන් ඇන” ආයුෂ්මතුනි වහා එළියට වඩින්න” සාමණේරයන් වහන්සේට කියා සිටියා. අවාසනාවකට මෙන් ඒ වටාපතෙහි මිට වාඩි වී සිටි කුඩා හිමියන්ගේ ඇසෙහි ඇනීමෙන් ඇස තුවාල වුණා.

කුඩා හිමියෝ ද තමාගේ ඇස තුවාල වූ බව නො කියා වහා කුටියෙන් බැහැරට වැඩියා. ගුරු ගෞරවය මැනවින් දැන සිටි සාමණේර හිමියෝ වේදනාව යටපත් කොට ගෙන ඉදල රැගෙන ගොස් මිදුල පිස දමා දැහැටි හා මුව සේදීමට ජලය ද සපයා තැබුවා. පසුව ගුරු හිමියෝ කැඳවාගෙන විත්, දැහැටි ආදිය එක අතකින් පිරිනැමුවා.

දැහැටි, පැන් එක අතකින් පිරිනමන්නේ තමාට ගෞරවයක් නැතිව බව සිතු තිස්ස හිමියෝ

“ආයුෂ්මතුනි, දෙන යමක් වේ නම් ගුරුවරයාට” දෑතින්ම නො දෙන්නේ මන්ද?” කියා විමසුවා.

එවිට කුඩා හිමියෝ තමාගේ ඇස තුවාල වූ ආකාරයත්, එහි වේදනාව නිසා එක් අතකින් ඇස වසාගෙන දැහැටි ආදිය පිළිගැන්වූ බවත් පැවසුවා. තමා අතින් සිදු වූ වරද වහා වටහා ගත් තිස්ස තෙරණුවෝ වහා සත් හැවිදිරි ඒ සාමණේරයන් වහන්සේ ළඟ දනින් වැටී සමාව ගත්තා. ඒ කුඩා හිමියන් පැවිද්ද අනුව බාල වුවත් ගුණගරුක භාවයෙන් වැඩී සිටි බැවින්, තිස්ස තෙරුන් වහන්සේ එසේ කිරීම නොකටයුත්තක් වූයේ නැහැ.

“ඔබ වහන්සේ සිත් කම්පා කර ගත යුතු නැහැ. මේ මා පෙර කළ අකුසල කර්මයක් වෙන්න ඇති කියා සාමණේර හිමියෝ ගුරු හිමියන් සැනසීමට වෙර දැරුවා. දෙනම ම සිවුරු පාත්‍රා ගෙන බුදුරජාණන් වහන්සේ බැහැ දැකීමට වැඩියා. බොහෝ සේ සිත් තැවුලට පත් ගුරු හිමියෝ බුදුරදුන් අබියස මෙසේ කියා සිටියා.

“ස්වාමීනි, මේ තරම් ගුණ යහපත් ගෝල නමක් මා දැක නැහැ. මගෙන් වූ වරදට උන්වහන්සේ පවසන්නේ තමාගේ පෙර අකුසලයක් බවයි. එය මට මහත් සිත් වේදනාවක්” එවිට භාග්‍යවතුන් වහන්සේ වදාළා.

“පින්වත් තිස්ස, මේ කුඩා සාමණේරයන් සියලු කෙලෙස් නසා අරහත්වයට පත් වූ කෙනෙක්. එවැන්නකුගේ සිතේ වෛරය රැඳෙන්නේ නැහැ. මුසාවාදය, ප්‍රාණඝාතය නොමැති හෙයින් සංසිඳුණු සිත් ඇතිව උන්වහන්සේ වාසය කරනවා. සිත,කය, වචනය යන තිදොරින් කිසිදු පවක් නො කරන රහත් උතුමකු කිසිදු දිනක වෛර කිරීම ආදිය සිදු නො කරයි යනුවෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. බුදුන් වහන්සේගෙන් දහම් ඇසූ කොසැඹෑනුවර තිස්ස තෙරණුවෝ ද උතුම් අරහත්බවට පත් වූවා.

නවම් අව අටවක

පෙබරවාරි 13 සඳුදා
පූ.භා. 09.44 න් අව අටවක ලබා
14 අඟහරුවාදා. පූ.භා. 09.03 න් ගෙවේ.
13 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 13

Full Moonඅමාවක

පෙබරවාරි 19

First Quarterපුර අටවක

පෙබරවාරි 27

Full Moonපසළොස්වක

මාර්තු  06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]