[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

සම්බුදු සසුනේ උන්නතිය වෙනුවෙන් ඇපකැප වූ මහා යතිවරයාණෝ බෙල්ලන්විල විමලරතන අනුනාහිමිපාණන් වහන්ස

සම්බුදු සසුනේ උන්නතිය වෙනුවෙන් ඇපකැප වූ මහා යතිවරයාණෝ බෙල්ලන්විල විමලරතන අනුනාහිමිපාණන් වහන්සේ

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනු නා හිමිපාණන් වහන්සේ අපවත් වී මෙම 03 වැනිදාට වසර 5ක් සම්පූර්ණ විය. මේ ලිපිය උන්වහන්සේට ගෞරවය පිණිසය.

1942 අප්‍රේල් මස 14 දින ජන්ම ලාභය ලද මෙම පින්වත් කුලකුමරුවාණන්ගේ ගිහිකල නම වූයේ ඕමන්තගේ ගිල්බට් පෙරේරා ය.

නිකපේ ශ්‍රී විජයරාජ පාසල, පිළියන්දල මධ්‍ය මහා විද්‍යාලය හා වාද්දුව මොල්ලිගොඩ ප්‍රවචනෝදය පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය ලැබූ එම කුලකුමරුවා වයස අවු. 13 දී එනම් 1956 පෙබරවාරි 28 වැනි දින බෙල්ලන්විල රාජමහා විහාරස්ථානයේ ස්වර්ණමය යුගයේ නිර්මාතෘ ලෙස සැලකෙන බෙල්ලන්විල සෝමරතන ලොකු හාමුදුරුවන් වෙතින් පැවිදි දිවියට ඇතුළත් වූහ.

1967 කැලණිය විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධියත් 1972 විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් පාලි භාෂාව පිළිබඳ විශේෂවේදී උපාධිය ගත් අතර, 1980 දී එංගලන්තයේ ලැන්කැස්ටර් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියත් ලබා ගන්නට සමත්වූහ.

පැපිලියාන සුනේත්‍රාදේවී පිරිවෙනේ ආචාර්යවරයකු ලෙස සිය ගුරු ජීවිතය ඇරඹූ උන්වහන්සේ රත්මලාන පරමධම්මචේතිය පිරිවෙනේ දැරූ පරිවේණාධිපති තනතුරෙන් ඉවත් වී ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයකු ලෙස පූර්ණ කාලීනව සිය සේවාව ලබාදෙන ලද්දේ එම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්නා සිසුන් දහස් ගණනකට දැනුම පෝෂණය ලබාදීමේ අරමුණිනි.

උන්වහන්සේ විශ්වවිද්‍යාල සිසුන් වෙනුවෙන් කරන ලද අනූපමේය සේවාව හා අනෙකුත් ආගමික, සමාජයීය හා ශාස්ත්‍රීය සේවාවන් ගැනත් සලකා බලා 2000 වර්ෂයේ දී උන්වහන්සේට විශ්වවිද්‍යාලයක් තුළින් ලැබිය හැකි ඉහළම තනතුර වන සම්මානනීය කුලපති පදවියෙන් පිදුම් ලැබීම උන්වහන්සේටත්, එම තනතුරටත් කරන ලද ගෞරවයක් ලෙස හඳුන්වා දිය හැකිය.

උන්වහන්සේගේ ජීවිත කාලය තුළ උන්වහන්සේ සතු වූ සුවිශේෂී ඥානය, බුදුදහම හා අනෙකුත් ආගම් පිළිබඳ තිබූ පුළුල් දැනුම උපයෝගී කර ගනිමින් උන්වහන්සේ විසින් රචිත ධර්ම ගවේෂණ ග්‍රන්ථ රාශියකි.

ඒ අතර බුදුවරු සහ බෝසත්වරු, බුද්ධාගම හඳුනා ගැනීම, බුදු පිළිමය, මුද්‍රා සහ ආසන, බුද්ධ ප්‍රතිමා කලාව සහ බුදු පිළිමයේ විකාශය, බෞද්ධ සම්ප්‍රදාය හා සංස්කෘතිය, බුදු පිළිමයට පෙර බුදුහාමුදුරුවෝ, අංගුත්තර නිකායේ සිංහල අනුවාදය, ප්‍රඥා පාරමිතා සාහිත්‍යය, බුදුදහම සාහිත්‍ය හා කලාව, නොසැලෙන මනස, බෞද්ධ මහා පුරුෂ සංකල්පය, මිනිසාගේ ආගම්, ඒ අතර ප්‍රධාන වේ. මෙයට අමතරව උන්වහන්සේ විසින් පුවත්පත්වලට රචනා කළ විචාර ලිපි ද රාශියකි. තවද උන්වහන්සේ විසින් ඉංගී‍්‍රසි භාෂාවෙන් ද ග්‍රන්ථ රාශියක් රචනා කළ අතර, ඒවා දෙස් විදෙස් බොහෝ පිරිසකගේ විශේෂ අවධානයට හා සම්මානයට පාත්‍ර වූ පොත් වශයෙන් ද හඳුන්වා දිය හැකි ය.

උන්වහන්සේ විසින් රචිත මෙම සෑම ග්‍රන්ථයකින් ම කියාදෙන්නට උත්සාහ ගෙන ඇත්තේ වර්තමානයේ මිනිසුන් තුළ පවත්නා විවිධාකාර වූ ප්‍රශ්න ගැටලුවලට ප්‍රායෝගිකව විසඳුම් දිය හැකි එකම දහම බුදුදහම බව පෙන්වා දීමට ය.

උන්වහන්සේ කිසි විටෙක කිසිවකුගෙන් හෝ ලාභ ප්‍රයෝජන, තාන්න මාන්න බලාපොරොත්තු නොවූ යතිවරයකු විය. මේ නිසාම උන්වහන්සේට කිසිවකුට ගැති නොවී තීන්දු තීරණ ගැනීමේ හැකියාවත්, ඕනෑම අයකුගේ වරදක් දුටුවිට එය විවෘතව විවේචනය කිරීමේ හැකියාවත් තිබුණි.

කිසිවිටෙකත් පදවි තානාත්තර පසුපස හඹා නොගිය උන්වහන්සේ ජාතික, ආගමික, ශාසනික පුනරුදය සඳහා සිය මතය අභීතව ප්‍රකාශ කළ භික්ෂූන් වහන්සේනමක් ලෙස ද ප්‍රසිද්ධියට පත්ව සිටියහ.

උතුම් මානුෂීය ගුණාංගවලින් පිරුණු උන්වහන්සේ මිනිසුන්ට පමණක් නොව සතා සීපාවට ද දැක්වූයේ අසීමිත ළෙන්ගතුකමකි. පාන්දර අවදිවන උන්වහන්සේගේ දින චර්යාව ආරම්භ වන්නේ විහාර භූමියේ ඇති ගහකොළ අතරේ ඇවිදිමින් කුරුල්ලන්ගේ ගී හඬට සවන්දෙමින් පිපී ඇති මල්වල සුවඳ හා අසිරිය විඳගැනීමෙනි. උන්වහන්සේගේ ඉල්ලීමකට අනුව බුරුම රජයෙන් පරිත්‍යාග කරන ලද “මියන්කුමාර්” ඇත් පැටවා ළඟට දිනපතාම ගොස් පලතුරුවලින් සංග්‍රහ කරන්නේද පියකු දරුවකුට සලකන ළෙන්ගතුකමකිනි. විහාරස්ථානයේ ගසක අත්තක් කැපීමට පවා විරුද්ධ වන උන්වහන්සේ ඒ තරමටම ස්වභාවික පරිසරය කෙරෙහි ආදරය දැක්වූහ.

ආගමික ශාස්ත්‍රීය කටයුතුවලට පමණක් සීමා නොවී සමාජ සේවා කටයුතු කෙරෙහි ද උනන්දු වී කටයුතු කළ ස්වාමීන් වහන්සේ නමක් ලෙස හඳුන්වා දිය හැකි ය. පාසල් හැරයන තරුණ පිරිස් ත්‍රීරෝද රථවලට යොමුවීම කෙරෙහි උන්වහන්සේ තුළ පැවතියේ බලවත් නොසතුටකි. ඒ වෙනුවට ඔවුනට කිසියම් හෝ දෑතේ පුහුණුවක් ලබාදී රැකියාවන්ට යොමුකිරීමේ අරමුණින් උන්වහන්සේ විසින් වෘත්තීය පුහුණු පාඨමාලාවන් රාශියක් විහාරස්ථානය තුළ ආරම්භ කිරීමට කටයුතු කරන ලදී.

අද එය වෘත්තීය පුහුණු අධිකාරිය සමඟ ඒකාබද්ධ කර ඇති අතර, එයින් පුහුණුව ලැබූ විශාල පිරිසක් අද දේශීය හා විදේශීය රැකියාවන් හි නිරත වී සිටිති. එම වෘත්තීය පුහුණුව තුළින් ලබා ගන්නා වටිනා සහතිකය සිසුන් බොහෝ දෙනකුට දෙස් විදෙස් රැකියාවන් ලබා ගැනීමට පහසු වී ඇත.

එපමණක් නොව උන්වහන්සේ විහාරස්ථානයේ රථගාලෙන් ලැබෙන ආදායම විහාරස්ථානයේ කටයුතු සඳහා නොයොදවා එම මුදල සම්පූර්ණයෙන් ම ප්‍රදේශයේ වකුගඩු හා හෘද රෝගීන්ගේ සැත්කම් සඳහා අරමුදල් සපයන ගිණුමක් බවට පත් කර ඇත.

විමලරතන ස්වාමීන් වහන්සේ විහාරස්ථානයේ ශ්‍රී බෝධිරාජ දහම් පාසල ආරම්භ කරන ලද්දේ ළමුන්ට අධ්‍යාපනය පමණක් නොව ඔවුන්ට විනය හා ගුණගරුක බව ලබාදීමේ අරමුණිනි. අද එම දහම් පාසල දක්ෂ ආචාර්ය මණ්ඩලයක් යටතේ සිංහල හා ඉංගී‍්‍රසි මාධ්‍යයෙන් ඉගෙන ගන්නා සිසුන් 2500කට අධික සංඛ්‍යාවක් සිටින අගනුවර ඇති ප්‍රධාන පෙළේ දහම් පාසලක් බවට පත්ව ඇත.

මාස 3කට වරක් කළුබෝවිල හා කොළඹ මහ රෝහලේ විශේෂඥ වෛද්‍යවරු කැඳවා ප්‍රදේශයේ අසරණ ජනතාවට නොමිලයේ බෙහෙත් ලබා දීම සඳහා වෛද්‍ය සායනයක් පැවැත්වීමත්, වසරකට වරක් ප්‍රදේශයේ දුප්පත් පවුලක් තෝරා ඔවුනට ඉඩමක් සහිත නව නිවෙසක් ඉදිකර දීමත්, ප්‍රදේශයේ අධ්‍යාපනය ලබන අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට පොත් හා ශිෂ්‍යත්ව ලබාදීමත් උන්වහන්සේ විසින් ආරම්භ කළ ප්‍රජා සත්කාරක සේවාවන් අතර වේ.

උන්වහන්සේගේ 5වැනි ගුණානුස්මරණ පින්කම වෙනුවෙන් උන්වහන්සේට පින් අනුමෝදන් කිරීම සඳහා පෙබරවාරි 02වැනි දින පූජ්‍ය තුම්බෝවිල ධම්මරතන නාහිමියන් විසින් ධර්ම දේශනාවක් පැවැත් වූ අතර, පෙබරවාරි 03 වැනි දින මහා සංඝරත්නය විෂයයෙහි දවල් දානය පිරිනැමිණි. ඊට සමගාමීව තවත් පින්කම් රැසක් සිදු කෙරිණි.

අපවත් වී වදාළ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් වෙනුවෙන් සිදු කරනු ලබන මෙම හැම පින්කමක්ම බෙල්ලන්විල රාජමහා විහාරාධිපති, සිංගප්පූරුවේ ප්‍රධාන සංඝනායක, කඩුගන්නාව ජාත්‍යන්තර භාවනා මධ්‍යස්ථානයේ නිර්මාතෘ ආචාර්ය බෙල්ලන්විල ධම්මරතන නායක හිමියන්ගේ මූලිකත්වයෙන් සිදුකරනු ඇත.

විමලරතන හිමි වැනි උගත් බුද්ධිමත් යතිවරයාණන් වහන්සේ නමකගේ අභාවය නිසා ඇති වූ හිඩැස අපට කිසි දිනෙක සම්පූර්ණ කළ නොහැකි අඩුවක් වනු ඇත. දැයෙන් සමුගත් මෙම යතිවරයාණන් වහන්සේ සිදුකරන ලද සමාජ, ආගමික, ශාස්ත්‍රීය සේවාවන් සලකා උන්වහන්සේට ගෞරව කිරීමක් වශයෙන් දැනටමත් බෙල්ලන්තර බොරලැස්ගමුව ප්‍රධාන මාර්ගය “මහාචාර්ය බෙල්ලන්විල විමලරතන අනුනාහිමි මාවත” ලෙස නම්කර ඇති අතර, ඉදිරි දිනක පවත්වන උත්සවයක දී උන්වහන්සේ වෙනුවෙන් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව මුල් දින කවරයක් නිකුත් කිරීමට ද කටයුතු සම්පාදනය කර ඇත.

සුපේෂල ශික්ෂාකාමී මහා සංඝපීතෘන් වහන්සේ නමක් ලෙස මුළු මහත් ලෝකවාසීන්ගේ භක්ත්‍යාදරයට පාත්‍ර වූ උන්වහන්සේගේ ඒකායන අරමුණ වූයේ ලොව ජාතීන් අතර, ජාතික සංහිඳියාව ඇති කිරීමයි. ඒ වෙනුවෙන් සර්ව ආගමික නායකයින් සමඟ එක්ව උන්වහන්සේ විශාල වැඩ කොටසක් නිහඬව ම ඉටු කළ සේක.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති තනතුර දරමින් ම උසස් අධ්‍යාපන කොමිසම, ජාතික අධ්‍යාපන ආයතනය, පාලි හා බෞද්ධ විශ්වවිද්‍යාලය, ලෝක බෞද්ධ සම්මේලනය වැනි ආයතන රාශියක නායකත්වය හා උපදේශක තනතුරු දරමින් ශාස්ත්‍රීය පොත පත ද ලියමින් උන්වහන්සේ අප රටට ජාතියට සිදු කරන ලද්දේ මිල කළ නොහැකි සේවාවකි.

මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමි නම් වූ ඒ යතිවරයාණන් වහන්සේට අජරාමර නිවන් සුව අත්වේවා.

නවම් අව අටවක

පෙබරවාරි 13 සඳුදා
පූ.භා. 09.44 න් අව අටවක ලබා
14 අඟහරුවාදා. පූ.භා. 09.03 න් ගෙවේ.
13 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 13

Full Moonඅමාවක

පෙබරවාරි 19

First Quarterපුර අටවක

පෙබරවාරි 27

Full Moonපසළොස්වක

මාර්තු  06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]