[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

සීලයේ අසිරිය

සීලයේ අසිරිය

ජීවිතයට වටිනාම ආරක්ෂාව සීලයයි. සීලය නම් වූ ආරක්ෂාව නැත්නම් සැබවින් ම අපි අනාරක්ෂිත යි.

අන් අය සුවපත් කරන වෛද්‍යවරයකු වූවත් සීලය තමාගේ ජීවිතයට ගලපාගෙන නැත්නම්, ඔහු තමාගේ ජීවිතයේ සුවය හදාගෙන නැහැ. අපි මේ ලෝකයේ කුමන දේ ගොඩනැඟුවත් සිල්වත් ජීවිතයක් ගොඩනඟා ගෙන නැත්නම් අපි අනාරක්ෂිත යි. මේ ජීවන රඟ මඬලේ සීලය අපට ගලපා ගන්න බැරි වුවොත් කුමන වෘත්තියක යෙදුණත් අපි අසාර්ථක යි. එනිසා සිල්වත් වීම පිණිස කැමැත්තක් ඇතිකර ගන්න ඕනෑ. ඒ සඳහා මේ කතාව කියවන්න.

මේ සිදුවීම සිදුවූයේ මහා සාගරයක් මැද නෞකාවක නැග ගත් හත්සියයක මහා පිරිසක් මුහුදු ගමනක් ගියා. මේ ගමන දින දෙක තුනක්. මහා සාගරය මැදට යන විට හදිසියේ ම නෞකාව අනතුරට පත්වුණා. නැවේ විශාල කොටසක් කැඩී ගියා.

දැන් නෞකාවට වේගයෙන් වතුර පිරෙනවා. නැව සාගරය මැද ගොඩබිමක් නො පෙනන ප්‍රදේශයක ගිලෙන්නයි සූදානම. නැවේ ඉන්න පිරිස කෑ ගසමින් විලාප තිබ්බා. අඬන්නට පටන් ගත්තා. වැළපුණා. “අහෝ අපට කාගේ පිහිටක් ද” කියා යදින්නට පටන් ගත්තා.

ඒ හත්සියයක් පිරිසක් හඬා වැළපෙන විට ඒ අයට පේනවා එක් පුද්ගලයෙක් කම්පාවක් නැතිව, තැති ගැනීමක්, හැඬීමක් නැතිව ඉන්නවා. ඒ පිරිස ඒ පුද්ගලයා අසලට ගොස් අසනවා

“කියන්න, මේ මහා නෞකාව, ගිලෙන්නට ළඟයි. ඔබට බයක්, වෙහෙසක් නැත්තේ ඇයි?”

“මම මගේ ජීවිතයට ආරක්ෂාවක් හදාගෙනයි ඉන්නේ ඒ නිසා මරණයට මට බියක්, තැතිගැනීමක් නැහැ. මට පිහිටක්, සරණක්, ආරක්ෂාවක් තිබෙනවා.”

ඒ නැවේ විවිධ වෘත්තීන්හි නියැළුණු බොහෝ දෙනා හිටියා. ඒ අය ඉල්ලා සිටියා භීතිය නසන බලයක් පිහිටක් ඔබට තිබෙනවා නම් අපටත් ඒ අසිරිමත් රැකවරණය දෙන්න කියලා.

එවිට ඔහු කියනවා මම අවංකව ම තෙරුවන් සරණ ගිය කෙනෙක්.

ඒ වගේම මම තෙරුවනට පොරොන්දුවෙලා නිති පන්සිල් ආරක්ෂා කළ කෙනෙක්. මම මේ නැවට ගොඩවෙන්න කලින් උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන් වුණා. දැන් මම උතුම් සීලයක පිහිටා සිටින කෙනෙක්. මට තිබුණු විශාල රැකවරණය එයයි. මේ ජීවිතය, ඖෂධ, ආහාර තිබූ පමණින් ආරක්ෂා කර ගත නොහැකියි. කාය බලය, ධන බලය තිබුණාට මේ ශරීරය ආරක්ෂා වෙන්නේ නැහැ. මරණය ඕනෑම මොහොතක මා වෙත එනවා කියලා මම දන්නවා” කියා ඒ පුරුෂයා කිව්වා.

අර හත්සියයක් පිරිස මේ අභීත පුරුෂයාගෙන් ඉල්ලා සිටියා

‘අනේ අපටත් ඒ ආරක්ෂාව පිහිට දෙන්න” කියා, එවිට ඔහු නැව ගිලෙන්නට පෙර ඒ පිරිසට රැකවරණය දුන්නා. ඒ තෙරුවන් සරණයෙහි පිහිටුවා උපෝසථ අෂ්ඨාංග සීලයේ ඒ සියලු දෙනාම සමාදන් කරවීම යි.

ඔවුන් සිල් සමාදන් වී අවසන් වන විට නැව මුහුදුබත් වුණා. ඒ හැම දෙනාම මරණයට පත් වුණා. ඔවුන්ගේ ඥාතියකුට, හිතවතකුට, ධනයට, නිලයට, බලයට ඔවුන් බේරා ගැනීමට නොහැකි වුණා. ඔවුන් සමාදන් වූ සීලයටත් බැරිවුණා ඔවුන් බේරාගන්න. එහෙත් ඒ සරණයටත්, සීලයටත් පුළුවන් වුණා මිනිස් ලොව අත් හරිද්දී සුගති රැකවරණය සලසා දෙන්න.

සදහම් අහන්න පුළුවන්, සත්පුරුෂ ඇසුරක් ලැබෙන, පින්දහම් කර ගන්න පුළුවන් දෙව්ලොව ඒ සියලුම දෙනා ඉපදුණා. ඒ සීලයේ බලය යි. ඒ නිසා නිති පන්සිල් රකිමින් පුන් පෝ දිනට නො වරදවා ඔබත් උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන් වෙන්න රහතන් වහන්සේ, අරහත් උත්තමාවියෝ අනුගමනය කරමින් ඒ මුනිවරු මුනිවරයන්ගේ ජීවිත ගැන හිත හිතා තමන් ද උපෝසථ අෂ්ඨාංග සීලය සමාදන්ව රක්ෂා කරන්න. මේ ජීවිතය හැමදාම තිබෙන්නේ නැහැ. අපි දිනෙන් දින වයසට යනවා. මරණයට ළං වෙනවා. ඒ නිසා පෝ දින බාහිර සියලු වැඩ නවතා උතුම් සීලය සමාදන් වෙන්න.

විනෝද ගමන් යන්න, විසිතුරු දේ බලන්න, නිවෙස පිරිසුදු කරන්න ඒ දිනය තබා ගන්න එපා. ඒ උතුම් දිනය උතුම් දෙයක් වෙනුවෙන් වෙන් කරන්න පුරුදු වෙන්න.

නවම් අව අටවක

පෙබරවාරි 13 සඳුදා
පූ.භා. 09.44 න් අව අටවක ලබා
14 අඟහරුවාදා. පූ.භා. 09.03 න් ගෙවේ.
13 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 13

Full Moonඅමාවක

පෙබරවාරි 19

First Quarterපුර අටවක

පෙබරවාරි 27

Full Moonපසළොස්වක

මාර්තු  06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]