[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

උසස් ප්‍රතිපදාවක මාහැඟි සංකේතය පාත්‍රයේ පුරාණය

උසස් ප්‍රතිපදාවක මාහැඟි සංකේතය පාත්‍රයේ පුරාණය

ගෙයක් ගෙයක් පාසා පිඬුසිඟා යාම මඟින් ගුණදම් රැසක් භික්ෂුව තුළ වර්ධනය වේ. ඒවා අතර ලද දෙයින් සතුටුවීම, පහසුවෙන් පෝෂණය කළ හැකිවීම, ස්වල්ප කටයුතු ඇත්තකු වීම, සැහැල්ලු පැවතුම් ඇතිවීම, සන්සුන් ඉඳුරන් ඇතිවීම, කුලයන් කෙරෙහි නො ඇලීම ආදී ගුණාංගයෝ භික්ෂු ජීවිතය අර්ථවත් කරමින් ඔපවත් ද වේ.

පාත්‍රයට ඇත්තේ දීර්ඝ ඉතිහාසයකි. බුද්ධ කාලයටත් පෙර පාත්‍රය ගැන සඳහන් වන නිසා පාත්‍රය යන වචනය හුදු සාසනික ව්‍යවහාරයක්ම නොවේ. දඹදිව් වැසියා පාත්‍රය යන වචනය භාවිත කොට ඇත්තේ ආහාර අනුභවය සඳහා පාවිච්චි කරන ලද භාජනයකට ය.

අද භික්ෂූන් වහන්සේ දානය වළඳන භාජනයට පාත්‍රය යැයි කියනු ලැබේ. අද ගිහි ජනතාව ආහාර ගන්නා භාජනයට පාත්‍රය යන නම ව්‍යවහාර නොකරයි. එහෙත් අතීතයේ දී පැවිදි නො පැවිදි භේදයක් නොමැතිව ආහාර අනුභවය සඳහා යොදාගන්නා භාජනය පාත්‍රය යන නාමයෙන් හැඳින්වීය.

සිඟමන සඳහා ද පාත්‍රය පාවිච්චි කළ බව පෙනේ. “හිඟන්නාගේ පාත්තරයට සෙනසුරා වැටුණා වාගේ” යන කියමන් තුළින් එය තහවුරු වේ.

පැවිදි බව ලැබීම සඳහා මූලික අවශ්‍ය භාණ්ඩ අතර පාත්‍රය සහ සිවුරු ප්‍රධාන වේ. ඒවා නොමැතිව පැවිද්ද ලබා ගත නොහැකි ය. සිදුහත් බෝසතාණන් වහන්සේට පැවිදි වීමේ දී ඝටීකාර බ්‍රහ්මයා පාත්‍රය, සිවුරු පූජා කළ බව සඳහන් වේ.

පැවිදි වූ බෝසතාණන් වහන්සේ අනුපිය අඹ වනයට පිවිස සතියක් පමණ එහි වැඩ සිට පැවිද්දෙන් අටවැනි දින රජගහ නුවර පිඬු සිඟා වැඩිය බව සඳහන් වේ. මේ අනුව පැවිද්දේ ප්‍රධානම අංගය වනුයේ පිඬුසිඟා යැපෙන ආහාරයෙන් හෙවත් පිණ්ඩපාත දානයෙන් පෝෂණය වීමයි.

“පිණ්ඩියා ලෝප භෝජනං නිස්සාය පබ්බජ්ජා” යැයි දක්වා ඇති පරිදි පැවිද්ද පිණ්ඩපාත භෝජනය නිසා පවතින දෙයකි. පිඬුසිඟා යාම භික්ෂු ආජීවය පාරිශුද්ධියට පත් කරන්නකි. බුදු, පසේබුදු, මහ රහතන් වහන්සේ ගෙපිළිවෙළින් පිඬුසිඟා වැළඳූහ. අදත් එම චාරිත්‍රය අනුගමනය කරන ඇතැම් භික්ෂූන් වහන්සේ පිණ්ඩපාතයෙන් ම යැපෙති.

පිඬුසිඟා යෑම භික්ෂු ආකල්පයක් වුව ද බුදු සමයේ එය අනිවාර්ය අංගයක් ම නොවේ. “දිවි ඇතිතෙක් භික්ෂූන් වහන්සේ පිණ්ඩපාත භෝජනය වැළඳිය යුතු ය” යන දෙව්දත් තෙරුන්ගේ ඉල්ලීම කාරුණිකව ප්‍රතික්ෂේප කළ බුදුරජාණන් වහන්සේ කැමැති කෙනකුට එසේ කළාට වරදක් නැතැයි දේශනා කළහ.

දානය සඳහා විශේෂ ආරාධනාවක් නොමැති සෑම දිනයක ම පිඬුසිඟා වැඩම කිරීම බුදුරජාණන් වහන්සේගේ සිරිත විය. කිඹුල්වත්පුර නුවරට වැඩම කළ අවස්ථාවේ කිසිවක් බුදුරජාණන් වහන්සේට පසුදින දානයට ආරාධනා නො කළහ. බුදුරජාණන් වහන්සේ ශ්‍රාවක පිරිස ද පිරිවරා පසුදින පෙරවරුවෙහි පිඬුසිඟා වැඩියහ. එය දුටු යසෝධරා දේවිය සිය මාමණ්ඩිය වූ සුද්ධෝදන රජු වෙත ගොස් “ඔබ පුතුණුවන් මහමඟ පිඬුසිඟා වඩිතියි” කීවා ය. මේ පුවත ඇසූ විගසම කලබල වූ රජතුමා බුදුරජාණන් වහන්සේ වෙත ගොස්

“ස්වාමීනි, මෙසේ පිඬුසිඟා අපිට ලජ්ජා කරන්නේ ඇයිදැයි” ඇසීය. එවිට

“මහරජ මේ අපේ වංශයේ සිරිත යැයි” බුදුරජාණන් වහන්සේ වදාළ සේක. පසුදින සුද්ධෝදන රජුගේ ආරාධනාවෙන් බුදුරජාණන් වහන්සේ සිය භික්ෂු සංඝරත්නය සමඟ දානය සඳහා රාජ මාලිගාවට වැඩම කළහ.

ගෙපිළිවෙළින් යාම පිඬුසිඟා යෑමේ විශේෂ අංගයකි. ලොකු කුඩා දුප්පත් පොහොසත් භේදයක් නොමැතිව ගෙයක් ගෙයක් පාසා පිඬුසිඟා යාම තුළින් භික්ෂු ජීවිතයේ සාමානාත්මතා ගුණය මැනවින් තහවුරු කරයි. සෑම ගෙයක් ගෙයක් පාසා බත් හැළිවල භික්ෂූන් වහන්සේ වෙනුවෙන් බත් ටිකක් ඇති බව මණිකාර කුලුපගතිස්ස තෙරුන්ගේ කථා පුවතෙහි දැක්වේ.

බුදුරජාණන් වහන්සේ සියලු දේ අතහැර පැවිදි වන කුල පුත්‍රයාගේ ජීවනෝපාය සඳහා පිණ්ඩපාතය අනුදැන වදාළහ. පාත්‍රය පිඬුසිඟා යාමට අවශ්‍යම දෙයකි. ගෙයක් ගෙයක් පාසා පිඬුසිඟා යාම මඟින් ගුණදම් රැසක් භික්ෂුව තුළ වර්ධනය වේ. ඒවා අතර ලද දෙයින් සතුටුවීම, පහසුවෙන් පෝෂණය කළ හැකිවීම, ස්වල්ප කටයුතු ඇත්තකු වීම, සැහැල්ලු පැවතුම් ඇතිවීම, සන්සුන් ඉඳුරන් ඇතිවීම, කුලයන් කෙරෙහි නො ඇලීම ආදී ගුණාංගයෝ භික්ෂු ජීවිතය අර්ථවත් කරමින් ඔපවත් ද වෙති.

පිණ්ඩපාත භෝජනයට හා පිඬුසිඟා යාමට සෑම භික්ෂුවකට ම පාත්‍රයක් තිබිය යුතු ය. පාත්‍රයක් නොමැති අයකු උපසම්පදා නොකළ යුතු බවට ශික්ෂා පදයක් ද පනවා තිබේ. භික්ෂුවකට පාත්‍රයක් තිබිය යුතුය. පිණ්ඩපාත භෝජනය වැළඳිය යුතු යැයි සඳහන් වූවාට වෙනත් ආරාධනා හා සලාක ආදියෙන් ලැබෙන භෝජනයත්, පාත්‍රය හැර විනයානුකූල වෙනත් භාජනත් භික්ෂූන්ට අකැප නැති බව ද මතක තබා ගත යුතු කරුණකි.

භික්ෂූන් වහන්සේ අන්‍යයන් නිසා යැපෙන අයෙකි. යැපීම සඳහා පිඬුසිඟා ජනතාව කරා යා යුතු ය. බුදුරජාණන් වහන්සේ පෙරවරු කාලයෙහි ගමන් බිමන් යාමේ දී පාත්‍රය සිවුරු ගෙනයති.

ඇතැම්හු භික්ෂූන් වහන්සේ අන්‍යයන් නිසා යැපීම අනුමත නො කරති. භික්ෂූන් වහන්සේ ද සෙසු අයමෙන් රැකියාවක් කොට දිවි පවත්වා ගත යුතු යැයි කියන්නෝ බුද්ධ කාලයෙහි ද සිටියහ.

“දිනක් බුදුරජාණන් වහන්සේ පෙරවරු කාලයෙහි හැඳ පොරවා පාත්‍රය සිවුරුගෙන කසීභාරද්වාජ බ්‍රාහ්මණයාගේ කර්මාන්ත ස්ථානය යම් තැනක ද එතැනට එළඹියහ. ඒ වේලාවේ කසීභාරද්වාජ බ්‍රාහ්මණයා බත් අනුභව කරමින් සිටියේ ය. බුදුරදුන් එතැනට වැඩිසේක.

පිණ්ඩපාතය පිණිස වැඩසිටි බුදුරජාණන් වහන්සේ දැක උන්වහන්සේට මෙසේ කීවේය.

“ශ්‍රමණය, මම සාන්නෙමි. වපුරන්නෙමි. එසේ කොට අනුභව කරමි. ශ්‍රමණය ඔබ ද එසේ කොට අනුභව කරවයි” කීය. රැකියාවක් නොකර අනුන්ගෙන් යැපෙන පිරිස් රටේ ආර්ථික දියුණුවට බාධාවක් සේ සැලකූ බව ඉහත කතා පුවතින් පැහැදිලි වේ.

මේ අයුරින් උසස් ප්‍රතිපදා රැසක් පාත්‍රය මුල් කරගෙන දක්වා ඇති බැවින් ඒ පිළිබඳ විනය ප්‍රඥප්තීන් විමසා බැලීම වැදගත් ය.

ආහාර අනුභවයට ගන්නා සෑම භාජනයක් ම භික්ෂූන්ගේ පරිභෝගයට සුදුසු විනයානුකූල පාත්‍ර නොවේ. එම භාජන වෙනත් දේ සඳහා පරිහරණය කිරීමට භික්ෂූන් වහන්සේට තහනමක් නැත. එහෙත් පාත්‍රයක් වශයෙන් අධිෂ්ඨාන කොට පරිභෝග කළ යුත්තේ ඉතා කුඩා ද නොවූ, පමණට වඩා මහත ද නොවූ, නියමිත ජාතියෙන් තනන ලද, සෝදා පිරිසුදු කළ හැකි කළු පැහැය ගත් පාත්‍රය යි. ඇතුළත මට්ටම් නැති පාත්තරය භික්ෂූන්ට තහනම් ය.

බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේට නො දැරිය යුතු පාත්‍රා රැසක් දේශනා කොට ඇත. ඒවා අතර, රත්තරනින් සෑදූ පාත්‍රය, රිදී පාත්‍රය, මැණික් පාත්‍රය, පළිඟු පාත්‍රය, ලෝකඩ පාත්‍රය, වීදුරු පාත්‍රය, සුදු ඊයම් පාත්‍රය, කළු ඊයම් පාත්‍රය, තඹ පාත්‍රය, දැවයෙන් කළ පාත්‍රය නුසුදුසු ඒවා ය. එසේම ලබු කබල, වළං කබල පාත්‍ර වශයෙන් නොගත යුතු ය. භික්ෂූන්ට පරිභෝජනය කිරීමට සුදුසු පාත්‍රය ලෙස යකඩ පාත්‍රය සහ මැටි පාත්‍රය අනුදැන වදාළහ. යකඩ පාත්‍රය හා මැටි පාත්‍රය යන දෙකෙන් ද මැටි පාත්‍රය වඩාත් සුදුසු ය.

පාත්‍රය පරිභෝග කිරීම සම්බන්ධයෙන් ද ශික්ෂාපද රාශියක් චුල්ලවග්ග පාළියෙහි දක්වා තිබේ. එම ශික්ෂා පද උල්ලංඝනය කෙරේ නම් එම භික්ෂුවට දුකුලා ඇවැත් යැයි වදාරා තිබේ.

පාත්‍රා කොපමණ තිබුණත් අධිෂ්ඨාන කර ගත හැක්කේ නියමිත ජාතියෙන්, නියමිත ප්‍රමාණයට කළ එක් පාත්‍රයක් පමණි. පාත්‍රා කිහිපයක් අධිෂ්ඨාන කළ නොහැකි ය. නියමිත පාත්‍රය හැර අතිරේක පාත්‍රයක් දස දිනක් පමණ දැරිය හැකි ය. එය ඉක්මවන්නාහට පාත්‍රය නිසඟි වේ. පචිති ඇවැත් ද වේ. එමෙන්ම පස් තැනක් පිළියම් නොකළ පාත්‍රයක් ඇතිව අලුත් පාත්‍රයක් ඉල්ලා ගනී නම් ඒ පාත්‍රය නිසඟි වේ. පචිති ඇවැත් ද වේ.

ඉබ්බාට ඉබි කටුව බරක් නොවේ. එය උගේ ආරක්ෂාව පිණිස පවතී. භික්ෂුවට ද පාත්‍රය හා තුන්සිවුර බරක් නොවේ. ඒවා භික්ෂුවගේ ආරක්ෂාව පිණිස පවතී. අල්පේච්ඡ සැහැල්ලු දිවි පෙවෙතක් ගත කරන භික්ෂුවට පාත්‍රය මාහැඟි ආභරණයකි.

නවම් අව අටවක

පෙබරවාරි 13 සඳුදා
පූ.භා. 09.44 න් අව අටවක ලබා
14 අඟහරුවාදා. පූ.භා. 09.03 න් ගෙවේ.
13 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Second Quarterඅව අටවක

පෙබරවාරි 13

Full Moonඅමාවක

පෙබරවාරි 19

First Quarterපුර අටවක

පෙබරවාරි 27

Full Moonපසළොස්වක

මාර්තු  06

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]