[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

කල්පනාකාරී නොවු‍ෙණාත් ඍද්ධි බලයත් පිරිහෙනවා

කල්පනාකාරී නොවු‍ණොත් ඍද්ධි බලයත් පිරිහෙනවා

අනුරාධපුරයෙන් බොහෝ ඈත පෙදෙසක වැඩ සිටි මහරහතන් වහන්සේ නමකට ඕන වුණා මහාසෑය වන්දනා කරගන්න. තමන් වහන්සේගේ එකම සාමණේර ශිෂ්‍ය හිමි නමත් අඬගහගෙන දවසක් අනුරාධපුරය බලා පිටත් වුණා. දින ගණනකින් පසු අනුරාධපුරයට පැමිණ මහාවිහාරයේ නවාතැන් ගත්තා.

ගමන් වෙහෙස නිසා පැන් පහසු වී මදක් සැතපී රාතී‍්‍ර යාමයේ මහාසෑය වන්දනා කර ගැනීමට අදහස් කළා. වේලාසනින් සැතපුණ මහරහතන් වහන්සේ මධ්‍යම රාති‍්‍රයේ අවධි වී සාමණේර භික්ෂුවටත් නො දන්වා මහාසෑය වන්දනා කිරීමට පිටත් වුණා. එකෙණෙහි ම සාමණේර භික්ෂුවත් අවධි වුණා.

‘ආචාර්යයන් වහන්සේ මධ්‍යම රාති‍්‍රයේ තනිවම කොහේද යන්නේ? මමත් ගිහින් බලන්න ඕන’

යැයි තීරණය කරගෙන තෙරුන් වහන්සේ පිටුපසින් සැඟවි සැඟවී ම වැඩම කළා. මහරහතන් වහන්සේ මහාසෑයේ දකුණු දොරටුවෙන් ඇතුළු වී මහාසෑය දෙස බලා බුද්ධාලම්බන පී‍්‍රතිය උපදවාගෙන දොහොත් මුදුන් තබා වන්දනා කරන්න පටන් ගත්තා. බොහෝ වේලාවක් එසේ වන්දනා කර නැවතත් හිටගෙන දාගැබ දෙස බලමින් බුද්ධාලම්බන පී‍්‍රතිය තවදුරටත් විඳින්න පටන් ගත්තා. දාගැබ වන්දනා කරනවා දුටු සාමණේර හිමි උගුර පාදා තමන් සිටින බව ඇඟවූවා. තෙරුන් වහන්සේ පිටුපස හැරී බලා සාමණේර හිමි දැක

‘ඔබ කොයි වේලාවේද පැමිණියේ? මම දැක්කේ දැනුයි’යි කියා පැවසුවා. ‘ස්වාමිනි, මම ඔබ වහන්සේ වන්දනා කරන්න පටන් ගත්ත මොහොතේ ම තමයි මෙතැනට පැමිණියේ. මහත් වූ පී‍්‍රතියකින් මහාසෑය වන්දනා කරනවා දැක්කා. ස්වාමිනි, මල් ලැබුණොත් පූජා කරන්න කැමැතිදැයි විමසා සිටියා. එවිට මහතෙරුන් වහන්සේ

‘එසේය, සාමණේරය, කවුද අකැමැති සර්වඥ ධාතුන් වහන්සේ විශාල ප්‍රමාණයක් වැඩ සිටින මහා සෑයට මල් පූජා කරන්න. ලැබුණොත් මම සතුටින් පූජා කරනවා’යි පිළිතුරු දුන්නා.

සාමණේරයන් වහන්සේ ‘එසේනම් ස්වාමිනි, මඳක් ඉවසන්න. මම මල් රැගෙන එන්නම්’යි කියා එකණෙහිම ධ්‍යානයට සම වැදී තමන් උපදවා ගත් ඍද්ධි බලයෙන් හිමාල පර්වතයට වැඩම කර මහ තෙරුන් වහන්සේ දකුණු දොරටුවේ සිට බටහිර දොරටුවට සමීප වෙන්නටත් පෙර ම නොයෙක් වර්ණවලින් යුක්ත මල් වට්ටියක් ගෙනවිත් මහ තෙරුන් වහන්සේගේ අතෙහි තැබුවා. සතුටින් ඒවා පිළිගෙන

‘සාමණේරය, මල් ටිකයි නේද?’ යි විමසා සිටියා. ‘ස්වාමිනි, මල් ටිකයි තමයි වට්ටියේ තියෙන්නේ ඔබ වහන්සේට ඇති තරම් පූජා කරන්න එය බාධාවක් වෙන්නේ නෑ’යි පිළිතුරු දුන්නා.

මහ තෙරුන් වහන්සේ දාගැබේ පළමු පේසා වළල්ල පිරෙන්න මල් පූජා කළා. එහෙත් මල් වට්ටිය හිස් වුණේ නෑ. දෙවැනි පේසා වළල්ලත් පිරෙන්න මල් පූජා කළා. එහෙත් මල් වට්ටිය අවසන් වුණේ නෑ. තෙවැනි පේසාවළල්ල පිරෙන්නත් මල් පූජා කළා එහෙත් මල් අවසන් වුණේ නෑ. තවදුරටත් මල් පූජා කිරීමේ පී‍්‍රතියෙන් පසු වූ මහ තෙරුන් වහන්සේ දාගැබ් මළුව පුරාම මල් අතුරා දාගැබ් වහන්සේට පූජා කළා. එහෙත් මල් වට්ටිය අවසන් වුණේ නෑ. අවසානයේ දොරටුව සමීපයට පැමිණ ‘සාමණේරය, මල් වට්ටිය අඩුවන්නේ නෑ. කුමක් කළ යුතුද?’යි විමසා සිටියා. එවිට සාමණේරයන් වහන්සේ ‘ගුරු දේවයන් වහන්ස, මල්වට්ටිය යටිකුරු කරන්න’යි පවසා සිටියා. එකෙණෙහිම මල් වට්ටියේ මල් නැති ව ගියා. මහ තෙරුන් වහන්සේට සාමණේර හිමියන්ගේ ඍද්ධි භාවය ගැන පුදුමයට පත් වුණා. චිත්ත පී‍්‍රතියෙන් ඇත්පවුර වටා වැඩම කරමින් දාගැබ් වහන්සේ තෙවරක්ම ප්‍රදක්ෂිණා කළා. අවසානයේ සාමණේරයන් වහන්සේ සමීපයට වැඩම කර

‘සාමණේරයනි, දැන් ඔබ මහත් ඍද්ධිමත් භික්ෂුවක්. නමුත් ඔබ වහන්සේ යම් දවසක ඍද්ධියෙන් පිරිහී කණ පෙහෙකාර ස්ත්‍රියක විසින් පිස දෙන කැඳ අනුභව කරනවා. කල්පනාකාරීව වැඩ කර ගන්න’යි අවවාද කළා.

නමුත් පොඩි නම තමන්ට අභිමත අයුරින් ඍද්ධි බලයෙන් නොයෙක් ආශ්චර්යයන් කරමින් ජීවත් වෙන්න පටන් ගත්තා. ගුරු හිමියන් වැඩම කරන මාර්ගයේ පිණ්ඩපාතයේවත් වැඩම කරන්න ප්‍රිය කළේ නෑ. තමන් තනිවම පිණ්ඩපාත චාරිකාවේ යෙදුණා. දෙදෙනා වහන්සේ ම දාගැබ් වහන්සේ වන්දනා කර නොබෝ දවසකින් පිටත් වුණා කුච්චවේලි මහවෙහෙර නම් මහා විහාරයකට. එහි වැඩ සිටිමින් පිණ්ඩපාත චාරිකාවේ ද යෙදුණා.

එගමෙහි දීත් සාමණේරයන් වහන්සේ තනිවම පිණ්ඩපාත චාරිකාවේ යෙදෙන්න පටන් ගත්තා. එවිට මහතෙරුන් වහන්සේ

‘සාමණේරය, තනිව පිණ්ඩපාතයේ වැඩම කරන්න එපා’යි අවවාද කළා. එහෙත් එයත් ගණනකට ගත්තේ නෑ. තනිවම පිණ්ඩපාතයේ වැඩම කළා. දවසක් පොකුණක් සමීපයෙන් වැඩම කරන සාමණේර භික්ෂුවට ඇහුණා මිහිරි කටහඬින් ගී ගයමින් ස්නානය කරමින් මල් නෙළන රූමත් තරුණ ස්ති‍්‍රයක්. පොකුණ සමීපයට ම ළං වුණා. ඇගේ රූපයෙන් යටපත් වූ කාම රාගය මතු වී ගියා. ලාටුවල ඇලී ගිය මී මැස්සකු මෙන් ඇගේ රූපයෙහි හා කටහඩෙහි ඇලී ගියා. පිහාටු කැඩී ගිය කවුඩෙක් මෙන් ධ්‍යානයෙන් හා ඍද්ධි බලයෙන් පිරිහී ගියා. පොකුණ මත නො වැටී පුළුන් රොදක් මෙන් විල් ඉවුරෙහිම හිඳ ගත්තා. රූමත් තරුණිය ගොඩබිමට පැමිණ සළු හැඳගෙන සාමණේර හිමියන් වෙත පැමිණ ‘ඇයි ස්වාමිනි, කුමක් නිසා නැවතුණේ දැයි විමසා සිටියා. එවිට සාමණේර හිමි අදහස ප්‍රකාශ කළා.

එහෙත් ඔහුගේ සිත ඇය කෙරෙහි ම තිබූ නිසා ඇය මෙහෙම කල්පනා කළා.

‘මොහු මා නිසා උසස් ඍද්ධි බලයෙන් පිරිහුණා. දැන් අත්හැර දැමීම නො කළ යුතුයි.’ සිතා ගෙට ගොස් දෙමාපියන්ට දැන් වූවා. ඔවුනුත් පැමිණ තතු පහදා දුන්නා. එහෙත් සාමණේර භික්ෂුවගේ සිත නැවතත් සකසන්න බැරි වුණා.

‘ඔබ කියනවා අපගේ දියණිය ඕන කියලා. ඇය ජීවත් කරවන්න ඔබ දන්නේ මොනවා ද? අප කරන්නේ පෙහෙකාර වැඩ. ඔබට එය කළ හැකිද? යි විමසා සිටියා.

එවිට සාමණේර භික්ෂුව ‘ඔබ රැකියාව ගැන කියව කියවා ඉන්නේ මොකටද? මට ගිහිවීමට වස්ත්‍රයක් දෙන්නත් ඔබ ලෝභද?’යි ප්‍රතිඋත්තර දුන්නා. එය ඇසූ තරුණියගේ පියා ගෙල බැඳී සළුව ගලවා දී, දියණියත් ඔහුට පාවා දුන්නා. ඔහු පෙහෙකාර වැඩ ඉගෙනගෙන කර්මාන්ත ශාලාවක වැඩ කරන්න පටන් ගත්තා.

සෑම දවසකම කර්මාන්ත ශාලාවේ වැඩ කරන පුරුෂයින්ට කෑම ගෙන ඒම බිරින්දෑවරුන්ගේ සිරිත යි. දවසක් තමන්ගේ බිරිඳ කෑම ගෙනෙන්නට ප්‍රමාද වුණා. සෙසු පුරුෂයින්ගේ බිරින්දෑවරු කෑම ගෙනත් සෙසු අය කෑම කන්න පටන් ගත්තා. මොහු යන්ත්‍රවල තවදුරටත් වැඩවලම යෙදී සිටියා බිරිඳ කෑම ගෙනෙනකම්. ඇය ප්‍රමාදවී කෑම ගෙන ආවා.

කෝපයට පත් ඔහු බිරිඳට බොහෝ සේ දොස් පැවරුවා. ඒ අසා සිටි ඇය ‘වෙනත් ගෙවල්වල දර, ලුණු, ඇඹුල්, උයන පිහින හැම දෙයක්ම තියනවා. අපේ ගෙදර ඕන වෙලාවට කිසිම දෙයක් නෑ. ඒවා ගැන හොයල බලන්නේ නෑ’යි සැමියාටත් දොස් කියන්න පටන් ගත්තා.

එයින් තවත් කෝප වූ ඔහු ‘මැය ප්‍රමාද වී පැමිණියා මදිවට දොස් කියන්නත් පටන් ගත්තා’යි අසළ තිබුණු දණ්ඩක් අරගෙන ඇය දිහාවට ගසා දැම්මා. ඇය එයින් බේරීමට කණුවකට මුවා වුණත් එහි කොටසක් ඇගේ ඇසේ ඇනුණා. ලේ ගලන්න පටන් ගත්තා. ඇය දෑතින් ඇස වසාගෙන අඬන්නත් විලාප දෙන්නත් පටන් ගත්තා. ඒ දෙස බලා සිටි ඔහු තමන්ගේ ගුරු දේවයන් වහන්සේ ‘ඔබ යම් දවසක කණ පෙහෙකාර ස්ති‍්‍රයක පිස දෙන කැඳ අනුභව කරනවා.’යි පැවසුවේ මේ නිසායි සිහිපත් වී අඬන්න පටන් ගත්තා. එවිට සමීපයේ සිටි යහළු පෙහෙකාර තරුණයින් පැමිණ ‘දැන් අඬල ඵලක් නෑ. කණ ඇස නැවත සුවපත් කරන්න බෑ’යි පවසා සිටියා. එවිට තමන් හඩන්නේ ඒ නිසා නොවන බවත්, ගුරුදේවයන් වහන්සේ දුටු අනාවැකිය නිසා බවත් රැස් වූ යහළුවන්ට පවසා සිටියා'යි යන මේ කතා පුවත විනය අටුවාවේ සම්මප්පධාන විභාගයේ ඇතුළත් වෙනවා. සාමණේර හිමි මහත් වීර්ය වඩා උපදවා ගත් ධ්‍යානත්, ඍද්ධිබලයත් පිරිහී මහත් වූ දුකකට පැමිණියේ කාම ලෝකයට ඇලුම් කළ නිසයි. යමෙක් යම් ගුණයක් වර්ධනය කර ගත්තා නම් එය රැක ගැනීමට තවදුරටත් කටයුතු කිරීම වැදගත් වන බව මේ කතා පුවතින් පෙන්වා දෙනවා.

නවම් පුර අටවක

ජනවාරි 28 සෙනසුරාදා පූ.භා. 08.48 න් පුර අටවක ලබා
29 ඉරිදා පූ.භා. 09.09 න් ගෙවේ.
28 සෙනසුරාදා සිල්

පොහෝ දින දර්ශනය

First Quarterපුර අටවක

ජනවාරි 28

Full Moonපසළොස්වක

පෙබරවාරි 05

Second Quarterඅව අටවක

පෙබරවාරි 13

Full Moonඅමාවක

පෙබරවාරි 19

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දහම් අසපුව | දායකත්ව මුදල් |

 

© 2000 - 2023 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]