[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ජීවිතයක් වෙනස් කළ හැකි සද්ධර්ම දානය

ජීවිතයක් වෙනස් කළ හැකි සද්ධර්ම දානය

ප්‍රත්‍යුපකාර වශයෙන් කිසිවක් අපේක්ෂා නො කරමින්, ස්වාධීන ලෙස පරිත්‍යාගශීලිව අනුනට දෙන දෙය සැබෑ දානයකි.

සැබෑ දානයේ හරය නම් දෙන දෙය වෙනුවෙන් ආපසු යමක් අපේක්ෂා නොකර දීම ය. කිසියම් පුද්ගලයකු ත්‍යාග වශයෙන් දෙන දෙයින් ප්‍රතිචාර වශයෙන් කිසියම් ප්‍රතිලාභයක් ඇතිවෙති'යි අපේක්ෂා කරන්නේ නම්, ඔහු විසින් දෙන ලද්දේ දානයක් නොව භාණ්ඩ හුවමාරුවකි.

ත්‍යාගශීලි තැනැත්තා අනුන් තමාට කිසිසේත් ණය ගැති නොවෙයි. නැතහොත් ත්‍යාග මඟින් යමෙකු පාලනය කිරීමක් අදහස් නො කරයි. කුමක් නිසාද යත්, බොහෝ අය අකෘතඥ නො වන අතර, අමතක කරන්නන් විය හැකි බැවිනි.

සත්‍ය වූ දානමය ක්‍රියාව පුණ්‍ය ක්‍රියාවකි. එයට බැඳීම් ඇමිනී නැත. දෙන්නා හා ලබන්නා ද ස්වාධීන වෙති. සෑම ආගමක් ම දානය මහත් සේ අගය යි. යැපීමට තරම් ධනය ඇත්තෝ අනුන් ගැන ද සිතිය යුත්තා හ. තම ත්‍යාගශිලි භාවය සුදුසු අය වෙත යොමුවිය යුතු ය.

දන් දෙන්නන් අතර සිටින සමහරු දන් දෙන්නේ තම සමය, වර්ගය වෙත හරවා ගැනීමට ය. එවන් ක්‍රියාවල යටි අදහස තම ආගමට හරවා ගැනීම බැවින් එය සැබෑ දානය ලෙස නම් කළ නො හැකි ය. එය නම් අල්ලසකි.

දානය පිළිබඳ බෞද්ධ මතය නම් දානය නමැති ක්‍රියාවෙන් ආධ්‍යාත්මික ප්‍රගතියට බාධක වු පෞද්ගලික ලෝභය ඇති කරන අහිතකර චේතනාවන් අඩු කිරීමයි. ආධ්‍යාත්මික ප්‍රගතිය වෙත ගමන් කරන්නා ආත්ම ලාභය අඩු කර ගත යුතු අතර, වැඩි වැඩියෙන් පින් රැස් කිරීමේ ශක්තිමත් අධිෂ්ඨානය වර්ධනය කළ යුතු ය. ඔහුගේ දේපළ හා ඇති වූ බලවත් බැඳීම් ලිහා දැමිය යුතු ය. ඔහු අධිෂ්ඨාන සහගත නොවුවහොත් ලෝභයට වහලකු විය හැකි ය. තමාට අයත් හා තිබෙන දෑ අනුන් ගේ සතුට හා ප්‍රතිලාභය සඳහා තෝරා ගත යුතු ය. දීමේ දි යම්කිසි පුද්ගලයකු විසින් කරනු ලබන ක්‍රියා ශරීරික වීම ප්‍රමාණවත් නොවේ. තම සිත ද ඒ සඳහා යොදා ගත යුතු ය. සෑම ක්‍රියාවකින් ම සොම්නස ලැබිය යුතු ය. ත්‍යාගයක් හා සාමාන්‍ය දීමනාවක් හා දානය අතර විශේෂත්වයක් දැක්විය හැකි ය.

යම් කිසිවකුට ආධාර අවශ්‍ය බැව් වැටහුණු කල්හි ආධාර කිරීමට හැකි තත්ත්වයක තමා සිටින නිසාත්, තම දයාව හා කරුණාව හේතු කොට ගෙන එම පුද්ගලයාට උදව්වක් කිරීම එකකි. එහෙත් නියම දානය දීමක දී යමකු යමක් දෙන්නේ පින් තකා දානය ප්‍රගුණ කර ගැනීමේ මාධ්‍යයක් ලෙස ය. තම තෘෂ්ණාව හා ආත්මාර්ථකාමිකම අඩුකර ගැනීමට ය.

දානය බෞද්ධයන් පුරුදු කළ යුතු වැදගත් අංගයක් බවත් බුදුරදුන් පෙර උපන් ජාතිවල දී බුද්ධත්වය පතා පෙරුම් පුරද්දි පළමු පාරමිතාව වූයේ දානය බවත් දැන ගත යුතු ය. පුද්ගලයකු දාන මානාදිය සිදු කෙළේ ත්‍රිවිධ රත්නයේ ප්‍රබල ගති ලක්ෂණ හා පුණ්‍ය මහිමය අගය කිරීමක් ලෙස ය. පුද්ගලයකුට දිය හැකි බොහෝ දේවල් ඇත්තේ ය. ඔහුට භෞතික දේවල් දිය හැකි ය. කුසගිනි ඇත්තන්ට ආහාර ද, දුගියනට මිල මුදල් හා ඇඳුම් පැළඳුම් ද දිය හැකි ය. ඔහු සතු දැනුම ද, දක්ෂතාව ද කාලය, ශ්‍රමය හෝ ප්‍රයත්නය වැනි දේ ද අනුන්ගේ දියුණුව සාර්ථක කිරීම සඳහා යෙදවිය හැකි වේ.

කරදරයට පත් මිතුරන් සඳහා සානුකම්පික අවධානය, යහපත් මාර්ග දේශකත්වය යොමු කළ හැකි වේ. සෙසු පණ ඇති සතුන් මරා දැමීමෙන් වැළකී සිටිය හැකි ය. එ මඟින් කිසිදු පිළිසරණක් නැති සතුනට ජීවිත දානය දී මරණයෙන් බේරාගත හැකි ය.

තම රුධිරය, ඇස්, වකුගඩු ආදී ශාරිරික කොටස් දීමෙන් අනුන් සුවපත් කළ හැකි ය. මෙවන් දානමය පුණ්‍ය කර්මය ප්‍රගුණ කරන ඇතැම් අය අනුන් කෙරෙහි උපන් කරුණාව හා සැලකිල්ල නිසා තම ජීවිතය පවා කැප කිරීමට සූදානම් වෙති.

පෙර උපන් ජාතිවල දී බෝධිසත්වයන් තම සිරුරේ කොටස් අනුන්ගේ යහපත සඳහා පරිත්‍යාග කොට ඇත. තම ජීවිතය ද අනුන් ජීවත් කරනු සඳහා දීමෙන් උන්වහන්සේගේ ත්‍යාගශීලි කරුණාභරිත දයාපරවශ බව පැහැදිලි කොට තිබේ. එහෙත් බුදුරදුන්ගේ මහා කාරුණික භාවයට ඇති ප්‍රධාන සාක්ෂිය හා මානව වර්ගයාට හිමි කළ අමිල තිළිණය උන් වහන්සේගේ සද්ධර්මයයි.

සත්වයන් සසර දුකින් මුදවා ගැනීමේ මාර්ගය එයයි.

බෞද්ධ දීමනාවන් අතර සද්ධර්ම දානයට වඩා ඉහළ වූ වෙනත් පරිත්‍යාගයක් නැත. එම පරිත්‍යාගයට ජීවිතයක් වෙනස් කිරීමේ ශක්තියක් ඇත. පුද්ගලයෙක් ධර්මය අසා පිරිසුදු සිතින්, අවංකව ඒ ධර්මය පිළිපදී ද? කිසිලෙසකින් හෙතෙම වෙනස් නොවේ. ඒ පුද්ගලයා ප්‍රබල ලෙස සතුට, සම්පත සාමය නිසා සිතෙහි ඇතිවන ප්‍රමෝද්‍යය ප්‍රත්‍යක්ෂ කරන්නේ ය.

මුල දී ඔහු කුරිරු අයකු වී නම් දැන් හේ කරුණා භරිත වූවෙකි. පළිරෝධයකු වී නම් දැන් සමාව දෙන්නෙකි. ධර්මය තුළින් ද්වේෂය කාරුණිකත්වයට හැරෙයි. ලෝභය ත්‍යාගශීලිත්වයට යොමු වෙයි. නොසන්සුන් බව සංහිඳියාවකට නැමෙයි. ධර්මයේ රස දැනුනු කල්හි පුද්ගලයා සුවය ප්‍රත්‍යක්ෂ කරන්නේ දැන් හෝ මෙහිදී හෝ පමණක් නොවේ. නිවනට පැමිණෙන තෙක් ඒ මාර්ගයේ උපනූපන් ජාතිවල දී ද එම සුවය විඳින්නේ ය.

උඳුවප් අමාවක පෝය

 දෙසැම්බර් 22 බ්‍රහස්පතින්දා අ.භා. 07.11 අමාවක ලබා 23 සිකුරාදා අ.භා. 03.46 ගෙවේ.
 23 සිකුරාදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonඅමාවක

දෙසැම්බර් 23

First Quarterපුර අටවක

දෙසැම්බර් 30

Full Moonපසළොස්වක

ජනවාරි 06

Second Quarterඅව අටවක

ජනවාරි 15

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]