[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

කඨින පූජාව පිළිබඳ ධාර්මික විවරණය

කඨින පූජාව පිළිබඳ ධාර්මික විවරණය

බුදු දහමෙහි ඉගැන්වෙන අටමහ කුසල් අතර කඨින පූජාව ප්‍රමුඛතම පින්කමයි. කඨින යන වචනය අටුවාචාර්ය විග්‍රහයට අනුව ස්ථිර, අචල, කුසල ක්‍රියාවකි. ඒ අනුව ආගමික නිරුක්ති අර්ථයෙන් සලකන විට එහි ධර්මමය අගය මනාව පැහැදිළි කර ගත හැකි ය.

කෘතඥතාව

කෘතඥතාව හෙවත් කළගුණ සැලකීම බුදුදහම අනුමත ප්‍රමුඛ න්‍යායකි. කඨිනයක් පූජාව තුළින් ද පිළිඹිබු වනුයේ ගිහිපැවිදි සාමූහික සහජීවනය හා කෘතඥතාවයි.

ඇසළ පොහොය දිනෙන් පසු දින අවපැලවිය දින පෙරවස් සමාදන්වන භික්ෂූන් හට හෝ ඇසළ පොහොයෙන් මසක් ඉක්ම ගිය කල පසුවස් එළඹෙන භික්ෂූන් හට ගිහියන් ආරාධනා කරන්නේ,

අර්ථයෙන්, ධර්මයෙන් අනුශාසනය කරමින් විහාරස්ථානය තුළ වස් එළඹෙන ලෙසත්, එයට ප්‍රත්‍යුපකාර ලෙස හිමි නම තුළ චීවර, සේනාසන, පිණ්ඩපාත, ගිලන්පස නොපිරිහෙලා පූජා කරන බව ආරාධනා කොට ප්‍රකාශ කිරිමෙකි.

“ගීහීනමුපකරොන්තානං - නිච්ච මාමිය දානතො

කරොථ ධම්ම දානෙන - තේසං පච්චුපකාරකං” යනාදි ලෙසින් එය බුදුදහමෙහි දක්වා ඇත.

එසේම කඨින චීවර පූජාවට පූර්වගාමීව වස් තෙමස තුළින් භික්ෂුහු ගිහියන් උදෙසා බෝධිපූජා පවත්වති, බුද්ධ පූජා පවත්වති, ධර්ම දේශනා පවත්වති. මේ කරුණු තුළ ගිහිපැවිදි සහජීවනය හා කෘතඥතාවප්‍රකට කරවන බව පැහැදිලිවේ.

අභිවාදනය හෙවත් පුද්ගලයකුගේ උසස් ගුණ ඇගයීම ද අනුස්මරණය හෙවත් මියගිය පුද්ගලයකුගේ ගුණ අනුස්මරණය ද වස් කාලය තුළ දී ලාංකීය බෞද්ධ සංස්කෘතිය පිළිබිඹු වන සංස්කෘතික අංගයකි.

බුදුදහමේ ඉගැන්වෙන පූජා විධීන් අපට ආගම තුළින් හෝ සංස්කෘතිය තුළින් හෝ ඒ සංසිද්ධීන් දෙකෙන්ම උරුම වී ඇත. කඨින චීවර පූජාව ඒ අතරින් ආගමික හා සංස්කෘතියෙන් අපට උරුම වී ඇත. බුදු දහමෙහි චාම් බව, සරල බව නිතර අගයයි. සරල වූත්, චාම් වූත් එහෙත් බෞද්ධ අභිමානය ප්‍රකට කෙරෙන පූණ්‍යවිධියකි කඨින චීවර පූජාව හා කඨින පෙරහර. ඒ තුළ ඇත්තේ රත්නත්‍රයේ අභිවාදනය යි.

උසස් ශික්ෂාවෝ

ආභිසමාචාරික යනු උසස් හැසිරීමට අදාළ වූ ශික්ෂාපදයෝ ය. සාමාන්‍ය චරියාවෙන් මිදි උසස් ගුණ ධර්ම ප්‍රගුණ කිරීමට අනුබල දීම අභිසමාචාරික ශික්ෂාවල දී සිදුකෙරේ.

කඨින පූජාව පුද්ගල සන්තානයේ උසස් හැසිරීමට අදාළ සිද්ධාන්ත කෙරෙහි යොමු කරවයි. ඒ අතර තමා මෙන්ම අන් අය තැවීමට ලක් නොවෙයි. කඨින පූජාව තුළ මානසික සංතාපයක් කිසිවිටක දී ඇති නොවේ. උසස් හැසිරීමට අදාළ වන ශික්ෂාවන් ද පොදු සමාජ සම්මුතින් ද අනුගත වේ. මජ්ක්‍ධිම නිකායේ අරණවිභංග සූත්‍රයේ “සාමඤ්ඤං හානිධාවෙය්‍ය” යනුවෙන් පොදු සමාජ සම්මුතිය නොඉක්මවා සිදුකරන පූජාවිධියකි කඨින පූජාව. ඒ බව කඨින පූජාවට හේතුවන වස්වැසීමේ චාරිත්‍රයෙහි නිධානයෙන් ම පැහැදිලි වේ.

බුදුසමය පහළ වන සමය අධ්‍යායක බමුණු සමාජය තුළ ත්‍රිවේධ පරප්‍රාප්ත අය සිටි බව ත්‍රිපිටකයේ ම සඳහන් වේ. එබඳු ආගමික ශාස්තෘන්ගේ අනුගාමිකයන් වස් කාලයේ ආරාම ගතව වාසය කරද්දි බෞද්ධ ශ්‍රාවකයෝ ඒකේන්ද්‍රිය ජීවීන් පාගමින්, මිටි තණ පාගමින් ඒවා විනාශ කරමින් ඇවිදිති. එය විවේචනය කළ ඔවුහු ශාක්‍ය පුත්‍රයන්ට දොස් නැගූහ. අවමන් කළෝ ය. එහි ප්‍රතිඵලයක් ලෙසට බුදුරජාණන් වහන්සේගේ ශාක්‍ය පුත්‍රයන්ට වස් කාලයේ වස් විසිමට අනුදැන වදාළ හ.

මේ අනුව පැහැදිලි වන කරුණු නම් බුදු දහමේ උගන්වන “තප” හෙවත් තැවීමට ලක්නොවන කාරණයකි කඨින පූජාව. බුදුදහම නිතර අගය කරන්නේ “නතං කම්මං කතං සාධුං යං කත්වා අනුතප්පති” ප්‍රතිඵලය අනුව තැවෙන ක්‍රියා නොකළ යුතු බවයි.

යම් ක්‍රියාවක් යහපත් නම්, එහි ප්‍රතිඵලය ද යහපත් ය. ඒ අනුව කඨින පූජාව ද බුදු සමයේ ඉගැන්වෙන න්‍යාය ධර්මයක් වන නො තැවිමේ න්‍යායට ද එකඟ වේ.

එසේම ආභිසමාචාරික ශික්ෂා අතරට ගැනෙන කඨින චීවර පූජාව තුළ සාමාන්‍ය චරිතාංගයන්ගෙන් මිදී උසස් ගුණ ධර්ම ප්‍රගුණ වීම තුළින් පුද්ගල සන්තානය තුළ දානය, ප්‍රිය වචනය ආදි සතර සංග්‍රහ වස්තු උපදවාලීමට ඇති ශක්තිය උත්පාදනය වනවා මෙන් ම මෙත්තා, කරුණා ආදී බ්‍රහ්මචරියාව පදනම් වන උතුම් චරිත ලක්ෂණ ද උත්පාදනය වේ.

බෞද්ධ ප්‍රතිපදාවේ උසස් හැසිරීමට හේතුවන ප්‍රගුණ කළ යුතු ප්‍රධාන ප්‍රතිඥාව වන්නේ සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රිශික්ෂාවයි. ඒ තුළ ජීවිතය හැඩගස්වා ගැනීම, වස් ආරාධනාවේ පටන් කඨින චීවර පූජාව තෙක් ගිහි පින්වතුන් සිදුකරන සියලු කාර්යවලීන් තුළ අන්තර්ගත වේ.

ආර්ය මාර්ගයේ ප්‍රථම පියවර හා ආර්ය මාර්ගයේ පදනම ලෙස සලකන සීල සම්පත්තියෙන් පරිපූර්ණ වීමත්, ඒ තුළින් සිත එකඟ බව හෙවත් සමාධියට, එකී සමාධිය තුළින් අවිද්‍යාවෙන් වෙන්ව මෝහ මූලික අකුසල්වලින් වෙන් ව ක්‍රියා කිරීමට කඨින චීවර පූජාව තෙක් සිදුකරන සියලු කාර්යාවලීන් හේතු වේ.

අමෝහයෙන් යුතුව ජීවිතය පිළිබඳ ලබන නිවැරැදි අවබෝධය නිසා තණ්හාවේ දාසයන් ලෙස එදිනෙදා ජීවිතය ගෙවන පුද්ගලයාට කඨින චීවර පූජාව යන ලඝු ගරු භාණ්ඩ පූජා තුළින් තණ්හාවේ දායකත්වයෙන් මිදී සීලය ප්‍රගුණ කිරීමෙන් පුද්ගල ආචාරාත්මක අංශයේ සංවර්ධනයත්, සමාධිය ප්‍රගුණ කිරීමෙන් පුද්ගල මානසික අංශයේ සංවර්ධනයත්, පඤ්ඤාව දියුණු කිරීමෙන් පුද්ගල අවබෝධයෙන් නිරවද්‍යතාවත් ඇති වේ.

මෙය වෙනකක් නොව මනෝ චිකිත්සාවකි. ඒ අනුව ඒ තුළ ඇත්තේ කායික, වාචසික චර්යාමය ප්‍රතිකාරය, මානසික චර්යාමය ප්‍රතිකාරය හා බුද්ධිමය ප්‍රතිකාරය යන මනෝ චිකිත්සාවේ එන ප්‍රධාන චිකිත්සා ක්‍රම තුනකී.

කිසියම් පූජාවක් තුළ තිබිය යුතු ධර්මමය පදනම විමසන විට එහි වැදගත් අංගයක් විය යුතු වන්නේ ඉහත න්‍යාය ධර්මයයි. කඨින චීවර පූජාවේ ආරම්භය වන වස් ආරාධනාවේ සිට තුන් මාසය තුළ පවත්වන පුදපූජා ආදිය ප්‍රධාන කොට කූඨප්‍රාප්තිය වන කඨින චීවර පූජාව තෙක් සියලු අවස්ථා යහපත් ආකාරයට ම සිදුකිරීම එහි අගය වැඩිවීමට හේතු වී ඇත. අද දවසේ වුව ද කඨින පින්කම, විශේෂ ඵල ලැබෙන පුණ්‍ය කර්මයක් ලෙස සිදුකරනු ලබයි. විශේෂයෙන් එහි අගය තවත් වැඩි වන්නේ කඨින වස්ත්‍රයක් වූවත් එය මැන කැපීම, මැසීම, වර්ණ ගැන්වීම යන මේ සියල්ල එක දවසක දී සිදුකිරීමයි.

කෙලෙස් ප්‍රහාණය

බුදු දහමේ ඉගැන්වෙන වැදගත් න්‍යායකි කෙලෙස් තැවීම හෙවත් අඩු කිරීමට වෑයම් දැරීම. කෙලෙස් නැසීම භික්ෂුව තුළ වහා කළ නොහැකි ය. කඨින චීවර පූජාව හා තදානුබද්ධ ක්‍රියාදාමය ද අප තුළ ඇති කෙලෙස් තදංග වශයෙන් හෙවත් කාලීනව යටපත් කරයි. එයින් ලබන පරිචරිය කෙලෙස් ධර්ම කාලීන හා සම්පූර්ණ වශයෙන් යටපත් කිරීමට පරිචරයක් ද වන්නේ ය.

නිරාමිස ප්‍රීතිය

සතුට යනු බුදුසමයෙහි පරම ධනයක් ලෙස හැදින්වේ. “සන්තුට්ඨි පරමං ධනං” එදිනෙදා ජීවිතයේ සාර්ථකත්වය පිණිස සතුට අත්‍යාවශ්‍ය ය. කඨින චීවර පූජාව තුළින් ද නිරාමිස ප්‍රීත්‍රියක් ලබා ගත හැකි වන්නේ එබඳු ක්‍රියා ප්‍රාණ චිකිත්සාවක් නිසා ය. කඨින චීවර පූජාව තුළින් ලැබෙන නිරාමිස ප්‍රීතිය තුළින් මෙලොව පරලොව දෙකෙහි ම සතුටු විය හැකි යැයි බුදු දහම තුළ පෙන්වා දී ඇත්තේ “ඉද නන්දති පෙච්ච නන්දති කතපුඤ්ඤෝ උභයත්ථ නන්දති” යනුවෙනි.

බුද්ධිමතුන්ගේ ප්‍රසාදය

මුල් බුදු සමයෙන් හා බෞද්ධ සම්ප්‍රදාය තුළින් අපට හිමි වූ පුණ්‍ය විධියකි කඨින චීවර පූජාව. රාජරාජාධි මහාමාත්‍යයන් ප්‍රමුඛ සියලු බැතිමතුන් අද දක්වා ම එය උනන්දුවෙන් සිදුකරනු ලබන්නේ බුද්ධිමතුන්ගේ අනුමැතියට ලක්ව ඇති නිසා ය. අනාගතයේ දී පවා කඨින චීවර පින්කම ගෞරවාදයට නිරතුරුව පාත්‍ර වීමට ද බලපාන ප්‍රබල සාධකය නම් එය බුද්ධිමතුන් ප්‍රසාදයට හේතු වීමයි. බුද්ධිමත් ජනතාව යනු කිසියම් ජන සමාජයක ජීවත්වන ශිෂ්ට සම්පන්න දැන උගත් මිනිසුන් ය. එබඳු අය කිසිවිටෙකත් අයහපත් දෙය අනුමත නොකරයි. ධර්මයෙහි විග්‍රහ වන්නේ නුවණැති අයට ගර්හාවට ලක්වන කිසිදු දෙයක් නොකිරීම ධර්ම මාර්ගයට පටහැනි බවයි. කඨිනය යනු කාගෙත් ප්‍රසංසාවට කාරණය වන පිංකමකි.

නිවන් අවබෝධයට

බුදුසමයේ අවසාන පරමාර්ථය සියලු දුක් කෙළවර කොට නිවන් අවබෝධයයි. කඨින පූජාව ද එම පරමාර්ථය ට කරා අනුක්‍රමයෙන් සහ ප්‍රතිපදාවට අනුගත ය. සමාජ සාරධර්ම සංවර්ධනයත්, සාමකාමි පැවැත්මටත් අනුබල ලැබෙන ශික්ෂණය කඨින චීවර පූජාව හා තදානුබද්ධ ක්‍රියාදාමය තුළින් ලැබෙන බැවින් එහි අවසාන ඵලය වන්නේ සන්තානය තුළ ය. විරාග, නිරෝධ, උපසම සංසිද්දීන් ඇති වේ. එය කඨින පින්කමක ජාති, ජරා, මරණ, ව්‍යාධි දුක්ඛයන්ගෙන් සදහටම ඉවත් වන නිර්වාණගාමී මාර්ගයට අවතීර්ණ වීම කඨින පින්කමක කූඨප්‍රාප්තිය ද වන්නේ ය.

පුර පසළොස්වක පෝය

  නොවැම්බර් 07 සඳුදා අ.භා. 04.21 පුර පසළොස්වක ලබා 08 අඟහරුවාදා අ.භා. 04.37 ගෙවේ. 07 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

Full Moonඅමාවක

නොවැම්බර් 23

First Quarterපුර අටවක

නොවැම්බර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]