[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මහා අභය තෙරුන්ගෙන් බණ ඇසූ මුව පෝතකයාගේ කතාව

මහා අභය තෙරුන්ගෙන් බණ ඇසූ මුව පෝතකයාගේ කතාව

උද්දලෝලක විහාරය කියලා මහා විහාරයක් අතීතයේ හෙළදිව පිහිටා තිබුණා. මේ විහාරය හරිම ලස්සන යි. රමණීය යි. බලන බලන අයගේ සිත් ඇද ගන්නවා. වැඩ සිටින තෙරුන් වහන්සේත් බොහොම කාරුණික යි. ධර්මය, විනය සහ අභිධර්මය හොඳින් පහදා දෙනවා. නිතර ධර්ම දේශනා පවත්වනවා. උන්වහන්සේලාගේ කාරුණික බව නිසාම මුවෝ, ඌරෝ, කුරුල්ලෝ ආදී නොයෙකුත් සතුන් පවා විහාර භූමියේ නිතර හැසිරෙනවා.

විහාරයට සමීපයේ ම පිහිටලා තිබුණා විශාල වැවක්. එක් වැද්දෙක් සවස් යාමය උදාවත් සමඟ දඩයමේ යනවා. ඔහු පුරුදුවෙලා හිටියා වැවට දිය බොන්නට එන සතුන් දඩයම් කරන්න. සතුන් දඩයම් කළේ ඊ විදීමෙන්. දුවන සතුන්ට ඊ විදින්න බැරි නිසා ඔහු උගුල් අටවනවා.

වැව් ඉස්මත්තේ විශාල වළක් හාරලා කොළ අතු බැදගෙන මුවන්ගේ පැමිණීම බලමින් ඉන්න පුරුදු වී සිටියා. හැම හැන්දෑවක ම උද්දලෝලක විහාරයේ ධර්ම දේශනාවක් පැවැත්වෙනවා. බොහෝ සැදැහැති පිරිස් බණ අහන්න පැමිණෙනවා. එදත් වෙනදා වගේ ම ධර්ම දේශනාවට විහාරයේ ප්‍රධාන තෙරුන් වහන්සේ වැඩම කළා. උන්වහන්සේගේ නම මහාඅභය තෙරුන් වහන්සේ. මේ ධර්ම දේශනා අසන්න තෙරුන් වහන්සේගේ මවත්, නැඟණියත් හැමදාම පැමිණෙනවා.

මහාඅභය තෙරුන් වහන්සේ ධර්මාසනාරූඪ වෙලා ධර්ම දේශනාවට “ධම්මස්සවණ කාලෝ අයං භදන්තා” යනුවෙන් (ධර්ම ශ්‍රවණයට කාලයයි) කියමින් බණ අහන්නට දෙවියන් සහිත ලෝ වැසියන්ට ආරාධනා කරන්න පටන් ගත්තා.

මේ ශබ්දය විහාර භූමිය පුරා පමණක් නොවේ. අසල ප්‍රදේශවලටත් පැතිර ගියා. දිවා සමයේ පැන් බීමට වැවට යාමට නොහැකිව සැගවී සිට කළුවර වැටෙන සමයේ හෙමින් හෙමින් පැන් බොන්නට මුවෙක් වැවට යමින් සිටියා. තෙරුන් වහන්සේ බණ අහන්න කාලඝෝෂා කරන ශබ්දය ඇසී ගමන නවතා දැම්මා. ඔසවන ලද දකුණු පයවත් බිම තැබුවේ නෑ. ඒ ශබ්දය නිසා බණ පද නො ඇසේවි යැයි හිතලා කර ඔසවා, දික්කරන ලද කන් ඇතිව බණ පද අහන්න පටන් ගත්තා. ඒ මොහොතේ ම වැද්දා තමාගේ අවස්ථාව පැමිණියෙන් ඊයෙන් විද මුවා මරණයට පත් කළා. මුවාගේ චුති සිත ධර්ම ශ්‍රවණයත් සමඟ පසුවුණා. මුවා ඒ මොහොතෙහි ම බණ අසමින් සිටි තෙරුන් වහන්සේගේ නැගණියගේ කුසෙහි පිළිසිඳ ගත්තා. දස මසක් ඇවෑමෙන් උපත ලැබුණා. නැගණිය බලන්නටත්, පුංචි පුතු බලන්නටත් මේ තෙරුන් වහන්සේ නිතර නැඟෙණියගේ නිවසට යන්න එන්න පටන් ගත්තා.

ක්‍රමයෙන් කාලය ගෙවී ගියා. වසර හතක් ගත වුණා. දවසක් තමන්ගේ නැගණිය අමතා “නංගී, දැන් පුතාට අවුරුදු අටක් වුණා. හොඳින් උගන්වන්න ඕන. බණ දහම් කියා දෙන්න ඕන. හොඳ ගුණ පුරුදු පුහුණු කරවන්න ඕන. ඒ නිසා මට බාර දෙන්න මම ඒ සියල්ල කර දෙන්නම්’යි කියලා දැනුම් දුන්නා.

ගිහි කල තම සහෝදරයා වූ තෙරුන් වහන්සේගේ ඉල්ලීම අනුව කුමාරයා තෙරුන් වහන්සේට බාර කළා.

කුමාරයා බොහෝ දවසක් විහාරයේ වතාවත් පුරුදු පුහුණු වුණා. තවත් ටික කලකින් මහණ කිරීමේ පින්කමක් ද යොදා ගත්තා. දිනය උදා වුණා. නැකත් වේලාවේ “කේසා, ලෝමා නඛා, දන්තා, තචෝ ආදීය කියමින් හිස මුඬු කිරීම කරන්න පටන් ගත්තා. මුවකු වී උපන් ආත්ම භාවයේ ශරීරය නො සොල්වා, දිගු කළ කන් හා කර ඇතිව මහත් ඕනෑකමින් එකම සිතිවිල්ලෙන් ධර්මය ශ්‍රවණය කිරීමේ ආනිශංසයෙන් හිසේ අවසාන කෙස් ගස කපා අවසන්වෙනවාත් සමඟ පුංචි කුමාරයා අරහත්භාවයට පත් වුණා.

ඒ බව දන්නේ නැති මහා අභය තෙරුන් වහන්සේ සාමණේර පැවිද්දෙන් කුමාරයාව පැවිදි කළා. පොඩි හාමුදුරුවෝ මළුපෙත්මං හැමදීම, උපාධ්‍යායන් වහන්සේට දැහැත් ගිලන්පස පිළිගැන්වීම ආදී නොයෙක් වතාවත්වල යෙදෙමින් විහාරයේ කටයුතු කරමින් වාසය කළා.

දවසක් එක් සැදෑ සමයක මහා අභය තෙරුන් වහන්සේ පොඩි හාමුදුරුවන් වහන්සේට පෙනෙන සේ අහසේ පායා තිබුණු පූර්ණ චන්ද්‍රයා පිරිමදිමින් ඒ බව ප්‍රදර්ශනය කළා. ඒ සිදුවීම දුටු පොඩි හාමුදුරුවෝ “ස්වාමිනි, ගුරුදේවයන් වහන්ස, මෙය රැකීම වටිනවා’යි කිව්වා.

ඒත් ලොකු හාමුදුරුවෝ එය කනකටවත් ගත්තේ නෑ. තමන්ගේ වැඩේ කරමින් ම සිටියා. අර්හත් බව ලැබූ පොඩි හාමුදුරුවෝ පූර්ණ එක් චන්ද්‍රයකු වෙනුවට දහසක් අහසේ මැව්වා. ලොකු හාමුදුරුවෝ ඒ දැක පුදුමයටත් පත් වුණා. ඒ අවස්ථාවේ දී පොඩි හාමුදුරුවෝ

“ස්වාමිනි, ගුරුදේවයන් වහන්ස, චන්ද්‍රයෝ සියයක් හෝ දහසක් හෝ දසදහසක් හෝ ගෙනහැර දුක්වීම දුෂ්කර නෑ. එකම තෘෂ්ණාව යමෙක් දුරුකරනවා නම් එය තමයි උතුම් ම. මුහුද දකින්න කැමැති පුද්ගලයෙක් මුහුදු වෙරළට ගිහින් මුහුද දැකලා මම සමස්ත මුහුදම දුටුවෙමි'යි කියන්නාක් මෙන් ඔබ වහන්සේත් පංචාභිඤ්ඤා අෂ්ටසමාපත්ති උපදවාගෙන කිසියම් කෙලෙස් සමූහයක් සංසිඳුවාගෙන “මම සියලු කෙලෙසුන් නැසුවෙමි”යි කියනවා නම් තෘෂ්ණා දාසයෙක් ම යි.

යම් භික්ෂුවක් ඉතා නිසරු වූ, ශාන්ත භාවයක් නැති, බියජනක, සසර අතහැර නො යන, අනර්ථදායක, තෘෂ්ණාව දුරු කරනවා නම්, හෙතෙම මාරයාගෙන් මිදීම උදා කර ගන්නවා”යි ලොකු හාමුදුරුවෝ අමතා ධර්මාවවාද කළා. එයින් ලජ්ජාවට පත් තෙරුන්වහන්සේ එදිනම විදසුන් වඩා උතුම් අර්හත්භාවය ලබා ගත්තා.

දෙවැනි දවසේ සාමණේරයන් වහන්සේගේ මව මාමාත්, බෑනාත් බලන්නට විහාරයට ගියා. පසුදින දානයට නිවසට වැඩම කරවන ලෙස දෙදෙනා වහන්සේට ම ආරාධනා කළා. එවිට මහා අභය තෙරුන් වහන්සේ

“නැගණිය,හෙට මමත්, සාමණේරයන් වහන්සේත් පමණක් ඔබගේ නිවසට වැඩම කරන්නම්, ආසන දෙකක් පමණක් සූදානම් කරන්න. ඒ වගේම අප දෙදෙනාට පමණක් ආහාර පාන, සූප්‍යඤ්ජන සකසන්න, ඔබ පැමිණි ගමනේ විහාරයේ වැඩ සිටින භික්ෂූන් වහන්සේත් මුණ ගැසී නමස්කාර කර යන්න’යි පවසා සිටියා.

උපාසිකාවත් එලෙසින් ම සියල්ල ඉටු කළා. පසු දින තිස්දහසක් භික්ෂූන් වහන්සේ සමඟ ලොකු හාමුදුරුවෝත්, පොඩි හාමුදුරුවෝත් නිවසට වැඩම කළා. නිවසට ගොඩ වදින, ගොඩවදින භික්ෂුවට ආසන ඉබේම පහළ වුණා. නිවසේ ඉඩ ප්‍රමාණයත් එලෙසම වැඩි වෙන්න පටන් ගත්තා. දෙදෙනා වහන්සේට පමණක් සූදානම් කළ දානය තිස් දහසක් භික්ෂූන් වහන්සේට ප්‍රමාණවත් වන අයුරින් වැඩි වුණා. නැගණියටත්, ඥාතීන්ටත්, ගම් වැසියන්ටත් පුදුමයි මේ ගැන. කවදාවත් මෙහෙම දෙයක් ඔවුන් දැක තිබුණේ නෑ.

පින්කම අවසානයේ දී උපාසිකාව සාමණේරයන් වහන්සේගේ පාත්‍රය අතට අරගෙන භුක්තානුමෝදනා ධර්ම දේශනාවට ආරාධනා කළා. පොඩි හාමුදුරුවෝ තෙරුන් වහන්සේ මධ්‍යයේ මිහිරි වදනින් ධර්මය දේශනා කරන්න පටන් ගත්තා. දේශනාව කෙළවර දෙමාපියන් ඇතුළු කුල පන්සියයක් සෝවාන් ඵලයේ පිහිටියා.

මේ දහම් කතාවෙන් අපට උගන්වන පාඩම තමයි ධර්මය ශ්‍රවණය කිරීමේ ආනිශංස පහදාදීම. තිරිසන් සතෙක් එසේ බණ අසා මනුෂ්‍ය සම්පත්තියත්, උතුම් නිවන් සැපතත් ලබා ගත්තා නම් ඇස්, කන් නාසා ආදී පංචේන්ද්‍රයන් ඇති, මනුෂ්‍යාත්මභාවයක් ලැබූ අප නොපමාව හොඳින් ධර්මය ඇසිය යුතු වෙනවා.

පුර පසළොස්වක පෝය

  නොවැම්බර් 07 සඳුදා අ.භා. 04.21 පුර පසළොස්වක ලබා 08 අඟහරුවාදා අ.භා. 04.37 ගෙවේ. 07 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

Full Moonඅමාවක

නොවැම්බර් 23

First Quarterපුර අටවක

නොවැම්බර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]