[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

විසඝෝර සර්පයන්ගෙන් ආරක්ෂාවීමට ධර්මයේ පිහිට

විසඝෝර සර්පයන්ගෙන් ආරක්ෂාවීමට ධර්මයේ පිහිට

බුදුරදුන් දවස දස දහස් ගණනින් භික්ෂූන් වහන්සේ බණ භාවනා කිරීම සඳහා කැළයට වැඩියහ. එහෙත් උන්වහන්සේට සතා සිව්පාවුන්ගෙන් කිසිම මොහොතක අනතුරක් සිදු නොවූණි.

එයට හේතුව බුදු හිමි සර්පයින් සඳහා ම දේශනා කළ ඛන්ධ පිරිත සජ්ඣායනා කිරීම ය. එම පිරිතෙහි ශබ්ද ශක්තිය තුළින් සර්පයින්ට ළංවීමට බැරි තත්ත්වයක් උදාවනු ඇත. ශබ්ද ශක්තිය මහා බලගතු වන බැවින් වායුගෝලයට එය මුසු වී සර්පයින්ගේ ශරීරවලට වැදීි ඔවුන් තිගැස්සීමක් වැනි ස්වභාවයකට පත් වනු ඇත. එබැවින් සර්පයින් මරණවා වෙනුවට එම සූත්‍රයේ ඇති ශක්තිය බලය යොදා සර්පයින්ගෙන් ආරක්ෂාවීමට සිතට ගැනීම ප්‍රඥාගෝචර වන්නේ ය.

ස.නි.ඛන්ධ සංයුක්තයට අයත් වන ඛන්ධ පිරිත බුදුරදුන් දේශනා කළේ සැවැත්නුවර එක්තරා භික්ෂුවකට සර්පයෙක් දෂ්ට කොට කලුරිය කිරීමත් සමඟ ය. භික්ෂූන් වහන්සේ බුදු හිමිට මේ කාරණය දැන්වූවාට පසු බුදුහිමි ඔවුනට වදාළේ එම කලුරිය කළ භික්ෂුව සිවු නා රද කුලයන් වෙත මෙත් සිත නොපැතිරීමෙන් සර්පයකු දෂ්ට කොට මිය යෑමට සිදු වූ බවයි. එසේ කළේ නම් ඒ භික්ෂුව එවැනි විපතකට හසු නොවන බව ද දේශනා කළහ. භික්ෂූන් වහන්සේගේ දැන ගැනීම පිණිස බුදුහිමි එම නා රද කුල ඉදිරිපත් කළහ. එනම්,

විරූපාක්ෂ නම් නා රද කුලය, ඒරාපථ නම් නා රද කුලය, ඡබ්‍යාපුත්ත නම් නා රද කුලය හා කණ්හා ගෝතමක නම් නා රද කුලයයි .

මෙම සියලු නා රද කුලයන් කෙරෙහි මෛත්‍රි සිත පැතිරවීම එහි මූලික පරමාර්ථයයි. සියලු සතුන් හා අමනුෂ්‍ය කොටස් ද හසුවන ආකාරය එම සූත්‍රයෙන් පැහැදිලි වේ. ඒ අනුව තවදුරටත් ඒ පිළිබඳ විමසීමේ දී

අපාදකේහි මේ මෙත්තං
මෙත්තං දීපාදකේහි මේ
චතුප්පදෙහි මේ මෙත්තං
මෙත්තං බහුපදෙහි මේ

මාගේ මෛත්‍රිය පා නැති, දෙපා, සිවුපා, බොහෝ පා ඇති යන සියලු සතුන් සමඟ වේවා.

මා මං අපාදකෝ හිංසි
මා මං හිංසි දිපාදකෝ
මා මං චතුප්පාදෝ හිංසි
මාමං හිංසි බහුප්පාදෝ

පා නැති සතෙක්, දෙපා සතෙක්, සිවුපා සතෙක්, බොහෝ පා ඇති සතෙක් මට හිංසා නොකෙරේවා.

සබ්බේ සත්තා සබ්බේ පාණා
සබ්බේ භූතා ච කේවලා
සබ්බේ භද්‍රානි පස්සන්තු
මා කඤ්චි පාපමාගමා

හැම සත්හු ද, හැම ප්‍රාණීහු ද, හැම භූතයෝ ද, යන සියල්ලෝ ම යහපත දකිත්වා. කිසිම සතෙක් වෙත දුකක් නොපැමිණෙත්වා.

සතාපද යනුවෙන් සඳහන් වන්නේ පත්තෑයා, කන්වෑයා ආදි සියක් පා ඇති සතුන් ය.

උණ්නාහාභි යනු මකුළුවා ද, සරබු යනු හූනා ද, මූසිකා යනු මීයා ද ආදී වශයෙන් සතුන් වර්ගකොට මෛත්‍රිය පැතිරවීම සිදු විය යුතු ය.

සිරිංසපා යන්න බඩගාන සතා යනුවෙන් අර්ථ ගන්වා ඇත. අභිවිච්ඡිකා යන්නෙන් සර්පයන් පිළිබඳ ශාස්ත්‍රය නොහොත් විෂ වෙදකම යන්න කියැවේ.

ඛන්ධ සූත්‍රයේ සඳහන් කරන ආකාරයට අන්තිමට සියල්ල කැටිකොට තුනුරුවන්ගේ ගුණ අනන්ත බවත්, එම උතුම් ගුණ බෙලෙන් සියලු සර්පයින්ගෙන් අනතුරක් නොවේවා, භූතයෝ ඉවත්ව යෙත්වා, මම බුදුන් වහන්සේට වඳිමි, සත්බුදුවරයන් වහන්සේට වඳිමි. මේ ආදි වශයෙන් ඛන්ධ පිරිත තුළින් කරුණු විග්‍රහ වී ඇත.

එම කරුණු හිතට ගෙන ගිහි පැවිදි අප කවුරුත් සර්පයින්ගෙන් වන අනතුරු වළක්වා ගැනීමට නිරන්තරයෙන් එම සූත්‍රය භාවිත කළ යුතුව ඇත. එතුළින් අපගේ ජීවිත මෙන් ම එම අහිංසක සතුන්ගේ ජීවිතත් ආරක්ෂා වන්නේ ය. මෛත්‍රී පූර්වක ව, අවංකව එම සිතිවිලි ධාරාව පතුරවන්නේ නම්, සාන්දෘෂ්ටිකව ම එහි විපාක ලැබීමට ද පුළුවන.

සියලු සත්වයෝ නිදුක් වෙත්වා. නිරෝගි වෙත්වා. සුවපත් වෙත්වා යන මෙත් වැඩීම තුළින් තම ජීවිතයට සුගතියක් ම වන බව සියලු දෙනාම සිතට ගත යුතු ය.

පුර පසළොස්වක පෝය

  නොවැම්බර් 07 සඳුදා අ.භා. 04.21 පුර පසළොස්වක ලබා 08 අඟහරුවාදා අ.භා. 04.37 ගෙවේ. 07 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

Full Moonඅමාවක

නොවැම්බර් 23

First Quarterපුර අටවක

නොවැම්බර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]