[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

මළගිය ඥාතීන්ට දෙන දානමය පින ලැබෙනවා ද?

මළගිය ඥාතීන්ට දෙන දානමය පින ලැබෙනවා ද?

අපගේ ශාස්තෘ සනරාමර තෛ‍්‍රලෝකනාථ තිලෝගුරු සම්මා සම්බුද්ධෝත්තමයාණෝ කෙරෙහි තිබූ සියලු ඥාන සම්භාරයෝ කැටි කොට ගන්නේ නම්, එය (සිවු විශාරද) ඥානය ලෙස හඳුන්වයි.

ඒවා නම් සබ්බඤ්ඤුතා ඥානය විශ්වයේ ඇති සියල්ල දන්නා දක්නා නුවණ ය,

ආසවක්ඛය ඥනය - සියලු කෙලෙස් නැසූ බව දන්නා නුවණ ය.

නිබ්බාන මග්ග ඥනය - සියලු දුකින් මිදීමට (නිවනට) යන මඟ දන්නා නුවණය. එය නොව මඟ, මෙයයි මඟ වශයෙන් ලොව කිසිවකුට අභියෝග කළ නොහැකි ඥානයකි

සිව්වැන්න නිබ්බාන ඵල ඥානයයි. සියලු දුකින් මිදීම (නිවන) නම් මෙයයි. ස්ථිර කොට දේශිත ඥානය /පරම නිෂ්ඨාව නම් වූ නිවන, එය නොව මෙයයි. වෙනත් දෙයක් පෙන්වා කිසිවකුහට හෝ අභියෝග කළ නොහැකි නුවණ

අතීතයේත්, අනාගතයේත් වර්තමානයේත් ලොව සිටි හෝ සිටින හෝ සිටිය හැකි කිසිදු පණ්ඩිතමානි (තමා පණ්ඩිතයකු බව සිතන පණ්ඩිත භාවය දක්වන) කිසිකෙනකුට හෝ අභියෝග කළ නොහැකි සතරාකාර විශාරදභාවය පිළිබඳ නුවණකින් හෙබි තථාගත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් දේශිත අචින්තෙය්‍ය නම් වූ සූත්‍ර (ආ.නි.2 පිට 150) දේශනාවක මෙසේ සඳහන් වේ.

මහණෙනි යමක් ගැන සිතන විට උමතුවට (පිස්සකු බවට) වෙහෙසට – පීඩාවට (දුකට) හේතුවන සතර කරුණක් ඇත. බුද්ධ විෂය (සිතීමෙන් අවසන් කළ නොහැකි හෙයින් නොසිතිය යුතු ය) 2.ධ්‍යාන විෂය (පෙර සේ ම ය) 3. කර්ම විපාක (පෙර සේ ම ය හා 4. ලෝකය ගැන සිතීම ය.

මේ ධර්මතා සතර ම සිතා අවසන් කළ නොහැකි ය. එහෙයින් ම නොසිතිය යුතු බව ශ්‍රාවක අනුගාමිකයන් හට තථාගතයන් වහන්සේ අනුශාසනා කළ සේක.

එවන් ඥාන සම්භාරයකින් යුක්ත භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් ‘කම්ම විපාක” පිළිබඳ “තිරෝකුඩ්ඪ” නමින් දෙසූ සූත්‍ර දේශනාවක් ඛුද්දක නිකාය 1.ග්‍රන්ථයේ ( පි.04) ඇත. මෙය ඛුද්දකපාඨවලට අදාළ 7 වන සූත්‍රය යි.

බුද්ධත්වයෙන් අට වෙනි සතියේ දී බරණැසට වැඩම කොට දම්සක් පැවතුම් සූත්‍ර දේශනාව පවත්වා පඤ්ච වග්ගිය තවුසන් අරහත් භික්ෂූන් වහන්සේ බවට පත්කොට තවත් රහතන් වහන්සේ 55 නමක් සමඟින් 60ක් රහතන් වහන්සේ ධර්ම ප්‍රචාරයට පිටත් කොට යවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ ද උරුවෙලට වැඩම කිරීමෙන් දහසක් පිරිවර ඇති කාශ්‍යප ජටිලයන් තිදෙනා ද සමඟින් වූ පිරිස දමනය කොට තම අරහත් ශ්‍රාවකයන් බවටපත් කර ගත්හ.

ඒ පිරිස සමඟ රජගහනුවරට වැඩියේ බිම්බිසාර රජුට වූ පොරොන්දුවක් පරිදි ය. මෙදිනම මහරජු මගධ වැසි එක් ලක්ෂ විසි දහසක් බ්‍රාහ්මණ ගෘහපතියන් සමඟ ධර්මය අසා සෝවාන් ඵලයට පත්වූහ. ඉක්බිති රජු බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දානයට ආරාධනා කොට දන් පිළිගැන්වූහ. දානයෙන් පසු මෙදින රාත්‍රී ඉතා සතුටින් නින්දට ගිය රජුට බියජනක දුක්ඛිත හඬක් මාළිගාව තුළින් ඇසිනි, රාත්‍රිය පහන් වූ කල්හිම භාග්‍යවතුන් වහන්සේ හමුවට ගොස් මෙකරුණ දන්වා සිටියේ

“මහරජ බිය නොවන්න, කිසි නපුරක් ඔබට නැත. එසේ වුවත් මෙයට කල්ප 92 පමණ පෙර ඵුස්ස බුදුරදුන් දවස ඔබේ ඥාති සමූහයක් සංඝයාට පිළියෙළ කළ දානයක් තමාම අනුභව කළහ. ඒ පවින් කල්ප ගණනින් නිරයේ දුක්විඳ කාශ්‍යප බුදුරදුන් කල පේ‍්‍රතයන් අතර ඉපදුණි. එහිද බුද්ධාන්තරයක් කල් ගෙවා පෙරදින ඔබ සංඝයා වෙත දුන් දානයේ පින් ඔවුනට ද අනුමෝදන් කරන්නේ යැයි සිතා පිරිස පැමිණ රැස්ව සිටියහ. එසේ නොවූයෙන් රාත්‍රියේ පැමිණ හඬ නැඟුවේ යැයි දිබ්බචක්ඛු (චුතුප්පාද) ඥානයෙන් බලා බුදුරජාණන් වහන්සේ රජුට වදාළ සේක.

පසුදින ද බුද්දෝපදේස පරිදි දානයක් දුනි.භාග්‍යවතුන් වහන්සේ ඒ සියලු ඥාතීන් රජුට පෙනෙන්ට සැලැස්වූයේ, රජතුමා දානය සඳහා පැන් පූජා කරන්නේ මේ පින ඒ ඥාතීන්ට වේවා'යි අනුමෝදන් කළේය. එකෙණෙහි ම ඒ පේ‍්‍රතයන්ට පියුමෙන් පිරි පොකුණු පහළ විය. බොජුන් වස්ත්‍ර, සෙනසුන් පුදා පින් අනුමෝදන් කළේ පළමු අයුරින් ම දිව්‍යමය පරිභෝග දෑ ලැබෙන බව ප්‍රකට වන පරිදි භාග්‍යවතුන් වහන්සේ අධිෂ්ඨාන කළ සේක්හ.

රජතුමා සතුටු සිත් ඇත්තේ විය. දන් වළඳා අවසන බුදුරජාණන් වහන්සේ භුක්තානුමෝදනා සඳහා දෙසූ දහම “තිරෝකුඩ්ඩ” සූත්‍ර දේශනාව නම් වේ. ගාථා 12කින් සඳහන් මෙම සූත්‍ර දේශනාවේ සාරාංශය මෙසේ ය.

01. මළගිය ඥාති පේ‍්‍රතයෝ තමන් පෙර

විසූ ගෙය කරා අවුත් බිත්තියෙන් පිට

ගෘහ සන්ධි, බිත්ති සන්ධි, දොරමුලු.

තුන්මන් සතරමන් හන්දිවල සිටිත්.

(සටහනකි, මියගිය සියල්ලෝ පේ‍්‍රතයන් වී මෙසේ එත්ද? නැත. අවසානයේ ලියැවෙන ජාණුස්සෝනි සූත්‍රය ද කියවන්න. මිය යන්නකුගේ අවසන් චුති චිත්තය අනුව 31 ලෝකයෙන් එක් භවයක ප්‍රතිසන්ධිය ලැබීම කම්ම නියාමයකි. පේ‍්‍රත ලෝකය ද මෙයින් එකකි. නිරයේ ප්‍රභේද 136 ඇතිවාක් මෙන් පේ‍්‍රත ලෝක ද 7කි. 1.නිජ්ඣාම තණ්හික 2.ඛුප්පි පාසික 3.පංසූ පිසාචික 4.පරදත්තූපජීවි 5.කාලකඤ්ජික 6.අට්ඨිසංඛලික 7.මාංස පිණ්ඩික වශයෙනි.

තවද පේ‍්‍රත ලෝකයේ ඉපදිය හැකි අකුසල කර්ම මෙසේ ය. ප්‍රාණඝාතය, ලෝභය, අනුන්ගේ දෙයට ලෝභය (අභිධ්‍යාව) ඊර්ෂ්‍යාව, වෛරය, පර ස්ත්‍රී, පරපුරුෂ සේවනය, සඟ සත ªදේ අයථා පරිභෝජනය, බොරු කීම. බොරුවට දිවුරීම, පින්කම්වලට අකුල් හෙළීම, වෙළෙඳාමේ දී හොරට කිරීම හොරට මැනීම, සිල්වතුන්ගේ සිල් බිඳීම, භික්ෂූන් වහන්සේට අවමන් කිරීම, යනාදියයි. (මේ අකුසලයන්ගෙන් පරදත්තුපජීවි පේ‍්‍රත ලෝකයේ ඉපදීමට හේතු වන කර්ම කවරේදැයි කීමට අපි දක්ෂ නොවෙමු.

02. මළගිය ඥාති නිවසේ බොහෝ කන බොන දෑ පිළියෙළ කළ විටක මළගිය අය සිහි නොවෙන්නේ ඔහු කළ අකුසලය හේතුවෙනි.

03. නෑයන් අතුරෙන් කෙනෙක් ඔවුන්ට අනුකම්පා කොට, පින්කොට මේ පින පරලොව ගිය අප නෑයනට වේවා'යි. ඔවුන් සුවපත් වේවා'යි කියා ආහාරපාන දන්දෙති.

04. ඥාති පේ‍්‍රතයෝ ද නොයෙක් දිශාවෙන් එතැනට පැමිණ තමන් උදෙසා දුන් දානයේ (කම්පල අදහමින්) පින් අනුමෝදන් වෙත්, සතුටු ද වෙත්.

05. අනුමෝදන් කළ අය කෙරෙහි සම්පත් ලබමෝ ද “අප නෑයෝ බොහෝ කල් ජීවත් වෙත්වා'යි ඔවුහු තුති කෙරෙත්. මෙනිසා ඒ දන් දුන් දායකයෝ ද ඵල රහිතයෝ නොවෙති.

06. ඒ පේ‍්‍රත ලෝකයෙහි සම්පත් ලැබීමට හේතුවන සීසෑමක්, ගව පට්ටි පාලනයක්, වෙළෙඳාමක්, රන්රිදී ගනුදෙනුවක් නැත. හුදෙක් මැරී ඒ පේ‍්‍රත විෂයයට පැමිණියේ, මේ මිනිස් ලොව නෑ මිතුරන් විසින් දෙන ලද පිනෙකින් යැපෙති.

07. යම් සේ උස් බිමකට වැටෙන ජලය, මිටි බිම් කරා ගලා බසී ද එපරිද්දෙන් මේ මිනිස් ලොවෙහි දීි ඥාතිත්‍යාදීන් විසින් දුන් දානය (එහි විපාක වශයෙන්) පේ‍්‍රතයන් හට ලැබේ. (මේ බුද්ධ වචනයෝ ය)

08. මෙසේ ගලා බසින ජලය වැව්, ඇළ,ගංගා, හරහා විත් සාගරය පුරවාලත් ද එපරිද්දෙන් මේ මිනිස් ලොවෙහිදී ඥාතීන් විසින් දුන් දානය (එහි විපාකදීම් වශයෙන්)

පේ‍්‍රතයන්හට පැමිණේ.

එවන් බුද්ධ ඥාණයකින් අචින්තෙය්‍ය කම්ම විපාක දැන දැක සිදුකර ඇති මෙවන් බුද්ධ භාෂිතයන්ට වෙනත් අර්ථ දෙන්නට පෘථග්ජනයා කෙසේ සමත්වෙත්ද?

මෙම ලිපියේ ඉතිරි කොටස ඉල් අව අටවක පෝදා (16) අන්තර්ජාල කලාපයේ පළවේ.

පුර පසළොස්වක පෝය

  නොවැම්බර් 07 සඳුදා අ.භා. 04.21 පුර පසළොස්වක ලබා 08 අඟහරුවාදා අ.භා. 04.37 ගෙවේ. 07 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

Full Moonඅමාවක

නොවැම්බර් 23

First Quarterපුර අටවක

නොවැම්බර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]