[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගිනිගෙන දැවෙන ලෝකයේ නිවෙන මිනිසකු වන්න

ගිනිගෙන දැවෙන ලෝකයේ නිවෙන මිනිසකු වන්න

භවය සහ පැවැත්ම දුකක් බව බෞද්ධ දර්ශනයෙහි ඉගැන්වෙයි. අනමතග්ග සංයුත්තයේ දී එය මැනවින් පැහැදිලි කොට ඇත. “අනමතග්ගෝයං භික්ඛවේ සංසාරො පුබ්බා කෝටි නපඤ්ඤායති. අවිජ්ජා නීවරණානං සත්තානං තණ්හා සංයෝජනානං සන්ධාවතං සංසරතං දීඝරත්තං වො භික්ඛවේ දුක්ඛං පච්චනුභූතං”

මහණෙනි, මේ සසර කෙළවරක් දක්නට නැති ය. පූර්වාරම්භයක් නොපෙනේ. නොපැනේ. අවිද්‍යාවෙන් වැසුණු, තණ්හාවෙන් බැඳුණු සත්වයෝ හැසිරෙති. දිවයති. නුඹලා දීර්ඝ කාලයක් දුක් විඳින ලද්දාහුය.

හේතුඵල දහම අවබෝධ නොකර ගන්නා තෙක් කෝපාදි කෙලෙස් සිතෙහි උපදිති. හේතූන් ප්‍රත්‍ය කොට ගෙන හටගන්නා වූ සවිඤ්ඤාණක හෝ අවිඤ්ඤාණක යම් ඵලයක් විපාකයක් වේ ද ඒ හේතූන් ගේ ම විසිර යාමෙන් ඵලය ද විනාශයට යයි. මේ බව සිතට පුරුදු පුහුණු කරමින් ලෝභාදී කෙලෙස්වලින් සිත මුදවා ගැනීම හෙවත් වළක්වා ගැනීමට “සක්කෝ” නම් වූ හැකියාවක් ධර්ම මාර්ගය තුළ සකස්කර ගැනීම අවශ්‍ය ය. එහිදී සිදුවිය යුත්තේ මෙයයි. සම්මුතියට ප්‍රඥප්ති පනවාගෙන “මමය, මාගේ ය” නම් වූ දැක්මෙන් අරමුණු පරිහරණය කළත්, පරමාර්ථ ධර්මයට අනුව කිසිදු සංඛතයක් “මගේ නොවේ, මම නොවෙමි, මගේ ආත්මය නොවේ” නම් පරම සත්‍යයට අනුව සිහිය සහ ඥානය පිහිටුවාගෙන කටයුතු කිරීමයි. මෙම අදහස “සතිපට්ඨානයට” අනුව සඳහන් කරන්නේ නම් මෙසේයි. “අනිස්සිතෝ ච විහරති නචකිඤ්චි ලෝකේ උපාදියති.”

මෙම සත්ව සංස්කාර ලෝකයේ කිසිවක් හෝ කිසිවෙක් කෙලෙස් ඇසුරු කරමින් පරිහරණය කරන්නේ නැති නම් වූ අදහසයි.

යමක් හටගන්නේ ද ඒ සියල්ල නැසී යන්නේ ය. නොනැසෙන කිසිවක් හෝ කිසිවක් හටගන්නේ නැත. මේ බව අවබෝධ කරමින්, ඇසට රූප, කනට ශබ්ද, ආදි වශයෙන් අරමුණු පරිහරණය කිරීමේ දී ලෝභාදී කෙලෙස්වලින් බැහැරව සිත සිහිය පවත්වා ගැනීමට සිත සකස්විය යුත්තේ ය. නම් වූ අදහසයි.

එසේ නොමැති වීමෙන් සිදුවන්නේ අන්ධ බාල පෘථග්ජන මමෝභාවය ක්‍රියාත්මක වීමයි. එනම් පි‍්‍රය අරමුණුවල “මම ය මාගේ ය” නම් වූ දෘෂ්ඨිටියෙන් ඇලීමයි. අකැමැති අරමුණුවල පටිඝයෙන් යුතුව ගැටීමයි. මෙය ලෝභාදී කෙලෙස්වල ක්‍රියාත්මක වීම සහ ආශ්‍රව ධර්මයන්ගේ වැඩීමයි. ආශ්‍රව ධර්ම වැඩීම නිසා මනුෂ්‍යයෝ ප්‍රාණඝාත, සොරකම්, ආදි පස්පව් සහ දස අකුසල්වල නිරත වෙති. තෘෂ්ණාවෙන් බැඳෙති. සෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස (බලවත් සිත්තැවුල්) ආදියට උරුමකම් කියති. ගොදුරු වෙති. මරණින් මතු සතර අපායේ ඉපදීම ඉලක්ක කර ගනිති. භවය නිර්මාණය කර ගනිති.

මේ අනුව කෙළවරක් දක්නට නැති, පූර්වාන්තයක් හෙවත් ආරම්භයක් නොපෙනෙන දිගු සසර ගමනේ අපමණ දුක්විඳින සංසාර චක්‍රය හෙවත් භවයට එකතු වෙති.

භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන්නේ මෙසේයි. මහාමේරු පර්වතය යම් දිනෙක වියකේද, සිඳේ ද, නැසේ ද, එය දැකිය හැකි ය. මහා සාගරය යම් දිනෙක වියැකේද, සිඳේ ද, නැසේ ද, එය දැකිය හැකි ය. මහ පොළොව යම් දිනෙක වියැකේ ද නැසේ ද වැනසේ ද, එය ද දැකිය හැකි ය. එනමුත් අවිද්‍යාවෙන් වැසුණු, තෘෂ්ණාවෙන් බැඳුණු සත්වයන්ගේ දුක කෙළවර කිරීමක් නම් දැකිය නොහැකි බවයි.

මේ උතුම් වූ ශ්‍රී සද්ධර්මයේ ඉගැන්වීම, අපට පහසුවෙන් අමතක කළ හැකි ද? නොසලකා හැරිය හැකි ද? විශේෂ කොට සිතන්නට නොහැකි මන්ද මානසික පුද්ගලයන් සේ කෙලෙස් සමඟින් අරමුණු පරිහරණය කරමින් ජීවිතය පවත්වා ගත යුතු ද? දුර්ලභව ලැබූ මෙම උතුම් වූ මනුෂ්‍ය ජීවිතයේ වටිනා අර්ථය පිළිබඳව අනවබෝධයෙන් කටයුතු කරන්නේ ද? කණ කැස්බා විය සිදුරෙන් අහස බලනවාටත් වඩා අපහසුවෙන් ලද මේ උත්තරීතර අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ලබන්නේ ද? නොලබන්නේ ද? එමෙන්ම මනුෂ්‍ය ජීවිතය ලබන විට අතිදුර්ලභ ව මුණගැසුණු ගෞතම බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් නොලබන්නේ ද? ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා මෙම ප්‍රශ්නාවලියට සාධනීය පිළිතුරක් ඔබ මා සතුව පවතින්නේ ද?

මෙහිදීි භාග්‍යවතුන් වහන්සේ, මහා පරිනිර්වාණ සූත්‍ර දේශනාවට අනුව, උන්වහන්සේගේ බුදු සිරිතෙහි අවසන් කාලයේ දී දෙසු දහම් සිහිපත් කළ යුතු වන්නේ ය.

ආරභථ නික්ඛමථ යුඤ්ජථ බුද්ධ සාසනේ

ධුනාථ මච්චුනෝ සේනං

නළාගාරංව කුඤ්ජරො

යො ඉමස්මිං ධම්ම විනයේ

අප්පමත්තේ විහස්සති

පහාය ජාති සංසාරං

දුක්ඛස්සන්තං කරිස්සති

“ආරම්භ කරන්න, ප්‍රතිපදාවෙහි ගමන් කරන්න. මේ උතුම් බුදු සසුනෙහි වැඩ වඩන්න.

හස්ති රාජයෙක් බට දඬු ගෙයක් පහසුවෙන් තළා පොඩිකොට සුනු විසුණු කොට දමන්නා සේ මාර සේනාව විනාශ කරන්න.”

“යමෙක් අප්‍රමාදය හෙවත් කුසල් මඟට යොමු වී, මේ ධර්ම විනයෙහි හැසිරෙන්නේ ද සසර සකස්වීම බැහැර කොට හෙවත් ඉපදීම නැතිකොට සියලු දුක් කෙළවර කරන්නේ ය. මේ වෙනුවෙන් අප විසින් කළ යුතු හෙවත් අනුගමනය කළ යුතු ධර්ම මාර්ගය භාග්‍යවතුන් වහන්සේ විසින් මෙසේ දේශනා කරති. භාග්‍යවතුන් වහන්සේ විසින් පන්සාළිස් වසක් පුරා දෙසූ සියලු දහම් මෙහිදී පිඬුකොට දේශනා කොට ඇත්තේ සේ ය.

අප්පමත්තා සතීමන්තො සුසීලා හෝථ භීක්ඛවො

සුසමාහිත සංකප්පා සචිත්ත මනුරක්ඛථ

“අප්‍රමාදී වන්න. සතිමන්තු හෙවත් පරමාර්ථ ධර්ම වශයෙන් සිහි ඇත්තෙක් වන්න. මනාකොට සීලයෙන් පිරිපුන් වෙන්න. මනාකොට එකඟ වූ සිත් හා සිතිවිලිවලින් යුක්ත වෙන්න. කෙලෙස් හෙවත් ආශ්‍රව ධර්මයන්ගෙන් සිත රැක ගන්න.” මෙම ධර්ම අවවාදය භික්ඛු, භික්ඛුණී, උපාසක, උපාසිකා, නම් වූ සිව් පිරිසට ම එක හා සමාන ය.

පුර පසළොස්වක පෝය

  නොවැම්බර් 07 සඳුදා අ.භා. 04.21 පුර පසළොස්වක ලබා 08 අඟහරුවාදා අ.භා. 04.37 ගෙවේ. 07 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

Full Moonඅමාවක

නොවැම්බර් 23

First Quarterපුර අටවක

නොවැම්බර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]