[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

අනුන්ට කරදර නොකරන තරමට තමන්ට කරදර අවම ය

අනුන්ට කරදර නොකරන තරමට තමන්ට කරදර අවම ය

මොනතරම් සම්පත් තිබුණත් සතුටක්, සැනසිල්ලක් නැති ජීවිත කොපමණ ද? අසහනයෙන්, මානසික වේදනාවෙන් පීඩාවට පත්වෙන ජීවිත කොපමණ ද?

අපි නිතර බණ අසමු. දහම් පොතපත ද කියවමු. බණ ඇසුවත්, පොතපත කියවූවත් ඒ ධර්මය ජීවිතය තුළ නොමැති නම් එයින් ඇති ප්‍රයෝජනය කුමක්ද? ඔබගේ ප්‍රායෝගික ජීවිතය තුළින් ධර්ම චර්යාව ඉස්මතු වේ නම්, එය අප ලද වටිනා සම්පතකි. එබඳු ජීවිතය වැදගත් ය. ලස්සන ය, සුවඳවත් ය.

බ්‍රහ්ම විහාර නම් වූ උතුම් පැවැතුම් හතරක් පිළිබඳ ධර්මයෙහි සඳහන් ය. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යනු ඒ උතුම් පැවැතුම් හතරයි. මේ උතුම් පැවැතුම් හතර ජීවිතයට එකතු කරගත් තැනැත්තා පුණ්‍යවන්ත වේ. කායික හා මානසික වශයෙන් මහඟු සුවයක් ඔහු විඳිනු ඇත. සමාජය තුළ ප්‍රසාදයට ලක්වනු ඇත. ගෞරවයට පාත්‍රවනු ඇත. ඔහු හැමදෙනා සමඟ ම සුහදශීලි ය.

‘මෛත්‍රිය’ නම් කුමක්ද? අපි අපිට ආදරය කරමු. වෙනත් කෙනෙක් හිංසාවක්, පීඩාවක්, කරදරයක් කරනවාට අප කැමැති නැත. අනෙක් අය ද එවැනි ය. බණිනවාට, ගහනවාට, හිංසා පීඩා කරනවාට අකැමැති ය. තමන්ගේ සුවය මෙන් ම අනුන්ගේ සුවය ගැන ද සිතනවා නම්, එය මොනතරම් යහපතක් ද? මම වේදනාවට කැමැති නොවන්නා සේ ම අන් අය ද වේදනාවට අකැමැති ය. මේ ගැන සිතා අන් අයට හිංසාවක්, පීඩාවක්, රිදුමක් නොදී ජීවත් විය හැකි නම් ඒ තැනැත්තා මෛත්‍රී හැඟීමෙන් යුක්ත ය.

සමහර අය උදේ හවස මෛත්‍රී භාවනාව වඩති. ‘මම සුවපත් වෙම් වා. අන් අය ද සුවපත් වෙත් වා’යි ප්‍රාර්ථනා කරති. එසේ සිතු ව ද දවස පුරාම අන් අය පීඩාවට, වේදනාවට පත් කරති.

එක් දරුවකු ඇති මවක් එම දරුවා ආදරයෙන්, තම ජීවිතය මෙන් රැකබලා ගන්නා සේ අන් අය කෙරෙහි ද එම ආදරය, සෙනෙහස, සුරකින බව ප්‍රදානය කිරීම සැබෑ මෛත්‍රියයි. මෛත්‍රිය යනු එක කොටසකට පමණක් සීමා වූ හැඟීමක් නොවේ. එයට සතුරු, මිතුරු, හිත අහිත, දන්නා නොදන්නා, පෙනෙන, නොපෙනෙන, ලොකු කුඩා වැනි භේද නැත. ලෝකයේ සෑම දෙනාට ම සම සිතින් ආදරය කිරීමක් මෙයින් අදහස් කරයි.

අනුන් දෙස මෛත්‍රියෙන් බලන්නට පුරුදු වුවහොත් ඔවුන් ද ඔබ වෙත හෙළන්නේ මිත්‍රශීලි බැල්මකි. වෛරී සිතිවිලිවලින් බලන්නේ නම්, ඒ විෂ සහිත සිතිවිලිවලින් වඩාත්ම පීඩාවට පත්වන්නේ ඔබ ම ය.

වෛරී සිතිවිලි නැමැති දුමින් වැසී ඇති නිසා දකින, අසන දෙයෙහි නියම ස්වරූපය දැකගත නොහැකි ය. අන් අයට කරදරයක් නොකරන්නේ නම්, තමන්ටත් කරදරයක් නොමැතිව ජීවත් වීමේ අවස්ථාව උදාවනු ඇත.

මෛත්‍රි කරන්නා අන් අය රවටන්නට, වංචා සහගත ක්‍රියාකාරකම් තුළින් අන් අය මුලා කරන්නට සූදානම් නැත. අන් අයට දොස් කියන්නට , නින්දා අපහාස කරන්නට සූදානම් වන්නේ නැත. මොන ක්‍රමයකින් වත් අන් අයට දුකක් වේදනාවක් නොදෙති. මෙහි ප්‍රතිඵලය සුවදායක මනසකින් ජීවත් වීමේ අවස්ථාව උදාවීමයි.

මෛත්‍රී කරන්නාට අභිමානය බාධාවකි. මා අන් අයට වඩා හැම පැත්තකින්ම උසස් යැයි සිතන අය සමාජයේ සිටිති. ධනයෙන්, බලයෙන්, කුලයෙන්, උගත්කමින්, පිළිගැනීමෙන්, හැඩයෙන් අන් අය පහත් ලෙස සලකා කටයුතු කරන්නෝ සිටිති. ජාති, වර්ග, ආගම් භාෂා භේදයන්ගෙන් වර්ගීකරණය කොට විවිධ වෙනස්කම් කරමින් කටයුතු කරන අය ද සිටිති.

මේ ආකාරයෙන් කටයුතු කරන්නා තුළ මෛත්‍රී හැඟීම් නැත. මෙවැනි ආඩම්බර සිතිවිලි දුරු කර ගන්නට අධිෂ්ඨාන කර ගන්න.

අන් අයට වඩා පහත් යැයි හීනමානයක් ද ඇති කර නොගන්න. උස් පහත් භේදයකින් තොරව ලෝකයා සමඟ කටයුතු කිරීමේ දී ඔබ හැමදෙනා අතරම සුහදශීලි, ප්‍රියශීලි අයකු වනු නොඅනුමාන ය. ප්‍රභූ මාන්නයෙන් හිස උදුම්වා ගන්නවාට වඩා වැදගත් වන්නේ සිතේ සතුටෙන් ජීවත් වීමයි.

උස් පහත් බව යනු හැමදාම පවතින්නක් නොවේ. වත් පොහොසත්කම්, දැන උගත්කම්, තාන්න මාන්න කීර්ති ප්‍රශංසා රෝග නිරෝගී බව වැනි වර්ග කිරීම් කලින් කලට වෙනස් වනු ඇත.

සමාජයට යහපතක් කරන විට නොයෙක් විදියේ ප්‍රශ්නවලට මුහුණ දීමට සිදුවිය හැකියි. විවේචන එල්ල වීමට පුළුවන. ඒවා ඉවසන්න. සාධාරණ විවේචනවලට ඇහුම්කන් දෙන්න. කැලෑ පත්තරවලින්, අසත්‍ය ප්‍රචාරවලින්, සාප කිරීම්වලින් කලබල වන්නට එපා. ඒවාට ප්‍රතිචාර දැක්වීම ද අවශ්‍ය නැහැ.

තමන් වරදක් කර ඇත්නම් ඒ දුර්වලතාව හඳුනාගන්න. එය තේරුම් ගෙන තමන් නිවැරැදි වන්න.

චෝදනා කරන අය දෙස මෛත්‍රියෙන් බලන්න. කරන දේ ඍජුව, අවංකව කරන්න. ඔබ නිවැරැදි යැයි කවදා හෝ අන් අය තේරුම් ගනු ඇත.

ඔබගෙන් උදව් ගත් අය කොතෙකුත් ඉන්නට පුළුවන. ඒ අය අතුරින් කෙනෙක් එය අමතක කර නොහඳුනන වා සේ ඉන්නට ද පුළුවන. ඒ අය කෙළෙහි ගුණ නැති අය විය හැකි ය. ඒ ගැන සිතන්නට වත්, අනුන්ට කියන්නට වත් සූදානම් නොවන්න. ඔබ කළ උපකාර ගැන සිතා සතුටු වන්න. ප්‍රති උපකාර බලාපොරොත්තුවෙන් කිසිම දෙයක් නොකරන්න. කෙනෙක් උදව් කළත්, නැතත් අවශ්‍ය අවස්ථාවන්හි දී කළ හැකි දේ කරන්න.

අනුන්ට හිරිහැරයක් කරදරයක් නොවන අයුරින් ජීවත් විය හැකි නම් එතැන මෛත්‍රිය ඇත. සමහර නිවෙස්වල ඉවතලන වතුර පාර අල්ලපු නිවස දෙසට එසේත් නැත්නම් යන එන පාරට හරවා ප්‍රශ්න ඇති කර ගන්නා අවස්ථා බලන්න. තමන්ගේ ඉඩමේ කුණු ආසන්න ඉඩමට දමා ගැටලු ඇති කර ගන්නා අවස්ථා කොතෙකුත් ඇත. තමන්ගේ ගුවන්විදුලිය, රූපවාහිනිය, අසල්වැසියන්ට හිරිහැරයක් නොවන ලෙස භාවිත කිරීමට පුරුදුවන්න. වාහනයක් පදවනවිට වුව ද අන්‍ය වාහනවලට, මගීන්ට හිරිහැරයක්, බාධකයක් නොවන අයුරින් තමන්ගේ වාහනය හසුරුවන්න.

මිත්‍රශීලීව කටයුතු කරන්නට උත්සාහ කරන්නේ නම්, විරුද්ධවාදීන් වුව ද මෙල්ල කර ගත හැකි ය. වැදගත් ම දේ ඔවුන් කළ වැරැදි ඉවසීමේ හැකියාව තමන් තුළ වර්ධනය කර ගැනීමයි. ඔවුනට කරුණු අවබෝධ කර දී නිවැරැදි මඟට ගැනීමට උත්සාහ කරන්න. ඔවුන් ඔබට විරුද්ධව ක්‍රියාකර ඇත්තේ වැරැදි අවබෝධය නොවේ නම් නොදැනුවත්කම නිසා වන්නට පුළුවන. ඔබේ ඉවසීමත්, දයාවත් නිවැරැදි දැක්මට මඟ පෑදීමක් වනු ඇත.

යහපත් සැනසිලි දායක ජීවිතයක් සඳහා ප්‍රඥාාවෙන් හා මෙත් සිතින් කටයුතු කළ යුතු ය. කිසියම් කෙනකු ඔබට විරුද්ධව නැවත නැවැතත් ක්‍රියා කරන්නේ නම්, ඒ හැම අවස්ථාවක දී ම ඉවසීමෙන්, බුද්ධිමත් ව සිතා බලා කර ඇති වරද පෙන්වා දෙන්නට උත්සාහ කරන්න. ඉවසීම තුළින් සැනසීම ලැබනු ඒකාන්ත ය.

පුර පසළොස්වක පෝය

  නොවැම්බර් 07 සඳුදා අ.භා. 04.21 පුර පසළොස්වක ලබා 08 අඟහරුවාදා අ.භා. 04.37 ගෙවේ. 07 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

Full Moonඅමාවක

නොවැම්බර් 23

First Quarterපුර අටවක

නොවැම්බර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]