[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

උසුලා ගැනීමට නොහැකි තරමට බර ජීවිතයට කුමට ද?

උසුලා ගැනීමට නොහැකි තරමට බර ජීවිතයට කුමට ද?

අද අප විසින් සාකච්ඡාවට භාජනය කරන්නේ සුභරො යනුවෙන් කරණියමෙත්ත සුත්‍රයෙහි දී පෙන්වා දෙන තවත් සත් චරිතාංගයක් ගැනයි.

සුභරො කියන වචනයෙන් ම ප්‍රකාශ වෙනවා එහෙම නැත්නම් අර්ථ දැක්වෙනවා පහසු, තමන්ට නොදැනෙන තරමේ බරක් දරනවා කියන අදහස. ඉතින් මොකක්ද මේ පහසු බර.

අන් කිසිවක් නොව පහසුවෙන් දිවි පවත්වා ගැනීමට හැකියාව කියන අදහසයි.

අපේ සමාජය දෙස ඕනෑකමින් විමසා බැලුවොත් මේ සුභර කියන එක වැඩි දෙනකුගෙන් ඈත් වේලා කියලයි හිතෙන්නෙ. බැලූ බැල්මට ඒ තත්ත්වය තිබෙන්නේ බොහෝ වස්තුව ධනය ගොඩගහගෙන ඉන්න පිරිස් තුළ බව යි පෙනී යන්නේ.

ඉතින් ගිහි, පැවිදි වශයෙන් බෞද්ධයා වෙන් කළත්, ඒ දෙපක්ෂය ම අදහස් කර ගන්නේ බෞද්ධ බව රැක ගන්නට ඕන කියන අදහසයි. ඉතින් බෞද්ධකම රැකෙන්නේ ජාතියෙන්, ජන්මයෙන්, පරපුරෙන් හෝ පෙළපතෙන් නොව ඒ ඒ අය තම ජීවිතයට එකතු කර ගන්නා වූ නිවන් මග ඉලක්ක කර ගන්නා සත් චරිතාංගයන් තුළින්. ඉතින් කරණීයමෙත්ත සූත්‍රයෙන් පෙන්වා දෙන්නේ නිවන්මඟ අරමුණු කර ගෙන ඒ වෙනුවෙන් පිළිවෙත් පුරන භික්ෂුවක් වුව ද, ගිහියෙක් වුව ද ඒ අරමුණට අනුව තම දිවි පැවැත්ම පෙළගස්වා ගත යුතු වෙනවා යන්න යි.

එහි දී ඒ අය අනෙකුත් අය විසින් හෝ, තමා විසින් හෝ පහසුවෙන් පෝෂණය කළ හැකි තත්ත්වයෙන් ජීවත් විය යුතු වෙනවා.

වර්තමාන ශ්‍රී ලාංකේය සමාජය සම්බන්ධයෙන් විමසුම් සහිතව බැලුවොත් අපට පෙනී යන පැහැදිලි කරුණක් තමයි බුදුරජාණන් වහන්සේ එදා අපට දේශනා කළ ආකාරයෙන් ම නොතිත් ආශාවන්ගෙන් පුහුදුන් මිනිසා ක්‍රියාත්මක වෙන බව.

ඌනො ලොකො අතින්තො තණ්හාදාසො යනුවෙන් පෙන්වා දී තිබෙන්නේ ඒ කාරණය යි.

තෘෂ්ණාවට වහලකු, දාසයකු බවට පත් වෙලා ජීවත් වන්නේ. ඒ නිසා ම තමන් මේ ලෝකයේ තිබෙන සම්පත් කොපමණ ලැබුණත් එහි අවසානයක් නො දැක තව තවත් සම්පත් සොයා ගෙන යනවා. එයට හේතුව ඒ උදවිය පහසුවෙන් පෝෂණය කරන්නට ඇති නො හැකියාව යි. මෙයට නුූතන ලෝකයේ පවත්නා විවිධාකාර විලාසිතා හේතු වී තිබෙනවා. නොයෙක් නිමැයුම් හේතු වී තිබෙනවා. මේ ලෝකය උන්මත්ථක තත්වයට පත් කරන්නේ එක පැත්තකින් විවිධ මාදිලියේ නිෂ්පාදන රටාවන් කියලා කීවොත් නිවැරදි යි. මේ තත්වය අද ආහාර සම්බන්ධයෙන් පැන නැඟී තිබෙනවා.

පෙර කාලවල දරුවා පාසලට යාමට සූදානම් වන විට අම්මා විසින් පිළියෙළ කර දෙන බත්,මාලු සහිත ආහාර භාජනය අද දරුවාට රුචි නැහැ. දරුවා ඉල්ලා සිටින්නේ විවිධ මාදිලියෙන් නිමවා වෙළඳ පොළේ විවිධ මිල ගණන් යටතේ අලෙවි වන රසකාරක සහිත පාන්පිටි නිෂ්පාදන කෑම වර්ග යි. ඉතින් මේවා ලබා නොදෙන දුප්පත් මව්පියන්ට තරගකාරී ධනවාදී, වාණිජවාදී මවුපියන්ගෙන් වගේම ඒ අයගේ දරුවන්ගෙන් සමන්විත සමාජයට තම දරුවා යොමු කරන්නට යාමේ දී මහත් අසහනයන්ට පත්වන්නට සිදු වෙනවා.

තමන් ඉල්ලන දේ දුප්පත් මවුපියන්ගෙන් නො ලැබෙන විට දරුවෝ මුරණ්ඩු වෙනවා. මවුපියන්ට අකීකරු වී ගෙදරින් පිට වී නන්නත්තාර වෙනවා. සියදිවි පවා නසා ගන්නා අවස්ථා ද තිබෙනවා. මේ නිසා අද දවසේ දරුවන් පෝෂණය කිරීම පිළිබඳ බරපතළ ගැටලු උද්ගත වී තිබෙනවා.

ඒ විතරක් නොවේ. අද සමාජයේ භාවිත වන විවිධ මාදිලියේ ජංගම දුරකථන විලාසිතාවන්. මේවා ගැන සිතන විට ඒවා ඉල්ලා මවුපියන්ට ඇවිටිලි කරන දරුවන් නිසා මවුපියන් අන්ත අසරණ බවට පත් වෙනවා. දරුවන්ට ඒවා නො ලැබෙන විට තරගකාරී ලොව තමන් පැරදුණා කියන මානසික ආතතිය දැඩි වී දරුවන් සිය දිවි නසාගත් අවස්ථා ද තිබෙනවා. මේ නිසා අද දවසේ ජීවත් වන බොහොමයක් නව යොවුන් තරුණ ප්‍රජාව දුභර තත්වයෙන් තමයි සලකන්නට පිළිවන්කම තිබෙන්නේ.

දරුවා තේරුම් ගත යුතු කරුණක් වන්නේ ”අහිංසක මව්පියන් තම ශත්ති ප්‍රමාණයෙන් තමන් ඔවුන්ගේ පණනල මෙන් රැක ගන්නට ක්‍රියා කරනවා. ඉතින් ඒ අයට බරක් වන්නට වුණොත් ඔවුන් සදාකල්හි ම දුකෙන් වේදනාවෙන් කල් යවනවා ඇති ”. කියන මේ කාරණය.

දරුවා හැම විටම පෝෂණය වන්නේ මවුපියන්ගේ ශක්තියෙන්. ඉතින් මවුපියන්ට ඔරොත්තු දෙන මට්ටමෙන් ක්‍රියා කිරීම තුළින් තමා බොදු දරුවෙක් බවට පත්වෙන්නේ. හැම දරුවෙක් ම තේරුම් ගත යුතු වෙනවා තමන්ගේ ළමා වයස ඉක්මවෙන තෙක්ම තමන් ජීවත් වෙන්නේ මවුපියන්ගේ, බාහුබලයෙන්, මහන්සියෙන්, දහඩියෙන් උපයා සපයා ගන්නා ශක්තියෙන් බව.

මේ ළමා කාලය තුළ මවුපියන් විසින් කළ යුතු දේ බොහෝ යි. විශේෂයෙන් මවුපියන් තම දරුවන් කල්‍යාණ මිත්‍රයන්ගේ ඇසුරට පත් කරවීම පළමුවෙනි කාර්යය බවට පත් වෙනවා. ඒ වගේ ම ඔවුන්ට අවශ්‍ය අධ්‍යාපනය නිසි වෙලාවේ නිසි ආකාරයෙන් ලබා දිය යුතු වෙනවා. ඒ විතරක් ම නොවෙයි දරුවාගේ හැදීම, වැඩීම වෙනුවෙන් දහම්පාසලට දරුවා යොමු කළ යුතු වෙනවා. ඒ මඟින් දරුවාට දැහැමි ආගමික වටපිටාවක ජීවත්වීමේ කාලය උදාවෙනවා පමණක් නොවෙයි, දහම් පොතපත වැඩි වැඩියෙන් කියවීමටත්, පන්සලේ හාමුදුරුවන්ගෙන් අවශ්‍ය අවස්ථාවේ දහම් කරුණු විමසා දැන ගෙන දැහැමි ජීවිතයකට අවශ්‍ය කරන අත්තිවාරම සකස් කරගෙන ඉදිරියට යාමේ ශක්තිය වැඩි දියුණු වෙනවා.

පුත්‍ර පේමය එහෙම නැති නම්, දරු ප්‍රේමය කියලා කියන්නේ අනාගතයට අවශ්‍ය ගුණ නැණ බෙලෙන් යුතු දරුවෙක් සමාජයට ඉදිරිපත් කිරීම නම් ඒ අදහස ඉටු වෙනවා. ඒ සඳහා මවුපියන් බොහොම කැප කිරීම් කරනවා. අද දවසේ ජීවත්වන බොහෝ මවුපියන් මේ හැම දෙයක්ම කරන්නේ මහත් ආර්ථික අපහසුකම් මැදයි. තම කුසට දවසට එක් වරක්වත් හරිහමන් ආහාරයක් පවා නොලැබ දරුවන් වෙනුවෙන් වෙහෙසෙන මවුපියන් කොතෙකුත් අපේ සමාජයේ ජීවත් වෙනවා. ඔවුන් බොහෝ විට දවසේ කුලී දිමනාවෙන් හෝ දරුවන්ට අවශ්‍ය දේ සපයා දෙමින් දුකක් නො දී කටයුතු කරන්නේ මහත් දුෂ්කරතා මැදයි. ඉතින් ඒ බව සත්පුරුෂ දරුවන් වටහා ගෙන ක්‍රියා කරන අවස්ථාත් නැතුවා නොවෙයි. එහෙම වුණත් ඇතැම් මවුපියන් හැඬූ කඳුලින් කලදවස ගෙවන අවස්ථා බහුලව අසන්නට ලැබෙනවා. ඒ තම දරුවන්ගේ නොතිත් ආශා ඉටු කර දෙන්ට නොහැකි වීමෙන් මහත් අසහනයට ද පත් වීමෙනු යි. එහි දී මවුපියන් විසින් අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගය ගැන ඔවුන් අවධියෙන් සිටිය යුතු වෙනවා.

පොහොය දිනවත් දරුවන් ආගමික වත්සිරිත්වලට යොමු කරවීමේ අරමුණෙන් දවසේ උදේ හෝ හවස විහාරස්ථානයට දරුවන් සමඟ ගොස් මල්පහන් පුදා පින් සිතිවිලි ඇති කර ගත යුතු වෙනවා. එහෙත් මේ දේ සිදු වෙනවාද? නැහැ. අද මවුපියන් තම ළදරු දරුවන් පවා තරගකාරි වාණිජවාදි ලෝකයට බලයෙන් ඇද දමා උපකාරක පන්තිවලට දහම් පාසල් යන ඉරිදා දවසෙත්, පොහොය නිවාඩු දිනයෙත් යොමු කරන කොට කොහොමද දරුවා බුද්ධ මාර්ගය හඳුනාගන්නේ. කොහොමද දරුවා බුදුමඟෙන් පෙන්වා දෙන සුභර බව දියුණු කර ගන්නේ?

මෙම ලිපියේ ඉතිරි කොටස ඉල් අව අටවක පෝදා (16) අන්තර්ජාල කලාපයේ පළවේ.

පුර පසළොස්වක පෝය

  නොවැම්බර් 07 සඳුදා අ.භා. 04.21 පුර පසළොස්වක ලබා 08 අඟහරුවාදා අ.භා. 04.37 ගෙවේ. 07 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

Full Moonඅමාවක

නොවැම්බර් 23

First Quarterපුර අටවක

නොවැම්බර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]