[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

සැනසීමේ මඟ වැනසීමේ විස මුල

සැනසීමේ මඟ වැනසීමේ විස මුල

සතුට, සැනසිල්ල, මානසික සුවතාව මෙන්ම කායික සුවතාවයට ද හානි පමුණුවන ප්‍රබල චෛතසිකයක් ලෙස ‘ක්‍රෝධය’ යන්න දැක්විය හැකි ය. සංයුත්ත නිකායේ ධනංජානි සූත්‍රය පාදක කොටගෙන ක්‍රෝධය දුරලීමෙන් ලැබෙන සැනසීම පිළිබඳ විමසීම අපේක්ෂාවයි.

බුදුන් දවස භාරද්වාජගොත්ත නමින් එක්තරා බ්‍රාහ්මණයෙක් සිටියේ ය. ඔහුගේ බිරිඳ ධනංජානි නම් වූ අතර, ඇය නිරන්තරයෙන් “අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා” යනුවෙන් පවසන ලදී.

මේ පිළිබඳ බ්‍රාහ්මණයාගේ සිතේ ක්‍රෝධය පහළ විය. “ඔබ නිතර වර්ණනා කරන බුදුන් සමග මම වාදයට යමි. වාදයෙන් ඔහුව පරදවමි” යනුවෙන් පැවසූ මේ බ්‍රාහ්මණයා වේළුවනයේ වැඩසිටි බුදුරජාණන් වහන්සේ සමීපයට ගොස්, උන්වහන්සේට බැන වදින්නට පටන්ගත්තේ ය. බුදුන් වහන්සේ මේ සියල්ල නිහඬතාවයෙන් යුතුව අසා සිටියහ. බ්‍රාහ්මණයා බැනිල්ල නතර කළේ ය. එවිට,

“ඔබට මගෙන් යමක් ඇසීමට ඇත්ද?” යනුවෙන්

බුදුන් වහන්සේ විමසූහ. ඒ අනුව,

“සැප ලැබීමට හා ශෝක නොකිරීමට නැසිය යුත්තේ කුමක්දැ”යි යනුවෙන් බ්‍රාහ්මණයා විසින් අසන ලද පැනයට බුදුන් වහන්සේ වදාළේ, සැපය ලැබීමටත්, ශෝකය දුරලීමටත් නැසිය යුත්තේ ක්‍රෝධය බවයි.

මෙයින් අදහස් වන්නේ සැහැල්ලුවෙන් ජීවත් වීම කෙරෙහි ක්‍රෝධය බාධකයක් වගයි. කෙසේවුව ද, ධර්ම දේශනාව අවසානයේ මෙම බ්‍රාහ්මණයා ශාසනයේ පැවිදි දිවියට එළඹියේ ය.

භාරද්වාජගොත්ත බ්‍රාහ්මණයාගේ පැවිදිවීම පිළිබඳ පුවත අක්කෝසක භාරද්වාජ බ්‍රාහ්මණයාට ආරංචි විය. මොහු ද බුදුන් වහන්සේ සමීපයට පැමිණ උන්වහන්සේට කටුක ලෙස බැන වැදුණේ ය. සියල්ල නිහඬව අසා සිටි බුදුන් වහන්සේ අවසානයේ “බැනලා ඉවර ද?” යනුවෙන් ප්‍රශ්න කළහ. එයට ‘ඔව්’ යන්න බමුණාගේ පිළිතුර විය. ඉන් අනතුරුව සිදු වූ සංවාදයයි මේ.

බුදුහිමියෝ - “ඔබේ නිවසට කවුරුන් හෝ ඥාතිවරයකු, මිත්‍රයකු හෝ ආගන්තුකයකු පැමිණෙන්නේ නම්, ආහාරපාන හෝ කැවිලි ආදිය පිළියෙළ කරන්නේ ද?”

බමුණා- “ඔව්, බොහෝවිට එහෙම කරනවා”

බුදුහිමියෝ- “යම් හෙයකින් ඒ අය නොපැමිණියහොත් හෝ පැමිණ ඒවා නොපිළිගත්තොත්, මොකද කරන්නේ?”

බමුණා - “ඒවා අපි කනවා”

බුදුහිමියෝ- “එසේනම් මා ඔබේ නිවසට පැමිණි ආගන්තුකයායි. දැන් ඔබ මට බොහෝ සෙයින් සංග්‍රහ කළා. මම ඒ කිසිවක් භාර නොගනිමි. ඒවා ඔබට ම බාරයි-”

මෙයින් ලජ්ජාවට පත් වූ අක්කෝසක භාරද්වාජ බමුණා බුදුන් වහන්සේගේ ඉවසීම කෙරෙහි පැහැදී, උන්වහන්සේ සමීපයේ පැවිදි දිවියට එළඹියේ ය.

මිනිසකුගේ විශිෂ්ටත්වය තීරණය වන්නේ ඔහුගේ ආධ්‍යාත්මික දියුණුව තුළයි. එකී දියුණුව ප්‍රකට කරන උත්තරීතර ගුණයකි ඉවසීම.

අනුරාධපුර යුගයේ පැවති ප්‍රකට දේශනයකි අරියවංශ දේශනාව. මෙය එක් භික්ෂුවක විසින් රාත්‍රියක් පුරාවටම සිදුකරන්නකි. එක් අවස්ථාවක මෙම දේශනාව සිදුකිරීම සඳහා ත්‍රිපිටකාභය නම් හිමිනමක් වැඩියහ. උන්වහන්සේ විසින් එය මැනවින් සිදුකරනුයේ, පිටතින් පැමිණි තවත් භික්ෂුවකට මේ පිළිබඳ ඊර්ෂ්‍යාවක් ඇති විය. උන්වහන්සේ රාත්‍රිය පුරාම ත්‍රිපිටකාභය භික්ෂුවට බැණ වැදුණේ ය.

දම් දෙසුම නිමවී අරුණ නැඟුණු යාමයේ ත්‍රිපිටකාභය හිමියෝ තමන් සමඟ පැමිණි අතවැසි භික්ෂුව ද සමග තම ආරාමය වෙත යාමට මාර්ගයට පිවිසුණහ. මේ මොහොතේ ම රාත්‍රිය පුරාම ත්‍රිපිටකාභය හිමියන්ට බැණ වදිමින් සිටි භික්ෂුව ද එම මාර්ගයට ම පැමිණියේ ය. යන අතරමඟ පවා උන්වහන්සේ විසින් ත්‍රිපිටකාභය හිමියන් දැඩි දෝෂ දර්ශනයට ලක්කරන ලදී.

එහෙත් බැනවදින භික්ෂුව තමන් ගමන් කරනුයේ ත්‍රිපිටකාභය හිමියන් සමග වග දැන සිටියේ නැත. දිගටම බැන වැදුණි. ඉදිරියට හමුවූ දෙමංහංදියකින් මොවුහු දෙපැත්තකට ගමන් කළහ. අනතුරුව ත්‍රිපිටකාභය හිමියන් සමඟ සිටි අනිත් භික්ෂුව

“අර හිමියන් ඔබ වහන්සේටනේ අච්චර බැන්නෙ, ඔබ වහන්සේටත් තිබුණේ ඒ හිමියන්ට හොඳට බනින්නනෙ”

යනුවෙන් පැවසුවේ ය. එවිට ත්‍රිපිටකාභය හිමියන්ගේ පිළිතුර වූයේ “බනින එක ඔහුගේ වැඩක්, ඉවසන එක මගේ වැඩක්” යන්නයි.

මනසේ සැනසිල්ල නැති කරන ක්‍රෝධයෙන් ඇවිළෙන්නට තිබූ මොහොතක ඉවසීමෙන් සැනසීම ලද මෙම අවස්ථාව බාහියදාරුචීරිය සූත්‍රයේ දැක්වෙන

“යමක් ඇසුණා ද එය ඇසුණා පමණි” යන බුදුවදන ප්‍රායෝගිකව භාවිත කළ අයුරු ප්‍රකට කරන්නේ වේ.

වචනයක් දුරදිග යාමෙන් මරණ පවා සිදුවනුයේ මෙවැනි ආධ්‍යාත්මික චින්තන රටාවක් අනුගමනය නොකිරීම නිසා ය. ත්‍රිපිටකාභය හිමියන්ගේ ප්‍රකාශය අප විසින් භාවිත කරන්නේ නම්, ක්‍රෝධය නිසා ඇතිවන බොහෝ ගැටලු වළක්වා ගැනීමට හැකි වනු ඇත.

සෙන් බෞද්ධ දර්ශනයේ එක්තරා කතා ප්‍රවෘත්තියකට අනුව, භික්ෂුවක් තවත් පුද්ගලයකු සමඟ ගඟක ස්නානය කරමින් සිටියේ ය. ඒ අතර, ගෝනුස්සකු ජලයේ ගිලෙමින් සිටි අයුරු දුටු එම භික්ෂුව එම ගෝනුස්සා බේරා ඉවුරෙන් තැබුවේ ය. ඒ අතරවාරයේ ගෝනුස්සා විසින් භික්ෂුවට දෂ්ට කරන ලදී. කෙසේවුව ද, නැවතත් එම ගෝනුස්සා ජලයට වැටුණි. භික්ෂුව විසින් නැවත ඌ ගොඩගන්නා ලදී. මෙය කීපවතාවක් ම සිදුවුණු අතර, භික්ෂුව ද දෂ්ට කිරීම්වලට ලක් විය. මෙය දුටු එහි සිටි පුද්ගලයා

“ගෝනුස්සා මෙතරම් දෂ්ට කරද්දීත් ඇයි ඔබ වහන්සේ ඌ නැවත නැවතත් බේරගන්නේ?” යනුවෙන් විමසුවේ ය.

එවිට භික්ෂුව “ඌ ගෝනුස්සෙක්. දෂ්ට කිරීම උගේ ස්වභාවයයි. මා භික්ෂුවක්. අන් අයට පිහිටවීම මගේ ස්වභාවයයි. තිරිසන් ස්වභාවය හේතුකොටගෙන මගේ ස්වභාවය වෙනස් කරගත නොහැකියි” යනුවෙන් පැවසුවේ ය.

මේ හා සබැඳී තවත් එක් සෙන් කතාවක් දක්වනු ලැබේ. එක් ගුරුවරයකු සමීපයට පැමිණෙන ශිෂ්‍යයකු විසින් තමන්ට නිරන්තර කෝපය ඇතිවන බව පවසා එයට පිළියමක් විමසන ලදී. අනතුරුව මෙවැනි සංවාදයක් සිදු විය.

ගුරුවරයා-

“හොඳයි, එහෙනම් මට ඔබේ කෝපය පෙන්නන්න”

සිසුවා-

“මට මේ වෙලාවේ එය පෙන්විය නොහැකියි”

ගුරුවරයා- “එසේනම් පෙන්විය හැක්කේ මොන වෙලාවට ද?” සිසුවා- “එහෙම වෙලාවක් කියන්න බැහැ” ගුරුවරයා- “එසේනම් එය ඔබේ ස්වභාවය නොවේ. එය ඔබේ ස්වභාවය නම් ඔබට ඕනෑම වෙලාවක එය පෙන්විය හැකි විය යුතු ය-”

එමනිසා, ක්‍රෝධය යනු තිරිසන් ස්වභාවයකි. තමාට අයත් නොවන එවැනි ස්වභාවයකින් වටිනා මිනිස් ස්වභාවය අහිමි නොකර ගත යුතු බව ඉන් ප්‍රකට වේ.

උක්තව දැක්වූ භාරද්වාජගොත්ත හා අක්කෝසක භාරද්වාජ බමුණන්ගේ පැවිදිවීම් පිළිබඳව පුවත අසුරින්ද නම් බ්‍රාහ්මණයාට ආරංචි වුණි. ඔහු ද බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ උන්වහන්සේට බැන වැදීමට පටන් ගත්තේ ය. බොහෝ වේලාවක් බැන වැදීමෙන් අනතුරුව

“මම බුදුන්ට හොඳට බැන්නෙමි” යැයි ඔහුට මානයක් ඇතිවිය.

බුදුරජාණන් වහන්සේ මෙය දැන “තවෙකකුට බැන වැදී එය ජයග්‍රහණයක් ලෙස සිතන්නේ නම්, එය අනුවණ ලක්ෂණයක් ම වග දේශනා කළහ. වර්තමාන සමාජයේ ද අන් අයට අපහාස කොට “මම ඔහුට හොඳවයින් දෙකක් කිව්වා” වැනි ප්‍රකාශයන් කරන්නවුන් බහුලව දක්නට ලැබේ. එහෙත්, එය වීර ක්‍රියාවක් නොව අනුවණ ක්‍රියාවක් ම වග ප්‍රඥාවන්තයින් වටහා ගත යුතු ය.

මෙම ලිපියේ ඉතිරි කොටස ඉල් අව අටවක පෝදා (16) අන්තර්ජාල කලාපයේ පළවේ.

පුර පසළොස්වක පෝය

  නොවැම්බර් 07 සඳුදා අ.භා. 04.21 පුර පසළොස්වක ලබා 08 අඟහරුවාදා අ.භා. 04.37 ගෙවේ. 07 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

Full Moonඅමාවක

නොවැම්බර් 23

First Quarterපුර අටවක

නොවැම්බර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]