[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

තිස් කල්පයක් පුරා දෙව් මිනිස් සැප ලබන පින් පිරුණු පින්කමක්

තිස් කල්පයක් පුරා දෙව් මිනිස් සැප ලබන පින් පිරුණු පින්කමක්

පාවානුවරවාසි තිස්නමක් වූ භික්ෂූන් පිරිසක් සාකේත නුවර වස් වසා තෙමසක් ඇවෑමෙන් පවාරණය කොට තථාගත බුදුරජාණන් වහන්සේ දැකීමට සැවැත්නුවරට වැඩම කළා.

උන්වහන්සේ පැමිණියේ මඩවගුරු ආදියෙන් පිරුණු දුෂ්කර මාර්ගයකයි. සිවුරුවල මඩ තැවරී, තෙතබරිත වී පැමිණි ඒ සඟ පිරිස ඉතාමත් ම අපහසුවට පත්ව සිටියා. මේ කරුණු හේතුකොටගෙන යි බුදුරජාණන් වහන්සේ විසින් කඨින චීවරයක් පිළිගන්නට භික්ෂූන්ට අනුදැන වදාළේ.

කඨිනයක් පිළිගත හැක්කේ ඇසළ පුර පෝය දිනයේ පෝය විනය කර්මය කොට, ඊට පසුදිනයේ හෙවත් ඇසළ අවපෑලවිය දිනයේ වස් සමාදන් ව වස්සච්ඡේදනය කරගන්නේ නැති, එහෙම නැතිනම් වස් ශික්ෂාව ආරක්ෂා කොට ගෙන වප්පුර පෝය දින මහා පවාරණයෙන් වස් පවාරණය කළ උපසම්පදා භික්ෂූන්ට යි.

මේ කාමාවචර ලෝකයේ කළ යුතු මහා බලගතු පින්කම් අටක් බුදුරජාණන් වහන්සේ අපට හඳුන්වා දුන්නා. එයට අටමහා කුසල් කියනවා. එම පින්කම් අට මෙහෙම යි. කඨින චීවර පූජාව, අටපිරිකර පූජාව, ආවාස සාදා පූජා කිරීම, ධර්මය ලියා පළ කිරීම, බුද්ධ ප්‍රමුඛ සංඝයාට දන්දීම, කෙත්වතු පූජාව, බුද්ධ ප්‍රතිමා කරවීම, වැසිකිළි, කැසිකිළි කරවීම. මේ සඳහන් කළ අටමහ කුසල් අතර පළමු තැන හිමි වන්නේ කඨින චීවර පූජාවටයි. කඨින චීවර පූජාව කළ සැදැහැවතුන්ගේ ගති නියත යි. ඔවුන්ට කාම සුගති ප්‍රතිසන්ධිය ලැබෙනවා. සසර කඨින පින්කම් කරපු පින්වතුන් දෙව්ලොව හරි, මිනිස් ලොව හරි උපන්නොත් අනිත් දෙවිමිනිසුන් අභිභවා ඉහළ සම්පත් විඳිනවා.

පින්වතුනි, ඔබ අප ජීවත්වන මේ කල්පයට කියන්නේ මහා භද්‍ර කල්පය කියලා. බුදුරජාණන් වහන්සේ පස් නමක් බුදුවන කල්පය නිසා.

ඒ අනුව සතර වෙනුව බුදුවුණු අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ එක්තරා කාලයක වැඩ හිටියා සැවැත්නුවර. එනුවර මහා ධන සම්පත් තිබෙන බ්‍රාහ්මණ මහාසාර කුලයක උපන්නා පින්වන්ත කුමාරයෙක්. ඒ කුමාරයාගේ නම නාගිත. මේ නාගිත කුමාරයා ක්‍රමයෙන් වැඩි වියට පත් වුණා. ත්‍රිවේදයේ පරතෙරට ම ගියා.

මේ පින්වත් නාගිත කුමාරයා, පෙර ආත්මයක දී කඨින මහා පින්කම් කරපු අයෙක්. මේ කුමාරයා පූර්ව ජාතියේ දී කරපු කඨින දාන කුසල කර්මයාගේ මෙහෙයවීමෙන් දිනක් ජේතවනාරාමයට ගිහින් බුදුරජාණන් වහන්සේට වැඳ නමස්කාර කළා. ඒ අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ රැස් වූ සිව්වනක් පිරිසට ම ධර්ම දේශනා කර වදාළා. මේ ධර්ම දේශනාව අවසානයේ දී ඉතා ප්‍රසාදයට පත් වූ නාගිත කුමාරයා පෙර පින් බලය නිසා ම ඒහි භික්ෂු මහණ උපසම්පදාව ලබා උතුම් රහත් බවත් ලබා වදාළා.

මෙයින් කල්ප අනූ එකකට ඉස්සර මේ නාගිත හාමුදුරුවෝ බන්දුමතී කියන නුවර කුල පුත්‍රයෙක් ව ඉපදුණා. ඒ කාලේ වැඩ සිටියේ විපස්සි බුදුහාමුදුරුවෝ. මේ කුලපුත්‍රයා දන්දීමට පරිත්‍යාගයට බොහොම කැමතියි. මෙයා දානපති තත්ත්වයට පත්වෙලා ජීවත් වුණා. එක වස්කාලයක මේ පින්වතා බුදුරජාණන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයට දානයක් පූජා කර වස් ආරාධනා කළා. සිව්පසයෙන් භික්ෂූන් වහන්සේට උපස්ථාන කළා, වස් කාලය අවසානයේ දී කඨින මහා පින්කම් සිදු කළා. ඒ පින්කම් කර ප්‍රාර්ථනා කළා, මේ කුසලයෙන් මට යම් දිනක කෙලෙසුන් නසා රහත් වීමට උපකාර වේවා කියා.

අපේ ගෞතම බුදුහාමුදුරුවන්ගේ කාලෙදී නාගිත හාමුදුරුවෝ ලෙස ජීවත් වුණ කාලය දක්වාම අතර කල්ප තිහක් කාලයේ දී දෙව්, මිනිස් සැප ලැබුවා. අපායගාමි වුණේ නැහැ.

එකල්හි භික්ෂු මහණ උපසම්පදාව ලද මහ රහතන් වහන්සේ පන්සියයක් සමඟ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සමඟ අනවතප්තවිලට අහසින් වැඩම කළා.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි, මේ ඒහි භික්ෂු මහණ උපසම්පදාව ලද රහතන් වහන්සේ අතර කඨින පින්කම් කර ගත් මහණ කෙනෙක් මෙහි සිටීද? කිසිම කෙනෙක් අසුනෙන් නැගිට්ටේ නැහැ.

එවිට නාගිත මහ රහතන් වහන්සේ තමන් වහන්සේ සසර දී ලැබුව සැප විපාක ගාථා රාශියකින් එදා බුදුරජාණන් වහන්සේ ප්‍රධාන ඒහි භික්ෂු මහණ උපසම්පදාව ලද භික්ෂූන් ඉදිරිපිට දී ප්‍රකාශ කළා. නාගිත මහ රහතන් වහන්සේ ප්‍රකාශ කරනවා මෙහෙම.

කඨින දානං දත්වාන - සංඝෙ ගුණ වරුක්කමෙ - ඉතො තිංසේ මහා කප්පෙ නාභි ජානාමි දුග්ගතිං.

ශ්‍රේෂ්ඨ වූ සංඝරත්නය විෂයයෙහි මම කඨින චීවර දානයක් දුන්නා. ඒ පින්කමේ අනුසස් බලය නිසා කල්ප තිහක් මුළුල්ලේ ම අටමහ නිරයක ඉපදුණේ නෑ.

අට්ඨාරසන්නං කප්පානං - දෙවලොකෙ රමාමහං - චතුත්තිං සක්ඛත්තුං දේ වින්දෝ - දේවරජ්ජ මකාරයි.

මම සසර දී කල්ප දහඅටක් දෙව්ලොව සැප වින්දා. ඒ වගේම තිස්හතර වාරයක් ශක්‍ර සම්පත්තිය ලැබුවා.

සහස්සඛන්කුං බ්‍රහ්මාච දේවරජ්ජ සිරිධරො - සවෙ එවං මනුස්සත්තං - අඩ්ඩේ ජායිං මහාකුලෙ

මම මේ කඨින චීවරය පූජා කුසලයෙන් ලක්ෂයක් ආත්මවල බ්‍රහ්ම සම්පත්තියත්, ඒ වගේම දිව්‍ය සම්පත්තියත් ලැබුවා. මනුෂ්‍ය ආත්මයක් ලැබුවේ නම්, ආඪ්‍යය වූ මහා කුලවල තමා උපත ලැබුවේ. එනිසා ඔබත් මෙවැනි මහා පින්කම් කර මේ සසර කතරින් මිදෙන්ට උත්සාහ කරන්න.

පුර පසළොස්වක පෝය

  නොවැම්බර් 07 සඳුදා අ.භා. 04.21 පුර පසළොස්වක ලබා 08 අඟහරුවාදා අ.භා. 04.37 ගෙවේ. 07 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

Full Moonඅමාවක

නොවැම්බර් 23

First Quarterපුර අටවක

නොවැම්බර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]