[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානය යළි විවෘත කෙරේ

චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානය යළි විවෘත කෙරේ

දඹදිව වන්දනා පිණිස යන සැදැහැවත් බෞද්ධ ජනතාව අතරින් වැඩි පිරිසක් මෙන්ම, වන්දනා ගමන් සංවිධායකයන් බොහෝ දෙනා ඉතා හොඳීන් දන්නා තැනක් වන්නේ චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානයයි.

අඩු මිලකට වන්දනාව පිණිස වන්දනා ගමනේ යෙදීමට නම් චෙන්නායි දක්වා ගුවනින් ගමන් කර, එතැන් සිට මහා මාර්ගයේ හෝ දුම්රියේ යා හැකි ය. ඒ බොහෝ දෙනා ඉන්දියාවේ පළමු නවාතැන ලෙසට, පළමු රැය ගත කරන්නේ චෙන්නායි බෞද්ධ මධ්‍යස්ථානයේ ය.

මේ මධ්‍යස්ථානයේ වැදගත්කම අපට වඩාත් ඉස්මතුව පෙනුණේ පළමු කොරෝනා රැල්ල හටගත් අවස්ථාවේ ය. ඒ අවස්ථාවේ දී එහි මධ්‍යස්ථානාධිකාරි ලෙස කටයුතු කළ කලවානේ මහානාම හිමියන් විසින් ගුවන් පහසුකම් නොමැතිව පැමිණීමට නොහැකි වූ වන්දනාකරුවන් වෙනුවෙන් හැකි උපරිම සහන සේවා සලසා ඔවුන්ට යළි මවුරටට ඒමට අවශ්‍ය පසුබිම සකස් කර දෙන ලදී.

එහෙත් එයින් පසුව ඉන්දියාවේ ඇති වූ අධි කොරෝනා වසංගතය නිසා චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානය වසා දමන්නට සිදු විය. වසර දෙකකට අධික කාලයක් වසා දමා තිබු එම මධ්‍යස්ථානය සහ පැරැණි සංඝාවාසය හා බුද්ධ වන්දනා මන්දිරය සම්පූර්ණයෙන් ම ප්‍රතිසංස්කරණය කිරීමෙන් පසු වන්දනාකරුවන්ගේ පහසුව වෙනුවෙන් සියලු සේවා සඳහා පසුගිය මස 24 වැනි දා විවෘත කෙරිණි. චෙන්නායි හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය ඩී. වෙන්කතේෂ්වරන් මහතාගේ සහ ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩා කවුන්සලයේ සභාපති, හිටපු අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

ඒ සඳහා ඉන්දියාවේ වෛද්‍ය ඒ.අශෝකන් සහ ඊ. රාජා යන දෙපළගේ ධන පරිත්‍යාග හිමි විය. ඔවුන් එම පරිත්‍යාග සිදු කළේ එහි වටිනාකම ගැන හොඳීන් දන්නා නිසා ය. ඒ වෙනුවෙන් ඔවුහු ඉන්දීය රුපියල් ලක්ෂ හයකට ආසන්න මුදලක් වැය කළහ. එය වර්තමාන වටිනාකම අනුව ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 30 ආසන්න මුදලකි.

අද එහි චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානාධිපති ස්වාමීන් වහන්සේ ලෙස කටයුතු කරන්නේ පූජ්‍ය නුගගොල්ලේ චන්ද්‍රරත්න හිමියන් ය.

කොරෝනා වසංගතය හේතුවෙන් වන්දනාකරුවන්ගේ පැමිණීම අඩාලවීමත් සමගම වසර දෙකකට වැඩි කාලයක් වසා දමා තිබූ චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානය ශ්‍රී ලංකා මහාබෝධි සංගමයේ සභාපති ජපානයේ ප්‍රධාන සංඝනායක සාංචි චේතියගිරි මහා විහාරාධිපති බානගල උපතිස්ස නා හිමියන්ගේ ඉල්ලීම පරිදි ඒ. අශෝකන් සහ ඊ. රාජා යන ඉන්දීය සැදැහැවතුන් දෙදෙනා චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානය ප්‍රතිසංස්කරණය කිරීමට ඉදිරිපත් වූ බව නුගගොල්ලේ චන්දරත්න හිමියෝ පවසති.

ඒ අනුව පහත මාලයේ (අඩි 18) බුද්ධ ප්‍රතිමා වහන්සේ ද, පළමු මහලේ (අඩි 26) සැතපෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ ද, එහි පිහිටි (අඩි 06) හිඳී පිළිම වහන්සේ ද සම්පූර්ණයෙන් ම වර්ණාලේපිත කර පැරැණි සංඝාවාසය හා භික්ෂු නේවාසික කාමර ගොඩනැඟිල්ල ද පිළිසකර කර ඇතැයි චන්දරතන හිමියෝ පවසති.

මෙම කටයුතු වෙනුවෙන් හා එම විවෘත කිරීම් සඳහා චෙන්නායි හා ඒ අවට ඉන්දීය බෞද්ධ සැදැහැවතුන් විශාල සංඛ්‍යාවක් සහභාගි වූ බව ද උන්වහන්සේ පවසති.

දඹදිව වන්දනාවේ පැමිණෙන ලංකාවේ සහ බෞද්ධ සැදැහැවතුන්ගේ පහසුව සඳහා චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානය1946 දී ඉදිකරන ලද බව චන්ද්‍රරත්න හිමියෝ පවසති.

පෞද්ගලික වන්දනාකරුවන්ට වුව ද ඉතා පහසුවෙන් සොයා ගත හැකි ස්ථානයක පිහිටා ඇති නිසා චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානය බොහෝ දෙනා අතර වඩාත් ප්‍රචළිත ස්ථානයකි. නාගරික ප්‍රදේශයක වුව ද නිස්කලංකව බෞද්ධයන්ට සිය ආගමික කටයුතු පවා නිසි ලෙසින් කර ගත හැකි ස්ථානයක් ලෙස ද චෙන්නායි මහාබෝධි මධ්‍යස්ථානය හඳුන්වා දිය හැකි ය.

පුර පසළොස්වක පෝය

  නොවැම්බර් 07 සඳුදා අ.භා. 04.21 පුර පසළොස්වක ලබා 08 අඟහරුවාදා අ.භා. 04.37 ගෙවේ. 07 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

Full Moonඅමාවක

නොවැම්බර් 23

First Quarterපුර අටවක

නොවැම්බර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]