[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගාලු මාතර හම්බන්තර තෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවි ලද ශාස්ත්‍රපති අක්මීමන පඤ්ඤාසාර නාහිමි ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය

ගාලු මාතර හම්බන්තර තෙපළාතේ උප ප්‍රධාන සංඝනායක පදවි ලද ශාස්ත්‍රපති අක්මීමන පඤ්ඤාසාර නාහිමි ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රදානෝත්සවය

වල්පල ඉමදුව වාඩියවත්ත ශ්‍රී සඳුන් විහාරය, වතෝගල තපෝධනාරාම පුරාණ විහාරය, දීගොඩ සමාධි ශ්‍රී සම්බුද්ධ විහාරය, ඉමදුව වෙළෙන්දාව නිග්‍රෝධාරාමය, කෝඹල ශ්‍රී බෝධිරුක්ඛාරාමය, ආදි විහාරයන්හි විහාරාධිපති උස්වැව මිලක්කතිස්ස රජ මහාවිහාරය (පාලක විහාරාධිපති) ගා/ පොල්පාගොඩ ධර්මපාල ජාතික පාසලේ පරිපාලන නි. විදුහල්පති ශාස්ත්‍රපති අක්මීමන පඤ්ඤාසාර ස්වාමීන්ද්‍රයන් වහන්සේ වෙත මහනුවර උපෝෂථ පුෂ්පාරාම විහාරද්වයාධිපති තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහාවිහාරවංශික ශ්‍යාමෝපාලි මහානිකායේ මල්වතු විහාර පාර්ශවයේ ශ්‍රීමත් මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාවේ සමානච්ඡන්දයෙන් ප්‍රවචන කීර්ති ශ්‍රී ධම්මානන්ද යන නාමදේවෝපලක්ෂිතව ගාලු මාතර හම්බන්තර තෙපළාතේ උප ප්‍රදාන සංඝනායක පදවියට පත් කර ඇති අතර ඒ පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍ර ප්‍රධානය රාජ පූජිත මල්වතු මහා විහාරයීය මංගල උපෝසථාගාරයේ දී ශ්‍රීමත් මහනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රමුඛ සානුනායක කාරක මහා සංඝ සභාවේ දි 2022 නොවැම්බර් 14 දින සිදු කිරීමට සංවිධානය කර ඇත.

අභිනව නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ පිළිගැනිමේ අභිනන්දන උත්සවය 2022 නොවැම්බර් 15 වැනි දින ගාල්ල හොල්දි උත්සව ශාලාවේ දි මල්වතු මහාවිහාර පාර්ශවයේ අනුනායක යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද විශ්වවිද්‍යාලයේ කුලපති සාහිත්‍ය චක්‍රවර්ති අග්ගමහාසද්ධම්මජෝතික ධජ ස්ථවිරවංශාලංකාර අතිපූජ්‍ය ආචාර්ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ඛිත විජිතසිරි අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් මැති ඇමතිවරුන්ගේ සහභාගීත්වයෙන් සිදු කිරීමට නියමිත ය.

අක්මීමන නියාගම අක්මිමන ගාල්ලෙ ගෙදර ලයනල් ගුණවර්ධන, කිරින්දේ ලියනාරච්චිගේ සුමනාවති යන දම්පතීන්ට දාව 1973 නොවැම්බර් 16 වන දින උපත ලබා මෙම පින්වත් කුළ කුමරු අක්මීමන ඉහළගොඩ කණිෂ්ඨ විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා පුරා කෘත පුණ්‍ය මහිමයෙන් 1985 මැයි 29 වන දින යක්කලමුල්ල ගහළකොලදෙනිය ශ්‍රී ගුණවර්ධනාරාම විහාරාධිපති රාජකීය පණ්ඩිත රන්සෑගොඩ ධම්මානන්ද මහා ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ශිෂ්‍ය රත්නයක් ලෙස අක්මීමන පඤ්ඤාසාර සාමණේර නමින් ප්‍රවෘජ්‍යා භූමියට ඇතුළත් විය.

අපේ අක්මීමන පඤ්ඤාසාර හිමියන් දෙහිවල ශාස්ත්‍රානන්ද පිරිවනෙන් මූලික ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණය කර ගාල්ල පුඤ්ඤසාර මහ පිරිවනෙන් ශබ්ඳ ශාස්ත්‍රාදිය මැනවින් ප්‍රගුණ කර ශ්‍රි ලංකා රුහුණු විශ්වවිද්‍යාලයෙන් 1999 සාමාන්‍ය ශාස්ත්‍රවේදි උපාධිය හිමි කර ගත් උන්වහන්සේ 2003 කැලණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය හිමි කරගන්නට සමත් වූහ.

අපේ පඤ්ඤාසාර හිමියන් උගත මනා බණ දහම් උගෙන විසි වයස් සම්පූර්ණව 1993 ජුනි මස 09 වන දින මහනුවර රාජ පූජිත මල්වතු මහා විහාරීය මංගල උපෝසථාගාරයේ දි අධිශීල සංඛ්‍යාත උපසම්පදා ශිලයෙහි පිහිටියහ.

අපේ පඤ්ඤාසාර නාහිමියන් 1997 දි උඩුමලගල ශ්‍රී ආදිච්චවංස පිරිවනේ නියෝජ්‍ය පරිවෙනාධිපති ධූරයට ද පත් ව පසුව 2005 දි බටේමුල්ල ජාතික පාසලේ ධර්මාචාර්ය වරයකු ලෙස ද, නියෝජ්‍ය විදුහල්පති වරයන් වහන්සේ ලෙස ද ක්‍රියා කළහ.

වත්තෙහේන කණිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පති ධූරය 2014 සිට 2015 දක්වා හොබවන ලදි. 2016 සිට පොල්පාගොඩ ධර්මපාල ජාතික පාසලේ පරිපාලන නියෝජ්‍ය විදුහල්පති ධූරයට පත්ව මේ දක්වා සේවයෙහි යෙදි සිටිති.

උන්වහන්සේගේ පැවිදි සහෝදරයන් වහන්සේ වනුයේ ගහලකොලදෙණිය ශ්‍රී ගුණවර්ධනාරාම විහාරාධිපති ප්‍රවිනාචාර්ය යටලමත්තේ ධම්මජෝති හිමියන් ය. උන්වහන්සේගේ ශිෂ්‍ය හිමිවරු වන්නේ, නුගේගොඩ සුභද්‍රාරාම මූලික පිරිවනේ පරිවෙනාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති කෑගල්ලේ පඤ්ඤානන්ද හිමි, කොන්වැලැනේ ධම්මසාර හිමි, පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවනේ නියෝජ්‍යය පරිවෙනාධිපති රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති දොරපනේ චන්දානන්ද හිමි, වතෝගල හේමසාර හිමි, යක්කලමුල්ලේ පඤ්ඤාජෝති හිමි, මලිදුව විමලසාර හිමි, උස්සව රතනජෝති හිමි, ඉමදුව සෝරත හිමි, අක්මිමන කුසලධම්ම හිමිවරු ය.

උන්වහන්සේගේ ආගමික සමාජ සංස්කෘතික සේවාවන් අතුරින් ගුවන් විදුලි, රූපවාහිනි ධර්ම දේශනා ආදියෙහි නිපුනත්වයෙන් ක්‍රියා කරනු ලබන අතර යක්කලමුල්ල සමථ මූල මණ්ඩලයේ සභික ධූරය ද සභාපති ධූරය ද දරන ලද අතර යක්කලමුල්ල ප්‍රාදේශීය විහාරාධිපති සංගමයේ ලේකම් ධූරය දරමින් විශාල මෙහෙයක් ඉටු කරනු ලබති. යක්කලමුල්ල ශාසනාරක්ෂක බලමණ්ඩලයේ ද සභාපතිවරයන් වහන්සේ වශයෙන් ද ක්‍රියා කරනු ලබති.

ප්‍රවචන කීර්ති ශ්‍රී ධම්මානන්ද නාමදේවෝපලක්ෂිත ගාලු මාතර හම්බන්තර තෙපළාතේ උපප්‍රධාන සංඝනායක අක්මීමන පඤ්ඤාසාර නායක ස්වාමින්ද්‍රයන් වහන්සේට ලෝ සසුන් දෙකට ශත වර්ෂාදි කාලයක් වැඩ වඩන්නට ශක්තිය හා ධෛර්ය තුරුණුවන් සරණින් සියළු දෙවිරැක වරණින් සැලසේවා'යි මේ ප්‍රීතිමත් අවස්ථාවේ ප්‍රාර්ථනය කර සිටිමි.

පුර පසළොස්වක පෝය

  නොවැම්බර් 07 සඳුදා අ.භා. 04.21 පුර පසළොස්වක ලබා 08 අඟහරුවාදා අ.භා. 04.37 ගෙවේ. 07 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

Full Moonඅමාවක

නොවැම්බර් 23

First Quarterපුර අටවක

නොවැම්බර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]