[UNICODE]

මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

ගැමුණු හමුදාව එතෙරදීම පලවා හැරීම අපේ අරමුණයි

දුටුගැමුණු මහ රජතුමා 87 කොටස:

ගැමුණු හමුදාව එතෙරදීම පලවා හැරීම අපේ අරමුණයි

“එළාර රජුට ගැතිකම් කරන සිරිනාග නම් සිංහල සෙනෙවියෙක් මාගමින් රහස් ඔත්තු ගෙන්වා ගන්නවා. එවන්නේ ගුත්තාහල කඳවුරෙන් මේ ගැන සොයා බලන්න."

අවසාන තුරුම්පුව ලෙස මෙය යොදාගෙන උපතිස්ස විජිතපුර බලකොටුවෙන් ඉවත් කළ හැකි බව සිරිනාගට හැඟිණි.

"පුතා, තල්පතේ තිබුණු ආරංචිය සතුටුදායකයි වගේ. ඔව්, මෑණියනි අද හවස ජය ශ්‍රී මහා බෝ මළුවට ගොස් ඒ ගමන්ම, මහ සිටුමැදුරටත් යන්නට හිතුවා. මෑණියනුත් එනවා නම් මම කැමතියි."

සමන්ති මාතාව ද රැගෙන සිරිනාග ජයනාථ සිටු මැදුරට යන විට, දුර්ගම සංග්‍රාමික සෙබල පිරිසක් ඉදිරියට කඩා පැන්හ. රියැදුරා අස්රිය නතර කළේ ය. සමන්තී ද පුදුමයෙන් බලා සිටියාය.

"අනේ මේ ළමයින්ගේ විකාර. අක්කණ්ඩි බය වුණාද? භය වුණා. සිරිනාග හිනාවෙනවා දැක්කහමයි බය නැතිවුණේ."

සිටු යුවළ සිනාසෙමින් ඔවුන් දෙදෙනා පිළිගත්හ.

ඒ සමඟම පැමිණි අශ්වාරෝහකයකු මාලිගාවේ දොරටුව අභියස සිටිනු දුටු සිටුතුමා ඔහු කැඳවිය. ඔහු හී පොළ දූතයකු බව සිරිනාග හඳුනා ගත්තේ ය.

“මහ සෙනෙවිතුමනි හී පතක්”

“කාගෙන් ද?”

“නොදනිමි සෙනෙවිතුමනි”

“කොහෙන් ද?’

“කසාතොටින්”

අසුරුවා එය සිරිනාගට දෙමින් කීවේ ය.

“හොඳයි තොපට යාමට අවසර”

අසරුවා ගිය පසු ඔහු හසුන්පත පරික්ෂා කළේ ය. සම්කඩක දවටා, සුදු නූලකින් බැඳ ඇත. හසුන්පත ගෙන ආලින්දයේ හිඳගත් සිරිනාග, ජයනාථ මහ සිටුතුමාට ද තමන් ළඟින් ඉඳගන්නා ලෙසට කීවේ ය.

සිරිනාග සම්කඩ ලිහා තල්පත අතට ගත්තේය. මහසිටුතුමා අවධානයෙන් බලා සිටියේ ය.

“තල්පත බෝධිනාගගෙන්ද?”

“ඔව් මහ සිටුතුමනි, පියාණන්ගෙන්’

සිරිනාග මහ සිටුතුමාට ද ඇහෙන සේ තල්පත කියවී ය.

“මම දීඝාභයට රහස් තල්පතක් එව්වා. එය හිතාමතා ම කළ දෙයක්”.

“මගේ ගමන ඉතා සාර්ථක වුණා. අවශ්‍ය වූ අවස්ථාවක ආධාර ලබාදීමට සෝම නුවර අභය රජුත්, සේරු නුවර මහාසිව රජුත් කැමති වුණා. ලෝණා නුවර මහානාග රජු හැමදාමත් අපට හිතවත්. දැනටමත් සේනාංක කිහිපයක් ම මහියංගණයට යවලා.”

මේ ගමන්ම මාගමට ගොස් කාම්බෝජ පඬිතුමා හමුවී යුද සැලසුම් තොරතුරු දැන ගැනීමට උත්සාහ කරනවා. ඔවුන්ගේ හිතවතකු ලෙසයි මම යන්නේ. ඒ නිසා එය රහසක් ලෙස තබාගන්න. හැකි ඉක්මනින් ආපසු එන්නම්.”

තල්පත කියවූ සිරිනාගට සිනහ පහළ විය. ජයනාථ මහ සිටුතුමා ඔහුගේ සිනහවට හේතුව වටහා ගත්තේ ය.

“බෝධිනාග සැබෑ දක්ෂයෙක්. යුද පුහුණුවයි, උගත්කමයි දෙකම ඔහුට තිබෙනවා. බලන්න මේ හසුන්පත ලියා තිබෙන ආකාරය. එයින් එළාර රජතුමාට කියන්නේ එකක්. අපට කියන්නේ එකක්.”

“පියාණන් මාගමට ගිය ගමන අපට වාසියක්. සිලාපස්ස පිරුවන්පති මාහිමියන්ගෙනුත් තිස්සමහාරාම විහාරාධිපති හිමියන්ගෙනුත්, උපදෙස් අරගෙන ඒවි.”

“මේ හසුන්පත රජතුමාට යවනවාද?

“නැහැ හෙට රාජ සභාවේ දී කියවන්නට පුළුවන්.”

පසුදින උදෑසන රාජ සභාව රැස්වුණි. සියලුම සෙනෙවිවරුන්ගෙන් ආරක්ෂාව පිළිබඳ වාර්තා ඉල්ලා තිබූ නිසා එදින රාජ සභාව යුද්ධ මණ්ඩල රැස්වීමක ස්වභාවය ගත්තේ ය. විසි මහ යෝධයන්ගේ කටයුතු විමසා බැලීම රජතුමාගේ අදහස විය.

මහවැලි ගඟ දකුණු ඉවුරේ බලකොටු ඉවත්කර මෙගොඩ ඉවුරේ ආරක්ෂාව තර කිරීම ගැන සෙනෙවිවරුන්ගේ අදහස් විමසීමට මහ ඇමති යෝජනාවක් ඉදිරිපත් කළේ ය.

“විහාරමහා දේවියත්, දුටුගැමුණු රජතුමාත්, දසමහ සෙනෙවිවරුත් මහියංගණ චෛත්‍යයේ වැඩ අවසන්කර සත්බෑ කෝට්ටේ අසල සේනාංක පහක් සමඟ කඳවුරු බැඳගෙන සිටින බව තුණ්ඩිලගෙන් වාර්තා වී තිබෙනවා. එය සිරිනාගගේ රහස් වාර්තාව සමඟ ගැලපෙනවා. “දීඝජන්තු කීවේ ය.

“අපි ඉක්මන් තීරණයක් ගන්නට ඕනෑ. සිරිනාග ඉදිරිපත් කර ඇති යෝජනාවට අනුව එගොඩ කඳවුරු ඉවත්කර ගන්නවා ද? මහ ඇමති කීය.”

“ගැමුණු රජතුමා ඇතුළු පිරිස විනාශ කිරීමට හැකි නම් එම කඳවුරු ඉවත්කර ගැනීමට අවශ්‍ය නැහැ. අපේ විසිමහ යෝධයන් ඔවුන්ගේ සේනාංක සමඟ එම කඳවුරුවලට යවමු.” රජතුමා යෝජනා කළේ ය.

“ඔබ වහන්සේගේ යෝජනාව ඉතාමත් කාලෝචිතයි. අම්බතිත්ථය අපට රැකගත හැකි නම් අපි එය කරමු. රුහුණු සේනාව එතෙරදී ම පලවා හැරීමේ අපේ අභිප්‍රාය බව අමතක කළ යුතු නැහැ. නමුත් මට ලැබෙන ආරංචිවල හැටියට ගැමුණු හමුදාව දවසින් දවස ශක්තිමත් වෙනවා. දිවයිනේ සෑම ප්‍රදේශයකින් ම තරුණ තරුණියන් අලුතින් හමුදාවට එක්වෙනවා. නවන්ගම අවි කම්හල්වලින් ගැල් දෙසීයක් යුද අවි එවා තිබෙනවා.

“මහරජතුමනි, මට මාස දෙකක කාලයක් මේ අග නගරයෙන් බැහැරව සිටීමට අවසර දෙන්න . මීළඟ යුද මණ්ඩල රැස්වීමට වැදගත් තොරතුරු රැසක් ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා” සිරිනාග කීය.

“ඔව්, මම ඒ සඳහා තොපට අවසර දෙනවා. හෙටම ආරක්ෂක භට පිරිසක් සමඟ එම ගමන ආරම්භ කරන්න පුළුවන්. ඊට කලින් තොපට ලැබුණු තොරතුරු මේ රාජසභාවට පවසන්න. “ බෝධිනාගගේ රහස් දූත ගමන ගැන යමක් කිව හැකි ද?

එසේය දේවයන් වහන්ස, පියාණන්ගෙන් මට ලැබුණු තල්පත රාජ සභාවට ඉදිරිපත් කිරීමට අදහස් කරමි.

“සිරිනාග තමන් අත තිබූ තල්පත රජතුමාට පිළිගැන්වූයේ ය. රජතුමා එය කියවීය.”

“ඉතාම සතුටුදායකයි. බොහෝම සාර්ථකයි. බෝධිනාග දක්ෂයකු බව දැනගෙන සිටියා. ඔහු අපිට හිතවත් කර ගන්නට බැරි වූයේ මිත්‍ර මහ සෙනෙවිගේ කේලම් නිසයි.

පුර පසළොස්වක පෝය

  නොවැම්බර් 07 සඳුදා අ.භා. 04.21 පුර පසළොස්වක ලබා 08 අඟහරුවාදා අ.භා. 04.37 ගෙවේ. 07 සඳුදා සිල්

පොහෝ දින දර්ශනය

Full Moonපසළොස්වක

නොවැම්බර් 07

Second Quarterඅව අටවක

නොවැම්බර් 16

Full Moonඅමාවක

නොවැම්බර් 23

First Quarterපුර අටවක

නොවැම්බර් 30

 

|   PRINTABLE VIEW |

 


මුල් පිටුව | බොදු පුවත් | කතුවැකිය | බෞද්ධ දර්ශනය | විශේෂාංග | වෙහෙර විහාර | පෙර කලාප | දායකත්ව මුදල් |

 

© 2000 - 2022 ලංකාවේ සීමාසහිත එක්සත් ප‍්‍රවෘත්ති පත්‍ර සමාගම
සියළුම හිමිකම් ඇවිරිණි.

අදහස් හා යෝජනා: [email protected]